ලෙබනන සිවිල් යුද්ධය – ඊශ්‍රායල ආක්‍රමණයෙන් පසු

1982 ජූනි 6 වන දා ඊශ්‍රායලය විසින් ලෙබනනය ආක්‍රමණය කොට, පලස්තීන විමුක්ති සංවිධානය බේරූට්වලින් පළවා හැර හමුදාමය ජයග්‍රහණයක් වාර්තා කළ බව අප මින් පෙර ලිපියකින් දුටුවා. නමුත් ඊශ්‍රායලයට දේශපාලනමය වශයෙන් බලාපොරොත්තු වූ දේ ඒ ආකාරයෙන් ඉටුකරගැනීමට හැකියාව ලැබුණේ නැහැ. ඔවුන් 1983 මැයි මස 17 වන දා අත්සන් කරන ලද එකඟතාවයකින් පසු කෙමෙන් බේරූට් ආශ්‍රිත ප්‍රදේශවලින් ඉවත්ව දකුණුදිග ලෙබනනය දක්වා හමුදා ගෙන්වා ගත්තා.

මේ අතර ඝාතනයට ලක් වූ බෂීර් ගෙමායෙල් වෙනුවට ඔහුගේ සහෝදර අමීන් ගෙමායෙල් ලෙබනන් ජනාධිපති ලෙස තෝරාගනු ලැබුණා. අමීන් ගෙමායෙල් යටතේ සන්ධාන රජයයන් බිහි කිරීමට ගත් උත්සාහයන් එතරම් සාර්ථක වූයේ නැහැ. මෙයට විවිධ කණ්ඩායම්වල විරසකයන් බලපෑවා.

කඳුකරයේ යුද්ධය

මෙසේ ඊශ්‍රායල හමුදා දකුණුදිග ලෙබනනය වෙත ගෙන්වාගැනීමෙන් පසු සහ ලෙබනනයේ බිහි වූ නව රජය බිඳ වැටුණ පසු ලෙබනනයේ බේරූට් ආශ්‍රිත ප්‍රදේශවල නැවත ක්‍රිස්තියානි සහ මුස්ලිම් මිලීෂියා කණ්ඩායම් අතර ගැටුම් ඇති වුණා. කඳුකර ප්‍රදේශයක් වූ ෂවුෆ් දිස්ත්‍රික්කය සහ අවට ප්‍රදේශවල සිදුවූ හෙයින් මෙම සටන් කඳුකරයේ යුද්ධය ලෙස ද හඳුන්වා දෙනවා.

මෙම යුද්ධයේ දී ඩෲස් ආගමිකයන්ගේ දේශපාලන සංවිධානය වන​ ප්‍රගතිශීලී සමාජවාදී පක්ෂය ප්‍රමුඛ ලෙබනන ජාතික විරෝධතා පෙරමුණ (LNRF) නම් වූ සන්ධානය ක්‍රිස්තියානි මිලීෂියා සන්ධානය වූ ලෙබනන පෙරමුණට සහ ලෙබනන යුධ හමුදාවට එරෙහිව සටන් වැදුණා. LNRF සංවිධානය සිවිල් යුද්ධයේ මුල් කාලයේ පැවති ලෙබනන ජාතික ව්‍යාපාරයේ තැන ගත් සංවිධානය ලෙස සැළකීමට පිළිවන්. ඊට ලෙබනන කොමියුනිස්ට්වාදීන් ආදී වාමාංශිකයන් සහ මුස්ලිම් කණ්ඩායම් ඇතුලත් වුණා. එමෙන්ම සිරියාවේ ද සහය ඔවුනට ලැබුණා. මේ අතර මීට සමගාමීව ෂියා මුස්ලිම් අමාල් සංවිධානය ද ක්‍රිස්තියානි මිලීෂියා කණ්ඩායම් සහ ලෙබනන රජයේ හමුදා සමඟ බේරූට් සහ අවට ප්‍රදේශවල දී ගැටුණා.

