Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විමලධර්මසූරිය රජතුමා මහනුවර රජවුණු හැටි

1521 වසරේ දී විජයබා කොල්ලය සිදුවීමෙන් පසුව කෝට්ටේ රාජධානිය කොටස් 3කට වෙන් වුණා. රජුගේ වැඩිමහල් පුත් බුවනෙකබාහු, 7 වන බුවනෙකබාහු නමින් කෝට්ටේ රජවන විට රයිගම් බණ්ඩාර රයිගම පාලකයා වුණා. ඔවුන් දෙදෙනාට වඩා රණශූරයෙකු ලෙස ප්‍රසිද්ධ වුණු බාලම පුත් මායාදුන්නේ කුමරු සීතාවක පාලකයා බවට පත් වුණා. ටික කලක් ගත වන විට පෘතුගීසින් කෝට්ටේ රජුගේ සහාය ලබාගෙන කෝට්ටේ රාජධානිය තුළ සිය බලය ව්‍යාප්ත කිරීමට උත්සාහ කළා. 

මෙයට උරණ වුණු මායාදුන්නේ රජතුමා කෝට්ටේ රාජධානියට ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ, බුවනෙකබාහු රජතුමා මායාදුන්නේ කුමරුගේ සේනාවලට පහරදුන්නේ පෘතුගීසින්ගේ සහාය ලබාගෙන යි. එම අවස්ථාවේ දී කැලිකට්වල විසූ සැමෝරින් නම් මලබාර් රජුගේ සහාය ලබාගත් මායාදුන්නේ කොළඹ කොටුව වටලනු ලැබුවා. එම අවස්ථාවේ දී පෘතුගීසින් ගෝවෙන් ආධාර ලබාගෙන මායාදුන්නේ කුමරුගේ සේනාවලට පහර දී එළවා දැමුවා. එම කාල සමයේ මායාදුන්නේ රජතුමා නිතර කෝට්ටේ රාජධානියට පහරදීමට උත්සාහ කළා. ක්‍රි.ව. 1538 දී රයිගම් බණ්ඩාර මියයාමත් සමගම එම රාජධානියත් සීතාවකට ඈඳාගත් මායාදුන්නේ රජතුමා පසුකලෙක සීතාවක රාජධානිය එම අවධියේ ප්‍රබලම රාජධානිය බවට පත් කරනු ලැබුවා.

ක්‍රි.ව. 1551 දී 7 වන බුවනෙකබාහු රජතුමා මරණයට පත්වීමත් සමගම කෝට්ටේ රජකමට පත්වුණු දොන් ජුවන් ධර්මපාල රජතුමා පෘතුගීසීන්ගේ රූකඩයක් බවට පත්වුණා. ඔහුගේ ක්‍රියා කලාපය නිසා කලකිරීමට පත් වුණු කෝට්ටේ රාජධානියේ විසූ බොහෝ භික්ෂූන්වහන්සේ, ප්‍රභූවරු දන්ත ධාතූන් වහන්සේ ද රැගෙන සීතාවක රාජධානියට සංක්‍රමණය වුණා. ඒ අනුව එම අවධිය වන විට අප රට තුළ සීතාවක, කෝට්ටේ සහ මහනුවර යනුවෙන් රාජධානි තුනක් දක්නට ලැබුණා.

කෝට්ටේ රාජධානියේ නටබුන් (de fonseka)

 

