Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජේ. ආර්. 1977 බල පෙරළියට නායකත්වය දුන් හැටි

හිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධනගේ නිවෙස කෞතුකාගාරයක් බවට පත්කිරීමට යන පුවතක් අපට අසන්නට ලැබුණා. ඒ කතාබහත් සමග ජේ. ආර්. ජයවර්ධනගේ දේශපාලන දිවියෙන් තොරතුරු ස්වල්පයක් ඔබ වෙත ගෙන ඒම සුදුසු බව අපි හිතුවා.  

මෙරට හත්වන පාර්ලිමේන්තු මැතිවරණය 1970 වසරේ දී පැවැත්වුණා. එම මැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ 2/3කට අධික බලයක් ලබාගත්තේ ජාතික සමගි පෙරමුණ යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, සහ ලංකා සමසමාජ පක්ෂය එකතු වී සෑදුණු එම පෙරමුණට දැවැන්ත ජනවරමක් හිමිවන විට එක්සත් ජාතික පක්ෂයට හිමිවුණේ ආසන 17ක් පමණ යි. 

එක්සත් ජාතික පක්ෂය ලබාගත් දැවැන්ත පරාජයත් සමගම එම පක්ෂය තුළ නායකත්වය පිළිබඳව අර්බුදයක් නිර්මාණය වුණා. එම නිසා පක්ෂය තුළ පැවති සමගිය බිඳ වැටුණා. එම අර්බුද පසුව සමථයකට පත්වීමත් සමග පක්ෂය ගොඩනැගීමේ කාර්යය සිදුකළේ ජේ. ආර්. ජයවර්ධන යි. ඩඩ්ලි සේනානායකගේ  අභාවයෙන් පසුව පක්ෂ නායකත්වය භාරගත් ජේ. ආර්. ජයවර්ධන 77 බල පෙරළිය කරා සිය පක්ෂය මෙහෙයවනු ලැබුවේ අභියෝග රැසක් ජයග්‍රහණය කිරීමෙන් පසුව යි. 

70 මහා මැතිවරණයෙන් පසුව ඇති වුණු නායකත්ව අර්බුදය

මහා මැතිවරණයෙන් ලද දරුණු පරාජයත් සමග නායක ඩඩ්ලි සේනානායක මානසික වශයෙන් විශාල ඇද වැටීමකට ලක් වුණා. එම නිසා ඔහු ජේ. ආර්. ජයවර්ධනට දුරකථනයෙන් කතා කරමින් විපක්ෂ නායක තනතුර භාරගත හැකිදැ යි යන්න විමසා සිටියා. ඩඩ්ලි සේනානායක හැකි ඉක්මනින්ම පක්ෂ නායකත්වයෙන් ද ඉවත් වනු ඇති බවට අනුමාන කළ ජේ. ආර්. ජයවර්ධන විපක්ෂ නායක තනතුර භාරගැනීමට කැමැත්ත පළ කළා. මැතිවරණය නිමාවට පත්වී මාස තුනක් පමණ ගතවන විට ඩඩ්ලිගේ චිත්ත ධෛර්යය වර්ධනය වුණා. පක්ෂය යළි ජයග්‍රහණය කරා රැගෙන යාම ඔහුගේ අරමුණ වුණා. 

ඩඩ්ලි සේනානායක (Daily FT)

නමුත් විපක්ෂ නායකවරයාගේ සහ එක්සත් ජාතික පක්ෂ නායකයාගේ අදහස් නොගැලපීම නිසා පක්ෂය තුළ අභ්‍යන්තර අර්බුද නිර්මාණය වුණා. එහි දී පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙපසට බෙදෙන ආකාරය දක්නට ලැබුණා. පක්ෂය තුළ සිදුවන බෙදීම නිසා කලකිරීමට පත්වුණු රණසිංහ ප්‍රේමදාස කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉවත් වී කොළඹ පුරවැසි පෙරමුණ නමින් සංවිධානයක් පිහිටුවාගනු ලැබුවා. එලෙස පක්ෂය තුළ තිබුණු අර්බුදය උත්සන්න වුණු අවස්ථාවේ දී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිරිසක් එක්වී ඩඩ්ලි සේනානායක සහ ජේ. ආර්. ජයවර්ධන දෙපළ සමාදාන කිරීමට උත්සාහ කළා. එවකට ජා ඇළ මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කළ පාරිස් පෙරේරාගේ නිවසේ දී මුණගැසුණු ඩඩ්ලි සහ ජේ. ආර්. සමාදාන වීමට කැමැත්ත පළ කළා. 

