ශ්‍රී ලංකාවේ වැඩිම කලක් රජ කළ රජවරුන්

ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් හඳුන්වන ශ්‍රී ලංකාව අතීතයේ විවිධ රජවරුන් විසින් විවිධ ප්‍රදේශ තම රාජධානිය බවට පත් කර ගනිමින් පාලනය කරන ලදී. එකල ප්‍රධානතම ජීවනෝපායමාර්ගය වූ කෘෂිකර්මාන්තයේ දියුණුව උදෙසා වැව් අමුණු රාශියක්ද ඉදි කර තිබේ. මෙරට වියළි කලාපයේ කන්න දෙකක් වී වගා කිරීමට හැකි වූ සුවිසල් වාරි මාර්ග පද්ධතියක් බිහි කිරීමට ඔවුන් එදා සමත් වූ ආකාරය සැබැවින්ම පුදුම සහගතය.

අද අපි බොහෝ තාක්ෂණික අංශයන්ගෙන් බටහිර ජාතීන්ට වඩා පිටුපසින් සිටියත් එදා මෙරට ලොව දියුණුම රටක්ව තිබුණාට සැක නැත. අදටත් අපේ කුසගිනි නිවන බත්වලින් වැඩි ප්‍රමාණයක් සෑදෙන්නේ අපේ පුරාණ රජවරුන්ගේ වික්‍රමයන් නිසා බිහි වූ වාරිමාර්ගවල දියවරෙනි. එපමණක් නොව අදටත් අපි ව වඳින පුදන වෙහෙර විහාර බොහෝමයක් ගොඩ නංවා මෙරට ජනයාගේ අධ්‍යාත්මික සුවය සැලසීමටද එදා සිටි රජවරුන් නොමඳ උත්සාහයක් ගත්හ.

මේ ලිපියෙන් තොරතුරු ගෙන එන්නේ වැඩිම කලක් රජකම් කළ ලාංකික රජවරුන් කිහිප දෙනෙක් පිළිබඳවයි.

පණ්ඩුකාභය රජ

(sirimunasiha.wordpress.com)

ලංකාවට බුදු දහම පැමිණි යුගයේ ඓතිහාසික වීරයා ලෙස මහවංශය දක්වනුයේ පණ්ඩුකාභය රජතුමාය. ඔහුගේ ජීවන ප්‍රවෘත්තිය හා කාර්ය සංකල්පයන් වටා ජනකථා රාශියක් ගෙතී ඇත. පණ්ඩුකාභය රජු අනුරාධපුර අගනුවරක් කළ පළමු ආරම්භකයා මෙන්ම ශ්‍රි ලංකාවේ විශිෂ්ට රජවරුන්ගේ පෙළපතේ ආරම්භකයා ලෙසත් දැක්විය හැක.

ඉන්දියාවේ සිට පැමිණ මෙහි රජු වූ පණ්ඩුවාසුදේව රජුට සහ ඔහුගේ බිසව බද්ධකච්චානා දේවියට පුතුන් 10 ක් හා චිත්‍රා නම් දියණියක් විය. දියණියගේ උප්පත්තියෙදිම ඇය ලබන පුතකු විසින් ඇයගේ සොහොයුරන් මරණයට පත්කරන බවට නක්ෂත්‍ර කරුවන් විසින් පවසා තිබූ බැවින් ඇය වෙන්කර තබා ආරක්ෂා කිරීමට පිය රජු විධි විධාන යෙදිය. එහෙත් ඇය තම මවගේ සොහොයුරෙකුගේ පුතෙකු වු දීඝ ගාමිණී සමග සම්බන්ධයක් ඇති කරගත් අතර පුතෙකුද ලැබුවාය. ඔහු නමින් පණ්ඩුකාභය විය.  ක්‍රි.පු. 437 – 367 දක්වා අනුරාධපුර රාජධානිය කේන්ද්‍ර කරගනිමින් රාජ්‍ය කළ මෙතුමාගේ පුර්ණ රාජ්‍ය කාලය වසර 70ක් වේ. අදටත් මෙරට වැඩිම කාලයක් පාලකයා සිට අැ‍ත්තේ එතුමාය.

