Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දළදාව තුන් අවුරුද්දක් වැඩ සිටි කෙවුල්ගම රහසිගත ලෙන

දළදා වහන්සේ දිනක් දෙකක් වැඩ සිටි ස්ථාන පවා අදටත් බෞද්ධයන් සලකන්නේ මහත් පූජනීයත්වයකින්. ඕලන්දයන් උඩරට ආක්‍රමණය කළ කාලයේ පැවති අවදානම නිසා දන්ත ධාතුන් වහන්සේ අවුරුදු තුනක් කාටත් හොර රහසේ වැඩ සිටි ස්ථානයක් තමයි හුන්නස්ගිරියේ සිට මඳ දුරකින් පිහිටි කෙවුල්ගම ගනේගල ලෙන් විහාරය.

අදටත් මහනුවර අවට අය පවා නොදන්නා මේ විහාරයට කෙවුල්ගල දළදා ගමන් මාලිගාව කියලත් කියනවා.

 කෙවුල්ගම ගම්මානයේ කුඹුරු- Kusumsiri Wijayawardhana

පිහිටීම

මැදමහනුවර පසුකර මහනුවර මහියංගන මාර්ගයේ ඉදිරියට කඳු තරණය කරන විට හුන්නස්ගිරිය නගරය හමුවෙනවා. මහනුවර සිට ඒ වෙත දුර කිලෝ  මීටර 52ක්. මේ නගරය පසෙකින් ඉහළ නැඟ සිටින්නේ උඩරට ආරක්ෂක බළකොටුවක නටබුන් සහිත ගලඋඩ කන්ද යි.  මෙහි සිට නුගේතැන්න විද්‍යාලය වෙත දිවෙන මාර්ගයේ ගොස් හැරී කිලෝ  මීටර 7ක පමණ ගමනකින් පසු තමයි සුන්දර කඳුකර වටපිටාවක පිහිටි කෙවුල්ගම ගම්මානයට පිවිසෛන්නේ.

උඩරට රාජධානියට අයත් පුරාණ ගමක් වන කෙවුල්ගම, උඩරට රාජධානි යුගයේ දී දුම්බර පන්සිය පත්තුවට අයත් වුණා.  පසුව කළ කෝරළ බෙදීම් අනුව එය උඩදුම්බර පළාතේ බටහිර ගම්පහ කෝරළේට අයත් වුණා. කඳුවලින් වට වූ පහත් බිමක තමයි ගම්මානය පිහිටා ඇත්තේ.

 පුරාණ දළදා කරඬුවක්- Lankapura.com

ලන්දේසි උඩරටට

දුම්බර කඳුයායේ සැඟවුණු ගණේගලට නුදුරු කෙවුල්ගම ලෙන් විහාරයට දළදා වහන්සේ මුලින් ම වැඩමවා ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස සිදුවුණු  ඕලන්ද ආක්‍රමණයේදී යි. කීර්ති ශ්‍රී රාජසිංහ රජු මුල දී ලන්දේසින් සමඟ මිත්‍රත්වයකින් පසු වුණත් ඕලන්දයන්ගේ කූට උපායන් නිසා සිංහල රාජධානිය සහ ඕලන්දයන් අතර මතභේද හට ගත්තා.

මේ මතභේදවලින් ප්‍රයෝජන ගනිමින්  වෑන් ඊක් නම් ආණ්ඩුකාරයා යටතේ මුල් වරට ලන්දේසිහු උඩරට ආක්‍රමණය කළා. එම ආක්‍රමණය අසාර්ථක වුණත් ඊට පසු  1765 දී ගලගෙදර ඔස්සේ මහනුවර නගරය නැවත ආක්‍රමණය කළා. එවිට රජු  සහ පිරිස දළදා වහන්සේ සහ ධනය ද රැගෙන සැඟ වී පලා ගියා. ලන්දේසීන් මහනුවර යටත් කරගෙන මාස 9ක් සිටියා.

 ලෙන් විහාර දාගබ – www.google.com/maps

දළදාව සඟවා තැබූ තැනක්

ලන්දේසි ආක්‍රමණ නිසා දළදා වහන්සේ රැක ගැනීමට ස්ථාන කිහිපයක ම සඟවා තැබුවා. ඉන් වැඩි කලක් දළදා වහන්සේ වැඩ සිටි පුද බිම වන්නේ කෙවුල්ගම ගනේගල ලෙන් විහාරය යි. එසේ රැගෙන ගියේ ශක වර්ෂ 1686 (ත්‍රිස්තු වර්ෂ 1764) දී බව පැරණි තුඩපත්වලින් හෙළි වෙනවා. ලන්දේසින් උඩරට ආක්‍රමණයට කැසකවන බව ඔත්තුකරුවන්ගෙන් දැන ගත් විගස දළදා වහන්සේ නගරයෙන් පිටකළ බව ඒ අනුව පේනවා. ඒ බව සඳහන් පැරණි තුඩපතෙහි පිටපත් මහනුවර මල්වතු විහාරයේ සහ බඹරගල රජමහා විහාරයේ ද තිබෙනවා.  

