Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කැමලොට්, ආතර් රජු, සහ රවුම් මේසයේ නයිට්වරු

කලකට පෙර ‘BBC One’ නාලිකාව මඟින් විකාශනය කළ ‘Merlin’ ටෙලි නාට්‍ය මාලාව නැරඹූ රසිකයින්ට, කැමලොට් හි ආතර් රජු නාඳුනන්නෙක් නොවෙයි. ලොව පුරා ඉහළ ජනප්‍රියත්වයක් අත් කර ගත් එය, ලිහිල් ව පදනම් වී තිබුණේ ක්‍රි.ව. 5 – 6 වැනි සියවසේ දී සැක්සන් ආක්‍රමණිකයන්ගෙන් බ්‍රිතාන්‍ය ආරක්ෂා කළ බවට සැලකෙන කල්පිත පාලකයෙකු වන ආතර් රජු හා සබැඳි ජනප්‍රවාදයන් මත බව පැවසීමේ වරදක් නැහැ. පුරාවෘත්තයන්ට අනුව ආතර් රජු විසින් ඔහුගේ රාජ සභාවේ රැස්වීම් කටයුතු පවත්වා ඇත්තේ ලෝග්‍රා රාජධානිය මධ්‍යයේ පිහිටි කැමලොට් නුවර දී වන අතර, ඔහුගේ නයිට්වරුන් රවුම් මේසයක් වටා අසුන් ගත් බව යි සඳහන් වන්නේ.

(© John Cassell) සැක්සන් ආක්‍රමණිකයන්ගෙන් හා සටන් කරන ආතර් රජු

ප්‍රංශ ගද්‍ය රචනා තුළින් මතු වූ කැමලොට් නුවර

ආතර් රජු පිළිබඳ කියැවෙන කථාන්තරයන් හි ඉතිහාසය ක්‍රි. ව. 9 වැනි සියවස තරම් ඈතට විහිදී යනවා. මුල් කාලයේ වාසය කළ ආතර් රජු පිළිබඳ තොරතුරු වාර්තා කළ ලේඛකයෙකු ලෙස ක්‍රි. ව. 12 වැනි සියවසේ දී වාසය කළ බ්‍රිතාන්‍ය ජාතික දේවගැතිවරයෙකු වූ මොන්මත් හි ජෙෆ්රි හැඳින්විය හැකි යි. ඔහු විසින් රචනා කරන ලද ‘බ්‍රිතාන්‍යයේ රජුවරුන්ගේ ඉතිහාසය’ යන ග්‍රන්ථයේ ආතර් රජු සහ ඔහුට උපකාර කළ මර්ලින් නම් මායාකරු පිළිබඳ කථාන්තර රැසක් ඇතුළත් වන අතර, ආතර් රජු උපත ලද්දේ ටින්ටෑජල් නම් කෝන්වෝල් ප්‍රාන්තයේ අත්ලාන්තික් සාගරයට මුහුණලා පිහිටි වෙරළබඩ ගම්මානයේ දී බවට යි මොන්මත් හි ජෙෆ්රි වාර්තා කර ඇත්තේ.

(© Kerry Garratt) ආතර් රජු උපන් ස්ථානය ලෙස සැලකෙන ටින්ටෑජල් බලකොටුව

නමුත් ආතර් රජු ගැන කරුණු වාර්තා කළ බොහෝමයක් පැරණි ලේඛකයන් මෙන් ම මොන්මත් හි ජෙෆ්රි ද ඔහුගේ සටහන් හි කැමලොට් නුවර පිළිබඳ ව සඳහන් කර නැහැ. දැනට ‘කැමලොට් නුවර’ යන නාමය සඳහන් වන පැරණි ම මූලාශ්‍රය ලෙස සැලකෙන්නේ ක්‍රි. ව. 12 වැනි සියවසේ දී ප්‍රංශ කිවිවර ක්‍රෙටන් ඩි ට්‍රෝයිස් විසින් රචිත කවි පෙළක් වන අතර, ක්‍රි. ව. 13 වැනි සියවසේ දී යේසුස් වහන්සේ අවසන් භෝජන සංග්‍රහයේ දී භාවිතා කළ බඳුන සොයා දියත් කරන ලද ගවේෂණය (the Quest for the Holy Grail) සහ ලාන්ස්ලොට් නම් නයිට්වරයා සහ ආතර් රජුගේ බිසව වූ ග්වෙනෙවියර් අතර පැවැති පෙම් සබඳතාව ගැන කථාන්තර ඇතුළත් කරමින් රචනා කරන ලද ‘The Lancelot-Grail’ සහ ‘The Post-Vulgate Cycle’ නම් ගද්‍ය රචනා එකතුවේ කැමලොට් නුවර ගැන විස්තරාත්මක තොරතුරු සඳහන් වෙනවා. එහි දැක්වෙන අන්දමට ආතර් රජුගේ රාජධානියේ ප්‍රධාන නගරය වන්නේ කැමලොට් නුවර යි.