මුටසිව රජ

ක්‍රිපූ 307 සිට ක්‍රිපූ 367 දක්වා රාජ්‍යය පාලනය කළ මෙතුමාද අනුරාධපුර රාජධානියෙහි මුල් රජ කෙනෙකි. පණ්ඩුකාභය රජුගේ පුත්‍රයා වූ ඔහුට, පුතුන් නව දෙනෙකු විය. රාජ්‍යය පාලනය කළ කාලය වසර 60කි. සිය පියාණන් මෙන්ම අනුරාධපුරය තම රාජධානිය බවට පත් කරගෙන රජකම් කළ මෙතුමාගේ රාජ්‍ය සමයේ මතකයේ රැඳෙන ඉදිකිරීමක් ලෙස අදටත් සිහි කළ හැකි වන්නේ අනුරාධපුරයේ මහමෙවුනා උද්‍යානයයි .

මායාදුන්නේ රජ

(joemonster.org)

කෝට්ටේ සත්වන විජයබාහු රජතුමාගේ වැඩිමල් පුතුවන මායාදුන්නේ රජ පෘතුගීසින්ගෙන් ලක්දිව බේරා ගැනීමට මහත් කැපවීමකින් කටයුතු කරන ලදී. මෙතුමාගේ රාජ්‍ය කාලයද වසර 60කි. සත්වන විජයබාහු රජුට එරෙහිව ඔහුගේ පුතුන් තිදෙනා විසින් කරන ලද කුමන්ත්‍රණය වන විජයබා කොල්ලයේ එක් පාර්ශවකරුවෙක් ලෙසද මායාදුන්නේ කුමරුව හඳුන්වා දීමට හැක.

පළමුවන විජයබාහු රජ

පළමුවන විජයබාහු රජතුමා ක්‍රි.ව 1055 සිට 1110 දක්වා පොළොන්නරුව අග නගරය කර ගනිමින් රාජ්‍ය කර වූ ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. සිය වසර 55ක රාජ්‍ය කාලය ආරම්භ වන්නට ප්‍රථමයෙන් වසර 17ක් සටන් මෙහෙයුම්වල යෙදී රට එක්සේසත් කරන්නට යෙදුණු විජයබාහු රජු මෙරට චෝල පාලනය සහමුලින් ම අවසාන කළ රජතුමා ලෙස ඉතිහාසගත වේ. සියවසකට පසු ලංකාව නැවත එක්සත් කිරීමට එමගින් එතුමාට හැකි විය.

එතුමාගේ පාලන කාලය තුල බුද්ධ ධර්මය නැවත පිහිටුවීමටත්, යුද්ධය නිසා විනාශ වූ යටිතල පහසුකම්, වෙහෙර විහාර, ගොඩනැගිලි ආදිය අලුත් වැඩියා කිරීමටත් කටයුතු කරන ලදී.

හයවන පරාක්‍රමබාහු රජ

(historynet.com)

වර්ෂ තිස්‌ හතරක්‌ රජකම් කළ බුවනෙකබාහු රජුගෙන් පසු රාජ්‍ය බලය හිමිවූයේ 6 වැනි පරාක්‍රමබාහු රජතුමාටය. මොහු ක්‍රි. ව. 1412 සිට 1467 දක්‌වා වසර පනස්‌ පහක්‌ රාජ්‍ය ත්‍රන්ත්‍රයේ නියෑළුණි. විධිමත් ලෙස සැකසූ කොට්‌ටේ නගරය (ශ්‍රී ජයවර්ධන පුර) තුළ දළදා සමිඳුන් උදෙසා විහාරයක්‌ කරවා දළද වහන්සේ එහි වැඩම කිරීම රජුගේ මුල්ම කාර්යය විය.

මෙතුමා මුලින්ම රාජ්‍ය පාලකයකු ලෙස පත්ව ඇත්තේ රයිගමදීය. 6 වැනි පරාක්‍රමබාහු රජතුමාගේ බුද්ධිමත් කම, උපායශීලීත්වය හා කාර්යශූරත්වය වැඩියෙන් භාවිත කිරීමට සිදු වූයේ යාපනයේ එවකට රජවී සිටි ආර්ය චක්‍රවර්තී නැමැත්තාගෙන් රට බේරා ගැනීම සඳහාය. 6 වැනි පැරකුම්බා යුගයේදී සිංහල සාහිත්‍යයට අනුපමේය සේවයක්‌ කරමින් සංදේශ කාව්‍ය රැසක්‌ ද බිහිවිය. පරවි, හංස, ගිරා වැනි සංදේශ ඒ අතර වේ. යාපනය මෙම රජු විසින් නතුකර ගත් අයුරු සැලළිහිණි සංදේශයෙන් එළි දැක්‌වෙයි.

