Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හිරු නොබසින අධිරාජ්‍යය රැකගන්න කොග්ගලට ආ The Double Sunrise

ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් ක්ෂේත්‍රය ගැන අද අහන්න ලැබෙන්නේ ඒ තරම් සුභවාදී දේවල් නම් නෙවෙයි. රටේ ජාතික ගුවන් සේවාව ණය බරින් මිරිකිලා පාඩු ලබමින් අර්බුද ගොඩක ඉන්නේ. කොහොම වුණත් තවත් බොහෝ දේවල්වලින් වගේ ම ගුවන් ගමන් ක්ෂේත්‍රයෙනුත් අපේ රට අතීතයේ තිබුණේ ඉතා ම වැදගත් තැනක.

youtube.com

ඕස්ට්‍රේලියාව සහ මහා බ්‍රිතාන්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වා ගැනීමේ එකම මාර්ගය වෙලා තිබුණු සිංගප්පූරුව ජපනුන්ට යටත් වීමත් එක්ක ඕස්ට්‍රේලියාව රැකගන්න බ්‍රිතාන්‍යයට වෙනත් ස්ථානයක් අවශ්‍ය වුණා. ඔවුන්ට ඒ අවස්ථාව ලැබුණේ අපේ රටේ ගාල්ල දිස්ත්‍රික්කයේ තිබෙන කොග්ගල වැවට පින් සිද්ධ වෙන්න බව දන්නවා ද?

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය, දෙවන ලෝක යුද්ධය, සහ සිංගප්පූරුව ජපනුන්ට යටත් වීම

ගුවන් ගමන් ක්ෂේත්‍රයේ වර්ධනයත් එක්ක 1940 ගණන් වන විට රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වා ගන්න බ්‍රිතාන්‍ය කොලනි අතර ගුවන් සේවා සමූහයක් ස්ථාපිත කෙරුණා. මේවා පසු ව ඒකාබද්ධ වී බ්‍රිතාන්‍ය එතෙර ගුවන් මාවත් සංස්ථාව (British Overseas Airways Corporation – BOAC) නමින් සංස්ථාපිත වුණා. රාජ්‍යතාන්ත්‍රිකයන්ට ගමන් පහසුව සලසමින්, වේගයෙන් තැපැල් භාණ්ඩ හුවමාරු කරමින් මෙය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය නොබිඳී පවත්වා ගැනීමේ ප්‍රධානතම පුරුකක් බවට පත් වුණේ නිතැතින් ම යි.

BOAC හි Boeing 707 යානයක් (Wikimedia.org)

කොහොම නමුත් ලොව මීළඟ ප්‍රබල ම අධිරාජ්‍යය වීමේ අරමුණෙන් සිටි ජපන් අධිරාජ්‍යයත් ඒ කාලයේ කලාපය පුරා ම බලය පතුරවමින් සිටියේ. ක්‍රමෝපායයික ව අතිශයින් ම වැදගත් වරායක් වන සිංගප්පූරුව ආක්‍රමණය කරන්න ඔවුන් කටයුතු කළේ එහි පියවරක් විදිහට යි. සතියක පමණ කෙටි, අසාර්ථක සටනකින් පසු ව සිංගප්පූරුවේ සිටි මිත්‍ර හමුදාවන් 1942 පෙබරවාරි 15 වැනි දා ජපානයට යටත් වුණා.

සිංගප්පූරුව යටත් වීම විශාල පරාජයක් වූවත් ඊටත් වඩා සුවිශාල පරාජයක් වුණේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සතු සුවිශාල ම මෙන්ම වටිනා ම කොලනියක් වූ ඕස්ට්‍රේලියාව සමඟ පැවති සම්බන්ධතා සියල්ලත් බිඳ වැටීම යි. රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලට අතිශයින් ම වැදගත් වූ BOAC ගුවන් ගමන් නතර වීමත් එක්ක තැපැල් සම්බන්ධතාව ඇතුළු සන්නිවේදනයත් මුළුමනින් ම ඇණ හිටියා.

යටත් වුණු සිංගප්පූරුව වෙනුවට සිලෝන් දිවයිනේ දකුණු මුහුදු තීරය

Caption

 

ඒ වන විටත් රාජකීය ගුවන් හමුදාවේ (RAF) හි කඳවුරක් සිලෝන් දිවයිනේ දකුණු කෙළවරේ ඇති කොග්ගල ප්‍රදේශයේ ස්ථාපිත කර තිබුණු නිසා සිංගප්පූරුව වෙනුවට එය යොදාගන්න තමයි සැලසුම් කෙරුණේ. කොග්ගල සිට බ්‍රිතාන්‍ය ඉන්දියාවේ කරච්චි (බ්‍රිතාන්‍ය ඉන්දියාවට වර්තමානයේ ඉන්දියාව, පාකිස්ථානය සහ බංගලාදේශය අයත් වුණා) දක්වා ගොඩබිමින් හා මුහුදින් සම්බන්ධතාව පවත්වා ගන්න සැලසුම් කෙරුණා. BOAC හි මධ්‍යස්ථානයක් කරච්චිවල පිහිටා තිබුණු නිසා එවිට මහා බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව අතර සම්බන්ධතාව යළි ස්ථාපිත කරගන්න පුළුවන්.