(©Kieran Belshaw) කැමලොට් නුවර මනඃකල්පිත සිතුවමක්

කැමලොට් හි රණශූර පාලකයා: ආතර් රජු

කැමලොට් නුවර පිළිබඳ කථාන්තරයන් ඇරඹෙන්නේ යේසුස් වහන්සේගේ භූමදානය සඳහා ඔහුගේ සොහොන පරිත්‍යාග කළ ඇරිමැතියා හි ජෝෆස්ගෙන්. පුරාවෘත්තයන්ට අනුව ඔහු කැමලොට් නුවර කරා පැමිණ ඇත්තේ එය ඉස්ලාම් නගරයක් ව පැවති කාලයේ දී යි. මහා බ්‍රිතාන්‍ය සතු ව පැවති, අරාබි ජාතිකයන් සහ ඉස්ලාම් භක්තිකයන් වාසය කළ ඉසුරුමත් ම නගරය වූ එහි පල්ලිය, නගරය සතු අනෙක් සියලුම ගොඩනැඟිලිවලට වඩා උසෙන් වැඩි සහ ප්‍රමාණයෙන් විශාල වූ බව යි සඳහන් වන්නේ. ඇරිමැතියා හි ජෝෆස්, එහි වැසියන්ගෙන් 1,000කට අධික ප්‍රමාණයක් ක්‍රිස්තියානි දහමට හරවාගෙන ඇති අතර, නගර මධ්‍යයේ ශාන්ත ස්ටීවන් වෙනුවෙන් පල්ලියක් ඉදිකිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ ද ඔහු යි. ක්‍රි. ව. 1 වැනි සියවසේ දී ඉස්ලාම් දහම නොපැවති බැවින් ආතර් රජු පිළිබඳ තොරතුරු වාර්තා කළ අඥාත ලේඛකයින්, කැමලොට් නුවර ඉස්ලාම් නගරයක් ලෙස හඳුන්වා දුන්නේ ඇයි ද යන්න අපැහැදිලි බව ඉතිහාසඥයින් පෙන්වා දෙනවා.

(© Charles Ernest Butler) ආතර් රජු

ආතර් රජුගේ රාජ සමයේ දී කැමලොට් නුවර පැවතී ඇත්තේ වනාන්තර සහ ඕවිටිවලින් වට වූ බලකොටු සහිත නගරයක් ලෙස යි. මූලාශ්‍රයන් රාශියක එය ඉසුරුමත් සහ සම්පත් සහිත නගරයක් ලෙස විස්තර කර තිබුණ ද, එහි ප්‍රමාණය හෝ සැලසුම පිළිබඳ නිශ්චිත තොරතුරු සඳහන් වන්නේ නැහැ. රාජ සභාව සඳහා අවැසි නිලධාරියන් කැමලොට් නුවරට රැස් වූ විට සාමාන්‍ය ජනතාවට ඒ වටා පිහිටි ඕවිට හි ගොඩනංවන ලද කූඩාරම් හි වාසය කිරීමට සිදු වූ බව යි ජනප්‍රවාදයේ දක්වා ඇත්තේ. ඒ අනුව කැමලොට් නුවර ප්‍රමාණයෙන් කුඩා වූ බව නිගමනය කිරීමේ වරදක් නැහැ. තවත් පුරාවෘත්තයකට අනුව යේසුස් වහන්සේ අවසන් භෝජන සංග්‍රහයේ දී භාවිතා කළ බඳුන සොයා ගවේෂණයක් දියත් කර ඇත්තේ, උන් වහන්සේ මරණයෙන් නැගිට වර්ෂ 435කට පසු ව යි. එය ආතර් රජු, කැමලොට් හි පාලන කටයුතු මෙහෙය වූ කාල සීමාව නිර්ණය කිරීම සඳහා මහඟු පිටුවහලක් බව යි ඉතිහාසඥයින්ගේ මතය වන්නේ.

(© Evrard d’Espinques) ආතර් රජු සහ රවුම් මේසයේ නයිට්වරු දැක්වෙන පැරණි සිතුවමක්

රාජ්‍ය පාලනයට සහාය වූ රවුම් මේසයේ නයිට්වරු

ආතර් රජු හා සබැඳි පුරාවෘත්තයන් හි වඩාත් ප්‍රකට කථාන්තරය වන්නේ රවුම් මේසයේ නයිට්වරු ගැන සඳහන් තොරතරු යි. ‘The Post-Vulgate Cycle’ ගද්‍ය රචනා එකතුවේ දැක්වෙන ආකාරයට එය, ග්වෙනෙවියර් බිසවගේ පියා වූ කාමලයිඩ් හි ලියඩේගන් රජු විසින් ලබා දෙන ලද මංගල තිළිණයක්. රවුම් මේසය වටා අසුන් ගත් නයිට්වරුන් සංඛ්‍යාව විවිධ මූලාශ්‍රයන් හි විවිධාකාරයෙන් දක්වා ඇති අතර, එය 12 – 150 දක්වා වෙනස් වෙනවා. එසේ ම එක් එක් නයිට්වරයාගේ නාමය, ඔහු අසුන් ගත් පුටුවේ කැටයම් කර තිබුණු බව යි සඳහන් වන්නේ.

(© Herbert James Draper) ලාන්ස්ලොට් සහ ග්වෙනෙවියර් බිසව

රවුම් මේසයේ අසුන් ගත් නයිට්වරුන් අතර වඩාත් ප්‍රකට නයිට්වරයා ලෙස ලාන්ස්ලොට් හැඳින්වීම අතිශයෝක්තියක් නොවෙයි. ආතර් රජුගේ සමීප මිත්‍රයා වූ ඔහු, අසිපත් හරඹයේ අතිදක්ෂයෙක්. නමුත් රූමත් කතක් වූ ග්වෙනෙවියර් බිසව සමග ඔහු ඇති කරගත් අසම්මත පෙම් සබඳතාව, කැමලොට් හි සිවිල් යුද්ධයක් ඇති වීමට හේතු වූ අතර, එය ආතර් රජුගේ රාජධානියේ බිඳ වැටීමට හේතු වූ බව සැලකෙනවා.

කවරයේ පින්තූරය: © Public Domain/Wikipedia Commons

Related Articles