ඊට මාස කිහිපයකට පෙර ඩඩ්ලි හිතවාදීන් විසින් ජේ. ආර්. ජයවර්ධනව පක්ෂයෙන් නෙරපා දැමීමට උත්සාහ කළා. ඒ පිළිබඳව කණගාටුව පළ කළ ඩඩ්ලි යළි පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතු බව අවධාරණය කර සිටියා. 

ජේ. ආර්. ජයවර්ධන (Daily News)

ජේ. ආර්. ජයවර්ධන පක්ෂ නායකත්වයට පත්වීම 

ඩඩ්ලි සේනානායක සහ ජේ. ආර්. ජයවර්ධන සමාදාන වීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂය යළි ශක්තිමත් වුණා. 1973 වසර ආරම්භ වන විට ඩඩ්ලිගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරී තිබුණා. අප්‍රේල් මාසයේ දී හදිසියේම ඇති වුණු හෘදයාබාධ තත්ත්වය නිසා ඩඩ්ලිගේ ජීවිතය අවදානම් තත්ත්වයකට පත්වුණා. ලංකාවේ සිටි ඉහළම පෙළේ වෛද්‍යවරුන් විසින් ඩඩ්ලිගේ ජීවිතය බේරාගැනීම සඳහා උත්සාහ කළත් ඉන් ඵලක් වුණේ නැහැ. 1973 වසරේ අප්‍රේල් 13 වැනිදා ඩඩ්ලි සේනානායක සිය ජීවිතයෙන් සමුගත්තේ ඔහුට ආදරය කළ ජනතාවගේ නෙතට කඳුලක් එක් කරමින්. හදිසියේම සිදුවුණු ඩඩ්ලිගේ අභාවයත් සමගම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ජේ. ආර්. ජයවර්ධනට හිමි වුණා. 

ජේ. ආර්. ජයවර්ධන විසින් විපක්ෂය ශක්තිමත් කරයි 

සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පත්වී වසර 4ක් පමණ ගතවන විට රට තුළ භාණ්ඩ හිඟයක් නිර්මාණය වී තිබුණා. එම නිසා ආණ්ඩුව මහජන අප්‍රසාදයට ලක්ව තිබුණා. එසේම රට තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබුණා. එදා ජේ. ආර්. ජයවර්ධන ප්‍රසිද්ධියේම ආණ්ඩුව විවේචනය කළා. එසේම රැස්වීම් සංවිධානය කරමින් ජනතාව දැනුවත් කරන්නට වුණා. ඒ අතරතුර උතුරු කොළඹ, දැදිගම, කැකිරාව, කටාන, සහ මන්නාරම යන ආසන සඳහා අතුරු මැතිවරණ පැවැත්වුණා. එම අතුරු මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා සිය උපරිම බලය යෙදවීමට සමගි පෙරමුණු ආණ්ඩුව ක්‍රියා කළා. ඊට පෙර එක්සත් ජාතික පක්ෂයට බලය හිමිව තිබුණු  දැදිගම සහ උතුරු කොළඹ ආසන සඳහා පැවති අතුරු මැතිවරණවල දී එම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබුණා. නමුත් ඉන් නොසැලුණු ජේ. ආර්. ජයවර්ධන මනාව සංවිධානය වෙමින් එම අතුරු මැතිවරණ 5 දීම සිය පක්ෂය ජයග්‍රහණය කරා ගෙනයාමට සමත් වුණා. මාස 18ක කාලයක් ඇතුළත පැවති අතුරු මැතිවරණ 5ම ජයග්‍රහණය කිරීමත් සමගම විපක්ෂයේ සිටි මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය වැඩි වුණා. එම නිසා විපක්ෂය තවත් ශක්තිමත් වුණා. 

