1923 මිසිසිපි ජනපදයේ මෙරිඩියන්හි පැවැත්වුණු කූ ක්ලක්ස් ක්ලෑන් හමුවක්  (Library of Congress)

ඇමරිකානු සිවිල් යුද්ධයෙන් පසු කූ ක්ලක්ස් ක්ලෑන් සංවිධානය ඇරඹුනු හැටිත්, ඉන් වසර කීපයකට පසු එය විසුරුවා හැරුණු හැටිත් අප මින් පෙර ලිපියක ලියුවා ඔබට මතක ඇති. එහිම දිගුවක් වන මේ ලිපියෙන් ඉදිරිපත් කෙරෙන්නේ ඉන් වසර 40කට පමණ පසු කූ ක්ලක්ස් ක්ලෑන් සංවිධානය නැවත ඇරඹුනු සැටිත්, ඒ හා බැඳුණු සිදුවීමුත් ගැන යි.  

පූර්විකාව

The Birth of Nation චිත්‍රපටයේ පෝස්ටරය (Wikimedia)

1915 වසරේ පෙබරවාරි 8 දා "The Birth of a Nation" නම් චිත්‍රපටයක් ඇමරිකා එක්සත් ජනපදයේ දී තිරගත කෙරුණා. සිවිල් යුද්ධයත්, ප්‍රතිසංස්කරණවාදී සමයත් පිළිබිඹු කෙරුණු මේ චිත්‍රපටය නිර්මාණය වී තිබුණේ උතුරුදිග එක්සත් පාර්ශවයටත්, දකුණුදිග ඒකාබද්ධ පාර්ශවයටත් සහාය දක්වන පවුල් දෙකක් වටා යි. මුහුණු කළු කරගත් සුදු ජාතිකයින් "කළු ඇමරිකානුන්" ලෙස රඟ පෑ මෙම චිත්‍රපටයෙන් “කල්ලන්” මූඨ මෙන්ම, සුදු කාන්තාවන්ට ලිංගික හිරිහැර කරන ආකාරයේ පිරිසක් බව දැක්වුණා. එසේම, 1865 ඇරඹි පළමු කූ ක්ලක්ස් ක්ලෑන් කල්ලිය ජාතිකවාදී වීරයින් පිරිසක් ලෙසටයි මෙහි දක්වා තිබුණේ. කල්ලියේ සාමාජිකයින් සුදු පැහැති නිල අඳුමක් අඳිනා ආකාරයත්, උස කුරුසයක් ගිනිබත් කරන ආකාරයත් මෙම චිත්‍රපටයෙන් දැක්වුණා.

The Birth of Nation චිත්‍රපටයේ දෙවන සතිය සඳහා නිකුත් කළ ප්‍රචාරක පෝස්ටරය  (Wikimedia)

චිත්‍රපටය නිකුත්වූ කාලයේ එයට විරුද්ධව කළු ඇමරිකානුවන් විරෝධය පෑවත්, සුදු ඇමරිකානුවන් රංචු පිටින් එය නැරඹීමට ගියේ මහත් වූ උද්යෝගයෙන්.

ජෝර්ජියාවේ ගල් කන්ද මත දැවුණු කුරුසය

1915 ඔක්තෝබර් 16 දා රාත්‍රියේ මෙ‍තෝදිස්ත පූජකවරයෙකු වූ විලියම් ජෝසෆ් සිමන්ස්, තවත් මිනිසුන් 15ක් ද පමණ සමග ජෝර්ජියාවේ ස්ටෝන් මවුන්ටන් ගල් කන්ද නැග්ගේ මධ්‍යම රාත්‍රිය එළඹෙමින් තිබිය දී යි. ඒ මත පූජාසනයක් තැනූ ඔවුන් ඒ මත ඇමරිකා ධජයත්, කඩුවක් ද, සහ බයිබලයත් තබා, විශාල ලී කුරුසයකට ගිනි අවුලවා ශපථ කළේ "දකුණේ අදිසි ආධිපත්‍යයට" (එනම් කූ ක්ලක්ස් ක්ලෑන් සංවිධානයට) ඇති පක්ෂපාතීත්වය යි. එයින් කූ ක්ලක්ස් ක්ලෑන්හි නැවත පැමිණීම සනි‍ටුහන් වුණා.

