නිකරගුවානු විප්ලවය (දෙවන කොටස)

ලොව අවසන් වාම විප්ලවය ලෙස සලකන නිකරගුවානු විප්ලවයේ පසුබිම් තොරතුරු අප පසුගිය සතියේ පළවුණු මෙන්න මේ ලිපියෙන් ගෙන ආවා. මේ ලිපිය එහිම දිගුවක්. 

සිවිල් යුධ තත්ත්වය

1979 වසරේ මුල් භාගයේ වෙද්දී, FSLN හා රජය අතර සිවිල් යුධ තත්ත්වයක් පැවතිය අතර, FSLN සංවිධානය නිකරගුවාවේ අගනුවර හැර අනෙක් බොහෝ පලාත්වල නිල නොවන ලෙස බලය පවත්වාගෙන ගියත් සොමෝසා ජනාධිපතිවරයා ඔවුන්ට බලයක් නොමැති බව මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ ය.

මේ වනවිට එක්සත් ජනපද රජය සොමෝසාගේ මානව හිමිකම් උල්ලංඝනයන් ගැන නෑසු කන්ව සිටියේ ය. ඔවුන් නිකරගුවා රජය හා FSLN අතර එකඟත්වයක් ඇති කිරීමට උත්සාහ කළත් දෙපාර්ශවයම ඊට එකඟ වූයේ නැත. 1979 ජූනි මාසයේ දී නිකරගුවානු හමුදා විසින් ඇමරිකානු මාධ්‍යයවේදියෙකු වූ බිලි ස්ටුවර්ඩ් මහමඟ දී ඝාතනය කරනු ලැබුවේ ඇමරිකානු සහයෝගය වෙනතකට යොමු කරමිනි. එම ඡායාරූප ප්‍රසිද්ධවීමත් සමගම සොමෝසාට ලැබුනු ඇමරිකානු සහයෝගය ඇන හිටිනි. ඒත් සමගම සොමෝසා නිකරගුවාවෙන් පලාගිය අතර, 1979 ජුලි මස 19 වන දින නිකරගුවානු වැසියන්, සිය විප්ලවය උද්යෝගයෙන් සමරනු ලැබී ය. 

නිකරගුවා සිවිල් යුද්ධයේ කාන්තාවෝ

FSLN ආණ්ඩුබලය ලබා ගැනීම

ඒත් සමගම ව්‍යාපාරික ප්‍රජාවගෙන් හා බුද්ධිමතුන්ගෙන් සමන්විත වූ රජයක් පිහිටුවන ලදී. ඒ සමගම FSLN රජය මඟින් ගෙනගිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් හේතුවෙන් නූගත්කම 67% සිට ඉතා දැවැන්ත ලෙස 13% දක්වා පහත වැටිනි. කිසි දිනක අධ්‍යාපන හා සෞඛ්‍ය අවස්ථාවන් නොලැබූ අයට එම අවස්ථා ලැබිණි. මේ විප්ලවයට මූලික හේතුපාදක වූ ගොවියන්ගේ ඉඩම් ගැටළුවලට ද විසදුම් ලැබිණි. ඒ අනුව එතෙක් කල් ඉඩම් අහිමිව අපා දුක් විදි ගොවියන්ට තමන්ගේ වගාවන් සදහා ඉඩම් අයිතිය ලැබිණි.

FSLN රජය කියුබාව සමග ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පවත්වා ගිය අතර එය එවකට ඇමරිකානු ජනාධිපතිවරයව සිටි රොනල්ඩ් රේගන් ගේ හිත සුව පිණිස හේතු නොවී ය. විශේෂයෙන්ම සැන්ඩීනීස්ටා රජය එල්-සැල්වදෝර් මාක්ස්වාදී කණ්ඩායම් හා පැවැත්වූ සම්බන්ධයට ඇමරිකානු රජයේ වපර ඇස යොමු විය.

