අතීතයේ රාජ්‍යයන් පාලනය කෙරුණේ රජවරුන් විසිනුයි. ප්රජාතන්ත්රවාදය වැනි සංකල්ප නම් රාජාණ්ඩු තුළ නොතිබුණු තරම්. රජෙකු පාලනය කිරීමට කිසිවෙක් නොවූ අතර රාජ්‍යයේ වූ නීති ඔහුට බල නොපෑ තරම්. මේ නිසාම ඉතිහාසයේ රාජ්‍ය පාලනයෙහි යෙදුණු රජවරු ඇතැමෙක් විවිධාකාරයේ උමතු පුද්ගලයින් ලෙස එදා මෙන්ම අදත් ජනප්‍රියයි. මේ, එවැනි රජවරු ගැන ලියැවුණු ලිපියක්.
පරාජය භාරගැනීමට සූදානම් නොවූ මහරාජා ජායි සිංග් (1882 – 1937)
බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී ඉන්දියාවේ අල්වාර් ප්‍රාන්තයේ පාලනය භාරව සිටි මේ මහරාජාවරයා අයහපත් සහ අවිධිමත් පාලනය හේතුවෙන් පසු කලෙක බ්‍රිතාන්‍යයන් විසින් සිය ධුරයෙන් පහ කර දමන ලද්දෙක්. නමුත් තමාගේ පාලන සමය තුළ ප්‍රශ්නසහගත සහ තර්කානුකූල නොවන කටයුතු වල යෙදුණු පුද්ගලයකු ලෙස ඔහු ප්‍රසිද්ධව සිටියා.
මහරාජා ජායි සිංග් කිසි විටෙකත් කිසිදු ක්‍රීඩාවකින් පරදින්නට කැමැත්තක් දැක්වූයෙක් නොවෙයි. දිනක් ඔහු සහභාගී වූ පෝලෝ ක්‍රීඩාවෙන් ඔහු පරාජය වුණා. කිසි විටෙකත් පරාජය භාරගැනීමට සූදානම් නොවූ මහරාජා ජායි පරාජයට හේතුව ලෙස පැවසුවේ තම අශ්වයා නිසි පරිදි දිවීමෙහි නිරත නොවූ බවයි. අශ්වයා ඊට දඬුවම් ලැබිය යුතු බව තීරණය කළ මහරාජාවරයා සියලු දෙනා ඉදිරිපිට එම අශ්වයා මතට භූමිතෙල් වක්කර අශ්වයාව පුළුස්සා මරා දැමුවා.
මහරාජා ජායි සිංග් තමා දඩයම් කළ කොටියකු සමග (cityofjaipur-com.blogspot.com)
සතුන්ට පමණක් නොවෙයි, මිනිසුන්ට පවා අසීමිත ලෙස කෲරකම් පෑ මේ රජතුමා මහ මගදී දකිනා සිත් ඇදගන්නා සුළු තරුණියන් තම මාලිගයට බලෙන්ම ගෙනැවිත් ඔවුන්ට විවිධ කෲර වධ බන්ධනයන් පමුණුවන්නට කටයුතු කොට තිබෙනවා. ඇතැම් විට එම තරුණියන් මරණයට පවා පත්ව තිබෙනවා.
ඔපෙරා සංගීතඥයින් ලවා මාලිගාවන් තනන්නට ප්‍රිය කළ දෙවන ලුඩ්විග් රජු (1845 – 1886)
ජර්මනියේ පිහිටා ඇති නිදහස් රාජ්‍යයක් වන බවේරියාවේ පාලකයකු වූ මොහු කාලගුණය කෙසේ වෙතත් එළියට ගොස් ආහාර ගැනීමට ප්‍රිය කළ පුද්ගලයෙක්. එමෙන්ම, දවස පුරාම නින්දෙන් පසුවන ඔහු අවදි වී තම වැඩ කටයුතු වල නිරත වන්නේ රාත්‍රී කාලයටයි. ඔහු සමලිංගික ඇසුර ප්‍රිය කළ අයෙකු වන්නට ඇතැයිද පැවසෙනවා. වර්තමානයේ එය අමුත්තක් ලෙස නොසැලකුණත් දහ නවවන සියවසේදී පාලකයකු සමලිංගික පුද්ගලයකු වශයෙන් හඳුනා ගැනීම විශාල ගැටළු රැසකට මූලික වන්නට ඉඩ තිබූ කරුණක්.
