1912 ව්‍යවස්ථාදායක සභාවට උගත් ලාංකිකයෙක් තෝරාගත් හැටි

1910 වසරේ දී යෝජනා කරන ලද මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය 1912 වසරේ දී ක්‍රියාවට නැඟුනා. එම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට අනුව උගත් ලාංකික නියෝජිතයෙකු ඡන්දයෙන් පත්කරගැනීම සඳහා අවසර ලැබුණා. එහිදී ඡන්ද භාවිතා කිරීමට වරම් ලැබුණේ මෙරට සිටි උගත්කමෙන් වැඩි ඉහළ පැලැන්තියට අයත් වුණු පුද්ගලයන්ට පමණ යි. එසේම ඡන්දය සඳහා ඉදිරිපත් වුණු තරගකරුවන් දෙදෙනා ද උගත්කමින් වැඩි ඉහළ පැලැන්තියට අයත් ප්‍රභූවරුන් දෙදෙනෙකු වුණා. ලාංකිකයන්ට මුල්ම වරට සීමිත ඡන්ද බලය හෝ ලැබුණේ දිගු කාලයක් තිස්සේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් කළ ඉල්ලීම් නිසා යි.

සීමිත ඡන්ද බලය ලැබුණු හැටි 

1833 වසරේ දී බ්‍රිතාන්‍යයන් කෝල්බෘක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කළා. ඒ යටතේ නිලලත් සාමාජිකයන් 9 දෙනෙකු සහ නිල නොලත් සාමාජිකයන් 6 දෙනෙකු ව්‍යවස්ථාදායක සභාව සඳහා පත් කරනු ලැබුවා. නිල නොලත් සාමාජිකයන් යටතේ සිංහල ජාතිය නියෝජනය කරමින් එක් සාමාජිකයෙකුට  ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කිරීමට අවස්ථාව ලැබුණා. එම සාමාජිකයාව පත්කිරීමේ බලය පැවරුණේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාට යි. 

බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා සෑම විටම එම නියෝජනය සඳහා පත්කරනු ලැබුවේ ගොවිගම කුලයේ කෙනෙකු යි. ඒ පිළිබඳව කරාව, දුරාව, සහ සලාගම යන කුලවල ජනයා විරෝධතා දක්වන්නට වුණා. ඔවුන් බ්‍රිතාන්‍යයන්ගෙන් ඉල්ලා සිටියේ ලාංකිකයා තෝරාගැනීම සඳහා සීමිත ඡන්ද බලයක් ලබාදෙන ලෙස යි. කරාව, දුරාව, සහ සලාගම යන කුලවලට අයත් වුණු උගතුන් දිගින් දිගටම සිදුකළ ඉල්ලීම් නිසා 1910 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මඟින් සීමිත ඡන්ද බලය ලැබුණා. එම ව්‍යවස්ථාදායක සභාව සඳහා නිලලත්  සාමාජිකයන් 11ක් පත්කරගන්නා විට නිල නොලත් සාමාජිකයන් 10ක් ඇතුළත් වුණා. එම නිල නොලත් සාමාජිකයන් අතුරින් 6ක් නාමකරණයෙන් පත් කළ අතර ඉතිරි සාමාජිකයන් සීමිත ඡන්දයෙන් තෝරාගත්තා. එහිදී සීමිත ඡන්දයෙන් තෝරාගත් නියෝජිතයන් අතරට යුරෝපීයයන් 2ක්, බර්ගර් ජාතිකයෙක්, සහ උගත් ලාංකිකයෙක් ඇතුළත් වුණා.

1910 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය සිදුකළ මැකලම් ආණ්ඩුකාරයා (wikipedia)

ඡන්ද අයිතිය ලබාගැනීම සඳහා අවශ්‍ය වුණු සුදුසුකම්

1912 ව්‍යවස්ථාදායක සභාව සඳහා උගත් ලාංකිකයෙකු පත්කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී ඡන්ද අයිතිය ලැබුණේ සීමිත පිරිසකට පමණ යි. එලෙස සුදුසුකම් ලැබූ පුද්ගලයන් සමාජයේ ඉහළ තත්ත්වයක පසු වුණු උගත්කමින් වැඩි පුද්ගලයන් වුණා. ඒ අනුව පහත දක්වා තිබෙන සුදුසුකම්වලින් එකක් සම්පූර්ණ කළ අයෙකුට ඡන්ද අයිතිය හිමි වුණා. එහිදී ඡන්ද දායකයා හෝ ඔහුගේ දෙමාපියන් අනිවාර්යෙන්ම ලංකාවේ දී උපත ලබා තිබීම අනිවාර්ය වුණා.

