ලෙබනනය 1970 දශකයට පෙර බටහිර ආසියාවේ හෙවත් මැද පෙරදිග ප්‍රදේශයේ වූ සෞභාග්‍යමත්ම රාජ්‍යයක් වුණා. යම් යම් දේශපාලන අර්බුදවලට එම රට ලක් වී තිබුණ නමුත් පොදුවේ ගත් විට කලාපීය නොසන්සුන්තා එරටට විශාල තර්ජනයක් වුණේ නැහැ. ලෙබනනයේ අගනුවර වූ බේරූට් නගරය එකල "මැදපෙරදිග පැරිසිය​" නමිනුත් හැඳින්වුණා.

නමුත් 1975 දී කලක් තිස්සේ මතුවෙමින් තිබුණු නොසන්සුන්තාවයන් උත්සන්න වූයේ ලෙබනනය සිවිල් යුද්ධයකට ඇද දමමින්. මීට කලාපීය රටවල් වූ සිරියාව සහ ඊශ්‍රායලය ද පසු කාලීනව සම්බන්ධ වුණා. එමෙන්ම එක් අවස්ථාවකදී එක්සත් ජාතීන් ද මෙහි සාම සාධක හමුදා එවන්නට ක්‍රියා කළා.

බේරූට් හි සයිදා පාර 1975 දී (Michel Brizghal)

විවිධ කල්ලි කණ්ඩායම් ගණනාවක් සිවිල් යුද්ධයේ පාර්ශවකරුවන් වූ අතර ඒ හේතුවෙන්ම එහි සංකීර්ණත්වය ද වැඩි වුණා. විවිධ අවස්ථාවල සාමය සඳහා ගන්නා උත්සාහයන් ද එතරම් සාර්ථක නොවූ අතර මෙම යුධ තත්ත්වය 1990 තෙක්ම ඇදී ගියා. මෙයින් ලෙබනනයට දැඩි හානි සිදු වුණා පමණක් නොව රටේ දේශපාලනයට අලුතින් කණ්ඩායම් සම්බන්ධ වුණා.

විවිධ ආගමික කණ්ඩායම්

ලෙබනනයේ ජනතාව අති බහුතරයක් දෙනා අරාබි ජාතිකයන් වන නමුත් ආගමික වශයෙන් එහි විශාල විවිධත්වයක් දකින්නට පිළිවන්. වඩාත් නිවැරදිව කිවහොත් ආගමික කණ්ඩායම් 18ක් ලෙබනනයේ පිළිගෙන තිබෙනවා. මෙරට ආගමික සංයුතිය සම්බන්ධව නිශ්චිත දත්ත නැති අතර ප්‍රධාන කණ්ඩායම් වන මැරොනයිට් ක්‍රිස්තියානි, සුන්නි මුස්ලිම්, සහ ෂියා මුස්ලිම් කණ්ඩායම් කියා සිටින්නේ තමන් බහුතරය වන බව යි.

ලෙබනනයේ ආගමික කණ්ඩායම්

2012 දී කරන ලද ඇස්තමේන්තුවකට අනුව ලෙබනනයේ සුන්නි සහ ෂියා මුස්ලිම් සියයට 27 බැගින් ද, මැරොනයිට් ක්‍රිස්තියානින් (කතෝලික නිකායක්) සියයට 21ක් ද​, ග්‍රීක ඕර්තඩොක්ස් සියයට 8ක් ද, ග්‍රීක කතෝලික සියයට 5ක් ද​, ඩෲස් ආගමිකයන් සියයට 5.6ක් ද වුණා (සිරියාවෙන් සරණාගතයන් මිලියන දෙකක් පමණ පැමිණ ඇති බැවින් මේ වනවිට ජනගහනය සහ ජන සංයුතිය වෙනස් වී තිබෙනවා. නමුත් සිවිල් යුධ සමයේ මීට ආසන්න ආගමික සංයුතියක් තිබෙන්නට ඇතැයි සිතිය හැකියි. 2012 දී ජනගහනය මිලියන 4ට වඩා තරමක් වැඩි වුණා).

ලෙබනනයේ පැවති එකඟතාව අනුව මැරොනයිට් ක්‍රිස්තියානි ලබ්ධිකයකු ජනාධිපති ධුරයට පත් විය යුතු වූ අතර අගමැති ලෙස සුන්නි මුස්ලිම් ආගමිකයකු ද පාර්ලිමේන්තුවේ කතානායක ලෙස ෂියා මුස්ලිම් ආගමිකයකු ද පත්විය යුතු වුණා.

