රුහුණේ කැරැල්ල මර්දනයට සෙල්ලිපි සිට වූ රජු

මේ දිනවල රටේ හැමතැන ම අසන්නට ලැබෙන්නේ වත්මන් ජනාධිපතිවරයාට ඉවත්වන ලෙසට කරන විරෝධතායි. ගොවි, කම්කරු, ශිෂ්‍ය, රාජ්‍ය නිලධාරින් මෙන්  පූජ්‍ය පක්ෂය ද මේ විරෝධතාවල දකින්න ලැබෙනවා. ජීවන වියදම අහස උසට ඉහළ යාම මෙන් ම රටේ බඩු භාණ්ඩ හිඟයත් විරෝධතාවලට හේතු වෙලා.

මේ ආකාරයට පොළොන්නරු යුගයේ දී රුහුණු රටේ වැසියන්ගෙන් විරෝධතා එල්ල වුණු පාලකයෙක් තමයි නිශ්ශංකමල්ල රජු.

පොළොන්නරුවේ දී ක්‍රිස්තු වර්ෂ 1187දී රජ වී වර්ෂ 9ක් රජකම් කළ නිශ්ශංකමල්ල රජුගේ පාලනයට රුහුණේ වැසියන්ගෙන් විශාල විරෝධතා එල්ල වී තිබෙනවා. ඒ විරෝධතා මැඬපැවැත්වීමට ඔහු අනුගමනය කර ඇත්තේ තර්ජනාත්මත ප්‍රකාශ සහිත සෙල්ලිපි ගල්ටැම්වල කොටවා ඒවා ගව්වෙන් ගව්ව (ගව්වක් යනු ආසන්න වශයෙන් සැතපුම් 4 කට ආසන්න දුරකි) පිහිටුවීම යි.

 නිශ්ශංකමල්ල රජුගේ සිංහාසනයේ සිංහ රුව – Mihithuru.lk

නිශ්ශංකමල්ල රජු

පොළොන්නරුවේ කීර්තිමත් පාලකයෙක් සේ සැලකෙන මහා පරාක්‍රමබාහු රජුගෙන් පසු ව රජ වන්නේ ඔහුගේ සහෝදරියකගේ පුතකු ලෙස සැලකෙන දෙවැනි විජයබාහු රජු යි. මෙම රජු ඉතා කෙටි කාලයකින් මහින්ද නම් සෙනෙවියකු අතින් මරණයට පත් වෙනවා. ඉන් පසු රජකමට පත්වන්නේ  විදේශ ජන්මයක්‌ සහිත නිශ්ශංකමල්ල රජු යි.

නිශ්ශංකමල්ල රජතුමාගේ රාජ පදවි ප්‍රාප්තිය සම්බන්ධයෙන් රුහුණු වැසියන් කිසි ම ප්‍රසාදයක්‌ දක්වා නැහැ. නිශ්ශංකමල්ල මෙරට වැසියෙක් නොවෙයි. දකුණු ඉන්දියාවේ කාලිංග වංශිකයෙක්. ඔහුට තම පදවිය දැරීමේ දී රුහුණෙන් මෙන් ම පොළොන්නරුවෙනුත් එල්ල වන තර්ජන රාශියකට මුහුණ දීමට සිදුවුණා.

 නිශ්ශංකමල්ල රාජ සභාව- පොළොන්නරුව-Kusumsiri Wijayawardhana

නිශ්ශංකමල්ල රජු විදේශිකයකු වීම හේතුවෙන් රුහුණු වැසියන් ඔහුට එරෙහි ව කැරලි ගසා තිබෙනවා. මෙම තත්ත්වය මැඬ පැවැත්වීමට රජු උත්සාහ කළත් එය සාර්ථක වූ බවක් හෙළි වන්නේ නැහැ. ජනතාව වෙතින් මතුවන තර්ජන නැති කර ජනතාව අතර ජනප්‍රියත්වයක් ඇති කර ගැනීමට ඔහු උපක්‍රම රැසක් අනුගමනය කළ බව සෙල්ලිපි විමර්ශනය කරන විට පේනවා.

මහා පරාක්‍රමබාහු ඇතුළු පෙර පාලකයන් මෙන් මේ රජු රාජ්‍යයට එල්ල වූ තර්ජන මැඬපවත්වා ගැනීමට නිශ්ශංකමල්ල හමුදාව ශක්තිමත් කර හමුදාමය ව්‍යාපාරයක් ගෙන ගිය බව සඳහන් වන්නේත් නැහැ. නිශ්ශංකමල්ලට පෙර රට පාලනය කළ මහා පරාක්‍රමබාහු යුගයේ දී දේශීය මෙන් ම විදේශීය වශයෙන් ද යුද්ධවල නිරත වූ නිසා හමුදාවත් වෙහෙසකර ව සිටි බව යි පේන්නේ.