දෙවන ලුඩ්විග් රජු (www.theatlantic.com)
සුරංගනා කථාවන් වල මාලිගාවන් විස්තර කෙරෙන ආකාරයටම මාලිගාවන් තනන්නට ප්‍රිය කළ ලුඩ්විග් රජු රාජ්‍ය පාලනය පසෙක ලා වැඩි වැඩියෙන් මාළිගා තනන්නටත්, ඒවායේ සිරි නරඹමින් කල් ගත කරන්නටත් පෙළඹී තිබෙනවා. මේ සඳහා ඔහු යොදාගෙන ඇත්තේද රාජ්‍ය භාණ්ඩාගාරය සතු මුදලු යි. ඔහු මෙම මාළිගා තනන්නට අණ කර තිබෙන්නේද ඔපෙරා සංගීතඥයින්ට මිස සැබෑ ගෘහනිර්මාණ ශිල්පීන්ට නොවෙයි.
යහන්ගත වන කාන්තාවන්ගේ කෙස් රොදක් තබාගත් සිව්වන ජෝර්ජ් රජු (1762 – 1830)
මහා බ්‍රිතාන්‍යය පාලනය කළ සිව්වන ජෝර්ජ් රජු අදටත් හැඳින්වෙන්නේ බ්‍රිතාන්‍යය පාලනය දුර්වලම රජු ලෙසිනුයි. රාජ්‍ය පාලනයට කාලය කැප කරනවාට වඩා ලිංගික තෘප්තිය ලබා ගැනීමට සිය කාලය කැප කළ මොහු අධික ණය බරින් රාජ්‍ය භාණ්ඩාගාරය පීඩිත කළ රජෙකු ලෙසත් හැඳින්වෙනවා. ඔහු ද්වි විවාහය නැමති වරදෙහිත් බැඳුණෙක්.
සිව්වන ජෝර්ජ් රජු (www.grunge.com)
තමාට කළ හැකි ඕනෑම දෙයක් කිරීමෙන් කාන්තාවන් සිය යහන වෙත ගෙන්වා ගැනීමට දක්ෂයෙකු වූ ජෝර්ජ් රජු කිසි දිනෙක කාන්තාවන් දූෂණය කර නම් නැහැ. කාන්තාවක් තමා සමග යහන්ගත වන්නට අකමැති වුවහොත් ජෝර්ජ් රජු ඇය වෙත මුදල් දීමෙන් ඇයව කැමති කරගෙන ඇති අතර, එසේත් කළ නොහැකි විටෙක එම කාන්තාව නොලැබේ නම් තමා සියදිවි නසාගන්නා බව පවසමින් පොඩි දරුවකු මෙන් හැසිරෙන්නටත් පෙළඹී සිට තිබෙනවා. තමා යහන්ගත වන සෑම කාන්තාවකගෙන්ම කෙස් රොදක් කපා ගන්නට ඔහු අමතක කර නෑ. ජෝර්ජ් රජු මියගිය පසු ඔහුගේ සිරි යහන් ගැබ වෙත ගිය ඔහුගේ සහෝදරයින්ට කෙස් රොදවල් දමන ලද ලියුම් කවර හත්දහසක් හමු වී තිබෙනවා.
උසින් අඩු පුද්ගලයින්ට ඇලුම් කළ මහා පීටර් රජු (1672 – 1725)
රුසියානු සාර් වංශික පාලකයකු වන පීටර් රජු උසින් අඩු පුද්ගලයින්, විශේෂයෙන් අඟුටුමිට්ටන් යැයි හඳුන්වාදිය හැකි උසින් යුත් පුද්ගලයින් කෙරෙහි විශේෂ ඇල්මක් දක්වා තිබෙනවා. ඔවුන්ගේ විවාහ මංගල්‍යයන් වෙනුවෙන් පීටර් රජු විශේෂ රාජ්‍ය අනුග්‍රහය දක්වා ඇති අතර, ඔවුන්ගේ අවමංගල්‍ය උත්සවද පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුකොට තිබෙනවා. ඔවුන් වෙනුවෙන්ම සාදවන ලද කුඩා මිනී පෙට්ටිවල එම මළ සිරුරු භූමදානය කිරීමේ අවස්ථාව මෙහෙයවීම සඳහා මිටි පූජකයකු යොදා ගන්නටත් පීටර් රජු අමතක කොට නැහැ.