පලස්තීන සරණාගතයන්

1948 දී ඊශ්‍රායලය බිහිවීමත් සමග පලස්තීන සරණාගතයන් 100,000ක් පමණ ලෙබනනයට පලා ගියා. වර්තමානයේ දී ද පලස්තීන සරණාගතයන් 400,000ක් පමණ ලෙබනනයේ වාසය කරන බව සඳහන් වනවා. ලෙබනනය වැනි රටක ජන අනුපාතය සමග බැලූ කල මෙය විශාල ප්‍රතිශතයක් වනවා.

පලස්තීන ෆටා ක්‍රියාකාරීන් 1979 දී ලෙබනනයේ (Wikimedia Commons)

පලස්තීන ප්‍රශ්නය ලෙබනනයට විශාල බලපෑමක් කිරීමට සමත් වූයේ 1970න් පසුව යි. එතෙක් පලස්තීන විමුක්ති සංවිධානය (PLO) ක්‍රියාත්මක වූයේ ජෝර්දානය කේන්ද්‍ර කරගෙන යි. නමුත් එම වසරේ සැප්තැම්බරයේ දී ජෝර්දාන හමුදා සහ PLO සංවිධානය අතර ඇතිවූ ගැටුම්වලින් පසු (කළු සැප්තැම්බරය​) PLO සංවිධානය සිය ක්‍රියාකාරකම් ලෙබනනය වෙත යොමු කළා. මේ අනුව දකුණුදිග ලෙබනනයේ සිට සංවිධානය ඊශ්‍රායල් විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වීමට වුණා. මෙම අවස්ථාවේ එම සංවිධානය පාලනය කිරීමට තරම් ප්‍රබල හමුදාවක් ලෙබනනය සතු වූයේ නැහැ. ඒ වෙනුවට ඊට ඉදිරිපත් වූයේ ක්‍රිස්තියානි මිලීෂියා කණ්ඩායමක් වූ ෆලන්ගේ (Phalange) සංවිධානය යි.

මේ අනුව සහ ෆලන්ගේ සංවිධාන අතර උණුසුම් තත්ත්වයක් නිර්මාණය වෙමින් පැවතුණා. එමෙන්ම ක්‍රිස්තියානි සහ මුස්ලිම් ජනතාව අතරේ ද උණුසුම්කාරී තත්ත්වයන් ඇති වෙමින් තිබුණා.

පුපුරා යාම​

1975 අප්‍රේල් 13 වන දා ෆලන් ගේ සංවිධානයේ නායක පියෙර් ගෙමායෙල් ඝාතනය කිරීමට උත්සාහ කෙරුණා. ඒ ඔහු දේවස්ථානයකින් පිටවන අවස්ථාවේ ඔහුට වෙඩි තැබීමෙන්. මෙම උත්සාහය අසාර්ථක වූ නමුත් මින් කුපිත වූ ෆලන්ගේ සාමාජිකයන්, පලස්තීනුවන් ගමන් ගත් බසයකට වෙඩි තබා 27 දෙනකු ඝාතනය කළා. ඒ සමගම කලක් තිස්සේ මතුවෙමින් තිබූ අර්බුදකාරී තත්ත්වය පුපුරා ගියා.

බොහෝ මිලීෂියා සංවිධානවල සාමාජිකයන් ගත් කල යම් කිසි ආගමික කණ්ඩායමක බහුතරයක් ඒවායේ දකින්නට ලැබුණ නමුත් මුල් කාලීනව ඒ බොහෝ සංවිධාන කියා සිටියේ තමන් ආගමික හේතු මත සටන් නොවදින බව යි. විශේෂයෙන්ම ඔවුන් වාමාංශික සහ දක්ෂිනාංශික වශයෙන් තමන් හඳුන්වා ගත්තා.

ප්‍රගතිශීලී සමාජවාදී පක්ෂයේ කාන්තා සන්නද්ධ භට පිරිසක් (Getty Images)

කෙසේ නමුත් විවිධ මිලීෂියා සංවිධාන ගණනාවක් මූලික වශයෙන් කඳවුරු දෙකකට බෙදුණා. ක්‍රිස්තියානි මිලීෂියා සංවිධාන ලෙබනන පෙරමුණ (Lebanese Front) නමින් ඒකරාශී වුණා. හිටපු ජනාධිපති කැමිල් ෂමූන්ගේ ජාතික ලිබරල් පක්ෂය සහ එහි මිලීෂියා සංවිධානය වූ ව්‍යාඝ්‍ර බලකාය (Tiger Force) ද​, පියේර් ගෙමායෙල්ගේ ෆලන්ගිස්ට් ව්‍යාපාරය ද මෙහි ප්‍රධාන සාමාජිකයන් වූ අතර ලෙබනන් යුධ හමුදාවෙන් ඉවත් වූ මැරොනයිට් ක්‍රිස්තියානි පාර්ශවයන් ද ඊට එක් වුණා. මුල් අවුරුදුවල නිදහස් ලෙබනනයේ හමුදාව (Army of Free Lebanon) නම් සංවිධානයක් වූ අතර පසුව ඉන් කැඩී ගිය නිදහස් ලෙබනන් හමුදාව (පසු කාලීනව දකුණු ලෙබනන් හමුදාව​) නම් වූ සංවිධානය ඊශ්‍රායලයේ ද සහය ඇතිව​ ප්‍රමුඛ වුණා.

