Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොසාඩ් සංවිධානයෙන් ඇඩොල්ෆ් අයික්මාන් පැහැරගැනීම​

මෙතෙක් කතාව,

දෙවන ලෝක යුධ සමයේ නාසි වහල් කඳවුරු තුලට ගාල් කර සමූලඝාතනය කරන ලද මිලියන ගණනක් වූ යුදෙව් ජාතිකයන්ගේ ඉරණම තීරණය කිරීමට සෘජු දායකත්වයක් ලබා දුන් SS හමුදා නිලධාරි ඇඩොල්ෆ් අයික්මාන් සැඟවී සිටින ස්ථානය පිළිබඳ ඔත්තුවක් ඊශ්‍රායල මොසාඩ් රහස් ඔත්තු සේවයට ලැබෙයි. අසාර්ථක සහ අත් හැර දමන ලද ප්‍රයත්න ගණනාවකින් පසු නිවැරදි මාර්ගයට ප්‍රවේශවන රහස් ඔත්තුකරුවන් අයික්මාන් ලුහුබැඳ යාම අරඹන අතර ඔහු සිටින නිවාසය සොයා ගැනීමට සමත් වෙයි.

අද එතැන් සිට.

මැයි 20 වන දිනට යෙදෙන ආර්ජන්ටිනාවේ එකසිය පහළොස්වන නිදහස් දිනය සැමරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් හා උත්සව මාලාවක් පැවැත්වීමට එම රජය තීරණය කළේ ය. ඒ සඳහා සහභාගී වීමට ලොව සතර දෙසින් රාජ්‍ය තාන්ත්‍රිකයන් පැමිණීමට නියමිතව තිබූ අතර, ඊශ්‍රායලය නියෝජනය කරමින් මෙයට සහභාගී වීම අධ්‍යාපන අමාත්‍ය අබා ඉබන් ප්‍රමුඛ දූත පිරිසකට පැවරී තිබුණි. ඔවුන් සඳහා විශේෂ ගුවන් යානයක් වූ ‘කොඳුරන යෝධයා’ (Whispering Giant) සූදානම් කිරීමට ඊශ්‍රායල රජය තීරණය කළේ ය. අමාත්‍ය ඉබන් මෙයින් විශ්මයට සහ සතුටට පත්වූව ද ඒ පසුපස තිබූ සැබෑ පරමාර්ථය ඔහු දැනසිටියේ නැත.

Whispering Giant/www.mossad.gov.il

ඊශ්‍රායල දූත පිරිස රැගත් විශේෂ ගුවන් යානය බුවනොර්ස් අයර්ස් වෙත ගොඩබැසීමට නියමිතව තිබුණේ මැයි 11 වනදා ය. ගුවන් යානා සේවක මඩුල්ල ඉතා සූක්ෂමව තෝරා ගැනීමට අයිසර් හැරල් කටයුතු කළේ ය. එම පිරිසෙන් ගුවන් නියමුවා සහ තවත් අයෙකුට පමණක් සිය ‘රහස’ හෙළි කළ අයිසර් අමතර කාර්මිකයෙකු ගමනට එකතු කරගන්නා ලෙස ගුවන් නියමුවාට උපදෙස් දුන්නේ ය. ඒ, හදිසි අවස්ථාවකදී අන් අයගේ සහය නොමැතිව පියාසර කිරීමට සිදු වීමේ සම්භාවිතාව සැලකිල්ලට ගනිමිනි.

එම කටයුතු සුදානම් කළ අයිසර් මැයි පළමුවන දා බුවනොර්ස් අයර්ස් නගරය වෙත පා තැබුවේ ය. මැයි 09 වන දින රහස් ඔත්තු කණ්ඩායමේ කිහිප දෙනෙකු එම නගරයෙන් නිවසක් කුලියට ගත් අතර, ඉන් පසු මෙහෙයුම් කණ්ඩායමේ සියළුම සාමාජිකයන් ප්‍රථම වරට ඊට දින කිහිපයකට පෙර කුලියට ගත් තවත් නිවසක දී හමුවීමක් පැවැත්වූවෝ ය. ඔවුන් ඊට පෙර නගරයේ හෝටල් කිහිපයක නැවතී සිටීමට කටයුතු කර තිබුණි.

සැලසුම වූවේ මැයි 10 වන දින අයික්මාන්ව පැහැරගෙන ඉන්පසු මැයි 12 වන දින ඊශ්‍රායලය වෙත පියාසර කිරීම ය.

නමුත් අවසාන මොහොතේ එම සැලසුම වෙනස් කිරීමට සිදුවුණි. ඒ, රාජ්‍ය තාන්ත්‍රිකයන් පිළිගැනීමේ ආර්ජන්ටියානු සැලසුම් වෙනස් වීම හේතුවෙනි. ඒ අනුව ඊශ්‍රායල දූත පිරිස ආර්ජන්ටිනාවට ගොඩ බැසීම මැයි 19 වන දින තෙක් කල් දමන ලදී.

