පොළොන්නරු යුගයේ අවසන් භාගයේ අවුල් වියවුල්

ක්‍රි. ව. 1153-1186 කාල සමයේ පොළොන්නරු රාජධානිය පාලනය කළේ මහා පරාක්‍රමබාහු රජතුමා යි. දක්ෂ පාලකයෙකු වුණු එම රජතුමා සිය රාජධානිය සෑම අතින්ම දියුණුවට පත්කළා. එම නිසා පොළොන්නරුවේ ස්වර්ණමය යුගය වශයෙන් සලකන්නේ පරාක්‍රමබාහු පාලන සමය යි. නමුත් පරාක්‍රමබාහු රජුගේ මරණයෙන් පසුව පොළොන්නරු රාජධානිය තුළ අවුල් වියවුල් නිර්මාණය වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රි. ව. 1215 දී පොළොන්නරු රාජධානිය බිඳ වැටුණා.

පරාක්‍රමබාහු රජුගේයැ යි සැලකෙන ප්‍රතිමාව (bye:myself)

පරාක්‍රමබාහු රජතුමාගේ මරණයෙන් පසුව රජකම සඳහා පැවති අරගලය 

මහා පරාක්‍රමබාහු රජතුමාට පිරිමි දරුවන් සිටියේ නැහැ. එම නිසා රජකම ලබාගැනීමට විවිධ කුමාරවරුන් මාන බලමින් සිටියා. නමුත් අවසානයේ දී රජකම හිමිවුණේ පරාක්‍රමබාහු රජුගේ සොහොයුරියගේ පුතාට යි. කවීශ්වර පණ්ඩිත යන නමින් හැඳින්වූ එම කුමරා “දෙවන විජයබාහු” යන නමින් රාජ්‍යත්වයට පත්වුණා. 

දෙවන විජයබාහු දැහැමි රජ කෙනෙක්. ඔහු මහා පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ දී සිරගත කර සිටි සියළුම සිරකරුවන් නිදහස්කොට, ඔවුන් සතුව තිබුණු ගම්බිම් ද ආපසු ලබාදුන්නා. එසේම එම රජු බුද්ධ ශාසනයේ දියුණුව උදෙසා ද කටයුතු සිදුකළා. භික්ෂූන්වහන්සේට හොඳින් උපස්ථාන කළා. නමුත් එම රජතුමාට රාජ්‍යත්වය දැරීමට හැකිවුණේ වසරක තරම් කෙටි කාලයක් පමණ යි. 

එවකට පොළොන්නරුවේ විසූ මහින්ද නැමැති කාලිංග වංශිකයා රජතුමාව මරා දමා රාජ්‍යය ලබාගැනීමට උත්සාහ කරමින් සිටියා. අවස්ථාවන් කිහිපයක දීම එම උත්සාහයන් වැළකී ගියත්, අවසානයේ දී ඔහු සාර්ථක වුණා. මහින්ද, දීපනී නම් ගොළු ස්ත්‍රීය යොදවා රජතුමාව ඝාතනය කරන්නට සමත්වුණා. ඉන් අනතුරුව ඔහු පොළොන්නරුවේ රජකමට පත්වුණා. කෙසේ නමුත් රටවැසියන්ගේ සහ අමාත්‍ය මණ්ඩලයේ කිසිදු අනුමැතියකින් තොරව රජකමට පත්වුණු මහින්දට රජකම් කිරීමට ලැබුණේ දින 5ක් පමණ යි. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල නම් යුවරජු මහින්ද මරා රජකමට පත්වුණා.

නිශ්ශංකමල්ල යුගය 

කාලිංග වංශිකයෙකු වුණු නිශ්ශංකමල්ල රජතුමා පොළොන්නරුවේ රජවීමෙන් පසුව සිංහල බෞද්ධ ජනතාව අතර නොසන්සුන්තාවයක් ඇතිවුණා. ඔවුන් ප්‍රසිද්ධියේම රජතුමාව විවේචනය කරන්නට පටන් ගත්තා. එම නිසා නිශ්ශංකමල්ල රජතුමා රාජ්‍යය භාරගත් මුල් අවධියේ දී පහත සඳහන් අභියෝගවලට මුහුණදීමට සිදුවුණා. 