1) අධිනීතිඥයකු හෝ ඉහළ උසාවියක කටයුතු කිරීමට සුදුසුකම් ඇති නීතිඥයකු වීම.

2)  ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ දිසා අධිකරණයේ නීතිඥයකු වීම.

3)  ඉංගීසි භාෂාවෙන් කටයුතු කිරීමට බලයලත් නොතාරිස්‌වරයකු වීම.

4)  ලියාපදිංචි වෛද්‍යවරයකු වීම.

5)  බලයලත් මිනුම්දෝරුවෙකු වීම.

6)  නගර සභාවක හෝ පළාත් පාලන ආයතනයක මන්ත්‍රීවරයකු වීම හෝ වී සිටීම.

7)  ස්‌වෙච්ඡා හමුදාවක නිලලත් අයකු ලෙස සේවය කිරීම හෝ සේවය කර තිබීම.

8) විශ්‍රාම ගන්නා අවස්‌ථාවේ වසරකට රුපියල් 1500කට නොඅඩු වැටුපක්‌ ලැබූ විශ්‍රාමිකයකු වීම.

9) විශේෂ ජූරිසභාවල සේවය කිරීමට සුදුසුකම් ඇත්තකු ලෙස ලේඛනගතව සිටීම.

10)  බ්‍රිතාන්‍ය ඉන්දියා හෝ යටත්විජිත විශ්වවිද්‍යාලයක උපාධිධරයකු හෝ උපාධි අපේක්‌ෂකයකු විම.

11) කේම්බ්‍රිජ්- ජූනියර් හෝ සීනියර් විභාගයෙන් හෝ එයට සමානයැ යි බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාරයා ගැසට්‌ කරන ලද විභාගයක්‌ සමත්ව තිබීම.

12) දිවයිනේ රජයේ සේවයේ නියුතු ඉංජිනේරු වතු හෝ ඉංග්‍රීසි හෝ අයර්ලන්ත සිවිල් ඉංජිනේරු ආයතනයේ සාමාජිකයකු හෝ ඉංග්‍රීසි අයිරිෂ්, ස්‌කොට්‌ලන්ත හෝ ඉන්දියානු විශ්වවිද්‍යාලයක ඩිප්ලෝමාධාරියකු ලෙස අවම වශයෙන් වසර 3ක් කටයුතු කිරීම

2938 දෙනෙකුට ඡන්ද අයිතිය හිමිවෙයි

ඉහත සඳහන් කළ සුදුසුකම් සපුරා තිබුණු 2938 දෙනෙකුට උගත් ලාංකිකයා තෝරාගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව ලැබුණා. ඉන් සිංහල ජාතිකයන් 1659කට ඡන්ද අයිතිය හිමි වන විට ද්‍රවිඩ ජාතිකයන් 1072කට ඡන්ද අයිතිය හිමි වුණා. ඉතිරි ඡන්ද දායකයන් 207 දෙනා වෙනත් ජාතීන්ට අයත් වුණා. එහිදී බහුතර ඡන්ද බලයක් හිමිව තිබුණේ සිංහල ජාතිකයන්ට යි. ඒ අතුරින් වැඩි පිරිසක් අයත් වුණේ කරාව, දුරාව, සහ සලාගම යන කුලවලට යි. 

කරාව කුලයෙන් ඡන්දය සඳහා ඉදිරිපත් වුණු වෛද්‍ය මාකස් ප්‍රනාන්දුට වැඩි වාසියක් හිමි වුණා. ගොවිගම කුලයෙන් අපේක්ෂකයෙකු ඡන්දය සඳහා ඉදිරිපත් කළොත් පරාජය වීමට වැඩි ඉඩකඩක් තිබුණා. එකල ගොවිගම සහ කරාව යන කුල දෙක අතර විවිධ ඝට්ටනයන් නිර්මාණය වී තිබුණා. එම නිසා කරාව කුලයේ කෙනෙකු ව්‍යවස්ථාදායක සභාවට තේරී පත්වීම වැලැක්වීම සඳහා ගොවිගම කුලයේ අය උපායක් කල්පනා කළා.