අයික්මාන්ගෙ නිවසේ පිහිටීම දක්වමින් පිලියල කළ සිතියමක්/www.mossad.gov.il

මේ හදිසි අවස්ථාව උද්ගත වීමත් සමඟ අයිසර් මැදිවූවේ උභතෝකෝටික ගැටලුවකට ය. එක්කෝ මැයි 10 වන දිනට සැලසුම් කර තිබූ අයික්මාන් පැහැරගැනීමේ මෙහෙයුම මැයි 19 වන තෙක් කල් දැමිය යුතු ය. එසේත් නැත්නම් කලින් සැලසුම් කළ පරිදි මැයි 10 වනදා ඔහුව පැහැරගෙන 19 තෙක් සඟවා තබා ගත යුතු ය. පෙර සැලැස්මට අනුව ක්‍රියා කිරීමෙන් පසු අයික්මාන් අතුරුදහන් වී ඇති බව දැනගන්නා ඔහුගේ පවුල පොලිසිය හා එක්ව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළහොත් තමන් පත්වන අන්තරාදායක තත්ත්වය පිළිබඳ අයිසර් හැරල් ට මනා අවබෝධයක් තිබුණ ද එම අවදානම භාරගැනීමට ඔහු තීරණය කළේ ය.

අවසන් සැලසුම

අයික්මාන් පැහැරගැනීමේ රහස් මෙහෙයුම සැලසුම් කරනු ලැබුවේ පහත පරිදි ය. එය අන්තිම මිනිත්තුව තෙක් පියවරෙන් පියවර පෙළ ගැස්වීමට මොසාඩ් කණ්ඩායම ක්‍රියා කළේ ය. දින ගණනාවක් පුරා අයික්මාන් ඔහු රැඳී සිටි නිවසෙන් වැඩපොළ වෙත පිටත්ව යාම, රාත්‍රියේ නැවත නිවසට පැමිණීම, ඔහුගේ දින චර්යාව ආදිය පිළිබඳ කෙරුණු සමීප නිරීක්ෂණ මත සැලසුම සකස් කෙරුණි.

අයික්මාන් පැහැරගත් මෝටර් රථයේ ව්‍යාජ අංක තහඩුව/www.mossad.gov.il

ඒ අනුව වැඩ මුරය නිම කර අංක 203 දරණ බස් රථයෙන් පැමිණෙන අයික්මාන් ඉන් බසිනු ලබන්නේ පස්වරු 7.40 ට පමණ ය. අඳුර හාත්පස වෙලී පවතින මේ වෙලාවේ මාර්ග තදබදය ද පවතින්නේ ඉතා අවම මට්ටමක ය. මෝටර් රථ දෙකක් මෙහෙයුම සඳහා යොදාගන්නා අතර, එක් මෝටර් රථයක් පැහැරගැනීමෙන් පසු අයික්මාන්ව ගෙනයයි. අනෙක අයික්මාන් රැගත් මෝටර් රථයේ ආරක්ෂාව තහවුරු කිරීමට එය පිටුපසින් ගමන් කරනු ලබයි.

ප්‍රථම මෝටර් රථය යම් කිසි අලුත් වැඩියාවක් කරන මුවාවෙන් මාර්ගය අයිනේ නවතා තිබෙයි. අයික්මාන් එය පසු කරනවාත් සමඟම ඔහුව තදින් ග්‍රහණයට ගන්නා මොසාඩ් ඒජන්තවරුන් බලහත්කාරයෙන් ඔහුව මෝටර් රථය තුලට පටවාගනු ලබයි. ඒ විගසම එය වේගයෙන් ගමන අරඹනු ලබන අතර අනෙක් මෝටර් රථය එය පිටුපසින් පැමිණෙයි. හදිසි අවස්ථාවක දී සිරකරුවා මත් කිරීමට උවමනා වුවහොත් ඒ සඳහා සැදී පැහැදී සිටින වෛද්‍යවරයෙකු පසුව ගමන් ගන්නා මෝටර් රථයේ සිටියි.

ඉරණම්කාරි දිනය

තීරණාත්මක මෙහෙයුම යෙදී තිබුණ මැයි 10 වන දින මොසාඩ් ඒජන්තවරුන් කලින් සැලසුම් කළ අයුරින්ම සිය මෝටර් රථ දෙක අයික්මාන් පැමිණෙන මාර්ගයේ ස්ථානගත කළෝ ය. නමුත් ඔහු වෙනදා වැඩ ඇරී පැමිණෙන අංක 203 බස් රථය බස් නැවතුමේ සුපුරුසු වේලාවටම නවත්වනු ලැබුවත් අයික්මාන් එයින් පිටතට පැමිණියේ නැත.