කොනප්පු බණ්ඩාරගේ උපත 

1511-1551 කාල සමය තුළ මහනුවර රාජධානියේ රජකම් කළේ ජයවීර බණ්ඩාර නම් රජතුමා යි. 1551 වසරේ දී එම රජතුමාව බලයෙන් පහකළ ඔහුගේ පුත් කරල්ලියද්දේ බණ්ඩාර මහනුවර රජු බවට පත්වුණා. කරල්ලියද්දේ බණ්ඩාර රජතුමාගේ රජ පෙළපතට නෑකම් කී වීරසුන්දර බණ්ඩාර, උරුලෑවක නම් ග්‍රාමයේ විසූ විජය බණ්ඩාරගේ පුත්‍රයා යි. ක්‍රි.ව 1565 දී වීරසුන්දර බණ්ඩාර සහ ඔහුගේ බිසවට දාව කොනප්පු බණ්ඩාර නමින් පුත් කුමරෙකු උපත ලැබුවා. සිය පියාණන් මෙන්ම එඩිතර කෙනෙකු වුණු කොනප්පු බණ්ඩාර අස්ගිරි විහාරයේ භික්ෂූන්ගෙන් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තා. එසේම ඉලංගෙයිරාල නම් සටන්කරුවාගෙන් යුද ශිල්ප දැනුම ලබාගත්තා. 

වීරසුන්දර බණ්ඩාර සෙනෙවියා රාජසිංහ රජු සමග එක්වීම 

මායාදුන්නේ රජුගෙන් පසුව සීතාවක රජකමට පත්වුණු පළමු රාජසිංහ රජතුමා එවකට උඩරට රාජධානියේ රජු ලෙස කටයුතු කළ කරල්ලියද්දේ බණ්ඩාරගේ සොයුරිය වුණු කුසුමාසන දේවියට විවාහ යෝජනාවක් ඉදිරිපත් කළා. නමුත් එම යෝජනාවට අකමැති වුණු කරලියද්දේ බණ්ඩාර සිය සොයුරියව දොන් ජුවන් ධර්මපාලට විවාහ කර දුන්නා. මෙයින් කරල්ලියද්දේ බණ්ඩාර රජතුමා බලාපොරොත්තු වුණේ අනාගතයේ දී පෘතුගීසීන්ගේ උදව් ලබාගැනීම යි. නමුත් එම ක්‍රියාව නිසා පළමු රාජසිංහ රජතුමා ඔහු සමග වෛර බැඳගත්තා. පසුව කරල්ලියද්දේ බණ්ඩාර රජතුමා කතෝලික ආගම වැළඳගත්තේ පෘතුගීන්ගේ ඉගැන්වීමට අනුව යි. 

උඩරට රජතුමා එලෙස කතෝලික ආගම වැළඳගැනීම නිසා බොහෝ දෙනෙකු ඔහුට එරෙහි වන්නට වුණා. උඩරට වැසියන් එලෙස සිය රජතුමාට විරුද්ධව සිටි අවස්ථාවේ ඉන් උපරිම ප්‍රයෝජන ගත් පළමු රාජසිංහ උඩරට ආක්‍රමණය කළා. කරල්ලියද්දේ බණ්ඩාර කතෝලික ආගම වැළඳගෙන සිටි නිසා ඔහු ගැන දැඩි කලකිරීමෙන් පසුවුණු වීරසුන්දර බණ්ඩාර සෙනෙවියා පළමු රාජසිංහ රජුගේ සේනාව සමග එක් වුණා. එම නිසා රජතුමාට පහසුවෙන්ම උඩරට අල්ලා ගැනීමට හැකිවුණා. 

කුසුමාසන දේවිය (බැල්ඩියස්ගේ ලංකා පුරාවෘත්තය)

වීරසුන්දර බණ්ඩාර මරා දැමීම 

පළමු රාජසිංහ රජතුමා උඩරට රජධානිය යටත් කරගැනීමෙන් පසුව එහි බලය වීරසුන්දර බණ්ඩාර සෙනෙවියාට පවරා යළි සීතාවක බලා පිටත් වුණා. නමුත් පසු කලෙක අරිට්ථ කීවෙණ්ඩු නම් බ්‍රාහ්මණ පූජකයාගේ බසට රැවටුණු රාජසිංහ රජතුමා හින්දු ආගම වැළඳගත්තා. ඉන් අනතුරුව රජතුමා බුද්ධාගමට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන් බෞද්ධ ජනතාව අතර පිළිකුලට ලක් වුණා. එම අවධිය වන විට මහනුවර ප්‍රදේශය භාරව සිටි වීරසුන්දර බණ්ඩාර සෙනෙවියා බුද්ධාගමට හිතැතිව කටයුතු කිරීම පිළිබඳව අරිට්ඨ කීවෙණ්ඩු හින්දු පූජකයා උරණ වී සිටියා. එම නිසා හින්දු පූජකයා ගතු කියමින් රාජසිංහ රජතුමා සහ වීරසුන්දර සෙනෙවියා අතර තිබුණු හොඳ පළුදු කරනු ලැබුවා. අරිට්ඨ කීවෙණ්ඩුගේ බසට අවනත වුණු රජතුමා ගොලෑබොක්ක වීදියේ තැනූ බොරු වලක දමා වීරසුන්දර බණ්ඩාර සෙනෙවියාව මරා දැමුවා. 