පොන්නම්බලම් රාමනාදන් ඡන්ද සටනට 

1912 ව්‍යවස්ථාදායක සභාවේ උගත් ලාංකිකයා තේරීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී ද්‍රවිඩ ඡන්ද දායකයන් 1072ක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියා. එම නිසා හින්දු වෙල්ලාල කුලයට අයත් කෙනෙකු ඡන්දය සඳහා ඉදිරිපත් කිරීමට ගොවිගම කුලයේ ප්‍රභූවරුන් තීරණය කළා. එහිදී ඔවුන්ගේ සැලසුම වුණේ සිංහල ගොවිගම කුලයේ ඡන්ද සහ ද්‍රවිඩ ඡන්ද ලබාගෙන කරාව කුලයේ අපේක්ෂකයා පරාජය කිරීම යි. එදා ගොවිගම කුලයේ ප්‍රභූවරුන් සැලසුම් කළ ආකාරයටම හින්දු වෙල්ලාල කුලයේ කෙනෙකු මැතිවරණ සටනට ඉදිරිපත් කළා. ඒ පොන්නම්බලම් රාමනාදන් නම් කීර්තිමත් පුද්ගලයා යි. 

එම අවධිය වන විට ඉන්දියාවට ගොස් විශ්‍රාම සුවයෙන් කල් ගෙවමින් සිටි රාමනාදන්ව යළි ලංකාවට රැගෙන ඒමේ වගකීම පැවරී තිබුණේ වෝල්ටර් ජයවර්ධනට යි. පසු කලෙක ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා බවට පත්වුණු ජූනියස් රිචඩ් ජයවර්ධනගේ බාප්පා කෙනෙකු වුණු වෝල්ටර් ජයවර්ධන පැවරුණු වගකීම මනාව ඉටු කළා. ඒ අනුව හින්දු වෙල්ලාල කුලයේ පොන්නම්බලම් රාමනාදන් සහ කරාව කුලයේ වෛද්‍ය මාකස් ප්‍රනාන්දු අතර ඡන්ද සටන ආරම්භ වුණා.

ජූනියස් රිචඩ් ජයවර්ධන (jrjc.lk)

දෙපාර්ශවයම ඡන්දය සඳහා සූදානම් වෙයි 

ඡන්දයට පෙර පාර්ශව දෙකම විවිධ ස්ථානවල රැස්වීම් සංවිධානය කරමින් ප්‍රචාරණ කටයුතුවල නිරත වුණා. පොන්නම්බලම් රාමනාදන්ගේ ඡන්ද වැඩ කටයුතු සඳහා වෝල්ටර් ජයවර්ධන විසින් වියදම් දරන විට කරාව, දුරාව, සහ සලාගම යන කුලවලට අයත් ධනවතුන් මාකස් ප්‍රනාන්දුගේ ඡන්ද වැඩ කටයුතු සඳහා වියදම් කළා. එදා ඡන්ද සටන සඳහා පැවති ප්‍රචාරණ කටයුතුවල දී එක් පාර්ශවයක් අනිත් පාර්ශවය විවේචනය කරන ආකාරය දක්නට ලැබුණා. එසේම අනිත් පාර්ශවයේ උදවියට නින්දා අපහාස කිරීමට ඔවුන් පසුබට වුණේ නැහැ. ඡන්ද සටන ආරම්භ කළ අවස්ථාවේ දී පාර්ශවයන් දෙක අතර කරට කර සටනක් පැවතුණත් ඡන්ද දිනය ආසන්න වන විට රාමනාදන් ජයග්‍රහණය කරන ලකුණු පෙනෙන්නට තිබුණා.

පොන්නම්බලම් රාමනාදන් (Wikipedia)

පොන්නම්බලම් රාමනාදන්ට විශිෂ්ට ජයක් 

1911 වසරේ දෙසැම්බර් 13 වැනිදා ඡන්ද විමසීම පැවැත්වුණා. එදිනට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයන් 2938 සුදුසුකම් ලබාතිබුණත් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ 2626 දෙනෙකු පමණ යි. එලෙස ඡන්දය ප්‍රකාශ කර තිබුණු අය අතුරින් 1645 දෙනෙකු පොන්නම්බලම් රාමනාදන්ට ඡන්දය ලබාදෙන විට මාකස් ප්‍රනාන්දුට ඡන්දය ලබා දී තිබුණේ 981ක් දෙනෙකු පමණ යි. එම ඡන්ද ප්‍රතිඵලයට අනුව වැඩි ඡන්ද 664ක් ලබාගත් පොන්නම්බලම් රාමනාදන් 1912 ව්‍යවස්ථාදායක සභාවේ උගත් ලාංකිකයා ලෙසින් තේරී පත් වුණා. 

කවරයේ ඡායාරූපය- බ්‍රිතාන්‍ය යුගයේ ව්‍යවස්ථාදායක සභා ගොඩනැගිල්ල (Hippostcard)

මූලාශ්‍රයයන්- නිදහස ජාතික ඒකාග්‍රතාවය සහ දේශපාලනයේ පවුල් පොරය  

Related Articles