ක්‍රි.ව. 982 දී අනුරාධපුරයේ පාලකයා වශයෙන් පත් වුණේ 5 වැනි මිහිඳු නම් දුර්වල රජ කෙනෙක්. මොහු ඉතාමත් අකාර්යක්ෂම පාලකයෙක් වුණු නිසා රටවැසියා බදු මුදල් පවා නිසි පරිදි ලබාදුන්නේ නැහැ. එම නිසාම රටේ ආරක්ෂාව දුර්වල වුණා පමණක් නොව රට ආර්ථික වශයෙන් ද අඩපණ වුණා. එලෙස රට දුර්වල වුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් රාජ රාජ නම් චෝල අධිරාජ්‍යයා ක්‍රි.ව. 993 දී අනුරාධපුරය ආක්‍රමණය කළා. එම ආක්‍රමණය හමුවේ අඩපණ වුණු රජු, රෝහණ දේශයට පලා ගොස් යළි රාජ්‍ය අල්ලා ගැනීමට උත්සාහ කළා. නමුත්, ක්‍රි.ව. 1017 දී රාජ රාජගේ පුත් 1 වැනි රාජේන්ද්‍ර මිහිඳුව සිරකරුවෙකු ලෙස චෝල දේශයට අල්ලාගෙන ගියා. එලෙස චෝල දේශයට අල්ලාගෙන ගිය මිහිඳු, ක්‍රි.ව. 1029 දී මියගියා. ඉන්පසුව,  චෝලයන් පොළොන්නරුව ඔවුන්ගේ රාජධානිය කරගනු ලැබුවා. එලෙස චෝල පාලනය යටතේ පැවති පොළොන්නරු රාජධානිය මුදවා ගැනීම සඳහා පසුකලෙක සටනට අවතීර්ණ වුණේ රුහුණෙන් බිහි වුණු කීත්ති නම් කුමාරයෙක්. එසේ නම් මේ ලිපිය කීත්ති කුමාරයා මහා විජයබාහු ලෙස රජ වෙමින් ලංකාව එක්සේසත් කළ ආකාරය පිළිබඳව යි.

කිත්ති කුමරුගේ ළමා කාලය 

ලංකාව පර සතුරන්ට අයත්ව තිබුණු කාල සමයක මොග්ගල්ලාන මහා සාමිගේ සහ ලෝකිතා බිසවගේ පුතෙකු ලෙසින් කිත්ති කුමාරයා උපත ලැබුවා. එම අවධියේ මොවුන්ගේ පවුලට චෝලයන්ගෙන් තර්ජන තිබුණු නිසා ජීවිතය රැකගැනීමට සිදුවුණේ රහසිගත දිවියක් ගත කරමින්. එලෙස රහසිගත දිවියක් ගත කළ කුමාරයා ඇතුළු පවුලට බුද්ධරාජ හෙවත් බුදල්නා නම් සෙන්පතියා ආරක්ෂාව ලබාදුන් බව පනාකඩුව තඹ සන්නසෙ හි සඳහන් වනවා. දිගු කලක් තිස්සේ බුදල්නා නම් සෙන්පතියාගේ ආරක්ෂාව යටතේ හැදී වැඩුණු කිත්ති කුමරුට තරුණ වියට එළඹෙන විට ප්‍රධාන අභියෝග 2කට මුහුණ දීමට සිදුවුණා. ඒ, රුහුණ එක්සේසත් කිරීම සහ ලංකාව එක්සේසත් කිරීම යි.

රුහුණ එක්සේසත් කිරීම 

රුහුණ එක්සේසත් කිරීමේ සටන් ව්‍යාපාරය සඳහා නායකත්වය දුන්නේ කිත්ති කුමාරයාගේ ආරක්ෂකයා වුණු බුදල්නා නම් සෙන්පතියා යි. එහි දී කිත්ති කුමරුගේ සේනාව රුහුණේ සිටි ප්‍රාදේශිය පාලකයන් දෙපළක් වුණු  ලෝකේෂ්වර සහ කේශ ධාතු කස්සප සමග සටන් කර ජයග්‍රහණය කළේ රුහුණු රට එක්සේසත් කරමින්. එලෙස රුහුණු රට එක්සේසත් කළ කිත්ති කුමාරයා 1055 දී විජයබාහු ලෙසින් රුහුණේ රාජ්‍යත්වයට පත් වුණා. විශාල පරිශ්‍රමයක් දැරීමෙන් රුහුණේ බලය අල්ලාගත් විජයබාහු රජතුමා කතරගම සිය පාලන මධ්‍යස්ථාන ලෙසින් තෝරාගනු ලැබුවා. 