කොන්ට්‍රා කැරලිකරුවන්

මේ වන විට සැන්ඩිනිස්ටා රජයේ වෛරයට පාත් වූ පිරිසක් ද විය. සොමෝසා රජයේ හිතවාදී හමුදා කණ්ඩායම් හා එම රජයෙන් වරප්‍රසාද ලත් පන්තිය සැන්ඩිනිස්ටා රජය කෙරෙහි දැක්වූයේ එදිරිවාදී ආකල්පයකි. මොවුන් කොන්ට්‍රා කැරලිකරුවන් ලෙස ප්‍රසිද්ධියට පත්වූ අතර මේ කැරලිකරුවන්ට ඇමරිකා එක්සත් ජනපදයේ සී.අයි.ඒ. සංවිධානයේ නොමඳ සහාය ලැබිණි. මේ කැරලිකරුවන් සතුව පැවති නවීන ආයුධ සමගින් සටන් වැදීමට නිකරගුවානු රජය සතුව පැවතියේ යල් පැනගිය ආයුධ ය. නිකරගුවානු රජය පැහැදිලි විකල්පය වන සෝවියට් රුසියාව වෙතින් උදව් ඉල්ලා සිටි අතර නිකරගුවාව නැවතත් යුධ භූමියක් බවට පත්විය. 

කොන්ට්‍රා කැරලිකරුවෝ නිකරගුවාවේ උතුරු කඳුකර ප්‍රදේශවල සිය බලය තහවුරු කරගෙන සිටියහ. හොන්ඩුරාස් රාජ්‍යයේ කඳවුරුවල පුහුණුව ලැබූ මේ කොන්ට්‍රා කැරලිකරුවන් මානව හිමිකම් ගැන කිසිදු තැකීමක් නොකළ අතර ඔවුන් මිනිමැරුම්, ස්ත්‍රී දූෂණ, මත්ද්‍රව්‍යය වෙළඳාම වැනි සමාජ විරෝධී ක්‍රියාවල නිරත විය.

නිකරගුවානු රජය මාධ්‍ය වාරණයක් සමග හදිසි නීතිය පනවන ලදී. නමුත් එම ක්‍රියාවට සැන්ඩිනිස්ටාවරුන්ගෙන්ම විරෝධතාවක් මතුවූයේ එය සුපිරිසිදු වූ විප්ලවයට කළු පැල්ලමක් බව කියමිනි. ඒ අනුව එඩෝස් පැස්ටොරා නිකරගුවාවේ දකුනු ප්‍රදේශයේ වෙනත් කණ්ඩායමකට නායකත්වය දෙමින් සැන්ඩිනිස්ටාවරුන්ට එරෙහිව සටන් වැදිනි. අභ්‍යන්තර අර්බුද හා ජාත්‍යන්තර තර්ජන මැද පොරොන්දු වූ පරිදිම 1984 දී නිකරගුවානු ජනාධිපතිවරණය පවත්වනු ලැබුවේ ය. ඒ අනුව එතෙක් අට දෙනෙකුන්ගෙන් සමන්විත නායකත්ව මණ්ඩලයේ සම්බන්ධීකාරක ලෙස සිටි ඩැනියෙල් ඔටේගා එම ජනාධිපතිවරණයෙන් 67% ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ජය ගත් අතර ඔහු 1990, 1996, හා 2001 පැවති ජනාධිපතිවරණ පරාජයන්ගෙන් පසුව 2006 සිට මේ දක්වා බලයේ සිටියි.