අයික්මාන් විසූ නිවස/Getty Images

තවත් බස් රථ දෙකක්ම බස් නැවතුම පසු කළ ද ඒවා එකකින්වත් අයික්මාන් පිටතට පැමිණියේ නැත. සැකය සහ කණස්සල්ල මොසාඩ් ඒජන්තවරුන්ගේ සිත් කළඹන්නට පටන් ගත්තෝ ය. අයික්මාන්ට සිදු වූවේ කුමක්ද? ඔහු තමන්ගේ සුපුරුදු දින චර්යාව වෙනස් කළේ ද? එසේත් නැතහොත් එතරම් සුපරික්ෂාකාරිව සකස් කරනු ලැබූ තම සැලසුම පිළිබඳ ඔහුට ඉව වැටුණි ද? මේ ආකාරයේ සිතුවිලි මැද රාත්‍රී 8 එළඹුණි.

අයිසර් හැරල් මෙම කණ්ඩායමට උපදෙස් දී තිබුණේ රාත්‍රී 8 වන තෙක් අයික්මාන් නොපැමිණියහොත් එතැනින් නික්මෙන ලෙසටයි. එහෙත් පිරිසේ මූලිකත්වය දැරූ රාෆි එටාන් රාත්‍රී 8.30 පමණ වන තෙක් සෝදිසියෙන් පසු විය යුතු බවට තීරණයක් ගත්තේ ය.

අට පසුවී මිනිත්තු 5 ක්  ගත වන විට තවත් බස් රථයක් බස් නැවතුමේ නතර කරන ලද අතර එයින් බැස ඉදිරියට  එන මිනිසෙකුගේ සෙවණැල්ල මොසාඩ් කණ්ඩායම දුටුවේ ය. ඒ තමයි රිකාඩෝ ක්ලේමෙන්ට්, එසේත් නැත්නම් ඇඩොල්ෆ් අයික්මාන්!

මිනිසා ගමන් කරමින් සිටියේ තම නිවස දෙසට ය. ප්‍රථම මෝටර් රථයේ ආලෝක ධාරා ඔහුගේ මුහුණට සෘජුව පතිත කරනු ලැබිය. ඒ දිප්තිය දරාගත නොහැකි වීම නිසා ඔහු එක් අතකින් දෙනෙත් ආවරණය කර ගත්තේ ය. ඒ සමඟම දෙවන මෝටර් රථයේ සිටි ඒජන්තවරයෙකු ‘මදකට නවතිනව ද?’ යනුවෙන් ස්පාඤ්ඤ බසින් විමසූ අතර අයික්මාන් එම මෝටර් රථය දෙසට හැරුනේ ය.

ක්ෂණයෙන් ඔහු වෙතට පිනූ ප්‍රථම මෝටර් රථයේ අයෙකු අයික්මාන් බිම පෙරලා ගත් අතර තවත් අයෙකු වහාම අයික්මාන්ගේ මුහුණ, සහ කෑ ගැසීමට නොහැකි වන සේ මුඛය ආවරණය කළේ ය. යුදෙව් දෑත් මත අඩපණ වූ හිටපු නාසි නිලධාරියා පටවා ගත් මෝටර් රථය වේගයෙන් ඉදිරියට ඇදුණි.

අයික්මාන්ගේ දෑස බැඳ දැමීමට භාවිතා කළ ආවරණය/www.mossad.gov.il

රාත්‍රී 8.55 වන විට ඔවුන් සිටියේ අයික්මාන් සිර කර තබා ගැනීම වෙනුවෙන් කලින් පිළියෙළ කළ රැඳවුම් නිවාසයේ ය. සිරකරුවා එතුලට තල්ලු කරනු ලැබූ අතර දැඩි අත්වලින් ඔහුගේ ඇඳුම් සියල්ල ඉවත් කෙරුණි. වස සඟවාගෙන සිටිය හැකි යැයි සැකය මත මුඛය ද හොඳින් සෝදිසි කෙරුණි. දෑස් බැඳ දමා තිබුණ බැවින් අයික්මාන්ට කිසිවෙක් හා කිසිවක් නොපෙනුණි. පළපුරුදු හස්තයකින් ඔහුගේ සිරුරේ උපන් ලප, තුවාල කැළැල් ආදිය පිරික්සනු ලැබිය. සිරකරුවාගේ වම බාහුවේ කුඩා කැළලක් විය. ඒ, ඊට වසර කිහිපයකට පෙර සිය රුධිර ගණය කොටා තිබූ පච්චය ඉවත් කිරීමට ඔහු දැරූ උත්සාහයේ ප්‍රතිඵලයකි. එසේ රුධිය ගණය වම් බාහුවේ කොටා ගැනීම SS හමුදා නිලධාරින් අතර සිරිතක් විය.