ඕලන්දක්කාර සතුරු සේනා සෙංකඩගල නුවරට පැමිණි බව හොඳින් ආරංචි වූ නිසා මැදමහනුවරට රැගෙන විත් තිබූ දළදා වහන්සේ අස්ගිරි විහාරයේ නායක හිමියන්ගේ භාරකාරත්වය යටතේ වැඩි ආරක්ෂාවට ඉතා දුරක පිහිටි කෙවුල්ගමට වැඩම වූ බව තුඩපතේ මෙසේ සඳහන් වෙනවා:

”ඉක්බිති මැදමහනුවරින් අප්‍රසිද්ධ ආකාරයෙන් දළදා නමැති සිතුමිණි රුවන වඩා ගෙන පන්සිය පත්තුව බද කෙවුල්ගම ගල්ලෙන් විහාරයට වැඩමවා පස් දවසක් එහි ප්‍රමාදිතව සිට සයවෙනි සඳුදා” (පී. ඇම්. පී. අබේසිංහ, – උඩරට විත්ති, 193 පිට)

කෙවුල්ගම පස් දවසක් වැඩ සිටි දළදා වහන්සේගේ ආරක්ෂාව පිළිබඳ සැකයක් මතුවූ නිසා නැවත එගම සිට කිලෝ  මීටර 3ක් දුරින් පිහිටි කිනිකඳුර ගල්ලෙනට සහ අවට පිහිටි රහසිගත තැන් කිහිපකයට රැගෙන ගොස් තිබෙනවා. 

මෙසේ වනගත ව සඟවා තිබූ දළදා වහන්සේ සතුරු බිය මඳක් තුරන් වු පසුව රජුගේ අවසරය ඇතිව කෙවුල්ගම ලෙන් විහාරය වෙත යළිත්  රැගෙන ඇවිත් තිබෙනවා. ඒ දළදා වහන්සේ  මහනුවරට එක් වර ම රැගෙන යාමට පැවැති අවදානම නිසා යි. කීර්ති ශ්‍රී රාජසිංහ (1747-1781 ) රජ සමයේ මේ විහාරයේ දළදා වහන්සේ තුන් අවුරුද්දක් වැඩ සිටි බව තුඩපත්වලින් පැහැදිලි වන කරුණක්.  ලන්දේසින් මාස කිහිපයකින් මහනුවරින් පලවා හැරි පසුව ද වැඩි ආරක්ෂාව උදෙසා දළදා වහන්සේ කෙවුල්ගමින් මහනුවරට රැගෙන නොගොස් එහි ම වඩා හිඳුවා තිබෙනවා.

විහාරයේ ඇති දළදා කරඬුවක්- Kusumsiri Wijayawardhana

දළදා තේවාව

දළදා වහන්සේ කෙවුල්ගම වැඩ සිටි කාලයේ මහනුවර දළදා මාලිගයේ දී මෙන් ම සියලූ තේවා සහ පුද පූජා නොකඩවා පවත්වා තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පූජා භාණ්ඩ රජ වාසලින් සපයා තිබෙන බව තුඩපතේ විස්තර වෙනවා. තඹ, රිදී සහ ඇත්දළ කරඬු ද විහාරයට සපයා දී තිබූ බව සඳහන් වෙනවා.

1766 දී ඕලන්දයන් සහ උඩරට රජු අතර ගිවිසුමක් අත්සන් කළ අතර ආක්‍රමණ බිය සම්පූර්ණයෙන් පහව ගියා. අනතුරුව ශක වර්ෂ 1688 (ත්‍රිස්තු වර්ෂ 1766) අවුරුද්දේ දී ම  දළදා වහන්සේ නැවතත් මැදමහනුවර නව කර්මාන්තයෙන් යුත් දෙමහල් මාලිගා මන්දිරයට වැඩමවා ටික දිනකින් පසු කුණඩසාලේ රජ මහා විහාරය හරහා මහනුවර දළදා මාළිගයට වැඩමවා තිබෙනවා.