බහුජාතික කාර්ය සාධන බලකායේ ඉතාලි සාමාජිකයන් පිරිසක් (Italian Army)

1982 අගෝස්තුවේ ලෙබනනයේ පලස්තීන විමුක්ති සංවිධානයේ සටන්කාමීන් ඉවත්කරගැනීම සඳහා එකඟතාවක් ඇතිකරගත් පසු සාමය තහවුරු කිරීම පිණිස ලෙබනනයේ බහුජාතික කාර්ය සාධන බලකාය පිහිටුවනු ලැබ තිබුණා. මෙම බහුජාතික කාර්ය සාධන බලකායට ඇමරිකානු, ප්‍රංශ, බ්‍රිතාන්‍ය, සහ ඉතාලි හමුදා අයත් වුණා. මෙය ද බේරූට්වල සාමය ආරක්ෂා කිරීම සඳහා දායක වුණ අතර ඩෲස් සහ මුස්ලිම් සටන්කාමීන්ගේ ප්‍රහාරයන්ට ද ඔවුන් ඉලක්ක වුණා.

1983 බේරූට් බැරැක්ක බෝම්බ ප්‍රහාරය​

1983 ඔක්තෝබර් 23 වන දා ඇමරිකානු සහ ප්‍රංශ භටයින් ඉලක්ක කරගෙන ඔවුනගේ බැරැක්ක වෙත මරාගෙන මැරෙන ට්‍රක් බෝම්බ ප්‍රහාරයන් දෙකක් එල්ල වුණා. මෙහිදී ඇමරිකන් සෙබළුන් 241ක්, ප්‍රංශ සෙබළුන් 58ක් සහ සිවිල් වැසියන් කිහිප දෙනෙක් මිය ගියා.

මෙම ප්‍රහාරය ද සිදු කළ බව සඳහන් වුණේ ඉස්ලාමික ජිහාඩ් සංවිධානය නම් වූ සංවිධානයක් විසින්. මීට පෙර 1983 අප්‍රේල් මාසයේ දී බේරූට්හි ඇමරිකානු තානාපති කාර්යාලයට ද පහර දෙන ලද්දේ ඔවුන් විසිනුයි. ඇතැම් විචාරකයන් සැක පළ කරනුයේ මෙය සත්‍ය වශයෙන්ම හිස්බුල්ලා සංවිධානය එහි මුල් කාලයේ භාවිතා කළ නමක් බවයි.​

මේ අතර සිරියාව සහ ඇමරිකාව අතර ද උණුසුම් තත්ත්වයක් නිර්මාණය වූයේ ඇමරිකන් ගුවන් යානාවලට සිරියානු ප්‍රහාර එල්ල වීම හේතුවෙන්. 1983 දෙසැම්බර් 4 වන දා මෙසේ ගුවන් යානා දෙකක් බිම හෙලන ලද අතර එක් නියමුවකු මියගොස් අනෙක් නියමුවා අත් අඩංගුවට ගනු ලැබුණා. පසුව ජෙසී ජැක්සන්ගේ මැදිහත්වීමෙන් ඔහුව නිදහස් කරගනු ලැබුණා.

කෙසේ නමුත් 1984 මාර්තු වනවිට, මූලික වශයෙන් බේරූට් බැරැක්ක ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස බහුජාතික කාර්ය සාධන බලකාය ලෙබනනයෙන් ඉවත් ව ගියා. එමෙන්ම 1984 පෙබරවාරිය පමණ වනවිට ෂවුෆ් ආදී ප්‍රදේශවලින් ලෙබනන හමුදා සහ ක්‍රිස්තියානි මිලීෂියා කණ්ඩායම් පළවා හරින ලද්දේ කඳුකරයේ යුද්ධයෙන් ලෙබනන ජාතික විරෝධතා පෙරමුණට ජයග්‍රහණය ගෙන දෙමින්.