සීතාවක රාජසිංහ රජතුමා දැක්වෙන සිතුවමක් (Prasanna Weerakkody)

කොනප්පු බණ්ඩාර පෘතුගීසීන් වෙත පළා යයි 

සිය පියාගේ මරණය ආරංචි වීමෙන් පසුව කොනප්පු බණ්ඩාර පළා ගොස් හඟුරන්කෙත විහාරස්ථානයක සැඟවුණා. ඒ බව දැනගත් රාජසිංහ රජතුමා සිය සේනාව සමග ගොස් හඟුරන්කෙත ප්‍රදේශය වටලනු ලැබුවා. වීරසුන්දර බණ්ඩාර සෙනෙවියා බුද්ධාගම රැකගැනීම සඳහා කළ සේවය නිසා ඔහු ගැන පැහැදී සිටි භික්ෂූන්වහන්සේ සහ ජනතාව කොනප්පු බණ්ඩාරව රැකගැනීමට ඉදිරිපත් වුණා. එය අසා දැඩි ලෙස කෝපයට පත්වුණු රාජසිංහ රජතුමා කොනප්පු බණ්ඩාරව තමන්ට ලබා නොදුන්නොත් මුළු නගරයම ගිනිබත් කරන බව පවසා සිටියා. එම අවස්ථාවේ දී හඟුරන්කෙත වැසියන් කොනප්පු බණ්ඩාරගේ පෙනුමට සමාන පෙනුමකින් යුත් කුමාරයෙක් රජු වෙතට ඉදිරිපත් කළා. එදා උඩරට වැසියන්ගේ උපායට රැවටුණු රජතුමා එම කුමාරයාවත් රැගෙන ආපසු යන්නට ගියා. ඉන් පසුව ටික කලක් සැඟව සිටි කොනප්පු බණ්ඩාර පසුව පෘතුගීසීන් වෙතට ගියේ ඔහුගේ මිතුරෙකු වුණු සල්ලප්පු ද සමග යි. 

පෘතුගීසි හමුදාවට එක් වෙයි 

එලෙස පෘතුගීසීන් වෙතට ගිය කොනප්පු බණ්ඩාර අවුස්ත්‍රියාවේ දොන් ජෝන් යන නමින් භෞතීස්ම කරනු ලැබුවා. ඉන් පසුව ඔහුව පෘතුගීසි හමුදාවට බඳවාගනු ලැබුවා. 

ඒ අතරතුර පළමු රාජසිංහ රජතුමා මහනුවර රාජධානිය පාලනය කිරීම සඳහා ඔහුගේ දියණියකගේ පුතෙකු වුණු රාජසූරිය කුමරාව පත්කරනු ලැබුවා. එසේම හඟුරන්කෙත වැසියන් තමා රැවටූ බව අනාවරණය වීමෙන් පසුව හඟුරන්කෙත ප්‍රදේශය ගිනි තබා භික්ෂූන්වහන්සේ අපවත් කරවූ බව ඉතිහාස පොත්වල ලියවී තිබෙනවා. පෘතුගීසීන්ගේ ඇසුරෙහි හැදී වැඩුණු කොනප්පු බණ්ඩාර එක් දිනක සල්ලප්පු සමග ගැටුමක් ඇති කරගෙන ඔහුව මරා දමනු ලැබුවා. එයට දඬුවමක් ලෙසින් ඔහුව ගෝවට පිටුවහල් කළා.