එළාර රජ

දමිල රජ කෙනෙකු වන එළාර රජු වසර 44ක් රාජ්‍යය පාලනය කර ඇත. එළාර රජු බෞද්ධ පාලකයෙකු නොවූවද මහා වංශයේ ඇති අන්දමට ඔහු බෞද්ධ රජවරුන්ගේ පෙර චාරිත්‍ර අනුව යමින් මෙරට සම්මතය පරිදි ධාර්මික පාලනයක් ගෙන ගොස් තිබේ. එළාරගේ ප්‍රධාන යෝධයා වූ දීඝජන්තු පවා නිතර ශ්‍රී පාදය කරුණා කළ අයෙකු බව කියවේ. නන්දිමිත්‍රගේ පියාද එළාර රජුගේ සෙනෙවියෙක් විය.

සිංහලයන් මෙන්ම බෞද්ධයන් පහදවා ගැනීමේ උපක්‍රම අනුගමනය කිරීම නිසා ඔහුට වසර හතළිස් හතරක් පාලනය ගෙන යාමට හැකි විය.

වසභ රජ

ලංකා ඉතිහාසයේ පළමු වරට බලය විමධ්‍යගත කළ රජතුමා ලෙසට වසභ රජු හැදින්විය හැක. වසභ රජතුමා අනුරාධපුර රාජධානියේ ඔටුන්න හිමිකරගනු ලබන්නේ එකල රජ කල සුභාරාජ රජු මරාදැමීමෙන් පසුවයි. ක්‍රි.ව 67-111 අතර වසර 44ක කාලයක් එතුමා රාජ්‍ය පාලනය කරන ලදී.

දේවානම්පියතිස්ස රජ

(archive2.srilankamirror.com)

මෙතුමා මුටසීව රජුගේ දෙවෙනි පුත්‍රයා විය. ලක්දිව බුදුසසුන පිහිටුවනු ලැබුවේ දේවානම්පියතිස්ස රජ සමයේදී ය. ඔහුගේ රාජ්‍ය සමය තුළදී ඉදි කළ වෙහෙර විහාර හා වෙනත් ආගමික ගොඩනැගිලි අතර ඉසුරුමුණිය විහාරය, ශත්ථාල්හක මෙහෙණිවර, මහාපාලී දන්සැල, නාගදීපයේ දඹකොළ වෙහෙර හා තිස්ස මහාවිහාරය, ප්‍රාචීණාරාමය ආදිය දැක්විය හැකිය.

මෙතුමා ක්‍රි. පූ 307 – 267 අතර වසර 40ක් පුරාවට රජකම් කර තිබේ.

මහසෙන් රජ

මහසෙන් රජු මින්නේරි දෙවියන් ලෙසද හඳුන්වා ඇත. මෙතුමා ලංකාවේ වැවු 16 කරවූ බව සඳහන් වේ. මෙරට කවුරුත් දන්නා හඳුනන මින්නේරි වැවද මින් එකකි. අනෙකුත් ඒවා ලෙස කණදරා වැව, කවුඩුල්ල වැව, මහගල්කඩවල වැව, හුලුගල්ල වැව, හිරාමුල්ල වැව, හුරුළු වැව, මාමිණියා වැව, මාගල් වැව, කළවාණ වැව, මෙරවාපිය වැව දැක්විය හැක.

ජේතවනාරාමය කරවන ලද්දේද මහසෙන් රජු විසින්ය. එය ගීසාහි පිරමීඩය හැර අතීත ලොව ගඩොලින් බිහි කර තිබූ සුවිසල්ම ගොඩනැගිල්ලක් ලෙස සැලකේ.

කවරයේ පින්තුරය – sirimunasiha.wordpress.com

Related Articles