1921 දී කොලරාඩෝහි ඩෙන්වර්හි දී කූ ක්ලක්ස් ක්ලෑන් සාමාජිකයින් පිරිසක් කුරුසයක් පුළුස්සමින්  (Wikimedia)

සුදු හැඳි අලුත් කල්ලිය

දෙවන කූ ක්ලක්ස් ක්ලෑන් කල්ලිය වේගයෙන් වැඩුණා. සාමාජිකත්වය සුදු සමැති ක්‍රිස්තියානුවන්ට පමණක් වෙන්වුණු අතර, මොවුන් බහුතරය මධ්‍යම පාන්තිකයින් වුණා. සුළු ව්‍යාපාර හිමියන්, වෙළෙඳන්, පූජකවරුන්, ලිපිකරුවන්, ගොවියන්, වෛද්‍යවරුන්, ප්‍රාදේශීය දේශපාලඥයින් සහ නීතිවේදීන්ගෙන් මේ පිරිස සමන්විත වුණා.

මේ දෙවන කල්ලියට නිල ඇඳුමක් තිබුණා. The Birth of a Nation චිත්‍රපටය ගුරුකොට ගෙන "පාරිශුද්ධත්වය" සංකේතවත් වන සුදු ලෝගු ඇඳීම මොවුන්ගේ සිරිත්කොට ගත්තා. ක්‍රිස්තු තුමාගේ "ආලෝකය" සංකේතවත් කිරීමට විශාල කුරුස පුළුස්සා දැමූ මොවුන්, සුදු ජාතිකයින් ශ්‍රේෂ්ඨ බව ඔප්පු කරන්නට උත්සාහ කළේ ඇතැම් බයිබල් පාඨයන් උපුටා දක්වමින්.

1920 දශකයේ මුල් වසරක චිකාගෝවේ පැවැත්වුණු කූ ක්ලක්ස් ක්ලෑන්හි ‍රැළියක් (Smithsonian Magazine)

පළමු කල්ලියේ විරුද්ධත්වය වූයේ කළු ජාතිකයින් කෙරෙහි පමණයි නෙ. නමුත් මේ දෙවැනි කල්ලිය ඔවුන්ට පමණක් නොව රෝමානු ක‍තෝලිකයින්ට, යුදෙව්වන්ට, විදේශිකයින්ට, සහ වෘත්තීය සමිති වලට පවා සිය විරෝධය පල කළා.

නව ලෝකයේ බලපෑමට ක්ලෑන් සාමාජිකයින් බිය වුණා. ආගමික නව්‍යවාදය, කාන්තාවන්ට ලිංගික නිදහස ලැබීම හෝ ඡන්ද අයිතිය ලැබීම, දුරාචාරය (දික්කසාදය වැනි දේ) හා අපරාධ සිදුවීම ඉහළ යන බවට වූ මතය ඔවුන්ගේ පුරුෂමූලික ඉගැන්වීම් හා එකඟ වුණේ නැහැ. සිය ආරක්ෂාව උදෙසා සංවිධානය තව දුරටත් වර්ධනය කළ යුතු වුණා.

නම් මෙ‍තෝදිස්ත පල්ලිය විසින් 1913 සිට 1933 දක්වා නිකුත්කළ මේ සඟරාව, 1921 පමණ සිට කූ ක්ලක්ස් ක්ලෑන් සංවිධානයේ මතයන් ජනතාව වෙත ගෙන ගියා. (Wikimedia)

තවත්, තව තවත් පිරිස්

1915න් පසු කලක් යනතෙක් සංවිධානය තිබුණේ කුඩාවට යි. නමුත් Southern Publicity Association නම් සුදු-අධිපතිවාදී සංවිධානයේ එලිසබෙත් ටයිලර් සහ එඩ්වර්ඩ් ක්ලාක් ඉදිරිපත්ව ප්‍රසිද්ධියේ අරමුදල් ‍රැස්කිරීමට ඇරඹීමෙන් පසු සාමාජිකත්වය වේගයෙන් වැඩුණා. 1920 දශකයේ මුල් භාගය වන විට එහි සාමාජිකත්වය මිලියන 5ක් දක්වා වැඩුණා.

නව ක්ලෑන්වරු තම සාමාජික සංඛ්‍යාව ඉහළ නංවාගැනීමට උත්සාහ කළේ ඇමරිකානුවාගේ ජාත්‍යාලය, පරණ දකුණුදිග ජනපද ගැන වූ කාංසාව, සහ යුද්ධයෙන් පසු සංක්‍රමණයන් නිසා එක්සත් ජනපදයේ විදේශිකයින් ගණන ඉහළ යන බව පෙන්වීමෙන් ඔවුන් තුළ භීතියක් ඇති කිරීමෙනුයි. එමෙන්ම 1917 වසරේ රුසියාවේ බොල්ෂෙවික් විප්ලවය ද කූ ක්ලක්ස් ක්ලෑන්හි සාමාජිකයින් සංඛ්‍යාව ඉහළ දැමීමට පිටිවහලක් වුණා.