දොන් පිලිප්ගෙන් රජකම පැහැරගැනීම 

දඬුවම් ලැබීමෙන් පසුව දොන් ජෝන් ගෝවට ගොස් සිටි අවධියේ ගජබාහු නමින් හැඳින්වූ සිංහලයෙකු ගෝවට ගෙන්වීමට පෘතුගීසි ප්‍රතිරාජයා අණ කළා. ඒ මන්නාරම බලකොටුව භාරව සිටි එම පුද්ගලයා කරන ලද වංචා කිහිපයක් පිළිබඳව විභාග කිරීම සඳහා යි. ගජබාහු නම් පුද්ගලයා පෘතුගීසි ප්‍රතිරාජයාට කිසිදු ගරු සරුවක් දැක්වූයේ නැහැ. ඔහු එහි සිටි සියළු දෙනාටම ඔහු සමග කඩු සටනට එන ලෙස අභියෝග කළා. නමුත් කිසිවෙකු ඒ සඳහා ඉදිරිපත් වුණේ නැහැ. එම අවස්ථාවේ දී සටනට ඉදිරිපත් වුණු දොන් ජෝන් ප්‍රබල සටනකින් පසුව ඔහුව පරාජයට පත්කළා. දොන් ජෝන් එම සටනින් ජයගැනීමත් සමගම පෘතුගීසි ප්‍රතිරාජයා ඔහු ගැන පැහැදීමට පත්වුණා. 

ඉන් පසුව පෘතුගීසි ප්‍රතිරාජයා විසින් දොන් පිලිප් (යමසිංහ බණ්ඩාර) සහ දොන් ජෝන් (කොනප්පු බණ්ඩාර) යන කුමාරවරුන් යටතේ මහනුවර යටත් කරගැනීම සඳහා සේනාවක් පිටත් කර හැරියා. වීරසුන්දර බණ්ඩාර සෙනවියාගේ පුත්‍රයා සහ කරල්ලියද්දේ බණ්ඩාර රජුගේ බෑනා සේනාවන් සමග මහනුවරට එන පුවත ආරංචි වීමත් සමගම රාජසූරිය කුමරා සීතාවකට පළා ගියා. ඒ අවසරයෙන් මහනුවර අල්ලාගත් පෘතුගීසි සේනාවන් දොන් පිලිප් හෙවත් යමසිංහ බණ්ඩාර උඩරට රජු ලෙසින් අභිෂේක කළා. ඔහු උඩරට රජු බවට පත්වීම පිළිබඳව උඩරට වැසියන් ප්‍රසාදයට පත්වුණා. නමුත් ඔහු යටතේ සිටි පෘතුගීසි හේවායන්ගේ ක්‍රියා කලාපය නිසා කෙටි කලකින්ම ඔහු කෙරෙහි උඩරට වැසියන්ගේ සිතෙහි ඇති වී තිබුණු ප්‍රසාදය නැති වී ගියා. ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් දොන් ජෝන් එවකට උඩරට රජකම් කළ දොන් පිලිප් ඇතුළු පිරිස මරා දමා සිහසුන පැහැරගනු ලැබුවා. 