පීටර් රජු (www.grunge.com)
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් රෝහලේ සිදු කෙරුණු ශල්‍යකර්ම නරඹන්නටත් දැඩි උනන්දුවක් දැක් වූ මේ රජු රෝහලේ ශල්‍යකර්මයක් සිදු කෙරෙන සෑම විටකම පාහේ රෝහල වෙත ගොස් ශල්‍යාගාරයට වී එය නරඹන්නට පුරුදූ වී සිට තිබෙනවා. ඇතැම් අවස්ථාවන් වලදී ඔහුද ශල්‍යකර්මයට දායක වී තිබෙනවා. තම පාලකයාගේ කැමැත්තට ඉඩ දෙනු හැර වෙනත් කිසිවක් කළ නොහැකි වූ වෛද්‍යවරුද රජුට ශල්‍යකර්මයට සහභාගී වීමට අවසර දී ඇති අතර ඔහුගේ නුපුහුණු බව නිසා බොහෝ රෝගීන් මිය ගොස්ද තිබෙනවා.
දන්ත වෛද්‍ය ශිල්පයටත් මේ සාර් වංශික රජු කැමැත්තක් දක්වා තිබෙනවා. රටවැසියකුට රජුගේ කරුණාව ලබා ගන්නට අවැසි නම් කළ යුතුව තිබුණේ තමාගේ දතක් ගැලවීමට රජු හට අවසර දීම පමණයි. ඔහු විසින් උගුල්ලන ලද දත් වලින් පිරුණු බෑගයක් අදටත් කෞතුකාගාරයක තබා තිබෙනවා.
යෝධයින්ට ඇල්මක් දැක් වූ ෆ්රෙඩ්රික් විලියම් රජු (1688 – 1740)
රුසියාවේ පීටර් රජු අඟුටුමිටි පුද්ගලයින්ට ඇල්මක් දැක්වූවා සේම, ජර්මනියේ ප්රසියානු රාජ්‍යය පාලනය කළ ෆ්රෙඩ්රික් රජු ඇල්මක් දැක්වූයේ යෝධයින් හෙවත් උසින් සහ මහතින් වැඩි පුද්ගලයින් වෙතයි. උසින් අඩි පහයි අඟල් පහක් තරම් වූ ෆ්රෙඩ්රික් රජු යෝධ මිනිසුන් දැකබලා ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානමින් සිටි රජ කෙනෙක් ලෙසයි හැඳින්වෙන්නේ.
විලියම් රජු (www.grunge.com)
උස අඩි හයට වැඩි පුද්ගලයින් ඔහු විසින් තනන ලද හමුදා බලකායක් සඳහා බඳවාගත් මේ රජු එම පුද්ගලයින්ගේ උස අනුව ඔවුන්ට වැටුප් නියම කොට තිබුණා. තම උස වැඩි වන්නට තමාට ලැබුණු වැටුපද වැඩි වුණා. එපමණක්ද නොවෙයි, උසින් වැඩි දරුවන් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් මිලට ගැනීමට මෙන්ම, මහමගදී තමාට මුණගැසෙන උස පුද්ගලයින් බලහත්කාරයෙන් ඔහු යටතට ගැනීමටත් ඔහු පෙළඹී සිට තිබෙනවා. විදේශික රාජ්‍ය තාන්ත්‍රිකයින් ෆ්රෙඩ්රික් රජුගේ හොඳහිත දිනා ගත්තේ ඔහු වෙත උස සහ විශාල මිනිසුන් තෑගි කිරීමෙනුයි.
ප්‍රශියාවේ යම් නිවසක වැඩි බර දරු උපතක් සිදුවුණි නම් එම දරුවා නිසි වයසට එළඹෙන තුරු ඔහුගේ ගෙලෙහි රතු රෙදි පටියක් පැළඳ සිටින්නට සිදුවනවා. ඉන් අදහස් වන්නේ වැඩිහිටි වියට එළඹෙත්ම ඔහු රජුගේ හමුදාවට එක්විය යුතු බවයි. උසින් වැඩි පුරුෂයින් හා කාන්තාවන් විවාහ කොට දී උස දරු පරපුරක් තනන්නත් ඔහු උත්සුක වී තිබෙනවා. නමුත් මේ සියල්ලක්ම ඔහු විසින් සිදු කරන ලද්දේ හුදෙක්ම ඔහුගේ සතුට පිණිස මිස වෙනත් කිසිවක් වෙනුවෙන් නොවෙයි.
කවරයේ ඡායාරූපය – www.grunge.com
තොරතුරු උපුටා ගැනීම – www.grunge.com වෙබ් අඩවියේ “Kings who were really weird” ලිපිය ඇසුරිණි.