"අපේ භූමිය ‍රැකගන්න, කූ ක්ලක්ස් ක්ලෑන් හා එක්වන්න" (store.braincassidy.net)

ක්ලෑන් සංස්කෘතිය සහ කාන්තාවන්

මෙයාකාරයේ බොහෝ සංවිධානයන් සේම ක්ලෑන් සාමාජිකයිනුත් තමන් යම් විශේෂ කර්තව්‍යයක් සඳහා බිහි වූ නයිට්වරුන් බව විශ්වාස කළා. මේ මතය නිසා ඔවුන්ටම අනන්‍ය වූ රහස් චාරිත්‍ර විධික්‍රම, ආචාර කිරීමේ පිළිවෙත්, සහ ගාම්භීර තනතුරු නාමයන් වුණා. සාමාජිකයින් පවුල් වශයෙන් ද එක්ව සාදයන්, පෙළපාළි, සහ විනෝද චාරිකාවන් සංවිධානය කළා. ඔවුන්ට ඔවුන්ගේම බේස්බෝල් කණ්ඩයම් තිබුණා. ලස්සනම බබා තේරීමේ තරගවල සිට, ප්‍රාදේශීය සැනකෙළි වල ප්‍රසංගයන් ද පැවැත්වූවා.

ක්ලෑන් සාමාජිකාවන් 17දෙනෙකු ආකැන්සස්හි මූලස්ථානයේ දී ඡායාරූපයකට පෙනී සිටියි (1923) (The Abraham Lincoln Presidential Library and Museum)

විවාහ, සහ අවමංගල්‍ය උත්සව වල ඔවුන්ටම විශේෂ වූ චාරිත්‍රයන් ඉ‍ටුකෙරුණා. ක්ලෑන් කාන්තාවන්ගේ ශාකාවන් බිහිවුණා. කාන්තාවන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ටෙක්සස් ප්‍රාන්තයේ රජයේ පාසැල් වලට ක‍තෝලික ගුරුවරුන් බඳවාගැනීම පවා අත්හිටවුණා!

කුඩා දරුවන් සඳහා ද කූ ක්ලක්ස් ක්ලෑන් ශාකාවන් බිහිවුණා. මේවා ජූනියර් කූ ක්ලක්ස් ක්ලෑන්, සහ කූ ක්ලක්ස් කිඩීස් යන නම්වලින් හැඳිවුණා.

ඉන්ඩියානාහි ක්ලෑන් විවාහ මංගලෝත්සවයක් (1926) (US Slave - blogger)

ආගම සහ ජාත්‍යාලය

සංවිධානය ලාභ ලැබුවේ සාමාජික ගාස්තු වලිනුත්, නිල ඇඳුම්, සහ ඔවුන් විසින් මුද්‍රණය කර විකිණූ පොත්, සඟරා ආදියෙනුයි. එසේම ඔවුන්ගේ පූජාකර්ම පවත්වන අතරතුරේ ද ඇතැම්විට මුදල් එකතු කෙරුණා. රට පුරාම, විශේෂයෙන්ම දකුණු දිග ජනපදයන් වලින්, ‍රැලි, පෙළපාලි, සහ රාත්‍රියේ දැවෙන කුරුස වාර්තා වුණා. 1925 අගෝස්තු 8 දා වොෂින්ටන් ඩී.සී. හරහා ඇදුණු කූ ක්ලක්ස් ක්ලෑන් පෙළපාළියට පිරිමින් සහ ගැහැණුන් 50 000ක් පමණ සහභාගී වුණා. ඇතැමෙක් ඇමරිකානු ධජය දරමින් අසුපිට ගමන් කළ අතර, ඇතැමෙක් කුරුසයක හැඩයට ගමන් කළා. ඔවුන් තව දුරටත් තමන්ගේ මුහුණ වසාගත්තේ නැහැ. තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වේ යැයි බියක් නොවුණේ මිලියන ගණනක් සාමාජිකයින් සංවිධානයට බැඳී සිටි නිසා යි.

 1925 වොෂින්ටන්හි ‍රැළිය (Pinterest)

සංවිධානයේ බලය නිසා දහස් ගණනක් ක්‍රිස්තියානි පල්ලි තුළට බලය පැතිරවීමට ඔවුන් සමත්වුණා. පල්ලිවල පූජකවරුන් ආගමේ නාමයෙන් ඒවායේ බැතිමතුන්ට දේශනා කළේ කූ ක්ලක්ස් ක්ලෑන්හි දර්ශනය යි. මේවායේ උදව්වෙන් සුදු ජාතික ආධිපත්‍යය සහ පැරණි සම්ප්‍රදායයන් සමාජය තුළ නැවත ස්ථාපනය කිරීමටත්, මධ්‍යසාර සහ උපත් පාලන ක්‍රම භාවිතය අධෛර්යයමත් කරන්නටත්, එසේම පාසැල්වල පරිනාමය පිළිබඳව ඉගැන්වීම වළක්වන්නටත් ඔවුන් උත්සාහ කළා.