සීතාවක රාජසිංහ රජතුමා සටනට එයි 

දොන් ජෝන් හෙවත් කොනප්පු බණ්ඩාර කුමරු පළමු විමලධර්මසූරිය නමින් මහනුවර රජවීමත් සමගම පෘතුගීසීන් සහ සීතාවක රාජසිංහ රජතුමා කෝපයට පත්වුණා. එම නිසා රාජසිංහ රජතුමා ඔහුගේ සතුරා වුණු විමලධර්මසූරිය රජතුමාව පරාජය කිරීම සඳහා අරිට්ඨ කීවෙණ්ඩු යටතේ සේනාවක් උඩරට බලා පිටත් කර හැරියා. විමලධර්මසූරිය රජතුමාගේ සේනාව ඔවුන්ව පහසුවෙන්ම පරාජයට පත් කළා. සිය සේනාව පරාජයට පත්වුණු බව ඇසූ රාජසිංහ රජතුමා තම නායකත්වය යටතේ නැවතත් උඩරට ආක්‍රමණය කළා. එදා තම සේනාව යැවීමට පෙර රාජසිංහ රජතුමා විසින් විමලධර්මසූරිය රජතුමා වෙත පණිවිඩයක් යවමින් පවසා සිටියේ ඔබේ පියාට වුණු දෙය මතක ඇත්නම් වහාම යටත් වන ලෙස යි. එයට පෙරළා පිළිතුරු දුන් විමලධර්මසූරිය රජතුමා පවසා සිටියේ ඔහුගේ පියා මැරූ පළිය ගන්නා තුරු සටන අත් නොහරින බව යි.

පළමු විමලධර්මසූරිය නමින් මහනුවර රජවීම 

රාජසිංහ රජතුමා හින්දු ආගම වැළඳගෙන බුද්ධාගම විනාශ කරමින් සිටි නිසා උඩරට ජනතාව ඔහු සමග උරණව සිටියා. එම නිසා උඩරට වැසියන් වීරසුන්දර බණ්ඩාර සෙනවියාගේ පුත්‍රයාට සිය සහයෝගය ලබාදුන්නා. එදා සීතාවක සිට පැමිණි රාජසිංහගේ හමුදාවත්, උඩරට සිට පැමිණි විමලධර්මසූරියගේ හමුදාවත් ගනේතැන්න ප්‍රදේශයේ දී මුණගැසුණා. එහි පැවති සටනින් විමලධර්මසූරිය රජතුමාගේ සේනාවට ජය හිමිවුණා. රණශූරයෙකු වශයෙන් ප්‍රසිද්ධව සිටි සීතාවක රාජසිංහ රජතුමා පරාජයෙන් පසුව පළායන අවස්ථාවේ පෙතන්ගොඩ උයනේ දී උණ කටුවක් ඇණීම නිසා ඇතිවුණු තුවාලය හේතුවෙන් මරණයට පත්වුණා. 

සිංහලයන්ගේ පක්ෂපාතීත්වය හිමිකරගත් කොනප්පු බණ්ඩාර 1592 වසරේ දී පළමු විමලධර්මසූරිය නමින් මහනුවර රජ වුණා.

පළමු විමලධර්මසූරිය රජතුමා (bp.blogspot.com)

ඔහු රජකම් කළ වසර 12 ඇතුළත සාර්ථකව රාජධානිය පාලනය කළා. ඔහු එසමයේ 1594 දන්තුරේ සටන සහ 1602 බලන සටන ජයග්‍රහණය කිරීම සඳහා සේනා මෙහෙයවනු ලැබුවා. එම නිසා රජතුමා සිංහලයන් අතර වීරයෙකු බවට පත්වුණා. නමුත් විමලධර්මසූරිය රජතුමාට දිගු කලක් පාලන කටයුතු කරගෙන යාමට හැකිවුණේ නැහැ. 1604 වසරේ මැයි මාසයේ දී රජතුමාට වැළඳුණු උණ රෝගයක් නිසා තදබල ලෙස රෝගාතුර වුණා. කිසිදු ජීවකයෙකුට රජතුමාව සුවපත් කිරීමට හැකිවුණේ නැහැ. එම නිසා 39 හැවිරිදි වියේ පසුවුණු පළමු විමලධර්මසූරිය රජතුමා සදහටම දෙනෙත් පියාගත්තා. වීර සිංහල රජ කෙනෙකුගේ ඛේදජනක අවසානය එලෙස සටහන් වුණා.

කවරයේ ඡායාරූපය- විමලධර්මසූරිය රජතුමා ස්පිල්බර්ජන්ව හමුවීම (Divaina)

මූලාශ්‍රයයන්- පළමු විමලධර්මසූරිය රජතුමා- සෝමදාස අබේවික්‍රම   

Related Articles