චෝලයන්ගෙන් රුහුණට ප්‍රහාරයක් 

විජයබාහු රජතුමා රුහුණේ පාලකයා ලෙස පත් වුණු බව ඇසීමත් සමගම චෝල අධිරාජ්‍යයා උදහසට පත් වුණා. එම නිසාම ඔහු රුහුණු රාජධානියට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වුණේ විජයබාහු රජතුමා රිදවීමේ අරමුණෙන්. එලෙස සැලසුම් කළ ආක්‍රමණය සඳහා විශාල චෝල හමුදාවක් නැව් මඟින් ලංකාවට ගෙන එනු ලැබුවා. එහි දී චෝල අධිරාජ්‍යයා සිය සේනාවට අණ කළේ විජයබාහු රජු පණ පිටින් අල්ලාගෙන හෝ මරා දමා ආපසු පැමිණිය යුතු බව යි. එවැනි අරමුණක් සහිතව රුහුණ ආක්‍රමණය කළ චෝල හමුදාව දුටු විජයබාහු රජතුමා උපායශීලී පිළිවෙතක් අනුගමනය කළා. විශාල චෝල සේනාවක් සමග සටන් කිරීමට රජතුමාට පිරිස් බලය නොසිටි නිසා රජතුමා තීරණය කළේ රුහුණ අතහැර පලා යාමට යි. එලෙස පලා ගිය රජතුමා අවසානයේ දී තඹලගම නම් ප්‍රදේශය සිය වාසස්ථානය කරගත්තා. රජතුමා පලා ගිය පුවත ඇසීමත් සමගම උද්දාමයට පත් චෝලයන් කතරගම කොල්ල කා වෙහෙර විහාර කඩා බිඳ දැමුවා. ඉන් නොනැවතුණු චෝලයන් ප්‍රදේශයේ අහිංසක වැසියන්ට අඩන්තේට්ටම් කරමින් රුහුණු පුරවරයම භීතියට පත් කරන්නට වුණා. එලෙස රුහුණු රට විනාශ කළ චෝලයන් එහි තවදුරටත් රැඳී සිටීම අනතුරුදායක වුණු නිසා ඔවුන්ගේ රාජධානිය වුණු ජනනාථපුරය හෙවත් පොළොන්නරුව බලා ආපසු පිටත්ව ගියා. 

විජයබාහු රජතුමා යුද්ධයකට සූදානම් වෙයි 

චෝලයන් කතරගමින් පිටත්ව යාමෙන් පසු යළි කතරගමට පැමිණි විජයබාහු රජතුමා සිදුව ඇති විනාශය දැක කණගාටුවට පත් වුණා. ඉන්පසුව, රුහුණේ සිංහලයන් ඇමතූ රජතුමා චෝලයන් පරාජය කිරීමේ සටනට එක් වන ලෙස ආරාධනා කළා. රජතුමාගේ ආරාධනය පිළිගත් රුහුණේ සිංහල වැසියන් විශාල වශයෙන් රජතුමා වටා එකතු වුණා. එලෙස සේනාව එකතු කරන අතරතුර රුහුණේ බිම් අස්වැද්දීමට රජතුමා පියවර ගත්තේ යුද්ධ කිරීම සඳහා ආර්ථිකය සවිමත් කිරීමේ අරමුණෙන්. චෝලයන් පන්නා දැමීමේ සටන සඳහා පියවරෙන් පියවර සූදානම් වෙමින් සිටි රජතුමා බුරුමය සමග සබඳතා පවත්වා ගැනීමට තීරණය කළේ හදිසි තත්ත්වයක් පැමිණියහොත් උපකාර ලබා ගැනීමේ අරමුණ ඇතිව යි.