ඒ අනුව තමයි 1943 දී ඕස්ට්‍රේලියාවේ රාජකීය ගුවන් හමුදාවේ නිලධාරීන්ට මේ සේවාව දියත් කරන ලෙස නියෝග ලැබෙන්නේ. මෙහෙයුමට අතිශයින් ම වැදගත් කොග්ගල වැවේ මෙහෙයුම් කටයුතු සිදු කළ හැකි Consolidated PBY Catalina වර්ගයේ දියේ ගොඩ බැස්විය හැකි ගුවන් යානා පහක් බ්‍රිතාන්‍ය ගුවන් අමාත්‍යාශය මඟින් කුලී පදනම යටතේ ලබා ගෙන මේ වෙනුවෙන් ඔවුන්ට ලබා දෙනු ලැබුවා. බටහිර ඕස්ට්‍රේලියාවේ පිහිටි ක්‍රවුලි ප්‍රදේශයේ වැවක් මෙහි අනෙක් ගමනාන්තය වුණා.

වැඩේට ම ගැලපුණු Consolidated PBY Catalina යානා

aussieairliners.org

දියේ ගොඩ බැස්විය හැකි (Sea plane වර්ගයේ) ගුවන් යානයක් වන Consolidated PBY Catalina කියන්නේ දෙවන ලෝක යුධ සමයේ වැඩි ම භාවිතයක් දකින්න ලැබුණු ගුවන් යානයක්. පොදුවේ Catalina ලෙස හඳුන්වන මේවා ඉතා ම ජනප්‍රිය වෙන්න ප්‍රධානතම හේතුව වුණේ ඒවායේ විශ්වසනීයභාවය යි.

Calalina ගුවන් යානා බල ගැන්වුණේ Pratt & Whitney R-1830-92 වර්ගයේ අශ්ව බල 1200ක ජවයෙන් යුතු අවරපෙති එන්ජින් දෙකකින්. පහසුවෙන් ගැටලුවලට මුහුණ දෙන්න සිදු නොවන, ඉතා ම විශ්වාසදායී මේ එන්ජින් ඕස්ට්‍රේලියාව යළි සම්බන්ධ කිරීමේ භාරදූර කාර්යයට Catalina යානා තෝරාගන්න ප්‍රධාන ම හේතුව බව කියවෙනවා. ගුවන් යානා ඉංජිනේරුවන්ගේ අදහස වී තිබුණේ “තෙල් තිබෙන තාක් කල් මේ එන්ජින් වැඩ කරන” බව යි.

දීර්ඝ ගමනක් වෙනුවෙන් Catalina යානා සූදානම් කිරීම

දිනකට වැඩි කාලයක් ගුවනේ සිටින්න ඉඩ සැලසූ අතිරේක ඉන්ධන ටැංකිය (gregoryno6.files.wordpress.com)

මේ දීර්ඝ ගමන වෙනුවෙන් Catalina යානාවලට අතිරේක ඉන්ධන ටැංකියක් සවි කෙරුණා. මෙමඟින් Catalina යානයකට යා හැකි උපරිම දුර නාවික සැතපුම් 2520 (කි.මි. 4030) සිට 3600 (කි.මි. 6700) දක්වා වැඩි කරගන්න හැකි වුණා. කොහොම නමුත් එවිට අතිරේක ටොන් 7ක් බර එකතු වූ නිසා ගුවන් යානයේ ගෙන යා හැකි වුණේ අතිශයින් ම සීමිත බරක්. මේ නිසා ඒ තරම් වැදගත් නැති උපාංග සියල්ල ම මෙන්ම, සාමාන්‍යයෙන් අවශ්‍ය යි කියලා සැලකෙන අයිස් ඉවත් කිරීමේ පද්ධතිය පවා ඉවත් කරන්න ඉංජිනේරුවන්ට සිදු වුණා.

යානාවලට අවශ්‍ය වෙනස්කම් කිරීමේ දී ගත්තේ ලොකු අවදානමක්. අතිවිශාල ඉන්ධන ටැංකියත් එක්ක හදිසියේ ගොඩබාන්න තරම් වේගයෙන් ඉන්ධන ඉවත් කරන්න බැරි වුණා වගේ ම, අධික බර නිසා එක එන්ජිමක් හෝ ක්‍රියා විරහිත වුණොත් කිසිසේත් පියාසර කරන්න හෝ ගොඩබාන්න බැරි නිසා ගුවන් යානය අනිවාර්යයෙන් ම අනතුරට ලක් වෙන්න ඉඩ තිබුණා.