ඩැනියෙල් ඔටේගා

ඉන් පසුව කොන්ට්‍රාවරුන්ගේ යුද්ධයට මුහුණ දීම සදහා නිකරගුවානු ජනාධිපතිවරයාට දැඩි පාලනයක් ගෙන යාමට සිදු වූ අතර එය නිකරගුවානු වැසියන්ට දැඩි පීඩා ගෙන දෙන්නක් විය. එත් සමගම ඇමරිකාව චිලියේ දී අයෙන්ඩේගේ පාලනයට එරෙහිව කළාක් මෙන් මාධ්‍යයන් මඟින් ද රජය අපකීර්තියට පත්කරවන පුවත් මවන ලදී. මේ සියල්ලෙන් සිදු වූයේ මීට වසර කිහිපයකට විප්ලවයට හදවතින්ම ආශිර්වාද කළ නිකරගුවානු ජනයා, එම විප්ලවකාරි රජයෙන් ඈත්වීම යි. 

ඇමරිකානු සම්බාධක හා ඉරාන – කොන්ටා ගනුදෙනුව

නිකරගුවානු පල්ලිය ද පැවති රජයට එරෙහිව කටයුතු කළ අතර, නිකරගුවානු ජනයා වඩාත් පීඩාවට පත් කරමින් රේගන් පාලනය 1985 මැයි මස නිකරගුවාවට එරෙහිව සම්බාධක පැනවීය. නිකරගුවාව ස්වභාවික සම්පත්වලින් ගහන රටක් වූව ද, මේ සම්බාධක ඔවුන්ගේ ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කර සිටියේ ය. සරුසාර භූමියකින් හෙබි නිකරගුවාවට සම්බාධක හමුවේ ඉන්ධන හා පලිබෝධනාශකවල දැවැන්ත හිඟයක් ඇතිවිය. ඒ අනුව ඔවුන්ගේ කෘෂිකර්මාන්තය කඩා වැටුනු අතර නිකරගුවාවෙන් දුම්කොළ ආනයනය ඇමරිකාව විසින් තහනම් කරන ලදී. මේ ආර්ථික ගැටළු හමුවේ නිකරගුවා වැසියන් සර්පයන් හා කුඩා උරගයින් පවා ආහාරයට ගත් බව සදහන් වේ. 

1986 වන විට විප්ලවය සොඳුරු සිහිනයක් පමනක්ම වී තිබිනි. මේ අතර කොන්ට්‍රා කැරලිකරුවන්ට ද ඇමරිකානු කොන්ග්‍රස් මන්ඩලයෙන් සම්බාධක පැනවිනි. ඒ අනුව අප මීට කලින් කතා කරන ලද කුප්‍රකට ඉරාන – කොන්ටා ගනුදෙනුව සුදු විය. අමතක වීම නිදහසට කරුණක් ලෙස සලකා රේගන් ජනාධිපතිවරයා නිදහස් වූ අතර,  එය කොන්ටාවරුන්ගේ අවසානය විය. එමෙන්ම ඒ වන විට ඇමරිකානු හිතවාදි වයලෙටා චැමොරෝ ජනාධිපතිනිය නිකරගුවාවේ පාලනය ලබා ගැනීම ද කොන්ට්‍රාවරුන්ගේ මෙන්ම සැන්ඩිනිස්ටාවරුන්ගේ ද අවසානය සටහන් කෙරෙනි. කෙසේ වෙතත් ඩැනියෙල් ඔටේගා 2001 දි යලි බලයට පත්වුව ද වර්තමානයේ ඔහුගේ පාලනය සැන්ඩීනියානු අරමුණුවලින් පීලි පැන ඇති බවක් දක්නට ලැබේ.

දේශ හිතෛශී අරමුණු ඔස්සේ බලයට පැමිනි සැන්ඩිනිස්ටාවරුන්ට අභ්‍යන්තර හා බාහිර අර්බුද හේතුවෙන් ඔවුන්ගේ අවසාන අරමුණු කරා යාමට හැකියාවක් ලැබුණේ නැත. වර්තමානයේ වාම විප්ලව ගැන තවමත් විශ්වාසය තබා ඇති අයට ද නිකරගුවාව කියාදෙන්නේ දැවන්ත පාඩමක් බව නිසැක ය. 

Related Articles