ෂර්ලොක් හෝම්ස් එකතුවේ "The Five Orange Pips" (බිහිසුණු අත්දැකීමක්/ මාරක දොඩම් ඇට) කියන කතාව කියවා ඇති අයට, එහි සඳහන් වුණු "KKK" කියන මිනීමරු කල්ලිය මතක ඇති. ඇමරිකානු සිවිල් යුද්ධයෙන් පසුව ආරම්භ වුණු මේ කල්ලියේ පිරිස් අදටත් ඇමරිකාවේ ක්‍රියාත්මක වෙනවා. මේ ලිපිය එහි ආරම්භය ගැන යි.

Ku Klux Klan

"The Union As It Was" නම් ලද දේශපාලන කාටූනය. අන්තවාදීන් විසින් කළු ඇමරිකානුන්ට සිදු කරන දෙය වහල් මෙහෙයටත් වඩා භයානක බව කාටූන් ශිල්පියා අදහස් කරයි (jacobinmag.com)

කූ ක්ලක්ස් ක්ලෑන් කියන්නෙ එක්සත් ජනපදය මුල් කොට ඇතිවුණු අන්තවාදී සංවිධානයක්. වර්ණභේදවාදය ඉහළින්ම පිළිගත් මොවුන්, සුදු සමැත්තන් උසස් බව විශ්වාස කළ, ඒ විශ්වාසය මත ක්‍රියා කළ කණ්ඩායමක්. මේ අදහසට විරුද්ධ මත දරන්නන් සහ ඒවා ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කරන්නන්ව දරුණු ලෙස මැඩලීම සහ ඝාතනය කිරීම මොවුන්ගේ පිළිවෙත වී තිබුණා.

එක්සත් ජනපද ඉතිහාසයෙන් කූ ක්ලක්ස් ක්ලෑන් කණ්ඩායම් තුනක තොරතුරු වාර්තා වෙනවා. මෙයින් පළමු කණ්ඩායම 1865 දී ඇති වී, 1871 දී නැතිව ගියා. දෙවන කණ්ඩායම 1915 - 1944 අතර පැවතුණ අතර, තෙවන කණ්ඩායම 1946 ඇරඹී වර්තමානයේත් ක්‍රියාත්මක වෙනවා.

සිවිල් යුද්ධයෙන් පසු

වහල් මෙහෙය හා ඒ හා සම්බන්ධ නොයෙකුත් දේශපාලන කාරණා නිසා ඇරඹි ඇමරිකානු සිවිල් යුද්ධය, 1861 සිට 1865 දක්වා පැවැතුණා. ඇමරිකාව කොටස් දෙකකට බෙදුණු අතර උතුරුදිග ජනපද සහ දකුණුදිග ජනපද එකිනෙකාට විරුද්ධව සටන් වැදී අවසානයේ, දකුණු දිග ජනපදයන්ගේ ඒකාබද්ධ පෙරමුණ යටත් වීමෙන් එක්සත් පාර්ශවයට ජය ලැබෙනවා. කූ ක්ලක්ස් ක්ලෑන් ඇරඹෙන්නේ මේ සිදුවීම් අවසාන වනවාත් සමගම යි.

සිවිල් යුද්ධයෙන් පසු පිහි‍ටුවනු ලැබූ "නිදහස්වූවන්ගේ බියුරෝව" නියෝජනය කරන නිලධාරියෙකු සුදු ඇමරිකානුවන් සහ කළු ඇමරිකානුවන් පිරිසක් අතර කෝලාහලයක් නවතයි - 1868 හාර්පර්'ස් වීක්ලි සඟරවේ පළ වූ චිත්‍රයකි. (Wikimedia)

1865 වසරේ ටෙනසීහි පුලැස්කි නගරයේ දී, ඒකාබද්ධ පෙරමුණ සඳහා සටන් වැදුණු නිලධාරීන් සය දෙනෙකු එක්ව රහස් සංවිධානයක් පිහි‍ටුවාගනු ලැබුවා. දකුණුදිග ජනපද පරාජයට පත්වීම මෙම සංවිධානය ඇතිවීමට සෘජුව බලපෑවා. සුදු සම ඇත්තන් කළු සම ඇත්තන්ට වඩා උසස් ලෙස සැලකූ කූ ක්ලක්ස් ක්ලෑන් සාමාජිකයින් තමා වහල් මෙහෙය ‍රැකගැනීම සඳහා කළ යුද්ධයෙන් පැරදුනත්, භීෂණයෙන් හෝ කළු ජාතිකයින්ව යටත් කර තබාගත යුතු ය යන මතයේ පසුවූවන්.