මැතිවරණය කල් දැමීම පිළිබඳව විරෝධය දැක්වීම 

1975 වසරේ මැයි මාසය වන විට සමගි පෙරමුණු රජයේ නිල කාලය අවසන් වීමට නියමිතව තිබුණා. නමුත් 1972 වසරේ දී ශ්‍රී ලංකාව ජනරජයක් වුණු නිසා ආණ්ඩුව 1977 වසර වන තුරු පාලන බලයේ සිටීමට උත්සාහ දරන ආකාරය දක්නට ලැබුණා. එයට දැඩි ලෙස විරෝධය දැක්වූ ජේ. ආර්. ජයවර්ධන 1975 වසරේ මැයි 13 වැනිදා සිය ඉල්ලා අස්වීමේ ලියුම රාජ්‍ය සභාවේ ලේකම් ලෙසින් කටයුතු කළ සෑම් විජේසිංහට භාර දුන්නා. ජේ. ආර්. ජයවර්ධන විසින් සිදුකළ එම උපක්‍රමශීලී ක්‍රියාව නිසා දකුණු කොළඹ ආසනය සඳහා යළි අතුරු මැතිවරණයක් පැවැත්වීමට සිදුවුණා. එහි දී ජූනි 9 නාම යෝජනා කැඳවීමෙන් පසුව ජූලි 18 මැතිවරණය පැවැත්වීම සඳහා දින නියම වුණා. එලෙස නියම වුණු දිනයේ පැවති අතුරු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ජේ. ආර්. ජයවර්ධනට විශිෂ්ට ජයක් හිමිව තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡන්ද ප්‍රතිඵලය යි. 

ජේ. ආර්. ජයවර්ධන (එක්සත් ජාතික පක්ෂය) – ඡන්ද 36,919

ජේ. ආර්. පී. සූරියප්පෙරුම (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) – ඡන්ද 11,118

ඉහත ආකාරයට අතුරු මැතිවරණයක් ලබාගැනීමෙන් ජේ. ආර්. ජයවර්ධන බලාපොරොත්තු වුණේ ඒ වන විට ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහළ මට්ටමකට වැටී තිබුණු බව ඒත්තු ගැන්වීම යි. දකුණු කොළඹ ආසනය සඳහා පැවති අතුරු මැතිවරණයෙන් සමගි පෙරමුණු ආණ්ඩුව අන්ත පරාජයක් ලබාගත් නිසා ඔහුගේ සැලසුම වඩාත් සාර්ථක වුණා. 

ආණ්ඩුවට එරෙහිව පැවති සාමකාමී සත්‍යග්‍රහ ව්‍යාපාරය 

සමගි පෙරමුණු ආණ්ඩුවේ ජනප්‍රියත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පැවති නිසා එහි වාසිය ලබාගැනීමට ජේ. ආර්. ජයවර්ධන කල්පනා කළා. ඒ සඳහා ඔහු විශාල සත්‍යග්‍රහයක් සංවිධානය කළා. 1975 වසරේ ඔක්තෝබර් 19 වැනිදා ගාලු මුවදොර පිටියේ පැවති එම සත්‍යග්‍රහයට තුන් පැත්තකින් ජනතාව ගෙන්වීමට සැලසුම් කර තිබුණා. ඒ අනුව ජේ. ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් දකුණු කොළඹ ජන පෙළපාලිය, රණසිංහ ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් මැද කොළඹ ජන පෙළපාලිය, සහ වින්සන්ට් පෙරේරාගේ නායකත්වයෙන් යුත් උතුරු කොළඹ ජන පෙළපාලිය ගාලු මුවදොර පිටිය කරා පැමිණෙන්නට වුණා. එම පෙළපාලිවල සිටි ජනතාව සුදු ඇඳුමින් සැරසී සිටීම විශේෂ සිදුවීමක් වුණා. එලෙස ගාලු මුවදොර වෙත පැමිණෙමින් සිටි ජනතා පෙළපාලි පොලිසිය විසින් නැවැත්වීමත් සමගම ජනතාව එම ස්ථානවලම වාඩි වී සත්‍යග්‍රහයෙහි නිරත වන්නට වුණා. ඔහු විසින් දියත් කළ පළමු සත්‍යග්‍රහ ව්‍යාපාරය සාර්ථක වීමෙන් පසුව පාක්ෂිකයන් වඩාත් උද්යෝගිමත් වුණා. 

