“මඟුල් පෝරුවක්” නිසා ප්‍රසිද්ධ වූ, ලාහුගල මඟුල් මහා විහාරය

මොණරාගල පොතුවිල් මාර්ගයේ සියඹලාණ්ඩුව හන්දියේ සිට කී. මී. 18ක් දුර ගමන් කරන විට ලාහුගල පන්සල්ගොඩ හන්දිය හමුවෙනවා. එතැන සවිකර ඇති පුරාවිද්‍යා නාම පුවරුව අසලින් හැරී ලාහුගල මඟුල් මහා විහාර පුදබිමට ළඟාවීමට පුලුවන්. කුඩා වාහනයකට වුවත් පහසුවෙන් මෙතැනට යාමට පුළුවන්. අතුරු මාර්ගයේ කී. මී. 1.1ක් දුරින් වනතුරු අතර පුරාවිද්‍යා නටබුන් භූමිය පිහිටා තිබෙනවා. ලාහුගල පුරාවිද්‍යා කලාප කාර්යාලය පිහිටා ඇත්තේ ද එම බිමෙහිම යි. මොණරාගල සිට දුර කි. මී. 85ක් වෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පන්සල්ගොඩ ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇති මඟුල් මහා විහාරය පුරාවිද්‍යා භුමිය පුරාණ බෙදීම් අනුව අයත් වන්නේ පානම් පත්තුවට යි.

ජනප්‍රවාද

ලාහුගල – Kusumsiri Wijayawardhana

අම්පාරට හෝ පොතුවිල් වෙත එන  බොහෝ දෙනෙක් මඟුල් මහා විහාරය නැරඹීමට අමතක නොකරන්නේ මේ විහාරය වටා ගෙතී ඇති අපුරු ජනප්‍රවාදයක් හින්දා යි. එම ජනප්‍රවාදයට අනුව රුහුණේ මාගම පාලනය කළ කාවන්තිස්ස රජු විහාරමහාදේවි කුමරිය සරණපාවා ගෙන මංගල්‍යය පැවැත්වූයේ මෙම ස්ථානයේ දී යි. මෙහි පිහිටි කැටයම් සහිත සෘජුකෝණාස්‍රාකාර ඉදිකිරීම මඟුල් පෝරුව බව එම ජනප්‍රවාදයේ පැවසෙනවා. මෙහි ඇත්තේ බෝධිඝර ගොඩනැගිල්ලක නටබුන් මිස මඟුල් පෝරුවක් නොවන බව පුරාවිද්‍යා කැණීමෙන් දැනගත හැකි වුණා.   

මඟුල් පෝරුව ලෙස හඳුන්වන බෝධිඝරය-greenholidaytravels.com

එයටම සම්බන්ධ තවත් කතාවක් වන්නේ කැලණිතිස්ස රජු මුහුදට බිලි කළ දේවී කුමරිය ගොඩබිමට පැමිණ ඇත්තේ මෙයට නුදුරින් පිහිටි පොතුවිල් මුහුදු මහා විහාරය අසලින් බව යි. මූදු මහා විහාරය ද වටිනා පුරාවිද්‍යා නටබුන් සහිත ස්ථානයක් බව ඔබ දන්නවා ඇති. මෙම ජනප්‍රවාද පදනම් කරගෙන පසුකාලීනව විහාරයට මඟුල් මහා විහාරය යන නම ලැබෙන්නට ඇති. එහෙත් පුරාවිද්‍යාත්මක හෝ ඓතිහාසික සාධක අනුව එවැනි නමක් සහිත විහාරයක් හමුවන්නේ නැහැ. මේ නම මෑත අතීතයක භාවිතයට පැමිණි නමක් බව පැහැදිලි යි.