1) කාලිංග වංශිකයෙකු නිසා මතුවුණු බලවත් විරෝධය

2) බෞද්ධයෙකු නොවූ නිසා මතුවුණු විරෝධය

3) සිහසුනට උරුමයක් තිබුණු මෙරට කුමාරවරුන්ගෙන් එල්ලවුණු තර්ජන 

4) රුහුණු ජනපදයෙන් එල්ලවුණු විරෝධය

5) බලවත් සෙන්පතිවරුන්ගෙන් එල්ලවුණු බලපෑම් 

6) ගොවි කුලයේ ජනයාගෙන් එල්ලවුණු විරෝධය 

7) විදේශීය කුමාරවරුන්ගෙන් එල්ලවුණු තර්ජන 

නිශ්ශංකමල්ල රාජසභා මණ්ඩපය (tlc.lk) 

එම යුගයේ දී රටේ රජකම ලැබිය යුත්තේ සිංහලයෙකුට පමණක් බව සමාජයේ මුල් බැසගෙන තිබුණු මතයක්. නමුත් නිශ්ශංකමල්ල රජතුමා කාලිංග වංශිකයෙකු වුණු නිසා කාලිංග වංශිකයන්ටත් අපේ රටේ රජකමට උරුමයක් තිබුණු බව පෙන්වීමට ඔහු උත්සාහ කළා. ඒ සඳහා ඔහු සෙල්ලිපි කිහිපයක් ද නිර්මාණය කළා. 

පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ සිටම රජරට පාලනයට එරෙහිව රුහුණු රටෙන් විරෝධතා මතුවුණා. ඒ, පරාක්‍රමබාහු රජතුමා කාලිංග සහ පාණ්ඩ්‍ය යන දේශයන් සමග ඥාති සම්බන්ධතා පැවැත්වීම නිසා යි. ඒ ආකාරයෙන්ම, කාලිංග වංශික රජ කෙනෙකු වුණු කීර්ති නිශ්ශංකමල්ලටත් රුහුණෙන් විරෝධතා මතුවුණා. එම අවස්ථාවේ දී නිශ්ශංකමල්ල රජතුමා රුහුණේ වැසියන්ට අවවාද කරමින් සෙල්ලිපි පවා කරවනු ලැබුවා. රටේ විවිධ ප්‍රදේශවලින් තමන්ට විරෝධතා එල්ලවන විට රජු වඩ වඩාත් උපක්‍රමශීලී වුණා. 

ප්‍රතිඵල වශයෙන් රජු බෞද්ධාගම වැළඳගෙන බුද්ධ ශාසනයේ දියුණුව සඳහා අනුපමේය මෙහෙයක් ඉටුකළා. එසේම රටේ ජනතාවට යහපත් ජීවිතයක් ගතකිරීම සඳහා ආර්ථික සහන රැසක් ලබාදුන්නා. ඉන්පසු නිශ්ශංකමල්ල පාලන සමය සාමකාමීව ගෙවී ගියා. නමුත් නිශ්ශංකමල්ල රජු අනුන්ගේ නිර්මාණවලට තම නම යොදමින් බොරු වීරයෙකු වෙන්නට උත්සාහ කළ බව ඇතැම් වංශ කතාවලට අනුව පැහැදිලිවම පෙනී යනවා. ක්‍රි. ව. 1196 දී නිශ්ශංකමල්ල රජතුමා මරණයට පත්වීමත් සමග පොළොන්නරු රාජධානියට අභාග්‍යසම්පන්න යුගයක් උදා වුණා.