රාජාධිරාජසිංහ තඹ සන්නස- Kusumsiri Wijayawardhana

රාජාධිරාජසිංහ රජුගෙන් ගම්වරයක්

කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් පසු රාජ්‍යත්වයට පත් රාජාධිරාජසිංහ රජු කෙවුල්ගම ලෙන් විහාරයට ගම්වරයක් පූජා කළ බව විහාරයේ ඇති තඹ සන්නසකින් තහවුරු වෙන කරුණක්. එම සන්නස පූජා කර ඇත්තේ රාජාධිරාජසිංහ රජුගේ 12 වැනි වර්ෂයෙහි ( ත්‍රිස්තු වර්ෂ 1792) දී යි.  ගම්වරය පූජා කර ඇත්තේ දුම්බර පන්සිය පත්තුව බද කෙවුල්ගම ගනේගල විහාර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටි මාලිගා මන්දිරයට බත්මල් පහන් පුද පවත්නා පිණිස රඹුක්වැල්ලේ රතනජෝති හිමියන්ට සහ ඒ හිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට උරුම වන සේ  බව තඹ සන්නසේ සඳහන් වෙනවා.

එවකට කෙවුල්ගම විහාරයේ අධිපති ධූරය දරා ඇත්තේ උඩරට ප්‍රකට සංඝ පීතෘවරයකු වූ රඹුක්වැල්ලේ රතනජෝති ස්වාමින් වහන්සේ. උන් වහන්සේ බඹරගල රජමහා විහාරයේද අධිපතිව සිටියා.  ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ ඉංග්‍රීසින් උඩරට ආක්‍රමණය කිරීම නිසා දළදා වහන්සේට මහනුවර යළිත්  අනාරක්ෂිත වුණා. එවිට යළිත් ටික දිනකට දළදා වහන්සේට කෙවුල්ගම රැකවරණය ලැබුණ බව  හෙළිකරන තුඩපතක් කෙවුල්ගම විහාරාධිපති හිමියන් බාරයේ තිබෙනවා. 

‘‘මහවාසලිං යෙදී නාවනගල දෙමහල් මාලිගාවෙන්  දළදා හාමුදුරුවන් වැඩමගෙන ගනේගල ගල්‍යත් මාලිගාවට වැඳ යන්ට කරුනාව ලැබී දෙවැනිදා උදෑසන ගල්‍යත් මාලිගාවට වැඩමවා …ආදී වශයෙන් තුඩපතේ සඳහන් වෙනවා .

 ලෙන වෙත ගමන් කරන පියගැට පෙළ- www.google.com/maps

 

මේ අතර රතනජෝති හිමියන්,  ශ්‍රී වික්‍රම රජුගෙන් වැඳපුදා ගැනීමට ධාතුන් වහන්සේ නමක් ඉල්ලා සිටි අතර, මහවාසලින් එයට කරුණාව ලැබී ධාතුන් වහන්සේ නමක් සහ පළිඟු බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ද කරඬු දෙකක් ද මුතු කුඩයක් සහ සක් පලිහක් ද උඩුවියනක්, ලී කරඬුවක්, ධාතු කරඬුව වැඩමවීමට කුනමක් ද ලැබුණු බව කෙවුල්ගම තුඩපතේ සඳහන් වෙනවා.

රඹුක්වැල්ලේ හිමියන් කෙවුල්ගම විහාරය ප්‍රතිසංස්කරණයට ද කටයුතු කර තිබෙනවා. උන් වහන්සේ මකුළු කුඩු, සාදිලිංගම්, නිල්  ආදී වර්ණ සපයාගෙන කෙවුල්ගම උපාසකවරුන්ගේ උදව්වෙන් බුද්ධ රුප 33ක් සිත්තම් කරවා විහාරය අලංකාර කරවා තිබෙනවා. විහාරයේ ජරාවාස වී තිබුණු බුද්ධ ලෝකඩ බුද්ධ රූප ශුද්ධ කර නේත‍්‍රා කර අතර දොර උළුවස්ස ද අලුත්වැඩියා කරවා තිබෙන බව සඳහන්.

කෙවුල්ගම, උඩරට රාජධානි සමයට පෙර පටන් ම ජනාවාස ව පැවති පෙදෙසක් බවට සාධක වශයෙන් විහාර භූමියේ ඇති (වෙනත් ස්ථානයකින් රැගෙන පැමිණ විහාර භූමියේ පිහිටවූ පොළොන්නරු යුගයට අයත් ටැම් ලිපියක පහළ කොටස ද සාක්ෂි දරනවා. එයින් කියවෙන්නේ යුද භටයකුට දුන් කුඹුරු ප්‍රදානයක් පිළිබඳව යි.