මේ නිසා ඔහු මෙතෙක් කිසිම රජකු නොකළ වැඩක් කිරීමට උනන්දු වුණා. ඒ තමන් ගණනකට නොගන්නා රුහුණු වැසියන් ජීවත් වන පෙදෙස්වලට පොළොන්නරුවේ සිට සංචාරයක් සංවිධානය කර තමන් ම ගමන් කර එසේ ගමන් ගත් මාර්ගයේ ගව්වෙන් ගව්වට තර්ජනාත්මක කරුණු ඇතුළත් සෙල්ලිපි පිහිටුවීම යි.

 යුදඟනාව විහාර බිමේ ගාවුත කණුව -N.H. Samarasinha,  dasathasarisara.blogspot.com

ගාවුත කණු ගැන පර්යේෂණ

නිශ්ශංකමල්ල රජුගේ සෙල්ලිපි 36ක් සහ එක් තඹ පතක් හමු වී තිබෙනවා. වෙනත් රජවරුන් මෙන් නොව නිශ්ශංකමල්ල එක ම කරුණු මාලාවක් සෙල්ලිපි රැසක ම සඳහන් කරනවා. තම චරිතය පිළිබඳ සංස්කෘත ශ්ලෝකයකින් සෙල්ලිපිය අරඹන රජු ඊට පසු රාජ පරම්පරාව සඳහන් කර පඬි රට විජයග්‍රහණය, තුන් රජය පැදකුණු කිරීම, ජනතාවගෙන් පෙර පාලකයන් අය කළ අධික බදු බර ඉවත් කිරීම, දාන ශාලා පිහිටුවා ආහාර පාන ලබාදීම, තුලාභාර දාන දීම ඇතුළු තම චරිතයේ කීර්ති නාමය ඉහළ නංවන කරුණු තමයි සෙල්ලිපිවල කොටා තිබෙන්නේ.

ඒ අතරින් හමුවන තවත් සෙල්ලිපි විශේෂයක් තමයි ගාවුත කණු කියන්නේ. ගව්ව බැගින් දුර සලකුණු කරමින් පිහිටවූ නිසා ඒ නම ලැබී තිබෙනවා.

‘‘මෙසේ තුන් රජය නොයෙක් පරිද්දෙන් (බලා වදාහරන කලැ ගො)වුද නියත කොටැ (නිශ්ශංකගො)වුයයි (ටැම් හිඳුවා) අකුරු කොටවා…. යනුවෙන් රජුම පොළොන්නරුව හැටදාගේ පුවරු ලිපියේ ගාවුත කණු ගැන සඳහන් කර තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ තුන් රජයේ (රුහුණු, මායා, පිහිටි) මාවත් වල ගව් දුරවල් නියම කොට ඒවා ‘නිශ්ශංක ගව්‘ ලෙස හඳුන්වා අකුරු කෙටූ ගල් ගව්වෙන් ගව්වට පිහිටවූ බවයි.

මෙරට සෙල්ලිපි ගවේෂණයේ පුරෝගාමියකු වන එඩ්වඩ් මියුලර් වර්ෂ 1800 අගභාගයේ  මුල් වරට ගව් කණු කිහිපයක් මොනරාගල දිස්ත්‍රික්කයේ  වැලිගත්ත, කටුගහගල්ගේ, ඉලුක්පුදම, පොතුබන්දන විහාරය වැනි ස්ථාන කිහිපයකින් සොයා ගත්තා.  මහාචාර්ය සෙනරත් පරණවිතාන  1927 දී මොනරාගල දිස්ත්‍රික්කයේ කටුගහගල්ගේ සහ යුදඟනාව යන ස්ථානවලට ගොස් ඒවා කියවා පසුව එයින් කියවෙන දේවල් ගැන අදහස් ඉදිරිපත් කළා.

 කන්තලෙන් හමුවූ ගාවුත කණු ලිපිය- history.lk

ඒ අවදියේ ම  ඌව පළාතේ ආණ්ඩුවේ ඒජන්ත එච්. ඩබ්ලිව්. කොඩ්රිංටන් ද යුදඟනාව  ලිපිය කියවා එහි වැදගත්කම පිළිබඳ සඳහන් කර තිබෙනවා.  කොඩ්රිංටන් ගම්මුලාදෑනින්ගෙන් ලබාගත් තොරතුරු ඔස්සේ ගොස් තවත් එවන් ලිපි හයක් අවට පෙදෙස්වලින් සොයා ගත්තා. ඒවා තිඹිරිගස් ආර, අතලේ, බකිණිගහවෙල විදීය, තිඹිරිය විහාරය, යන ස්ථානවලින් සොයා ගෙන තිබෙනවා. 