නිශ්ශංකමල්ල රජතුමා කරවන ලද ගල්පොත සෙල්ලිපිය (lankatraveldirectory.com) 

වසර 19ක අවුල් වියවුල් පිරුණු කාල පරිච්ඡේදය

නිශ්ශංකමල්ල රජුගෙන් පසුව ඔහුගේ පුත් වීරබාහු රජකමට පත්වුණා. නමුත් එදින රාත්‍රියේම සෙනෙවියෙකු අතින් ඔහු මරණයට පත්වුණා. ඉන්පසුව නිශ්ශංකමල්ලගේ බාල සහෝදරයෙකු දෙවන වික්‍රමබාහු නමින් රජකමට පත්වුණා. නමුත් ඔහුට රජකම් කිරීමට ලැබුණේ මාස 3ක කාලයක් පමණ යි. ඒ, නිශ්ශංකමල්ල රජුගේ බෑණා වුණු චෝඩගංග අතින් දෙවන වික්‍රමබාහු රජතුමා මරණයට පත්වීම නිසා යි. රාජ්‍යත්වයට පත්වුණු චෝඩගංගට රජකම් කිරීමට ලැබුණේ මාස 9ක් පමණ යි. කීර්ති නම් සෙනෙවියා සිදුකළ කුමන්ත්‍රණයක් හරහා චෝඩගංගව සිහසුනෙන් නෙරපනු ලැබුවා. ඉන් අනතුරුව රජකමට පත්කරගනු ලැබුවේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ බිසව වුණු ලීලාවතී රැජිණ යි.

ලීලාවතී රැජිණ වසර 3ක පමණ කාලයක් රාජ්‍යය පාලනය කිරීමෙන් පසුව සාහසමල්ල නම් සෙනෙවියා විසින් රජකම පැහැරගනු ලැබුණා. නමුත් සාහසමල්ල රජුගේ රාජ්‍ය කාලය වසර දෙකකට පමණක් සීමා වුණා. ඒ, ආයස්මන්ත නම් සෙනෙවියා කුමන්ත්‍රණයක් සිදුකර නිශ්ශංකමල්ල රජුගේ බිසව වුණු කල්‍යාණවතී රැජිණට රජකම උරුමකරදුන් නිසා යි. ඉන් පසුව කල්‍යාණවතී රැජිණ වසර 6ක පමණ කාලයක් පොළොන්නරුවේ පාලන කටයුතු සිදුකළා. එම බිසවගෙන් පසුව ධර්මාශෝක නම් ළදරු කුමාරයෙක් වසරක පමණ කාලයක් පොළොන්නරුවේ රජකම් කළා. ඔහු වයසින් ඉතා කුඩා වුණත් රාජ්‍යත්වයට තිබුණු උරුමය නිසා රජකමේ රැඳී සිටියා. නමුත් එකල රාජ්‍ය පාලන කටයුතු කරගෙන යාමට සිදුවුණේ සෙනෙවිවරුන්ට යි.

එම කාලයේ දී චෝළ දේශයෙන් පැමිණි අනිකංග නැමැත්තෙකු ධර්මාශෝක කුමරාව මරා රජකම හිමිකර ගත්තා. නමුත් ඔහුට රජකම් කිරීමට ලැබුණේ දින 17ක් පමණ යි. ඔහුගේම මහ සෙනෙවියා වුණු චමුනක්ක, අනිකංග රජතුමාව මරාදමා ලීලාවතී රැජිණට නැවතත් සිහසුන උරුමකර දුන්නා. නමුත් ලීලාවතී රැජිණට රජකම් කිරීමට ලැබුණේ වසරක කාලයක් පමණ යි. ලෝකේෂ්වර නම් කුමාරයෙකු ඉන්දියාවෙන් ද්‍රවිඩ සේනාවක් ගෙනැවිත් ලීලාවති රැජිණ සිහසුනෙන් පහකර මාස 9ක කාලයක් පොළොන්නරුව පාලනය කළා. ලෝකේෂ්වරගේ මාස 9ක පාලන කාලය අවසන් කළ ලීලාවතී රැජිණ තෙවන වරටත් රජකමට පත්වී මාස 7ක කාලයක් පාලන කටයුතු සිදුකළා.

