Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වර්තමාන ලෝකයේ දරුණුතම යමහල් විදාරණය – ක්‍රැකටෝවා පිපුරුම

කිතු උපත සිදු වූ ආසන්නයේ ම ලොව සිදු වූ යමහල් විදාරණ අතරින් භයානක ම විදාරණය ලෙස සටහන් වී තිබෙන්නේ ක්‍රි. ව. 79 දී පොම්පෙයි නුවර සම්පූර්ණයෙන් ම විනාශ කළ විසූවියස් යමහලෙහි විදාරණය යි. ඉන්පසුවත්, ලොව තැනින් තැන මිනිසුන් විශාල සංඛ්‍යාවක දිවි අහිමි කළ ගිනිකඳු පිපුරුම් වාර්තා වුණා.

ඉන්දුනීසියාව හා අවට මුහුදු කලාපය ලොව යමහල් ක්‍රියාකාරීත්වය වැඩි ප්‍රදේශයක් ලෙස සැලකෙනවා. සියවසක් තුළ ඒ අවට ප්‍රදේශයේ යමහල් විදාරණ රාශියක් සිදුවෙනවා. පසුගිය සියවස් කිහිපය තුළ සිදු වූ එවන් පිපුරුම් අතරින් 1883 ක්‍රැකටෝවා පිපුරුම සුවිශේෂී වන්නේ හේතු ගණනාවක් නිසායි. එහි ප්‍රබලත්වය කෙතරම් ද යත්, ලෝක සිතියම පවා මේ නිසා වෙනසකට බඳුන් වුණා.

විදාරණයේ පසුබිම

ක්‍රැකටෝවාහි පිහිටීම- cellcode.us

ක්‍රැකටෝවා දිවයින පිහිටා තිබුණේ ජාවා හා සුමාත්‍රා දිවයින් අතරට වන්නට පිහිටි සුන්ඩා සමුද්‍ර සන්ධියේ යි. මෙය ඉන්දුනීසියානු දූපත් සමූහයට අයත් ව පිහිටා තිබුණා. මේ ප්‍රදේශය ඔස්සේ ඉන්දු ඕස්ට්‍රේලියානු භූ තැටියේ මායිම පිහිටා තිබීම නිසා භූකම්පන හා යමහල් ක්‍රියාකාරීත්වය අතින් ඉතා සක්‍රීය ප්‍රදේශයක් වෙනවා.

ක්‍රැකටෝවා දිවයින කුඩා දිවයිනක් ව තිබුණා. එය දිගින් කි. මී. 9ක් හා පළලින් කි. මී. 5ක් තරම් වනවා. 1883 වසරේ පිපුරුමට පෙර මෙම දිවයිනෙහි එකිනෙකට සම්බන්ධ වූ යමහල් ද්වාර 3ක් පිහිටා තිබුණා. උතුරින් ම පිහිටා තිබූ පර්බෝවටාන් වඩා සක්‍රීය යමහල වූ අතර, දකුණු කොණේ ස්ථානගත වී තිබූ රකාටා විශාලතම යමහල වුණා. දිවයිනේ මධ්‍යයට වන්නට දනාන් නම් තවත් යමහල් ද්වාරයක් පිහිටා තිබුණා. ක්‍රැකටෝවා දිවයිනේ දෙපසට වන්නට තිබෙනවා ලැන්ග් හා වර්ලටාන් දූපත් දෙක පැරණි පිපුරුමක් නිසා ප්‍රතිඵල වී තිබෙන අතර, එම පිපුරුම ඒ අවට සමුදුරු පතුලේ පිහිටි  විශාල කල්දේරාවක් නිර්මාණය කර තිබෙනවා.

පිපුරුම

1883 වසරේ මැයි මස ඉන්දුනීසියාව අවට මුහුදේ ගමන් කරමින් තිබූ එලිසබෙත් නම් ජර්මානු යුධ නැවෙහි කපිතාන්වරයා ක්‍රැකටෝවා දිවයිනට ඉහළ අහසේ අළු වලාවක් වර්ධනය වෙමින් පවතින බව සටහන් කරනවා. එය සැතපුම් 6ක් පමණ ඉහළට නැඟෙමින් පවතින බව ඔහු තවදුරටත් සටහන් කර තිබුණා. ඊළඟ මාස 2 තුළ ප්‍රදේශයේ සැරිසැරූ නැව් හා බෝට්ටු කිහිපයක් ම ක්‍රැකටෝවා දිවයින දෙසින් ගිගුරුම් හඬ හා දුම් වලා නිරීක්ෂණය කර තිබුණා. ඒ අවට දූපත්වල ජනයා ක්‍රැකටෝවා හි යමහල්වලින් ඉහළට නැඟෙන ගිනි පුළිඟු දැක ඒවා, ‘ස්වභාවික ගිනිණි කෙළි සංදර්ශනයක්’යැ යි පවසමින් ප්‍රීති ප්‍රමෝදයට පත් වුණා. කෙසේනමුත්, මේ සතුට පැවතියේ අගෝස්තු මස 27 වන දා දක්වා පමණයි.

