කාම්බෝජයේ කෙමර් රූජ් සංවිධානයේ නායක පොල් පොට්ගේ දෙවැනියා හෙවත් සංවිධානයේ අංක 2 සහෝදරයා (Brother Number 2) වූ නුවොන් චියා අගෝස්තු 4 වනදා මියගියා. මිය යද්දී 93 හැවිරිදි වූ ඔහු තම ජීවිත කාලයෙන් අඩ සියවසක් පමණ කොමියුනිස්ට් සංවිධානයන් හි කටයුතු කළ අතර ඉන් වසර 38ක් පමණ පොල් පොට්ගේ දෙවැන්නා ලෙස ක්‍රියා කළා. කෙමර් රූජ් පාලන සමය තුළ සිදු වූ ඝාතනවලට ඔහු ද ඍජුවම වගකිව යුතු යි.

ලාඕ කිම් ලෝර්න් නමින් නුවොන් චියා උපත ලැබුවේ 1926 ජූලි 7 වන දා යි. ඔහුගේ පියා වෙළෙඳාමෙහි සහ ගොවිතැනෙහි නිරත වූ බව සඳහන්. චීන සහ කෙමර් මිශ්‍ර සම්භවයක් ඇති නුවොන් චියාගේ පවුල කාම්බෝජයේ බටහිර ප්‍රදේශයේ බටෙම්බාංග්හි ජීවත් වූ යමක් කමක් ඇති පවුලක් වුණා.

කාම්බෝජය එකල වූයේ ප්‍රංශ පාලනය යටතේ යි. 1941 දී බටෙම්බාංග් ප්‍රදේශය තායිලන්තයේ පාලනයට යටත් වුණා. මෙවිට නුවොන් චියා බැංකොක් නගරය වෙත පිටත්ව ගියා. ඔහු පාසැල් අධ්‍යාපනය නිම කළේ එහිදී යි. කෙටි කලක් බෞද්ධ භික්ෂුවක ලෙස ද ගතකළ ඔහු තම්මසත් සරසවියේ ද කෙටි කලක් අධ්‍යාපනය හැදෑරුවා.

1946 දී බටෙම්බාංග් ප්‍රදේශය නැවත ප්‍රංශ පාලනයට යටත් වුව ද නුවොන් චියා දිගටම බැංකොක් හි නැවතී, රජයේ ආයතනයක ලිපිකරුවකු ලෙස රැකියාවක් ද ලබා ගත්තා. ඔහු තායි කොමියුනිස්ට් පක්ෂයට ද බැඳුණ අතර 1950 දී සිදු වූ ආණ්ඩු මාරුව වනතෙක් එම පක්ෂය තුළ කටයුතු කළා. නව රජය දැඩි ලෙස කොමියුනිස්ට් විරෝධී වූ අතර නුවොන් චියා යළි සිය උපන් බිම වෙත ගියා.

කාම්බෝජ කොමියුනිස්ට් පක්ෂය​

කාම්බෝජයේදී නුවොන් චියා සිය ඥාති සහෝදරයකු වූ සියු හෙන්ග් අනුගමනය කරමින් ඉන්දුචීන කොමියුනිස්ට් පක්ෂයට බැඳුණා. එකල සියු, කාම්බෝජයේ කුඩා කොමියුනිස්ට් ව්‍යාපාරය මෙහෙයවූවා. නුවොන් චියා වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂ අධ්‍යාපන ආයතනවල දෙවසරක් අධ්‍යාපනය ලබා යළි කාම්බෝජයට පැමිණියා. එහිදී ඔහු ටවු සමොත් නම් පක්ෂ ක්‍රියාකාරිකයාට නාගරික පක්ෂ කටයුතු සඳහා සහය ලබා දුන්නා. ප්‍රංශයේ සිට පැමිණි තරුණ ගුරුවරයකු වූ සලොත් සාර් (පොල් පොට්ගේ සැබෑ නාමය​) සමග නුවොන් චියා කටයුතු කිරීම ඇරඹුවේ ද එකල යි.

මේ අතර පක්ෂයේ වෙනස්කම් කිහිපයක් සිදු වුණා. 1958 දී සියු හෙන්ග් පක්ෂය හැර ගියා. 1960 දී එය කම්පූචියා කම්කරු පක්ෂය ලෙස ප්‍රතිසංවිධානය වූයේ ටවු සමොත්ගේ නායකත්වයෙන්. නුවොන් චියා ඔහුගේ දෙවැන්නා වුණා.