කොහොම නමුත් Calalina යානා සියල්ල ම හුරුපුරුදු විදිහට ම ඉතා විශ්වාසදායී ව ක්‍රියා කළා. 1943 ජූලි 29 වැනි දා මුල් ගමන සාර්ථක ව නිමා කිරීමෙන් පස්සේ මේ යානා යොදාගෙන කොග්ගල සහ ඕස්ට්‍රේලියාව අතර සතියකට වරක් ගුවන් ගමන් සේවාවකුත් ආරම්භ වුණා. සිවිල් ගුවන් නියමුවන් යොදාගෙන ඕස්ට්‍රේලියාවේ Qantas ගුවන් සේවයේ ගමනක් ලෙස යි මෙය දියත් කෙරුණේ. පසු ව කොග්ගල සිට කරච්චි දක්වා අතිරේක ගමනකුත් එකතු වුණු මේ සේවාව 1945 ජූලි 18 වැනි දා ගමන් අවසන් කරන විට වාර 271ක් ගමන් කර තිබුණා.

The Double Sunrise මෙහෙයුමේ අපූර්වත්වය

Double Sunrise ගමන් මඟ (gregoryno6.files.wordpress.com)

නාවික සැතපුම් 3600ක් පමණ දුර මේ ගමන Catalina යානා ගමන් කළේ ඉන්ධන උපරිමයෙන් ඉතිරි වන වේගයකින්. මෙය ආරම්භයේ නොට් 99 සිට ඉන්ධන දහනය වී බර අඩු වීමත් එක්ක නොට් 115 දක්වා වෙනස් වුණා. මේ නිසා එක් ගමනකට සාමාන්‍යයෙන් පැය 28ක පමණ කාලයක් ගත කරන්න සිදු වුණා. තනි ගමනක දී දෙවරක් හිරු උදා වෙනවා දකින්න ලැබෙන නිසා තමයි මෙයට Double Sunrise කියන නම ලැබුණේ.

ජපනුන්ගෙන් ආරක්ෂා වීමට ඔවුන්ගේ පාලනය යටතේ තිබුණු ප්‍රදේශ රාත්‍රියේ දී පසු කරන්නත්, මධ්‍යම රාත්‍රියේ ඕස්ට්‍රේලියාවේ සිට කෙරෙන මිනිත්තු කිහිපයක කාලගුණ දැන්වීමක් ශ්‍රවණයට හැර රේඩියෝ භාවිතයෙන් වළකින්නත් ඔවුන්ට සිදු වුණා. තනිකර ම ප්‍රාථමික නාවික උපාංග සහ අහසේ තරු ඇසුරෙනුයි මඟ සොයා ගන්න සිදු වුණේ.

මේ ගමනට එකතු වුණු Catalina යානා පහ ගමන් සහයට යොදා ගත්ත තරුවල නම්වලින් ‘Rigel Star’, ‘Spica Star’, ‘Altair Star’, ‘Vega Star’ සහ ‘Antares Star’ ලෙස නම් කෙරුණා. මේ ගමනේ යෙදුණු සියලු ම මඟීන්ට (සියලු දෙනා ම පාහේ රාජ්‍යතාන්ත්‍රිකයන්) The Rare and Secret Order of the Double Sunrise නමින් ඔවුන් පැය 24කට වඩා අහසේ සිටි අය බවට සාමාජික සහතිකයක් ද නිකුත් කෙරුණා.

පැය 24 කට වඩා අහසේ සිටි බවට සාමාජික සහතිකයක් (Wikimedia.org)

අදටත් නොබිඳුණු දීර්ඝතම ගුවන් ගමන් වාර්තාව

මේ අවුරුද්දේ 75 වන සංවත්සරය සැමරූ Double Sunrise සේවාව ලෝක යුධ සමයේ ඕස්ට්‍රේලියාව සමඟ සම්බන්ධතා යළි ගොඩනගා ගන්න බ්‍රිතාන්‍යයට උදව් කරමින් ලෝක ගුවන් ගමන් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ බවට සැකයක් නැහැ. පසුකාලීන ව ජෙට් එන්ජින් සහිත යානා නිසා මීට වඩා දුරෙන් වැඩි ගුවන් ගමන් බිහි වුණත්, මේ වන තෙක් දීර්ඝතම මඟී ගුවන් ගමන ලෙස පැය 32 යි මිනිත්තු 9ක කාලයේ වාර්තාවට ආසන්න වෙන්නවත් වෙනත් ගුවන් ගමනක් නැහැ. මේ නිසා ලෝකයේ දීර්ඝතම ගුවන් ගමනට හිමි වාර්තාවේ එක් ගමනාන්ත දෙකෙන් එකක් ලෙස අදටත් “කොග්ගල” කියන නාමය සනිටුහන් වී තිබෙනවා.

Wikipedia.org

ඉතින් ගාල්ල පැත්තේ යනවා නම් මේ අසහාය කර්තව්‍යයට උරදුන් කොග්ගල වැවත් බලලා, ඒ ගැන කියවෙන තවත් අපූරු ඉතිහාස කතා හොයලා බලන්නත් අමතක කරන්න එපා. Double Sunrise ගැන ඔබ දන්නා තවත් අපූරු තොරතුරු තිබෙනවා නම් අපේ අනෙක් පාඨකයන් වෙනුවෙනුත් ඒවා comment එකකින් බෙදා ගන්නත් ඔබට පුළුවන්.

කවරයේ රූපය : IMDB

Related Articles