1928 දී ඩෙමොක්‍රැටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙසඉදිරිපත් කෙරුණේ ක‍තෝලිකයෙකු යි. එයට විරෝධය පාමින් තවත් පිරිස් සංවිධානයට බැඳුනා.

භීෂණය

1930 දී එල්ලා මරා දැමුණු කළු ජාතිකයින් දෙදෙනෙක් (schwitzsplinters.blogspot.com)

කූ ක්ලක්ස් ක්ලෑන්හි දර්ශනය ගෙන ආවේ භීෂණයම පමණ යි. මෙනිසා 1915න් පසු සිය ගණනක් පහරදීම, කසයෙන් තැලීම්, මෙන්ම දුසිම් ගණනින් මිනීමැරුම් ද සිදුවුණා. ඔවුන් මත්පැන් වෙළෙන්දන්ට තර්ජනය කළා. මෙක්සිකානුවන්ට පහර දුන්නා. තමන්ට එරෙහි දේශපාලඥයන්ට බොහෝ පීඩාවන් සිදුකළා. කළු ජාතිකයින්ව එල්ලා මරා දැමුණු අතර, යුදෙව්වන්ට විවිධාකාරයේ හිරිහැර සිදුකිරීමත්, පුරුෂයින් සමග කාර් රථවල ගමන් කළ තරුණ කාන්තාවන්ට වාචික අඩත්තේට්ටම් කිරීමත් සිදුකළා. ගබ්සාවන් සිදුකළ වෛද්‍යවරුන්ට ලැබුණු දඬුවම වූයේ ඔවුන්ව තාර වල ගිල්වා, පිහා‍ටු වලින් වැසීම යි.

ආර්ථික අවපාතය සහ සංවිධානයේ බිඳවැටීම

1930 ගණන්වල කූ ක්ලක්ස් ක්ලෑන් සාමාජිකයින් පිරිසක් (Getty Images)

1930 ගණන් වල එක්සත් ජනපදයට ආර්ථික අවපාතයක් උදාවුණා. මේ හේතුවෙන් බොහොමයක් සාමාජිකයින් සංවිධානයේ කටයුතු වලින් ඉවත්වුණා. ක්ලෑන් සාමාජිකයින් විවිධ අපරාධයන්ට වරදකරුවන් ලෙස අත්අඩංගුවට ගැනීමත්, ඔවුන් නීතිගරුක පුරවැසියන්ය යන මිත්‍යාවෙන් මිදීමට බොහෝ සාමාජිකයින්ට රුකුල් දුන්නා. 1944 දී සංවිධානය තාවකාලිකව විසුරුවා හැරුණා.

කෙසේ නමුත් 1960 ගණන් වෙද්දී බෝම්බ පිපිරීම්, පහරදීම, සහ කළු හා සුදු ජාතික ක්‍රියාකාරීන් ඝාතනය කිරීමේ ‍රැල්ලක් දකුණුදිග ජනපදයන්ගෙන් නිරීක්ෂණය කෙරුණා. මේවා 1964 සිවිල් අයිතිවාසිකම් පණතට විරෝධය දක්වන ප්‍රාදේශීය කූ ක්ලක්ස් ක්ලෑන් කල්ලිවල ක්‍රියාවන් ලෙස යි සැළකුණේ. 1965 දී එවක ජනාධිපති විසින් ක්ලෑන්හි ක්‍රියාවන් ප්‍රසිද්ධියේ විවේචනය කළා. එම සිදුවීම් වලින් අනතුරුව සංවිධානය පිරිහී ගිය බවට පෙනෙන්නට වුණා. පසු දශකයන්හි දී ඉතිරිව සිටි සාමාජිකයින් නියෝ-නාට්සි වැනි උග්‍ර දක්ෂිණාංශික සංවිධානයන් හා බැඳුණු බවක් පෙනෙන්නට තිබෙනවා. අදටත් එක්සත් ජනපදයේ ක්ලෑන් සාමාජිකයින් 8000 - 12000 අතර ප්‍රමාණයක් සිටින බවයි අනුමානය.

වර්තමානයේ කූ ක්ලක්ස් ක්ලෑන් (Mic)

මූලාශ්‍රයයන්:

The Atlantic

history.com

The New York Times

Britannica

The Guardian

The Washington Post

Cover image: ක්ලෑන් සාමාජිකාවන් පිරිසක් (දිනය නොදනී) (Flashback : Dallas)