පොල් පොට් (වමේ සිට පළමුවැන්නා), නුවොන් චියා (වමේ සිට දෙවැන්නා) ආදී කෙමර් රූජ් නායකත්වය 1975 දී (AAP)

1962 දී රජයේ පොලිසිය විසින් සමොත්ව ඝාතනය කළා. ඉන්පසු පක්ෂ නායකත්වයට පැමිණීමට නියමිත වූයේ නුවොන් චියා වුව ද ඔහු දෙවන ස්ථානයේ සිටිය දීම පොල් පොට් පක්ෂ නායකයා ලෙස පත් වුණා. මෙය කුමන අයුරින් සිදු වූයේදැ යි පැහැදිලි වන්නේ නැහැ. ඇතැම් විට ප්‍රංශයේ අධ්‍යාපනය ලබා පැමිණි පිරිස් පක්ෂයේ නායකත්වය තුළ ප්‍රබල වීමෙන් එය සිදු වූවා විය හැකියි.

කෙසේ නමුත් පොල් පොට්ගේ මරණය ආසන්න කාලයක් වනතුරු නුවොන් චියා පොල් පොට්ගේ දෙවැනියා ලෙස කටයුතු කළා. සත්‍ය වශයෙන්ම පක්ෂ සංවිධාන කටයුතු බොහෝ දුරට නුවොන් චියා විසින් සිදු කළා.

සලොත් සාර් පසුපස පොලිසිය හඹා එද්දී ඔහු නොම්පෙන් අගනුවරින් පළා ගියා. එහෙත් නුවොන් චියා දිගටම අගනුවර රැඳෙමින් පක්ෂ කටයුතු සංවිධානය කළා. ඔහු අගනුවර හැර ගියේ 1968 දී යි. ඒ පක්ෂයේ මූලස්ථානය ඊසානදිග කාම් බෝජයේ පිටිසර පළාත් වෙත ගෙනගිය අවස්ථාවේ යි.

1970 දී සිහනුක් කුමාරයාගේ රජය බලයෙන් නෙරපූ ජෙනරල් ලොන් නොල් රටේ බලය අල්ලා ගත්තා. ඔහු ඇමරිකන් හිතවාදී පාලකයකු වුණා. මෙකල​, ඇමරිකන් ගුවන් ප්‍රහාර නැගෙනහිර කාම්බෝජය දෙසට නිරන්තරයෙන් එල්ල වුණා. එසේ කරන ලද්දේ උතුරු වියට්නාමයේ සිට​, දකුණු වියට්නාමය දක්වා, කාම්බෝජය හරහා වැටී තිබූ සැපයුම් මාර්ග කඩාකප්පල් කරන අදහසින්. නමුත් මෙම ප්‍රහාර හේතුවෙන් ජනයා වැඩියෙන් කෙමර් රූජ් සංවිධානය වටා එක් වුණා.

කෙමර් රූජ් පාලනය

1975 අප්‍රේල් 17 වනදා නොම් පෙන් නගරයේ බලය කෙමර් රූජ් සංවිධානය විසින් අල්ලා ගනු ලැබුණා. කාම්බෝජයේ අනෙකුත් ප්‍රදේශයන් ද ඒ සමගම කෙමර් රූජ් පාලනයට යටත් වුණා. නොම් පෙන් නගරය අල්ලාගත් දිනම ඔවුන් නගරයේ ජනයා ගම්බදට පිටමං කළා. එය අනෙකුත් නගරවල ද සිදු වුණා.

මෙසේ නගරවලින් ජනයා පිටමං කිරීමේ තීරණය හරි ආකාරව දැන සිටියේ පක්ෂයේ ඉහළ කිහිප දෙනෙකු පමණ යි. මෙයින් පසු කෙමර් රූජ් පාලනය යටතේ ක්‍රියාත්මක වූයේ විකාර සහගත ආර්ථික දේශපාලනික ක්‍රමවේදයක්. ඔවුන් මුදල් තහනම් කළා. ස්වයං පෝෂිත ආර්ථිකයක් නිර්මාණයා කිරීමට බව පවසමින් කෘෂිකර්මාන්තයට සම්පූර්ණ අවධානය යොමු කළා. උගතුන්, භික්ෂූන් ආදීන් ඝාතනය කළේ ඔවුන් විප්ලවයට සහ සංවිධානයට එරෙහි වේ ය යන බිය නිසා යි. තමන්ට එරෙහි වේයැ යි සිතන ඕනෑම අයකු ඝාතනය කිරීමට කෙමර් රූජ් සංවිධානය පසුබට වූයේ නැහැ. මීට අමතරව මෙම සංවිධානය අතිශයින් ජාතිවාදී මුහුණුවරක් ගත්තා. සුළු ජාතික කණ්ඩායම් විනාශ කිරීම ඔවුනගේ එක් ප්‍රතිපත්තියක් වුණා.