කඳවුරුවල යුද්ධය​

මෙයින් ටික කලකට පසු ලෙබනනයේ දේශපාලන තත්ත්වය වෙනස් වන තවත් සිදු වීමක් ලෙස “කඳවුරුවල යුද්ධය​” හට ගත්තා. මෙහි නම සඳහන් කරන පරිද්දෙන්ම මෙම ගැටුම් සිදු වුණේ පලස්තීන සරණාගත කඳවුරු ආශ්‍රිතව යි.

1982 දී පලස්තීන විමුක්ති සංවිධානය බේරූට්වලින් ඉවත්ව ගිය පසු ලෙබනනයේ එහි බලය බොහෝ අඩු වූණා. මේ පිළිබඳ සිරියාවේ ජනාධිපති හෆීස් අල්-අසාද් සතුටට පත් වුණා. සුන්නි මුස්ලිම්වරුන් වූ පලස්තීනුවන් තමන්ට තර්ජනයක් විය හැකි යයි එක් අතකින් කල්පනා කළ අසාද්, අනෙක් අතින් පලස්තීන සංවිධාන පාලනය කිරීමට බලාපොරොත්තු වුණා. මේ සඳහා ඔහු භාවිතා කළ එක් සංවිධානයක් වූයේ පලස්තීන විමුක්තිකාමී මහජන පෙරමුණ​ – ජෙනරල් කමාන්ඩ් (Popular Front for the Liberation of Palestine – General Command) සංවිධානය යි. පලස්තීන විමුක්තිකාමී මහජන​ පෙරමුණෙන් (Popular Front for the Liberation of Palestine) මෙය බිඳී ආවේ 1968 දී.

මුස්ලිම් මිලීෂියා භටයෙක් බේරුට් නගරයේ ක්‍රිස්තියානි සහ මුස්ලිම් ප්‍රදේශ බෙදූ හරිත රේඛාව අසළ දී, 1982 (AP)

කෙසේ නමුත් සිරියානු සහය ලද පලස්තීන සංවිධානවලට පලස්තීන සරණාගත කඳවුරුවල විශාල බලයක් තිබුණේ නැහැ. ඒ වෙනුවට එහි බලය පතුරවා තිබුණේ පලස්තීන විමුක්ති සංවිධානයේම කොටස් වූ ෆටා, PLFP, සහ පලස්තීන විමුක්තිකාමී ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (Democratic Front for the Liberation of Palestine) යනාදී සංවිධානයි.

මේ අනුව හෆිස් අල්-අසාද් මීළඟට හැරුණේ අමාල් සංවිධානය වෙතයි. මෙමගින් අසාද් ලෙබනනයේ සිය බලය තහවුරු කරගැනීමට අපේක්ෂා කළ අතර අමාල් සංවිධානය ද පලස්තීන සංවිධානවල බලය බිඳ දැමීමට බලාපොරොත්තු වුණා.

මේ අතර අමාල් සංවිධානය සහ ප්‍රගතිශීලී සමාජවාදී පක්ෂය අතර ද බල අරගල ඇති වෙමින් පැවති හෙයින් එම සංවිධාන දෙකත් මීට සමගාමීව ගැටුණා. සාපේක්ෂව අලුත් සංවිධානයක් වූ හිස්බුල්ලා සංවිධානය මෙම ගැටුම්වලදී අමාල් සංවිධානයට ප්‍රතිපක්ෂ වූ ස්ථාවරයක් අනුගමනය කළා. පලස්තීන විමුක්ති සංවිධානයට සහය පළ කරමින් නසර්වාදී සංවිධානයක් වූ අල්-මුරබතූන් ද​, කුර්දි ජාතිකයන්ගේ දේශපාලන සංවිධානයක් වූ කුර්දි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ලෙබනනය​) ද​, ලෙබනන කොමියුනිස්ට් ක්‍රියාකාරී සංවිධානය ද, පෙබරවාරි 6 ව්‍යාපාරය ද ආදී සංවිධාන සටන් වැදුණා.