 ලෙන් විහාරයේ නවීකරණය කළ ප්‍රතිමා – www.google.com/maps

ලෙන් විහාර ගෙය

කඳුගැටයක බැවුමේ තමයි කෙවුල්ගම ලෙන් විහාරය පිහිටා තිබෙන්නේ. විහාරයට තරමක් ඉහළින් කඳු මුදුන දැකගත හැකි යි. කඳු බෑවුම වෙත ඇදී යන පියගැට පෙළක් නැග  ලෙන් විහාරයට ගමන් කළ හැකි යි. කටාරම් කෙටූ ලෙනක පිහිටි විහාර මන්දිරය ඉදිරිපිටට ඈත පිහිටි පිටිගොඩ, බඹරබැද්ද, රඹුක්වැල්ල සහ මඩුගල්ල වැනි පෙදෙස්වල සුන්දර දසුනක් පේනවා.  විහාරය ඉදිරිපිට බෝධි වෘක්ෂයක් සහ සංඨාර කුලුනක් ද පිහිටා ඇති අතර ලෙන තුළ දාගබක් ද සහිත යි.

ලෙන් විහාර මන්දිරය පිට මාලයකින් සහ ඇතුළු ගැබකින් සමන්විත යි.  මෙහි ප්‍රතිමා සහ බිත්තිවල සිතුවම් සියල්ල කෘත්‍රිම සායමින් නවීකරණය කර ඇත්තේ පැරණි සිතුවම් මකා දමමින්. වියනෙහි ඉතිරිකර ඇති පැරණි බිතුසිතුවම් කුඩා කොටසක ලියවැල් මෝස්තරයක් දැකගත හැකි යි. බිත්තියෙහි ද උඩරට සම්ප්‍රදාය හෙළි කරන පැරණි බිතුසිතුවම් කුඩා කොටසක් පමණක් ඉතිරිකර තිබෙනවා.

ඒ සිතුවම් පුරාණ ගැමි සිත්තරකුගේ වැඩ බව තමයි පෙනෙන්නේ. විහාරයේ ප්‍රධාන ප්‍රතිමාව සැතපෙන බුදු පිළිමයයි. ප්‍රතිමාව ඉදිරිපිට තැන්පත් කර ඇති දැව කරඬුව එකල දළදා වහන්සේ තැන්පත් කර තිබූ කරඬුවක් ලෙසින් සැලකෙනවා.  විහාරය 2004 දී නිදන් හොරුන්ගේ අතවරයට ලක් ව ඇති අතර ඊට පසු දාගබ ද විනාශ කර පුරා වස්තු ද සොරකම් කර තිබෙනවා.

වරක් දළදා සඟවා තැබූ කිනිකඳුර ලෙන, කෙවුල්ගමට ආසන්නව පමුණුතැන්න ගමට යාබද ව වනාන්තරයෙහි පිහිටා තිබෙනවා. එය මුලින් ම භාවනානුයෝගී භික්ෂුන්ගේ වාසයට නතුව තිබූ කටාරම් කෙටූ ගල්ලෙනක්.

අද තත්ත්වය

අද වන විට මේ ලෙන් වෙහෙරේ පියස්ස, එයට පිවිසෙන පඩි පෙළ, විහාර මළුවේ ප්‍රාකාර ආදිය අබලන් වෙමින් පවතිනවා. මෙතරම් වටිනා පූජනීය ස්ථානයක් ආරක්ෂා කර වැඩි දියුණු කිරීමට අවට ගම්වැසි ගොවි ජනතාවට නම් වත්කමක් නැති බවයි පේන්නේ. මේ නිසා වගකිවයුත්තන් මැදිහත්වී කෙවුල්ගම ලෙන් විහාරය රැක ගැනීමට වැඩ පිළිවෙළක් සකස් කළ යුතු යි.

කවරයේ ජායාරූපය - කෙවුල්ගම ලෙනේ දාගබ - www.google.com/maps

මූලාශ්‍ර:

පී. එම්. පී. අභයසිංහ - උඩරට විත්ති

චාල්ස් ගොඩකුඹුරේ -1964-65 පුරාවිද්‍යා කොමසාරිස් තැනගේ පාලන වාර්තාව

කඹුරුගමුවේ වජිර හිමි - දළදා ඉතිහාසය සහ සංස්කෘතිය

කුසුම්සිරි විජයවර්ධන - සිරිලක දළදා මාලිගා

Related Articles