සිංහල සේනාව සහ චෝලයන් යුද්ධයකට පැටලෙයි 

විජයබාහු රජතුමා රුහුණු රට යළි ගොඩනගමින් සිටින බව අසන්නට ලැබුණු නිසා රජරට වැසියන් ද චෝල පාලනය විරුද්ධ වන්නට පටන්ගත්තා. ඒ අනුව ඔවුන් චෝල අධිරාජ්‍යයාට බදු ගෙවීම පැහැර හැරීමෙන් නොනැවතී ඒවා එකතු කිරීමට පැමිණි බදු නිලධාරීන්ටත් පහරදුන්නා. එලෙස රජරට නොසන්සුන් වෙමින් පැවති කාල සමයක චෝලයන්ට එරෙහිව රජරට ජනතාව මෙහෙය වූ ගොවි නායකයෙකුව මරා දැමීම නිසා කුපිත වුණු සිංහලයෝ චෝල පාලනයට එරෙහිව කැරැල්ලක් ආරම්භ කළා. එම කැරැල්ල ගැන ආරංචිය දැනගැනීමෙන් පසුව කුපිත වුණු ඉන්දියාවේ චෝල අධිරාජ්‍යයා එය මැඩපැවැත්වීම සඳහා විශාල සේනාවක් ලංකාවට එවනු ලැබුවා. මහාතිත්ථ නොටුපලෙන් ලංකාවට පැමිණි එම චෝල සේනාව ගම් බිම් විනාශ කරමින් ජනතාව මරා දමමින් රජරටට පැමිණෙන්නට වුණා. එලෙස රජරට වැසියන් බුරුතු පිටින් මරා දැමූ පුවත ඇසීමෙන් රජතුමා දැඩි කෝපයට පත් වුණා. එම නිසාම රජතුමා සිංහලයන් අමතා පවසා සිටියේ “රජරට විනාශ කළ චෝල සේනාව ඊළඟට හැරෙන්නේ රුහුණ දෙසට යි. මෙවර අපේ ගම් බිම් කෙත් වතු විනාශ කරන්නට ඉඩ දෙන්න බැහැ. එම නිසා අපි එකට එකතු වී ඔවුන්ට හොඳ පාඩමක් උගන්වමු” යන්න යි. රජතුමාගේ කතාව ඇසීමත් සමගම රුහුණු රටේ සිංහලයන් වඩාත් ධෛර්යමත් වුණා. ඉන් අනතුරුව ඔවුන් රජතුමා සමග එක් වී රුහුණට පහරදීමට පැමිණි චෝල සේනාව පහසුවෙන් පරාජයට පත් කළා. එහි දී විශාල චෝලයන් පිරිසක් මියයාමෙන් පසුව ඉතිරි වුණු චෝලයන් පසුපස පන්නා ගිය සිංහල සේනාව පොළොන්නරුවත් අල්ලා ගනු ලැබුවා. 

 සිංහල සේනාව එකල සටන් කර ආකාරය දැක්වෙන සිතුවමක් (srilife.lk)

චෝලයන් යළි පොළොන්නරුව අල්ලා ගනියි 

චෝලයන්ට පොළොන්නරුව අහිමි වීම නිසා දැඩි කෝපයට පත් දකුණු ඉන්දියාවේ වීර රාජේන්ද්‍ර නම් චෝල අධිරාජ්‍යයා යළි රාජධානිය අල්ලා ගැනීමට විශාල සේනාවක් එවනු ලැබුවා. එලෙස ඉන්දියාවෙන් යළි චෝල හමුදාවක් ලංකාවට එන පුවත රජතුමාට ආරංචි වීමත් සමගම ඔහුගේ සැලැස්ම වුණේ අනුරාධපුරයේ දී සතුරාව හමුවීම යි. ඒ අනුව අනුරාධපුරයේ දී චෝලයන් සමග පැවති සටන සිංහල සේනාවට ලෙහෙසි පහසු එකක් වුණේ නැහැ. සිංහල සේනාවට වඩා චෝල සේනාව තුන් හතර ගුණයක් විශාල වුණු නිසා රජු ඇතුළු පිරිසට පලා යාමට සිදුවුණා. එලෙස පලා ගිය රජතුමා ඇතුළු සේනාව වාකිරිගල කඳවුරු බැඳගත්තා.