මේ අතර​, මුස්ලිම් කණ්ඩායම් ප්‍රමුඛ වූ, වඩා වාමාංශික සංවිධානය ලෙස ලෙබනන ජාතික ව්‍යාපාරය (Lebanese National Movement) මතු වුණා. මෙහි විවිධ කණ්ඩායම් ගණනාවක් වූ අතර මෙයින් ප්‍රධාන නායකයා ලෙස මතු වූයේ ලෙබනනයේ ඩෲස් ආගමිකයන්ගේ සහ ප්‍රගතිශීලී සමාජවාදී පක්ෂයේ (Progressive Socialist Party) නායකයා වූ කාලෙඩ් ජුම්බ්ලාට් ය​. 1977 දී ඔහුගේ මරණින් පසු ඔහුගේ පුත් වලිඩ් ජුම්බ්ලාට් එම ස්ථානයට පත් වුණා. අනෙක් ප්‍රධානම නායකයා වූයේ කිහිප වතාවක්ම ලෙබනන අගමැති ධුරය ද දැරූ රෂිඩ් කරාමි ය​. ලෙබනන ජාතික ව්‍යාපාරය තුළ පලස්තීන විමුක්තිකාමීන්, සමාජවාදීන්, කොමියුනිස්ට්වාදීන්, නසර්වාදීන් ආදී විවිධ කණ්ඩායම් දහයකට වඩා ඒකරාශී වී සිටියා.

සිරියානු සහ ඊශ්‍රායල මැදිහත්වීම​

සටන් ඇරඹී මාස කිහිපයක් ගත වනවිට දෙපාර්ශවය ඉතා දරුණු ලෙස සටන් කිරීමට වුණා. 1975 ඔක්තෝබරයෙදී බේරූට් නගරයේ දරුණු සටන් ඇවිල ගිය අතර, ප්‍රකට සංචාරක හෝටල් ආදිය පිහිටි ප්‍රදේශවල සටන් ඇවිල ගිය හෙයින් එම සටනට "හෝටල් සංග්‍රාමය​" යයි ද කියැවෙනවා. මෙහි දී උස ගොඩනැගිලිවල නැගුණ සටන්කාමීන් ප්‍රතිවාදීන්ට වෙඩි තැබීම සහ රොකට් ප්‍රහාර එල්ල කිරීම සුලබ ලෙස සිදු වුණා. ස්නයිපර්කරුවන් ද නිතර යොදා ගැනුණා. ඇතැම් විට ගොඩනැගිලිවල කාමරයෙන් කාමරය සටන් කොට අල්ලාගන්නා තත්ත්වයකට මෙම ගැටුම් පත්වුණා.

බේරූට් හි හොලිඩේ ඉන් හෝටලයෙන් දුම් නැගෙන අයුරු. 1975 දෙසැම්බර් (AP)

නමුත් 1976 පළමු මාස කිහිපය ගතවනවිට බටහිර බේරූට් ප්‍රදේශයෙන් ක්‍රිස්තියානි සේනාංක පලවා හැරුණා. මේ වනවිට රටේ අනෙකුත් ප්‍රදේශවල ද ක්‍රිස්තියානි මිලීෂියා කණ්ඩායම් පසු බසින තත්ත්වයක් උදා වී තිබුණා.

මෙවකට සිරියාවේ ජනාධිපතිවරයා වූයේ හෆීස් අල්-අසාද් (වත්මන් ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ පියා). සිරියාව කිහිප විටෙකම ලෙබනනයේ යුද්ධය නිමා කිරීම සඳහා විවිධ කණ්ඩායම් අතර සාම ගිවිසුමක් නිර්මාණය කිරීමට උත්සාහ කළා. නමුත් මේ කිසිවක් සාර්ථක වූයේ නැහැ. මේ අතර ක්‍රිස්තියානි මිලීෂියා කණ්ඩායම් පසු බැසීමත් සමග ලෙබනනයේ වාමාංශික​ පාලනයක් බිහි වේ යැයි බියක් ඇති වුණා. මේ තත්ත්වය පිළිබඳ හෆීස් අල්-අසාද් එතරම් ප්‍රසාදයක් දැක්වූයේ නැහැ. මේ නිසා සිරියාව විසින් ලෙබනනයට හමුදා එවීමට පියවර ගනු ලැබුවා. 1976 ජූනි මාසයේ දී 30,000ක සිරියානු හමුදා ලෙබනනයට ඇතුළු වූ අතර මුස්ලිම් මිලීෂියා කණ්ඩායම් සමග ඔවුන් ගැටුණා. එයින් පසු ක්‍රිස්තියානි මිලීෂියා කණ්ඩායම් වෙත එල්ල වන ප්‍රහාරයන් අඩු වුණා. ඔවුන් මුල දී සිරියානු මැදිහත්වීම පිළිබඳ ප්‍රසාදයට පත් වුණා. නමුත් සිරියාව මෙසේ ලෙබනනය වෙත හමුදා එවන්නට කටයුතු කළ හේතුවක් වූයේ ලෙබනනය තුළ සිය බලය පැතිරවීම යි.