විහාර සංකීර්ණයට පිවිසෙන දොරටුවක් -srilankanstyle.com

අක්කර 15ක පමණ වනගත පෙදෙසක විහාර භූමිය පැතිර තිබෙනවා. නටබුන් බිමට ඇතුළුවීමට පෙර හමුවන්නේ භික්ෂුන් වැඩවසන කුඩා සංඝාවාස ගොඩනැගිල්ල යි. ධර්ම ශාලාවත් ඒ අසලම පිහිටා තිබෙනවා. ප්‍රදේශයේ වැසියන්ගේ දුෂ්කරතාව එම ගොඩනැගිලිවල දුප්පත් බවෙන් පැහැදිලි වෙනවා. වනගතව පැවති මේ භූමියට මුලින්ම භික්ෂූන්වහන්සේ නමක් පැමිණියේ 1907 දී යි. ඒ, දැනෙනගල ස්වර්ණජෝති හිමියන් වන අතර, 1983 සිට  විහාරධිපති ලෙස හුළංනුගේ රතනසාර හිමි කටයුතු කරනවා.

පුරාවිද්‍යා සංරක්ෂණය

සංරක්ෂණය කළ පිළිම ගෙය – Kusumsiri Wijayawardhana

මෙම නටබුන් බිමේ පුරාවිද්‍යා කැණීම් දිගුකලක් තිස්සේ වරින්වර සිදුවුණා. විහාරය වටා පිහිටි ප්‍රාකාරය, බෝධිඝරය, දාගැබ, සහ පිළිමගෙය ආදියේ සංරක්ෂණ කටයුතු අවසන්කර තිබෙනවා. තවත් සංඝාරාම සහ පූජනීය ගොඩනැගිලි රාශියක් තවමත් කැණීම්කර සංරක්ෂණයකර නැහැ. 18කට ආසන්න සේවක පිරිසක් මෙම කාර්යාලයේ මඟුල් මහා විහාරය රැකබලා ගැනීමට යොදවා තිබෙනවා. පසුගිය කාලයේ ඇතුළු මළුවේ ශෛලමය ප්‍රාකාරයේ කොටසක් ගරාවැටී තිබුණු අතර, එය සංරක්ෂණය කිරීම සිදුවුණා. අසම්පූර්ණව පවතින ගඩොල් වරි බැඳ සංරක්ෂණය කරනවා. එයට අමතරව විහාර භූමියට ප්‍රවේශ වන මාර්ගය දෙපස ඇති පොකුණු දෙකෙන් එක් පොකුණක් මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් කැණීම් කළ අතර, එහි පොකුණු ප්‍රාකාරය පාදාගනිමින් සංරක්ෂණය සිදුවෙනවා. කැණීම්වල දී මැටි භාණ්ඩවල කොටස් හමුවී තිබෙනවා.

පැරණි පොකුණු 

නටබුන්ව ගිය පොකුණක්-srilankantravelnotes.com

විහාර බිම ඉදිරිපිට මාර්ගය දෙපසම පොකුණු දෙකක් තනා තිබෙනවා. මෙම පොකුණු ඉදිකර ඇත්තේ ස්වභාවික පර්වතයක් ද හසුවන ලෙස යි. බැම්මට ගල් පුවරු සහ ගල් කැබලි යොදාගෙන තිබෙනවා. පුරාණයේ දී පස් පියුමින් සුසැදි පොකුණු අතරින් විහාර මළුවට පියමං කිරීම සිත් සනහන අත්දැකීමක් වන්නට ඇති බව නිසැක යි. අද වන විට මේ පොකුණු ගොඩවී බෙරු පන්වලින් වැසී පවතිනවා. බෙරුපන් ආහාරයට ගැනීමට අලිඇතුන් ද නිතර පැමිණෙනවා. පොකුණට බැසීමට ගලින් කළ පියගැටත් දකින්න ලැබෙනවා.

පබ්බත විහාර නටබුන්

නටබුන් ගොඩනැගිල්ලක මුරගලක් -Traveltosl.weebly.com

මෙය පබ්බත විහාර ගණයට අයත් පූජනීය ස්ථානයක් බව එහි සැලසුම අනුව පැහැදිලි වෙනවා. පබ්බත විහාරවල දැකගත හැකි, විහාර සංකීර්ණය වටා ගමන් කරන ප්‍රාකාරය මෙහිත් දැකගත හැකියි. එම ප්‍රාකාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණයකර තහවුරුකර ඇති අතර කාලයත් සමග එහි ඇතිවූ ගරාවැටීම් දැන් යලිත් සංරක්ෂණය කෙරෙමින් පවතිනවා. මෙවැනි විශාල ප්‍රාකාර ඉදිකරන්නට ඇත්තේ විහාරයට වන සතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීමේ අරමුණ ඇතිව බව පෙනෙනවා. දඹුල්ල කළුදිය පොකුණ, මැණික්දෙන, දිඹුලාගල නාමල් පොකුණ, ත්‍රිකුණාමලය වෙල්ගම් වෙහෙර වැනි පබ්බත ආරාමවල මේ ලක්ෂණය අපට පැහැදිලිව දැකගත හැකියි.