 

ඉන් පසුව බඩල්කුඹුර, කනිච්චිගල, වේරගොඩගල, මැඩිල්ල, අග්බෝපුර, මුල්ලිපොතාන යන ස්ථාන වලින් ද මේ ආකාරයේ ගව් කණු හමුවූ බව වාර්තා වුණා.   මෑතක දී ම සොයාගත් ගාවුත කණුව  2010 වර්ෂයේ දී රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය අනුරාධ අඹන්වල ඇතුළු පර්යේෂකයන්ට කන්තලෙන් හමු වී තිබෙනවා.

 ගාවුත කණුවල පිහිටීම- thrisinhala.blogspot.com

ගව්කණු තිබෙන තැන්

මෙම ඇතැම් ලිපි මේ වන විට ඒවා හමු වූ මුල් ස්ථානවල දැක ගැනීමට නැහැ. ලිපි මුලින් ම හමුවූ ස්ථාන සම්බන්ධයෙන් ද තොරතුරු  නැහැ. වැලිගත්ත ලිපිය මේ වන විට කොළඹ ජාතික කෞතුකාගාරයේ සෙල්ලිපි එකතුවේ තිබෙන අතර  යුදඟනාව ලිපිය, යුදඟනාව දාගබ අසල තැනූ මණ්ඩපයක දැකගත හැකි යි. එය 1924 වසරේදී අසල වනයක තිබී එවකට විහාරාධිපති හිමියන් සොයා රැගෙනවිත් ඇති බවයි පැවසෙන්නේ.

බිබිල තිඹිරිය විහාරයෙන් හමු ව ඇත්තේ සෙල්ලිපියේ කොටසක් වන අතර එය විහාර බිමේ තිබෙනවා. කටුගහගල්ගේ ලිපිය ද 1880 දශකයේ පමණ  කටුගහගල්ගේ විහාරය වෙත  රැගෙනවිත් ඇත්තේ අසල හේනකින්.  රුහුණේ ලිපිවලට අමතර ව රජරට ප්‍රදේශයෙන් ද ගාවුත කණු කිහිපයක් හමුවන අතර  අග්බෝපුර සහ මුල්ලිපොතාන ලිපිවල ‘ශ්‍රී කාලිංග චක්‍රවර්තීන් වහන්සෙ නියත කල නිශ්ශංක ගවුවයි’ යන්න විනා වෙනත් තොරතුරු කිසිවක් සඳහන් කර නැහැ.

පැරණි රුහුණු රටට අයත් ප්‍රදේශයෙන් හමු වන ලිපිවල රජුගේ ගුණ වර්ණනාවක් සමඟ රුහුණු රටවාසීන්ට කළ අවවාද සඳහන් වෙනවා.

 රුහුණේ අගනුවර මාගම යටාල වෙහෙර- wikipedia.org

රුහුණු වැසියන්ට කළ තර්ජන

මේ හැම සෙල්ලිපියක ම පාහේ ඇතුළත් වන්නේ එක ම කරුණු සමූහයක්. ඒවායේ අරමුණ රජු වර්ණනා කර රුහුණු වැසියන්ට උඩඟු වී රණ්ඩු දබරවලට නොගොස් ස්වාමියාට යටහත් පහත් ව සිටින ලෙස අවවාද කිරීම යි. නිශ්ශංකමල්ල රජු පාඬි රටට දෙවරක් ගොස් ලබාගත් බිසෝවරුන්, ඇතුන් අසුන් ආදිය සහ සොළී රටට ගොස් ලබාගත් පඬුරු පිළිබඳ විස්තරයක්  මේවායේ මුලින්ම අඩංගු යි. රජු තුන් රජයේම සංචාරය කළ බවත් සමනොළ ආදී වූ දුර්ග ද දැක බලා වැඳ ගත් බවත් පවසා එම නිශ්ශංක ගව්ව පිහිටවූ බව සඳහන් කරනවා.  

 බිබිල තිඹිරිය විහාරය- මොණරාගල අපි facebook page

 

ලිපියේ මුලින් ම ඔහු රූණු රජයේ ඇත්තවුන් කෙරෙහි කරුණාවෙන් පවසන්නේ ධන ධාන්‍ය, දාසි දාසයන් ඇති ව, මායා රජයෙහි සහ පිහිටි රජයෙහි ඇත්තන්ගෙන් නින්දා පරිභව නොඅසා ජීවත් වන ලෙසත්, ලෝභී ව අනුන්ගේ දේ කෙරෙහි ආසා කිරීම නවත්වන ලෙසත්. ඔහු එසේ ව්‍යංගයෙන් සඳහන් කරන්නේ රාජ්‍ය බලයට එරෙහි නොවී සිටිය යුතු බව යි.