"කූ ක්ලක්ස් ක්ලෑන්" යන නම සැදුණේ ග්‍රීක භාෂාවෙන් "වටය" යන අර්ථය දෙන කික්ලියෝස් යන වදනෙන්. "ක්ලෑන්" යන වදන ගෝත්‍රය හෝ කණ්ඩායම යන අරුත දුන්නා.

සුදු ජාතික භීෂණය

KKK සංවිධානය ඇරඹුනේ සය දෙනෙකුගෙන් වුවත්, දකුණුදිග ප්‍රාන්තයන්හි සොල්දාදුවන් දිගින් දිගටම එයට එක්වීම නිසා එහි සාමාජික සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගියා. කූ ක්ලක්ස් ක්ලෑන්හි සාමාජිකයින්ගේ අරමුණ වුණේ රජයේ ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම අපහසු වන තැනට වැඩ සැලැස්වීම යි. අප්‍රිකානු ඇමරිකානු වහළුන් එයින් මුදවා නිදහස් පුරවැසියන් කිරීමේ වැඩපිළිවෙලට සෘජුව විරෝධය පෑ මොවුන්, නිදහස් වූ කළු වහළුන් සහ ඔවුනට සහායය දක්වන සුදු ජාතිකයින්ට පහර දීම හෝ මරාදැමීම සිදු කළා. නැතිවී ගිය "සුදු ජාතිකයින්ගේ තැන" නැවතත් ලබාගැනීමට ඔවුන් කටයුතු කළේ මේ අමානුෂික අපරාධයන් මඟින්.

උඳුන අසල යමක් පිසිමින් පසුවන නීග්‍රෝ ගැහැණියකට කූ ක්ලක්ස් ක්ලෑන් සාමාජිකයෙක් දොරෙන් එබී, වෙඩි තැබීමට එල්ලය ගනියි - 1872 හාර්පර්'ස් වීක්ලි හි පල වූ චිත්‍රයක් (werehistory.org)

1866 වෙද්දී ජනපද කීපයක් පුරාවට පැතිර තිබූ මෙම සංවිධානය ඒවායේ බොහෝ කලබල ඇතිකළා. නීති විරෝධී ක්‍රියාවන් බහුල වූ අතර, ඇතැම් ජනපදයන්හි කූ ක්ලක්ස් ක්ලෑන් සාමාජිකයින් කල්ලි ගැසී අපරාධයන්හි නියැළුනේ එළිපිටම යි. කළු ඇමරිකානුන් සහ ඔවුන්ගේ සහායකයින් බියට පත්කිරීමට ඔවුන්ගේ ගෙවල් ගිනි තබා, ඔවුන්ව මරා දමා, ඒ මළ සිරුරු පාර පුරා අතැර දමා යෑම මොවුන්ගේ පිළිවෙත වුණා.

ධූරානුක්‍රමයක් පිහි‍ටුවීමට ගත් අසාර්ථක තැත

නිදහස්වූවන්ගේ බියුරෝවට විරෝධය පාමින් නිකුත් කළ කූ ක්ලක්ස් ක්ලෑන් පෝස්ටරයක් (Wikimedia)

අප පෙර සඳහන් කළ පරිදිම කූ ක්ලක්ස් ක්ලෑන්හි බහුතර පිරිස සොල්දාදුවන් වුණු නමුත්, 1867 වන තෙක්ම එහි නිශ්චිත ධූරානුක්‍රමයක් තිබුණේ නැහැ. එනිසා 1867 දිනෙක ටෙනසී ප්‍රාන්තයේ නෑශ්විල්හි දී හමුවුණු සංගමය එහි නායකයා ලෙස ඒකාබද්ධ හමුදාවේ ජෙනරාල්වරයෙකුව සිටි නේතන් බෙඩ්ෆර්ඩ් ෆොරස්ට් නමැත්තෙකුව පත්කර ගත්තා.