ඉතිහාසය

බෝධිඝරයේ නටබුන්- Traveltosl.weebly.com

මෙහි පුරාණ නාමය “රූණු මහා වෙහෙර” හෙවත් “රෝහණ මහා විහාරය” බව ඉතිහාස මූලාශ්‍රවලින් හෙළි වී තිබෙනවා. මෙම ස්ථානයෙන් හමුවූ 10 සහ 14 වන සියවස්වලට අයත් ශිලා ලිපි දෙකක එම නම් සඳහන් වෙනවා. මෙම නාමය 14 වැනි සියවස දක්වාම භාවිත කර තිබෙනවා. එකල රෝහණ රාජ්‍යයේ ප්‍රධාන පුදබිමක් වශයෙන් මෙම විහාරය සැලකුණ බව ඒ අනුව පැහැදිලි යි.

මහාවංශයට අනුව විහාරයේ ආරම්භකර ඇත්තේ 6 වන සියවසේ දී යි. රුහුණේ පාලක දප්පුල රජු රුහුණු මහා වෙහෙර පිහිටුවන ලද බව මහාවංශයේ සහ පුජාවලියේ දැක්වෙනවා. මෙහිදී හමුවූ 14 වැනි සියවසට අයත් ශිලා ලේඛනයට අනුව විහාරය පිහිටුවා ඇත්තේ අනුරාධපුරයේ රජකළ ‘ධාතුසේන’ හෙවත් ‘දාසෙන්කැලි’ රජු විසින්. අනුරාධපුර යුගයේ අවසන්භාගය වන විට රූණු මහා වෙහෙර බෞද්ධයන් අතර ප්‍රචලිත පුදබිමක්ව පැවති බවට ඓතිහාසික මූලාශ්‍රවලින් හා නටබුන්වලින් පැහැදිලි වෙනවා.

දාගැබ

දාගැබ ඉදිරිපසින්- Wikipedia.org

සෑම පබ්බත විහාරයකම මෙන් මෙහි ද  නටබුන් අතර ප්‍රධානත්වයක් හිමිකර ගන්නේ දාගැබ යි. කළුගලින් කළ අඩි 4ක් උස් මළුවක තනා ඇති දාගැබට පිවිසීමට හතර පැත්තෙන් දොරටු හතරක් තිබෙනවා. එහි පියගැට පෙළ කැටයම් රහිත චාම් කොරවක්ගල්වලින් යුක්ත යි. මුරගල්වල ද කැටයම් දකින්න ලැබෙන්නේ නැහැ. පියගැටවලට ඉහළින් සිංහරූප දෙක බැගින් නිර්මාණයකර තිබෙනවා.

දාගැබ අසල සලපතල මළුවේ සහ එහි ප්‍රාකාරයේ පුවරු ලිපි දෙකක් තිබෙනවා. විහාරයේ නාමය තහවුරුකර ගැනීමට ඉඩ ලැබුණේ ඒ පුවරු ලිපි නිසා යි. මෙහිදී හමුවූ 14 වැනි සියවසට අයත් පුවරු ලිපියේ දැක්වෙන්නේ, ‘පැරකුම්බා’ නමින් හඳුන්වන සහෝදර රජවරුන් දෙදෙනෙකුට අගමෙහෙසිය වූ විහාරමහා දේවිය විසින්, ධාතුසේන රජු කරවා ජරාවාස වූ මේ විහාරය නැවත පිළිසකරකර නඩත්තුවට ඉඩම් පරිත්‍යාග කළ බව යි. සෙල්ලිපියේ සඳහන් පරාක්‍රමබාහු රජවරුන් හෝ විහාරමහා දේවිය ගැන වංශකතාවලින් හෙළි වන්නේ නැහැ. දුටුගැමුණු රජුගේ මැණියන් හැරෙන්නට තවත් විහාරමහා දේවියක් ගැන මෙහි සඳහන් වීම විශේෂිත කරුණක්. මහාචාර්ය සෙනරත් පරණවිතාන සඳහන් කරන්නේ මෙහි දැක්වෙන පරාක්‍රමබාහු සොහොයුරන් ගම්පොළ රජ කළ 5 වැනි පරාක්‍රමබාහු (1344-1359) සහ 4 වැනි පරාක්‍රමබාහු බව යි.