හොලිඩේ ඉන් හෝටලයෙන් ක්‍රිස්තියානි මිලීෂියා භටයින් එළවා දැමූ පසු පලස්තීන භටයින්. 1976 මාර්තු 26 (AFP/Getty Images)

මෙසේ සිරියානු මැදිහත්වීමත් සමග 1976 අග භාගය වනවිට ලෙබනනයේ තත්ත්වය බොහෝ දුරට සාමකාමී වුණා. මුල් කාලීනව සිරියානු හමුදාවලට ලෙබනනයේ මුස්ලිම් මිලීෂියා කණ්ඩායම් ප්‍රබල ලෙස පහර දුන්න ද මාස කිහිපයක් තුළ ඔවුන් පාලනය කරන්නට සිරියාවට හැකි වුණා. 1976 ඔක්තෝබරයේ දී ඊජිප්තුව​, සවුදි අරාබිය, සහ වෙනත් අරාබි රටවල් විසින් එවන ලද කුඩා සේනාංක ද සමග අරාබි යුධ නැවැත්වීමේ හමුදාවක් සිරියාවේ ප්‍රධානත්වයෙන් පිහිටවුණා.

ලෙබනනයේ මෙම තත්ත්වය යළි වෙනස් වූයේ ඊශ්‍රායලයේ මැදිහත්වීමත් සමග යි. 1978 මාර්තු 11 වන දා පලස්තීන සටන්කාමීන් විසින් ඊශ්‍රායලයේ කිබුට්සයකට පහර දී පසුව බසයක් පැහැරගත් අතර, එයින් ඇති වූ සටන්වලින් කුඩා ළමුන් ඇතුළු ඊශ්‍රායල වැසියන් 38 දෙනකු මිය ගියා. ඒ සමගම ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයට හමුදා යැවීමට තීරණය කළේ එහි පලස්තීන කණ්ඩායම්වල ක්‍රියාකාරකම් මර්ධනය කරන අදහසින්. මාර්තු 14 වන දා ඇරඹි මෙම මෙහෙයුමට ඔවුන් විසින් නම් තැබුණේ ලිටානි මෙහෙයුම යනුවෙන්. දකුණු ලෙබනනයේ ලිටානි නදිය තෙක් ඊශ්‍රායල් හමුදා ගමන් ගත් අතර ඔවුනට සාද් හඩාඩ්ගේ දකුණු ලෙබනන හමුදාව සහය දැක්වූවා. නමුත් එක්සත් ජාතීන් මැදිහත් වී ඊශ්‍රායලයට යළි හමුදා ගෙන්වා ගැනීමට බල කෙරුණා. මෙම ප්‍රහාරවලින් දකුණු ලෙබනනයේ පලස්තීන ක්‍රියාකාරකම්වලට බරපතල පසුබෑමක් සිදු වුණා.

මෙයින් පසු ප්‍රදේශයේ ප්‍රධානම සන්නද්ධ කණ්ඩායම ලෙස නැගී ආ සාද් හඩාඩ්ගේ (Saad Haddad) දකුණු ලෙබනන හමුදාව (South Lebanon Army) විසින් 1979 අප්‍රේල් මස දී දකුණු දිග ලෙබනනයෙහි "නිදහස් ලෙබනන රාජ්‍යය" නමින් ස්වාධීන රජයක් ප්‍රකාශයට පත් කළා. නමුත් මෙම රාජ්‍යය අන්තර්ජාතික පිළිගැනීමට පත් වූයේ නැහැ.

මෙයින් පසු වසර කිහිපයක් ලෙබනනයේ තත්ත්වය මේ ආකාරයෙන් පැවතුණා. මෙම තත්ත්වය යළි බරපතල ලෙස වෙනස් වූයේ 1982 දී ඊශ්‍රායලය විසින් ලෙබනනය ආක්‍රමණය කිරීමෙන් පසුව යි.

ඒ ගැන අපි වෙනම ලිපියකින් සාකච්ඡා කරමු.