1883 ක්‍රැකටෝවා පිපුරුමෙහි ලිතෝග්‍රාෆයක්- Parker & Coward, Britain

1883 වසරේ අගෝස්තු මස 26 වන දා හරියට ම පස්වරු 12.53ට පර්බෝවටාන් යමහල් ද්වාරය නිසි ලෙස සක්‍රීය වුණා. පළමු පිපුරුමෙන් පිට වූ ලාවා හා අනෙකුත් සුන්බුන් කි. මී. 24ක් පමණ ඉහළ අහසට විසි වූ බැව් සඳහන්. පැරණි පිපුරුමක් නිසා මෙහි ද්වාරය අවහිර ව තිබී ඇති අතර, නව පිපුරුමත් සමග එහි මැග්මා කුටීරයේ දැඩි පීඩනයක් හටගත්තා. මේ සංසිද්ධිය පසුදින හෙවත් අගෝස්තු මස 27 වන දා උදෑසන එහි සුවිශාල පිපුරුමක් ඇති කිරීමට හේතු වූ අතර, එහි හඬ කි. මී. 4,500ක් පමණ ඈතින් පිහිටි ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට පවා ඇසී තිබුණා. මේ පිපුරුමත් සමග පර්බෝවටාන් හා දනාන් යන යමහල් දෙක ම මුහුදු මට්ටමෙන් පහළ තිබූ භූගත කල්දේරාවට ගිලා බැස්සා.

පළමුවෙන් සිදු වූ මේ පිපුරුමත් සමග පර්බෝවටාන් යමහලේ මැග්මා කුටීරයේ වූ උණු ලාවා සාගර ජලය සමග එක්කාසු වුණා මේ හේතුවෙන් සාගරයෙහි සමහර ස්ථානවල ජලය එක්වර ම උණු වූ වාෂ්ප වුණා. මෙහි දී සිදු වූ පීඩන වෙනස්වීම් නිසා පැයට කි. මී. 100 ඉක්මවූ වේගවත් රළ පහරවල් හටගත්තා. මෙම පිපිරීම ටී.එන්.ටී මෙගාටොන් 200ක් එක්වර පිපිරවූ විට ජනනය වන ශක්තියට සමාන වූ බැව් පැවසෙනවා. එය කෙතරම් ප්‍රබල ද යත්, හිරෝෂිමාවට පතිත කරන ලද පරමාණු බෝම්බයෙන් ජනනය වූ ශක්තිය සමාන වන්නේ ටී. එන්. ටී. කිලෝ ටොන් 20ක අඩංගු ශක්තියට පමණයි.

1883 වසරේ පිපුරුමෙන් පෙර හා පසු ක්‍රැකටෝවා දිවයිනේ වෙනස් වීම්- commons.wikimedia.org

පිපුරුමෙන් දසත විසුරුණු යමහල් කැබලි හා ධූමයන් ජාවා හා සුමාත්‍රා දූපත්වල සිය ගණනකට දිවි අහිමි කළා. මීට අමතර ව ඇති වූ සුනාමියෙන් තවත් ජීවිත දහස් ගණනක් බිලි වුණා. යමහල සමුදුර යට පිහිටි කල්දේරාවට කඩාවැටෙන විට දී අඩි 120ක් පමණ උස් වූ මුහුදු රළ ඇති වුණා. මේ සුනාමි රළ ශ්‍රී ලංකාවට ද කඩාවැදුණු බැව් සඳහන්.

යමහල් විදාරණයෙන් ඇති වූ අඳුරු වලාව යමහල් ද්වාරයෙන් කි. මී. 442ක් තරම් දුරකට විහිදුණා. පිපුරුම් ස්ථානයේ සිට කි. මී. 6000ක් පමණ ඈත පෙදෙස්වලටත් එහි අළු පතිත වී තිබුණා. මින් ඇති වූ කම්පන තරංග කිහිපවිටක් ම පෘථිවිය වටා ගමන් කළ බැව් සඳහන් වන අතර, නිකුත් වූ සල්ෆර් ඩයොක්සයිඩ් යුරෝපය තරම් ඈත පෙදෙස්වලටත් ගමන් කර තිබුණා. මීළඟ වසර 5 තුළ මුළු ලෝකයේ ම සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.2කින් පහත හෙළන්නට මෙය සමත් වුණා.

ලෝක සිතියම අලුත් වෙයි

අනක් ක්‍රැකටෝවා යමහල විදාරණයක දී (2009)- swisseduc.ch

1883 අගෝස්තු මස පිපුරුමත් සමග දකුණුදිග පෙදෙසේ 25%ක් පමණ හැර, ක්‍රැකටෝවා දිවයින එහි වූ සියලු දේ සමග සාගර පත්ලේ සැඟවුණා. ඉනික්බිති 44 වසරක් ගත වන තුරු එය සම්පූර්ණයෙන් ම පැවතියේ සමුද්‍ර පත්ලේ පිහිටි කල්දේරාව තුළ යි. 1927 වසරේ ප්‍රදේශයේ මසුන් ඇල්ලීමේ නියුතු ව සිටි ධීවරයින් පිරිසක් එහි සිදුවන අසාමාන්‍ය සංසිද්ධියක් නිරීක්ෂණය කරනවා. ඔවුන් දකින්නේ කල්දේරාවට ඉහළින් වූ මුහුදු ජලය මතට පාංශුමය සුන්බුන් එක්වන ආකාරය යි. මින් සති කිහිපයකට පසු එහි නව දිවයිනක්  බිහිවුණා. එය පැරණි ක්‍රැකටෝවා දිවයිනට සාපේක්ෂ ව වඩා කුඩා වූ අතර, ‘අනක් ක්‍රැකටෝවා’ නමින් නම් තබනු ලැබුණා. එහි වූ යමහල් ද්වාරයත් නිතර ම විදාරණය වන අතර, අවසාන අවස්ථාව 2014 වසරේ මාර්තු මස 31 වැනි දා වාර්තා වුණා.

Related Articles