බෝධිඝරය

බෝධිඝරයේ කැටයම්- greenholidaytravels.com

දාගැබට බටහිර දිසාවෙන් පිහිටි ශෛලමය ගොඩනැගිල්ල බෝධිඝරය යි. රජකීය මඟුල් පෝරුව බවට කතාවක් නිර්මාණය කර ඇත්තේ එය වටා යි. එහෙත් වාස්තු විද්‍යාත්මක ලක්ෂණ අනුව එය අනුරාධපුර යුගයට අයත් බෝධිඝරයක් බව පැහැදිලි යි. බෝධිඝරයේ ප්‍රාකාරය පිටතින් අලංකාර කර ඇත්තේ විවිධ ඉරියව් දැක්වෙන සිංහරූප පෙළකින්. දොරටුවේ නාග රූප මුරගල් දෙකක් තිබෙනවා.

සඳකඩ පහණ

සඳකඩ පහණ – greenholidaytravels.com

නටබුන් ගොඩනැගිල්ලකට අයත් පිවිසුමේ තිබුණු අපූරු සඳකඩ පහණක් කැණීම්වලින් හමුවී තිබෙනවා. එහි විශේෂත්වය නම් ඇත් රූප පේළියේ එක් ඇතෙකු පිට නැගි ඇත්ගොව්වෙකු ද දකින්න ලැබීම යි. එවැනි කැටයමක් ලංකාවේ වෙනත් කිසිම සඳකඩ පහණක හමුවන්නේ නැහැ. මෙය 14 වැනි සියවසේ දී කළ ප්‍රතිසංස්කරණයේ දී එක්කළ නිර්මාණයක් බව හෙළි වී තිබෙනවා. එහි මුලින්ම පද්මය වටා යන නෙලුම් පෙහොට්ටු අතින් ගත් හංස පේළියක් ද ඉන් පසු මල්වැල් මෝස්තරයක් ද දැක්වෙනවා. අවසානයට ඇත්තේ ඇත් රූප පේළිය යි.

පිළිම ගෙය ඇතුළු නටබුන්

පිළිමගෙය ඉදිරිපසින්- Kusumsiri Wijayawardhana

රුහුණු මහා වෙහෙරේ පිළිමගෙය දිගින් අඩි 89ක් ද පළලින් අඩි 58ක් ද වන ගොඩනැගිල්ලක්. එහි පියස්ස දරා සිටි ගල්කණු රැසක් ද ඉතිරි වී තිබෙනවා. එහි දක්නට ලැබෙන ශෛලමය හිටි බුද්ධ ප්‍රතිමාවේ හිස කැඩී ගොසින්. උපෝසථඝරය මෙහි පිහිටි තවත් වැදගත් ගොඩනැගිල්ලක්. පූජනීය නොවන ගොඩනැගිලි වන සංඝාරාම, දාන ශාලා, උල්පැන් ගෙවල් ආදිය තවම කැණීමකට භාජනය කර නැහැ.

නිස්කලංක වටපිටාවකින් යුත් මඟුල් මහා විහාරය නරඹන අපගේ සිත් නොදැනුවත්වම අතීතයට ගමන් කරනවා.

ආශ්‍රිත මූලාශ්‍ර:

ශ්‍රී ලංකාවේ රජමහා විහාර- කුසුම්සිරි විජයවර්ධන

උතුරු නැගෙනහිර සිංහල බෞද්ධ උරුමය- එල්ලාවල මේධානන්ද හිමි

කවරය- ලාහුගල දාගැබ-Kusumsiri Wijayawardhana

Related Articles