මෙම සටන් වසර තුනක් පමණ පැවති අතර ඇතැම් කඳවුරුවල පාලනය පලස්තීන විමුක්ති සංවිධානය සහ එයට සහය පළ කරන සංවිධාන අත දිගටම පවතිද්දී ඇතැම් කඳවුරුවල ඔවුනගේ බලය අහිමි වුණා. නමුත් සටන්වලින් කඳවුරු සියල්ලක්ම දැඩි සේ හානියට පත් වුණා. තවද අල්-මුරබතූන් සංවිධානය සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වූ අතර කොමියුනිස්ට් ක්‍රියාකාරී සංවිධානය ද බොහෝ සෙයින් දුර්වල වුණා.

ව්‍යවස්ථා අර්බුදය​

1982 සැප්තැම්බරයේ බෂීර් ගෙමායෙල් ඝාතනයෙන් පසු ජනාධිපති ධුරයට නම් කෙරුණේ ඔහුගේ සහෝදර අමීන් ගෙමායෙල් ය​. නව ජනාධිපතිවරයා මධ්‍යම රජය යම් ස්ථාවර තත්ත්වයක පවත්වාගැනීමට කටයුතු කළා. නමුත් රටේ බොහෝ ප්‍රදේශ සිරියානු, ඊශ්‍රායල හෝ වෙනත් අවිගත් මිලීෂියා සංවිධානවල පාලනය යටතේ පැවති හෙයින් මධ්‍යම රජයට විශාල බලයක් වූයේ නැහැ. නමුත් අගනුවර බේරූට් අවට ප්‍රදේශ සමහරක රජයේ පාලනය වූ අතර 1980 දශකයෙදී යුධ හමුදාව ද යළි ගොඩ නැගෙමින් තිබුණා.

මේ අතර 1988 දී ව්‍යවස්ථා අර්බුදයක් ඇති වුණා. ගෙමායෙල්ගේ ධුර කාලය අවසන් වීමට නියමිත වූ හෙයින් ඔහු හිටපු ජනාධිපති කැමිල් ෂමූන් ගේ පුත් ඩැනී ෂමූන් සහ යුධ හමුදාපති ජෙනරල් මිෂෙල් අවූන් (Michel Aoun) ජනාධිපති තනතුරට යෝජනා කළා. නමුත් ලෙබනන් මුස්ලිම් දේශපාලකයන් මෙම දෙදෙනාම ප්‍රතික්ෂේප කළා. මේ අනුව අනුප්‍රාප්තිකයකු නොමැතිව විශ්‍රාම යාමට ගෙමායෙල්ට සිදු ව​න ලකුණු පහළ වුණා.

මිෂෙල් අවූන් 1988 දී (The Institute of Lebanese Contemporary Studies)

මේ අනුව ඔහු කළේ අගමැති තනතුරට මිෂෙල් අවූන් පත්කිරීම යි. ජනාධිපතිවරයකු නොමැති අවස්ථාවක අගමැතිවරයා එම ධුරයේ වැඩ බලන්නේය යන පිළිගැනීම මත ඔහු අවූන්ව එම තනතුරට පත් කළේ තමාගේ ධුර කාලය නිම වූ විට ජනාධිපති තනතුරේ වැඩ බැලීමට යි.

1943 ජාතික එකඟතාව අනුව අගමැති තනතුරට සුන්නි මුස්ලිමානුවකු පත්විය යුතු වුව ද​, මැරොනයිට් ක්‍රිස්තියානි අවූන් එම ධුරයට පත් කිරීම ගෙමායෙල් විසින් සාධාරණීකරණය කෙරුණේ අවූන් ජනාධිපති ධුරයේ වැඩ බලන්නේය යන පදනම මතයි.