රණසිංහ ප්‍රේමදාස (Silumina)

තවත් සත්‍යග්‍රහ ව්‍යාපාර තුනක් සංවිධානය කරයි 

පළමු සත්‍යග්‍රහය වඩාත් සාර්ථක වුණු නිසා තවත් ප්‍රදේශ තුනක් ආශ්‍රිතව සත්‍යග්‍රහයන් සිදුකිරීමට එක්සත් ජාතික පක්ෂ නායකයා තීරණය කළා. ඉන් පළමුවැන්න නුවරඑළියේ දී කිසිදු ගැටළුවකින් තොරව නිමාවට පත්වුණා. නමුත් අනුරාධපුරයේ සත්‍යග්‍රහය පැවති දිනයේ නගරය පුරාම කළු කොඩි දමා තිබුණා. එසේම පස් දෙනෙකුට වැඩියෙන් එක් රැස්වන අවස්ථාවල දී ඔවුන්ව පළවා හරින ලෙස නියෝග ලබා දී තිබුණා. එම අවස්ථාවේ දී උපක්‍රමශීලී වුණු ජේ.අර් ජයවර්ධන තුන්දෙනා බැගින් එකතු කරමින් කුඩා කණ්ඩායම් සාදාගෙන රුවන්වැලි සෑය පිහිටි භූමියට ගොස් සත්‍යග්‍රහය සිදුකළා. එසේම ශ්‍රී මහා බෝධිය ආසන්නයේ පහන් පූජාවක් ද පවත්වනු ලැබුවා.

සත්‍යග්‍රහ මාලාවේ තෙවැන්න පැවැත්වීමට නියමිතව තිබුණේ අගමැතිනියගේ බලකොටුව වුණු අත්තනගල්ල ප්‍රදේශයේ යි. ඒ පිළිබඳව ඇසීමත් සමගම අගමැතිනිය දැඩි ලෙස කෝපයට පත්වුණා. එම නිසා අත්තනගලු සත්‍යග්‍රහය නැවැත්වීම සඳහා ඇයගේ අනුගාමිකයන් විශේෂ වැඩපිළිවෙළක් සකස් කළා. ඒ අනුව අදාළ දිනයේ උදෑසන වන විට අත්තනගල්ලට පිවිසෙන මාර්ග අවහිර කර තිබුණා. එසේම අත්තනගල්ල ප්‍රදේශයට පැමිණෙමින් සිටි එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැර ප්‍රහාර එල්ල වුණා. ඔවුන්ගේ වාහනවලට දැඩි ලෙස අලාභහානි කළා. මෙවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති බවට අනුමාන කළ ජේ. ආර්. ජයවර්ධන ඊට පෙර දිනයේ සත්‍යග්‍රහය පැවැත්වීමට නියමිතව තිබුණු විහාරස්ථානය ආසන්නයේ පැවති නිවසක නවාතැන් ගෙන තිබුණා. 