ඉන්පසුව එළඹියේ ප්‍රශ්න කිරීමේ වාරයයි. සිරකරුවාගේ හිස් වැසුමේ වට ප්‍රමාණය, සපත්තුවේ ප්‍රමාණය, උපන්දිනය, පියාගේ නම, මවගේ නම ආදිය ඇසුණු අතර ඔහු යන්ත්‍රයක් මෙන් ඒවාට පිළිතුරු දුන්නේ ය. වෙනකක් තබා නාසි හමුදාවේ ඔහුගේ අංකය ඇසු විට පවා සිරකරුවා නිහඬව සිටියේ නැත.

“තමුන්ගේ නම?”

–          “රිකාඩෝ ක්ලෙමෙන්ට්”

“තමුන්ගේ නම?” නැවතත් ප්‍රශ්නය නැගුණි.

–          “ඔටෝ හෙනින්ගර්”

“තමුන්ගේ නම?”

–          “ඇඩොල්ෆ් අයික්මාන්!”

ප්‍රශ්න කිරීම මොහොතකට නැවතුණ අතර හාත්පස පැතිර ගියේ නිහඬතාවකි. සිරකරුවා ඒ නිහඬතාව බිඳ දැමුවේ ය. “මම ඇඩොල්ෆ් අයික්මාන්. මම දැන් ඉන්නේ ඊශ්‍රායලයේ සිරකරුවෙකු විදිහට කියා දන්නවා. වෝර්සෝ වලදී රබ්බි කෙනෙක්ගෙන් ඉගෙන ගත් නිසා මට හීබෲ භාෂාව තරමකට පුළුවන්..”

ඔහු බයිබල් පාඨ කිහිපයක් ඉතා නිවැරදි හීබෲ උච්චාරණයන් සහිතව කියන්නට පටන් ගත්තේ ය.

කම්පනයෙන් විසල් වූ දෙනෙත් දුසිමක් සිරකරුවාගේ මුහුණ මත රැඳී නැවතුණි.

රැඳවුම් නිවසේ ගත කළ දිනයන්

පැහැරගැනීමේ මෙහෙයුමට දායක වූ ඒජන්තවරයෙකු විසින් පැළඳ සිටි අත් මේස්/www.mossad.gov.il

තම නෑදෑ හිත මිතුරන් මිලියන ගණනකගේ ඝාතනයන් සඳහා වගකිව යුතු නාසි හමුදා නිලධාරියෙකු සිරකරුවෙකු ලෙස හෝ රඳවාගෙන සිටීම මොසාඩ් ඒජන්තවරුන්ට පහසු කාර්යයක් නොවී ය. රැඳවුම් නිවාසය තුල, විශේෂයෙන් සැකසූ කවුළු කිසිවක් නොමැති රහස් කුටියක අයික්මාන් තබා තිබූ අතර තත්පරයකට හෝ ඔහු වෙතින් දෙනෙත් ඉවතට ගැනීමට ඔවුන්ට හැකියාවක් නොතිබුණි. ඒ, සිරකරුවා සිය දිවි නසා ගැනීමට උත්සාහ දරාවි යන සැකය නිසා ය.

ඒ නිසා අයික්මාන් වෙනුවෙන් ආහාර පිළියෙළ කිරීම සහ පිළිගැන්වීම, ඔහුගේ රැවුල බෑම ආදී සියළුම කටයුතු කරන්නට සිදු වූවේ මොසාඩ් කණ්ඩායමට ය. අඩුම තරමේ සිරකරුවා තනිව වැසිකිළියට යැවීම පවා කළ නොහැක්කක් විය. මේ අයුරින් දරා ගැනීමට ඉතා අපහසු දින දහයක් ගෙවී ගිය පසු ආර්ජන්ටිනා නිදහස් දින සැමරුමට සහභාගීවන ඊශ්‍රායල දූත පිරිස රැගත් ‘කොඳුරන යෝධයා’ බුවනොර්ස් අයර්ස් ගුවන් තොටුපොළට ගොඩ බැසීමට සුදානම් වෙමින් සිටියේ ය.

ඇඩොල්ෆ් අයික්මාන් ගුවනින් ඊශ්‍රායලය වෙත රැගෙන යාම සහ ඔහු වෙනුවෙන් පැවැත්වූ නඩු විභාගය සිදු වූ අයුරු අවසාන ලිපියෙන් බලාපොරොත්තු වන්න.   

Cover Photo – ඇඩොල්ෆ් අයික්මාන් ඊශ්‍රායල නඩු විභාගය අතරතුර/Zed.fr)

Related Articles