නමුත් මෙම පදනම ලෙබනන මුස්ලිම් දේශපාලකයන් විසින් ප්‍රතික්ෂේප කෙරුණෙන් ඔවුන් විසින් හිටපු අගමැති සෙලීම් හොස් දිගටම ලෙබනනයේ අගමැති බව ප්‍රකාශ කෙරුණා. මේ අනුව ලෙබනනයට අගමැතිවරුන් දෙදෙනකු ලැබුණ අතර මෙමගින් ව්‍යවස්ථාමය අර්බුදයක් හට ගත්තා.

නත්තල් උත්සවය සැමරීම සඳහා බේරූට් හි ක්‍රිස්තියානි – මුස්ලිම් ප්‍රදේශ වෙන් කළ “හරිත රේඛාවේ” නත්තල් ගසක් නිර්මාණය කරන ලෙබනන හමුදාවේ මුස්ලිම් සෙබළුන් පිරිසක් (Getty Images)

මේ අතර 1989 දී අවූන්ගේ සේනාංක සිරියානුවන් හා ගැටුණ අතර ඔහුට එයින් පරාජය අත් වුණා. ප්‍රංශ තානාපති කාර්යාලයේ ආරක්ෂාව පැතූ හෙතෙම පසුව ප්‍රංශයට පිටව ගියා. අවූන් යළි ලෙබනනයට පැමිණියේ වසර 15 කට පමණ පසුවයි. (2016 දී ඔහු ජනාධිපති ධුරය සඳහා යළි පත්වුණා)

ටායිෆ් ගිවිසුම්

මේ අතර 1972 ලෙබනන පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතුරින් ජීවත්ව සිටි මන්ත්‍රීන් ඇතුළු පිරිසකගේ මැදිහත්වීමෙන් සෞදි අරාබියේ ටායිෆ්හි දී ලෙබනන සිවිල් යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා පවත්වනු ලැබුණා. මෙම සාකච්ඡා අවසන 1989 ඔක්තෝබර් 22 වනදා ටායිෆ් ගිවිසුම් සඳහා අත්සන් තබනු ලැබුණා. එම ගිවිසුම් අනුව දකුණුදිග ලෙබනනයේ ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින ප්‍රදේශවල ද ලෙබනන ස්වෛරීත්වය තහවුරු කරනු ලැබූ අතර සියළු මිලීෂියා කණ්ඩායම් නිරායුධ කළ යුතු බව ප්‍රකාශ කෙරුණා. මේ අතර ලෙබනන – සිරියා ආරක්ෂක එකඟතාවක් ද ඊට ඇතුලත් වුණා. එමෙන්ම පාර්ලිමේන්තුවේ සංයුතිය ද වෙනස් කරන ලද අතර අගමැතිවරයා ජනාධිපතිවරයාට වගකිව යුතු බවට වූ නීතිය වෙනස් කර ඔහු පාර්ලිමේන්තුවට වගකිව යුතු බවට ප්‍රකාශ කෙරුණා. තව ද කැබිනෙට් මණ්ඩලය ක්‍රිස්තියානි සහ මුස්ලිම් සාමාජිකයන් සමාන ප්‍රමාණයකින් සමන්විත විය යුතු බවට ද කියැවුණා.

මෙම ගිවිසුම් හේතුවෙන් සටන් බොහෝ කොටම නිම වූ අතර ලෙබනනය තුළ සිරියාවේ බලය ඉහළ ගියා. තවද හිස්බුල්ලා සංවිධානය නිරායුධ නොකෙරුණෙන් එය වෙනම හමුදාවක් පරිද්දෙන් වර්ධනය වුණා. ඊශ්‍රායලය ද ද්කුණු ලෙබනනයෙන් ඉවත් වූයේ නැහැ. ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය මීළඟ වසරවල දී දකුණු ලෙබනනය තුළ සටන් වැදුණා.

Cover Image: බේරූට් බැරැක්ක බෝම්බ ප්‍රහාරය (AP)

Related Articles