සත්‍යග්‍රහය ආරම්භ වුණු අවස්ථාවේ දී පක්ෂ සහ විපක්ෂ පාක්ෂිකයන් මවිතයට පත්කරමින් ජේ. ආර්. ජයවර්ධන එහි පැමිණියා. ඉන් කෝපයට පත්වුණු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු ජේ. ආර්. ජයවර්ධනට පහරදීම සඳහා කිරිච්චියක් අතට ගෙන ඉදිරියට දුවගෙන එන්නට වුණා. එම අවස්ථාවේ දී ඔහුට සිනහවකින් සංග්‍රහ කළ ජේ. ආර්. ජයවර්ධන පිටට තට්ටු කරමින් සුහදව කතාබහ කළා. ඉන් පසුව ඔහුට තමා සමග බුදුන් වදින්නට එන මෙන් ආරාධනා කළා. එහි දී ජේ. ආර්. ජයවර්ධන කළ සුහද ආරාධනාව පිළිගත් විරුද්ධ පාක්ෂිකයා ඔහු සමග බුදුන් වැඳීම සිදු කළා. ඉන් පසුව ඔහු එක්සත් ජාතික පක්ෂයේ නායකයා අමතා පවසා සිටියේ ඔබතුමා නුදුරු දිනෙක දී නිසැකවම ලංකාවේ අගමැතිවරයා ලෙස පත්වීමට ඉඩ තිබෙන බවයි. එම නිසා මෙවැනි සත්‍යග්‍රහ සිදුකරමින් කාලය නාස්ති නොකරන මෙන් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියා.  

රුවන්වැලි සෑ පුදබිම (Maha Megha)

ආණ්ඩුව දෙදරීමකට ලක් වෙයි 

1970 වසරේ බිහිවුණු සමගි පෙරමුණු රජය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය යන පක්ෂවලට අයත් මන්ත්‍රීවරුන් සිටියා. නමුත් 1976 වසරේ මුල් භාගය වන විට සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය විපක්ෂයට එකතු වී තිබුණා. එමඟින්  විපක්ෂය වඩාත් ශක්තිමත් වුණා නිසා රට තුළ ආණ්ඩු විරෝධයක් නිර්මාණය කිරීමට ඔවුන් සමත් වුණා. එසේම එම කාල සමය වන විට රට තුළ තිබුණු භාණ්ඩ හිඟය උත්සන්න වීම හේතුවෙන් ආණ්ඩුව පිළිබඳව ජනතා ප්‍රසාදය හීනවන්නට වුණා. 1977 වසරේ මැද භාගය වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය විසින් පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් කැඳවනු ලැබුවා. 

එක්සත් ජාතික පක්ෂයට ඉතිහාසගත ජයක් ලැබෙයි 

මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කළ දිනයේ සිටම එක්සත් ජාතික පක්ෂ රැස්වීම්වලට සෙනග ගලාගෙන එන්නට වුණා. එසේම ජේ. ආර්. ජයවර්ධන ආකර්ෂණීය පොරොන්දු රැසක් ජනතාවට ලබාදුන්නා. එම නිසා මැතිවරණ දිනය ළංවන විට එක්සත් ජාතික පක්ෂ විශිෂ්ට ජයග්‍රහණයක් ලබන ආකාරය පෙනෙන්නට තිබුණා. 

අවසානයේ දී බලාපොරොත්තු වුණු ආකාරයටම එක්සත් ජාතික පක්ෂය මහා මැතිවරණය ජයග්‍රහණය කළා. එහි දී ඔවුන් පාර්ලිමේන්තුවේ ආසන 168න් 140ක් ලබාගත්තා. වසර 4ක් පුරාවට එක්සත් ජාතික පක්ෂයට නායකත්වය ලබාදෙමින් පක්ෂය ජයග්‍රහණය කරා රැගෙන යාමට ජේ. ආර්. ජයවර්ධන සුවිශේෂී මෙහෙයක් ඉටු කළා. 

කෙසේ නමුත්, ඔහු බලයට පත්වීමෙන් පසුව විධායක ජනාධිපති නමින් බලවත් තනතුරක් ඇති කර ප්‍රතිවාදීන්ව මර්දනය කරමින්, මැතිවරණ සිතියම අකුළා දමමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් ගෙන ගියා. එම නිසා ඔහු ද සිය පාලන කාලය අවසන් කළේ ජනතා අප්‍රසාදයට ලක්වුණු නායකයෙකු වශයෙන්. 

කවරයේ ඡායාරූපය- ජේ. ආර්. ජයවර්ධන විධායක ජනාධිපති ලෙසින් දිවුරුම් දුන් උත්සවයේ අවස්ථාවක් (gettyimages)

මූලාශ්‍රයයන්- තිස් වසරක නොනිමි සටහන්- ලාල් සමරසිංහ

Related Articles