එයින් පසු පරාක්‍රම පණ්ඩු නම් පාණ්ඩ්‍ය කුමරෙකු ලීලාවතී රැජිණව පරාජයට පත්කරමින් රජකම ලබාගන්නට සමත්වුණා. ඔහු වසර 3ක පමණ කාලයක් පොළොන්නරුව පාලනය කළා. පහත දක්වා තිබෙන්නේ වසර 19ක් වැනි කෙටි  කාලයක් තුළ එක් එක් පාලකයා පොළොන්නරුව පාලනය කළ කාලසීමාවන්.

1) පළමු වීරබාහු- දින 1 යි 

2) දෙවන වික්‍රමබාහු- මාස 3 යි 

3) චෝඩගංග- මාස 9 යි 

4) ලීලාවතී (පළමු වර)- වසර 3 යි 

5) සාහසමල්ල- වසර 2 යි 

6) කල්‍යාණවතී- වසර 6 යි 

7) ධර්මාශෝක- වසර 1 යි 

8) අනිකංග- දින 17 යි 

9) ලීලාවතී (දෙවන වර)- වසර 1 යි 

10) ලෝකේෂ්වර- මාස 9 යි 

11) ලීලාවතී (තෙවන වර)- මාස 7 යි 

12) පරාක්‍රම පණ්ඩු- වසර 3 යි 

පොළොන්නරු රාජධානිය බිඳවැටීම 

ක්‍රි. ව. 1212 දී රජකමට පත්වුණු පරාක්‍රම පණ්ඩු දුර්වල පාලකයෙකු වුණා. එම නිසා රටේ මිනිසුන් බදු මුදල් ගෙවීම පැහැර හැරියා. එවිට රාජ්‍ය භාණ්ඩාගාරය හිස්වන්නට පටන්ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් රජුගේ හමුදාවන්ට නිසියාකාරව පඩිගෙවීමට ද හැකිවුණේ නැහැ. එම නිසා රජුගේ හමුදා බලය ක්‍රමයෙන් හීනවන්නට පටන් ගත්තා. ලංකාවේ පැවති එම දේශපාලන අස්ථාවරත්වය පිළිබඳව කාලිංග දේශයේ සිටි මාඝ නැමැත්තාට ආරංචි වුණා. එය ලංකාව ආක්‍රමණය කිරීමට සුදුසුම වේලාව බව තේරුම්ගත් මාඝ විශාල සේනාවක් සමගින් පොළොන්නරුවට පැමිණියා. 

ක්‍රි. ව. 1215 දී මාඝ පොළොන්නරුවට පැමිණෙන විට එහි රජකම් කරමින් සිටි පරාක්‍රම පණ්ඩු රජතුමාට මාඝ සමග සටන් කිරීමට ප්‍රමාණවත් හමුදා බලයක් තිබුණේ නැහැ. එම නිසා මාඝගේ හමුදාවට පහසුවෙන්ම පොළොන්නරුව අල්ලාගැනීමට හැකිවුණා. ඉන්පසු මාඝ පරාක්‍රම පණ්ඩු රජතුමාට දසවධ දී, ඇස් උගුල්ලා මරාදමනු ලැබුවා. ඉන් පොළොන්නරු රාජධානියේ පාලන බලය කාලිංග මාඝට හිමිවුණා. ඒ සමගම පොළොන්නරු යුගයේ අවසානය සනිටුහන් වුණා.

 

කවරයේ ඡායාරූපය- පොළොන්නරුවේ නටබුන්

මූලාශ්‍රයයන්- මහාවංසය 

                        රාජාවලිය 

Related Articles