නුවොන් චියා පක්ෂයේ ඉහළ නායකත්වය ආරක්ෂා කිරීමේ වගකීම තමන් වෙත තබාගත්තා. ඔහුගේ පුද්ගලික උපදෙස් මත පාක්ෂිකයන් පවා විශාල පිරිසක් අත් අඩංගුවට ගෙන මරා දමන ලදැ යි පැවසෙනවා. පක්ෂ සාමාජිකයන් අතර පවා නායකත්වයට එරෙහි වේයැ යි සැක කරන දහස් ගණනක් මරා දමනු ලැබුණා.

බලයෙන් විසිවූ පසු

1978 වසර අවසන් වෙද්දී කාම්බෝජය හා වියට්නාමය අතර ගැටුම් යුද්ධයක් දක්වා පරිවර්තනය වුණා. 1979 ජනවාරියෙදී කෙමර් රූජ් පාලකයන් නොම් පෙන් හැර ගියා. රටේ වයඹදිග වනාන්තරවල සැඟවුණ පොල් පොට්, නුවොන් චියා ඇතුළු කෙමර් රූජ් සාමාජිකයන් වියට්නාම ආක්‍රමණික හමුදාවන්ට සහ ඔවුන්ගේ සහය මත බලයට පත් වූ නව කාම්බෝජ පාලනයට එරෙහිව කැරැල්ලක් දියත් කළා. තායිලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, සහ චීනය ඔවුන්ට සහය දුන්නා.

නුවොන් චියා (මැද​) 1986 දී (AP)

කල් යද්දී මෙම කැරැල්ල දුර්වල වුණා. විශේෂයෙන්ම සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු ලෝක දේශපාලනික තත්ත්වය ද වෙනස් වුණා. මේ අතර එක්සත් ජාතීන් මැදිහත් වී කම්බෝජයේ සාම වැඩපිළිවෙලක් ඇරඹුණා.

1997 දී කෙමර් රූජ් ව්‍යාපාරයේ ඉතිරිව සිටි පිරිස් භේද වී එම ව්‍යාපාරය සී සී කඩ වීමට පටන් ගත්තා. පොල් පොට් ව ව්‍යාපාරය විසින්ම නිවාස අඩස්සියට පත් කළ අතර නුවොන් චියා ද නව නායකයා වූ තා මොක් වෙත සහය පළ කළා. 1998 දී නුවොන් චියා රජය හා එකඟතාවකට පැමිණ යටත් වුණා.

ඔහු කලක් තායි දේශසීමාව අසල ගම්මානයක කුඩා නිවසක ජීවත් වුණා. කෙසේ නමුත් කම්බෝජය පිළිබඳ විශේෂ අධිකරණය පිහිටවූ පසු, 2007 දී, නුවොන් චියා අත් අඩංගුවට ගැනුණා. ඔහුට එරෙහිව 2010 දී මානව වර්ගයාට එරෙහි අපරාධ පිළිබඳ අධිචෝදනා ගොනු කෙරුණා. ඔහු සහ තවත් කෙමර් රූජ් නායකයින් කිහිප දෙනකුට එරෙහිව 2011 දී නඩු විභාගය ඇරඹුණා.

නුවොන් චියා රජයට බාර වූ පසු 1998 දී (Reuters)

2014 දී නුවොන් චියා ජීවිතාන්තය දක්වා සිරගත කෙරුණා. පසුකාලීනව කාම්බෝජයේ චාම් මුස්ලිම්වරුන්ට එරෙහි වර්ග සංහාරය පිළිබඳව ද නුවොන් චියා වෙත චෝදනා එල්ල වුණා. 2018 දී ඔහුව ඒ සඳහා ද ජීවිතාන්තය තෙක් සිර දඬුවමකට යටත් කෙරුණා.

නුවොන් චියා දිගින් දිගටම තම නිදොස්භාවය පිළිබඳ ස්ථාවරයෙහි සිටියා. ඔහු සඳහන් කළේ කෙමර් රූජ් සංවිධානයේ පාලනය යටතේ දී යම් ඝාතන සිදු වී නම් ඒ අතිධාවනකාරී පිරිස් විසින් කළ දේ බව යි.

Cover Image: නුවොන් චියා ඔහුගේ නඩු විභාගයක් අතරතුර​ (Reuters)