කූ ක්ලක්ස් ක්ලෑන් සඳහා නීති පද්ධතියක් සකස් කෙරුණේත් ඔය සමයේ දී යි. නව නීති අනුව යමෙකු සාමාජිකයෙකු සේ බඳවාගනිද්දී, ඔහු "සුදු මිනිසුන්ගේ ආණ්ඩුවකට" (කළු මිනිසුන්ට සහායය නොදෙන ආණ්ඩුවකට) සිය එකඟත්වය පල කරන්නේ ද, දකුණේ සුදු ජාතිකයින්ට නැවතත් ඡන්ද හිමිකම් ලබාදීමට එකඟ වන්නේ ද වශයෙන් ප්‍රශ්න කළ යුතු වුණා. කෙසේ නමුත් කූ ක්ලක්ස් ක්ලෑන්හි බහුතර සාමාජිකයින් තම සංවිධානයට ඇතිකළ ධූරානුක්‍රමයට හෝ නව නීතිවලට කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒවා පිළිනොගත් ඔවුන් පෙර සේම තමාට රිසි පරිදි ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි නියැලුණා. කල්ලන්ටත් සුද්දන්ටත් එක සේ අඩත්තේට්ටම් කළ මොවුන්, සිය පෞද්ගලික කෝන්තර පිරිමසාගැනීමට පවා තමාට ලැබී තිබූ පිරිස් බලය භාවිත කළා.

නේතන් ෆොරස්ට් (Wikimedia)

සරලවම ගත් කළ කූ ක්ලක්ස් ක්ලෑන් යනු, ඩෙමොක්‍රැටික් පක්ෂයට සහායය දක්වන, වහල් මෙහෙය නැවත ඇතිකිරීමට උත්සාහ ගත් ඉඩම්හිමි සුදු ජාතික වහල් හිමියන්ගේ සහ වැවිලිකරුවන්ගේ සහයෝගයෙන් ක්‍රියාත්මක වුණු, හමුදා සොල්දාදුවන්ගේ සංවිධානයක් බවට පත්ව තිබුණා. ඔවුන් තමාට විරුද්ධ වන්නන්ට කළු සුදු භේදයකින් තොරව අඩත්තේට්ටම් කළ අතර, පීඩා ලැබූවන් අතර රිපබ්ලිකන් පක්ෂයේ දේශපාලඥයින් ද වුණා.

ක්‍රියාපිළිවෙත

ක්ලෑන්හි සාමාජිකයින් ක්‍රියාත්මක වූයේ රාත්‍රී කාලයේ දී යි. මොවුන් බහුතරය වාසය කළ ගම්බද පෙදෙස්වල (සංවිධානයට රටපුරා සාමාජිකයින් 550,000ක් පමණ සිටි බව වරක් එහි නායක ෆොරස්ට් විසින් සඳහන් කර තිබුණා) කිසිවෙකුටත් තමාව හඳුනාගැනීමට ඉඩක් නොදීම මෙහි අරමුණ වුණා. දිවා කාලයේ යම් කටයුත්තක යෙදේ නම් සුදු පැහැති කොට්ට උරයක් වැනි වෙස් මුහුණක් භාවිතා කෙරුණා. පිරිස් වශයෙන්, ඇතැම්විට අසුන් පිට, ගමන් කළ මොවුන් කළු මිනිසුන් දහස් ගණනක් මරණයට පත්කළ අතර ඒ සඳහා වෙඩි තැබීම, එල්ලා දැමීම හෝ, ඔවුන් ගෙය තුළ සිටියදීම ගෙට ගිනිතැබීම වැනි ක්‍රමයන් භාවිතා කළා. එසේම ඔවුන් මිත්‍යාදෘෂ්ටික කළු ජාතිකයින්ව භීතියට පත්කළේ, තමා සිවිල් යුද්ධයේ දී මියගිය ඒකාබද්ධ හමුදා සෙබළුන්ගේ අවතාර ලෙස හඳුන්වාගනිමින්.

කූ ක්ලක්ස් ක්ලෑන් සාමාජිකයින් දෙදෙනෙක් - 1868 දී පමණ ගත් ඡායාරූපයක් (Pinterest)

සංවිධානය පිහි‍ටුවීමෙන් වසර දෙකකට පමණ පසු, එතෙක් සංවිධානයට සහායය දැක්වූ ඩෙමොක්‍රැටික් දේශපාලඥයින් තවදුරටත් ඒ හා සම්බන්ධ නොවීමට තීරණය කළේ, රජය විසින් දකුණුදිග ජනපදයන්හි සම්පූර්ණ බලය නැවතත් ඔවුන් අතට ගනීවිය යන සැකය මතු වූ නිසා යි. දේශපාලන සහායය ලැබීම අඩු වීමත් සමග ක්ලෑන්හි ක්‍රියාකාරීත්වය ද අඩු වී යන්නට පටන්ගත්තා.