රුණු රට ඇත්තන් ද්‍රෝහීන් නොවන බව සහ සිය ස්වාමින්ට පක්ෂපාත බව ස්වාමිවරුන් ලවා කියවා ගන්නා ජීවන පැවැත්මක් සහිත විය යුතු බවත් මේ සෙල්ලිපිවලින් අවධාරණය කරනවා. බත් කෑ බුලත් කෑ මතට උඩඟු නොවී රූණු වැසියන් ස්වාමින්ට පක්ෂව සිටිය යුතු බවත් මිනිස් ආත්මයක් ලැබීම දුලබ බවත් ඒවායේ කොටවා තිබෙනවා.

මෙයින් පෙනෙන්නේ සුගලා රැජන පරාජය කර  දළදා වහන්සේත් ලබාගෙන රුහුණ ජය ගත් රාක්‍රමබාහු රජුට රුහුණු රටින් පැන නැඟි විරෝධය නිශ්ශංක මල්ල යුගය දක්වා ද අලු යට ගිනි පුපුරු ලෙසින් පැවතුණු බව යි. ගාවුත කණු පිහිටුවීම ඇතුළු වැඩපිළිවෙළවලින් රජුට ආ විරෝධය තාවකාලික ව යටපත් කිරීමට හැකියාවක් ලැබුණ බව පෙනුණත් ඔහුට දිගු කලක් රජකම දැරීමට නොහැකි වීමෙන් පේන්නේ රටේ විරෝධය ගිනි දළු සේ බුර බුරා නැඟි බව යි.

 සෙල්ලකතරගම ගාවුත ටැම් ලිපිය – aroundsl.blogspot.com

 ගාවුත කණුවල ලේඛනයක්

රුහුණට තර්ජනය කර තමාට අවනත කර ගැනීමේ අටියෙන් රජු රුහුණට කළ සංචාරයේ දී තමා ගමන් ගත් මාර්ගයෙ හි ගව්වෙන් ගව්ව පිහිට වූ ටැම් ලිපි අතරින් දැනට හමුවී ඇති ස්ථාන පහත සඳහන් වෙනවා:

  1. කටුගහගල්ගේ ගාවුත ටැම් ලිපිය
  2. වැලිගත්ත ගාවුත ටැම් ලිපිය
  3. තිඹිරිගස්‌ආර ගාවුත ටැම් ලිපිය
  4. බිබිල මැදගම තිඹිරිය විහාර ගාවුත ටැම් ලිපිය
  5. බිබිල පොතුබන්දන රජ මහා විහාර ගාවුත ටැම් ලිපිය
  6. බුත්තල යුදඟනාව ගාවුත ටැම් ලිපිය
  7. මැඩිල්ල ගාවුත ටැම් ලිපිය
  8. ඉලුක්‌කාපුදෙන ගාවුත ටැම් ලිපිය
  9. අතලේ ගාවුත ටැම් ලිපිය
  10. බකිනිගහවෙල වීදිය ගාවුත ටැම් ලිපිය
  11. කානික්‌කිගල ගාවුත ටැම් ලිපිය
  12. වේරගොඩැල්ල ගාවුත ටැම් ලිපිය
  13. බඩල්කුඹුර ගාවුත ටැම් ලිපිය
  14. සෙල්ලකතරගම වතුරුවා රාජ මහා විහාර ගාවුත ටැම් ලිපිය
  15. තිස්සමහාරාම අකුරුගොඩ ගාවුත ටැම් ලිපිය (මෑතක දී සොයාගෙන ඇත)
  16. වීරවිල ගාවුත ටැම් ලිපිය (මෑතක දී සොයාගෙන ඇත)

තිස්‌සමහාරාම අකුරුගොඩින් හා වීරවිල පෞද්ගලික ඉඩමකින් මෑතකදී සොයා ගත් නිශ්ශංකමල්ල  ගාවුත කණු දෙක මේ වන විට යටාල වෙහෙර පුරාවිද්‍යා කෞතුකාගාරයේ දී දැකගත හැකි යි.

කවරයේ ඡායාරූපය- දඹුලු ලෙනේ පිහිටි නිශ්ශංකමල්ල රජුගේ පිළිමය- Wikipedia.org 

මූලාශ්‍ර:

trisinhala.blogspot.com

history.lk

නිශ්ශංකමල්ල රජතුමා- කුසුම්සිරි විජයවර්ධන

කවරය - නිශ්ශංකමල්ල රජු දඹුලු ලෙනේ පිළිමය- Wikipedia.org

Related Articles