විජයබාහු රජතුමා ලංකාව එක්සේසත් කරයි 

වාකිරිගලට පලා ගිය රජතුමා ඇතුළු සිංහල සේනාව ඉතාමත් ආරක්ෂාකාරි අයුරින් බලකොටුවක් නිර්මාණය කළා. එහි සිට සිය සේනාව රැස් කළ රජතුමා සතුරන්ට පහරදීම සඳහා සේනා සංවිධානය කළා. එලෙස සේනා සංවිධානය කිරීමෙන් පසුව සටන ආරම්භ කිරීමට සුදුසු වේලාවක් එනතුරු රජතුමා ඉවසිලිමත්ව බලා සිටියා. එම කාල සමයේ වීර රාජේන්ද්‍ර රජුට එරෙහිව බටහිර වාලුක්‍යයන් අරඹා තිබුණු සටන දරුණු අතකට හැරී තිබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් චෝල අධිරාජ්‍යයා ලංකාව කෙරෙහි යොමුකර තිබුණු අවධානය අඩු වුණා. එම නිසාම පොළොන්නරුවට පහරදීමට විජයබාහු රජතුමා තීරණය කළා. පසුගිය සටනේ දී ඉන්දියාවෙන් චෝලයන්ට ආධාර ලැබුණේ මහාතිත්ථ තොටුපළ හරහා යි. එම නිසාම මෙවර සටනේ දී මහාතිත්ථ තොටුපළ අවහිර කිරීමට රජතුමා තීරණය කළා. ඒ අනුව පළමු සේනාවෙන් කොටසක් මහාතිත්ථ බලා ගියේ දකුණු ඉන්දියාවෙන් ලැබෙන ආධාර නැවැත්වීම සඳහා යි. ඉන් ඉතිරි සේනාව අනුරාධපුරය බලා ගියේ එහි තිබුණු ප්‍රධාන යුධ ගබඩාව අල්ලා ගැනීමේ අරමුණෙන්. පළමු සේනාව එලෙස සටන් බිමට යන විට දෙවන සේනාව නැගෙනහිර වෙරළ දෙසින් ගොස් පොළොන්නරුවට ආසන්න වුණා. එලෙස සේනාවන් දෙකක් චෝලයන්ට එරෙහිව සටන් වදින විට රජු ඇතුළු ප්‍රධාන සේනාව රට මැදින් ගොස් පොළොන්නරුවට ළඟා වුණා. තුන් පැත්තකින් එල්ල වුණු ප්‍රහාරය හමුවේ අඩපණ වුණු චෝලයන් පොළොන්නරුව නගරය තුළ සිර වී ඉතාමත් දුෂ්කර කාල සමයක් ගත කළා. කලක් ගත වන විට චෝලයන් අඩපණ වන ආකාරය දුටු සිංහල සේනාව නගරයට කඩා වැදී දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. එම ප්‍රහාරය හමුවේ හමුවේ චෝලයන් දරුණු පරාජයක් ලැබූ නිසා විජයබාහු රජතුමා පොළොන්නරුව අල්ලා ගනු ලැබුවේ මුළු ලංකාවම එක්සේසත් කරමින්. ඉතාමත් දක්ෂ යුධ උපක්‍රම අනුගමනය කරමින් විජයබාහු රජතුමා චෝලයන් පලවා හැරීම නිසා ලංකාව මෙන්ම බුද්ධ ශාසනය ද ආරක්ෂා වුණා. එම නිසාම විජයබාහු රජතුමාගේ නම ලංකා ඉතිහාසය තුළ හැමදාමත් රන් අකුරින් ලියවෙනු ඇති. 

කවරයේ ඡායාරූපය- චෝල ආක්‍රමණයක් දැක්වෙන සිතුවමක් (tamilandevdas.com)

මූලාශ්‍රය- මහාවංශය