1869 දී එහි නායක ෆොරස්ට් සංවිධානය විසුරුවා හැරීමට අසාර්ථක තැතක් ගත්තා. සංවිධානය "එහි මුල් අරමුණුවලට එරෙහිව ක්‍රියාකරන" බව ඒ සම්බන්ධව ඔහුගේ පැහැදිලි කිරීම වුණා. නමුත් ෆොරස්ට්ගේ නායකත්වය නොපිළිගත්තවුන් මෙම තීරණය පිළිගත්තේ ද නැහැ.

ප්‍රති-කූ ක්ලක්ස් ක්ලෑන් කල්ලිය

සිවිල් යුධ සමයේ එක්සත් හමුදාවේ සොල්දාදුවන් (Weebly)

මේ අතරේ ඇලබාමාහි විසූ එක්සත් හමුදාවේ සොල්දාදුවන් කූ ක්ලක්ස් ක්ලෑන් කල්ලියට විරුද්ධ කල්ලියක් පිහි‍ටුවාගත්තා. කූ ක්ලක්ස් ක්ලෑන් විසින් කළු ජාතිකයින්ගේ නිවෙස් සහ පල්ලි වලට පහර දෙමින්, ඔවුන්ව මරාදමමින් ගෙනයන ක්‍රියාපිළිවෙත වෙනස් නොකළහොත් එහි ප්‍රතිවිපාක ඔවුන්ට ද අත්විඳීමට සිදුවනු ඇතැයි මේ නව කල්ලිය තර්ජනයක් ඉදිරිපත් කළා. මෙයින් දිරිමත් වූ කළු ජාතිකයින් ද සිය නිවෙස් ආරක්ෂා කිරීම සඳහා, කණ්ඩායම් සැදී වීදි සැරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළා.

මෙයින් කැළඹුනේ කූ ක්ලක්ස් ක්ලෑන් පමණක් නොවෙයි.

නීතිමය ක්‍රියාමාර්ග සහ කල්ලියේ අවසානය

ටෙනසීහි නිදහස් වූ කළු ජාතිකයින්ගේ පාසලක් පුළුස්සා දැමේ - 1866 හාර්පර්'ස් වීක්ලි හි පලවූ චිත්‍රයක් (Dead Confederates)

කූ ක්ලක්ස් ක්ලෑන්වලට විරුද්ධව ඇතිවූ ජනතා කැළඹීම සැලකිල්ලට ගත් බොහෝ දකුණුදිග ජනපදයන්, එම සංවිධානයට විරුද්ධව නීති පද්ධතීන් සම්මත කරගත්තා. 1871 දී මෙය කොන්ග්‍රසයේ සාකච්ඡාවට බඳුන් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කූ ක්ලක්ස් ක්ලෑන්හි ක්‍රියාවන්ට එරෙහි, “1871 සිවිල් අයිතිවාසිකම් පණත” එළිදැක්වුණා. නමුත් එම පණත පිළිනොගත් ක්ලෑනය, ස්වකැමැත්තෙන් සංගමය විසුරුවාහැරීමට එකඟ වුණේ නැහැ. එනිසා එම සංවිධානයේ සාමාජිකයින් අත්අඩංගුවට ගෙන දඬුවම් පමුණුවන මෙන් එකල ජනපති නියෝගයක් නිකුත් කළා.

එයින් පසු කූ ක්ලක්ස් ක්ලෑන්හි සාමාජිකයින් බොහෝදෙනා නීතියේ ‍රැහැනට හසුව දඬුවම් ලැබුවත්, ඊට වැඩි පිරිසක් නීතියෙන් ගැලවී පලා ගිය බව කියැවෙනවා. කූ ක්ලක්ස් ක්ලෑන්හි පළමු කල්ලියේ අවසානය 1871 දී එසේ සිදු වුණා.

ක්ලෑන් සංවිධානය 1915 වසරේ දී නැවත පිහි‍ටුවනු ලැබුවා. මේ පිළිබඳව තොරතුරු ඉදිරි ලිපියකින් ඔබ හමුවට ගෙන එනු ඇති.

කවරයේ රූපය : getty images

මූලාශ්‍රයයන්:

history.com
Britannica
The Canadian Encyclopedia
nps.gov