පැරිස් නගරය නට්සි පාලනයෙන් මුදා ගැනීම

දෙවන ලෝක යුද්ධය අවස්ථාවේ මුල් කාලීනව සිදු වූ ජර්මන් ජයග්‍රහණවලින් පසු පැමිණෙන්නේ පරාජයන් ය​. නැගෙනහිර පෙරමුණේ ස්ටාලින්ග්‍රාද් සටන පරාජය වූ පසු ජර්මානුන් වෙතින් ඔවුන් අල්ලාගන්නා ලද ප්‍රදේශ එකිනෙක මුදා ගන්නා ලැබුණ බව අප දන්නවා. 1944 ජූනි මස නෝර්මැන්ඩියට ගොඩබැසීමෙන් පසු ජර්මානුන්ට බටහිර පෙරමුණේ ද තර්ජනයට මුහුණ දීමට සිදු වුණා.

ජර්මානුන්ගෙන් බොහෝ නගර සහ අගනගර නිදහස් කරගත්ත ද ලොව පුරාම වඩාත්ම ප්‍රචලිතව ඇත්තේ පැරිස් නගරය නිදහස් කරගැනීමේ සිද්ධියයැ යි කිවහොත් එහි වරදක් නැහැ. පැරිසිය දෙවන ලෝක යුද්ධයට පෙර ලෝකයේ සංස්කෘතික අගනගරය ලෙස පැවතීම ඊට හේතු වන්නට ඇති.

1940 දී පැරිස් නගරය අල්ලා ගැනීමෙන් පසු ජර්මානුන් එහි තම බලය ස්ථාවර කරගත්තේ හමුදා සහ සිවිල් පාලන ආයතන ද එහි ස්ථාපිත කරමින්. ප්‍රංශයේ කොටසක් ජර්මන් පාලනයෙන් නාමිකව ස්වාධීනව තිබුණත්, පැරිසිය අයත් වුණේ ජර්මන් පාලනයට අයත් වූ කොටසේ යි.

හිට්ලර් අයිෆල් කුළුණ අසල 1940 ජූනි 23 දා (German Federal Archive)

1944 ජූනි 6 වනදා මිත්‍ර හමුදා නෝර්මැන්ඩියට ගොඩබැස්සාට පසු ප්‍රංශයේ ජර්මන් පාලනය තර්ජනයට ලක් වුණා. කෙසේ නමුත් නෝර්මැන්ඩියෙන් පිටතට කඩා වැදීමට මිත්‍ර හමුදාවන්ට සති කිහිපයක් ගත වුණා. අගෝස්තුව වෙද්දී මෙසේ මිත්‍ර හමුදා වේගයෙන් උතුරු ප්‍රංශය හරහා බෙල්ජියම දෙසට කඩා වැදුණා.

නමුත් පැරිසිය දෙසට ගමන් කිරීම මිත්‍ර හමුදා නායකත්වයේ මූලික අවශ්‍යතාවක් වුණේ නැහැ. ඇත්තෙන්ම ජර්මනිය දෙසට මාර්ගය වැටී තිබුණේ පැරිසියට ඈතින්. එහෙයින් පැරිසිය අල්ලා ගැනීමට හමුදා යැවීමේ අවශ්‍යතාවක් මිත්‍ර හමුදා නායකත්වයට වූයේ නැහැ. ජර්මනිය දෙසට මිත්‍ර හමුදා ගමන් කරද්දී ජර්මානුන් පැරිසිය අතැර දමනු ඇතැ යි මිත්‍ර හමුදා බලාපොරොත්තු වුණා.

නමුත් මෙම අවස්ථාවේ දී කරුණු කිහිපයක් එක්ව ඉතිහාසය වෙනස් කිරීමට සමර්ථ වුණා.

තරග කරන සිද්ධි

මිත්‍ර පාක්ෂික අනෙකුත් නායකයින් කුමක් සිතුවත් නිදහස් ප්‍රංශ සේනාංකයන් හි නායක චාර්ල්ස් ඩි ගෝල් පැරිසිය නිදහස් කරගැනීමේ අවශ්‍යතාවයෙන් පෙළුණා. නෝර්මැන්ඩියේ සිටි ඔහුගේ ප්‍රධාන සේනාංකය වූයේ ප්‍රංශ දෙවන සන්නාහ සන්නද්ධ ඩිවිෂනය යි. එහි අණදෙන නිලධාරියා වූයේ මේජර් ජෙනරාල් ෆිලිප් ලෙක්රෙක්.

1940 දී සිදුවූ අපකීර්තිය මකා ගැනීම ප්‍රංශ නායකයින්ට වූ දැඩි අවශ්‍යතාවයක්. ඒ සඳහා පැරිසිය නිදහස් කරගැනීම අත්‍යවශ්‍ය වුණා. එහි යුධමය වැදගත්කමක් නොවූව ද දේශපාලනමය වශයෙන් එය විශාල වැදගත්කමකින් යුතු වූ කාරණයක් වුණා.

ඩි ගෝල්ට පැරිසිය මුදවා ගැනීම සඳහා තමන් සම්බන්ධ වීමේ වැදගත්කම අමුතුවෙන් කිව යුතු වූයේ නැහැ. එහි ප්‍රචාරණමය වාසිය මෙන්ම තවත් යමක් පිළිබඳ ඔහු සිතමින් සිටියා. එනම් පැරිසිය නිදහස් කරගැනීමේ ඉදිරියෙන් ම සිටීම මඟින් කොමියුනිස්ට්වාදීන් වෙත එම ගෞරවය ලැබීම වැළැක්වීම යි.

මේ අතර ජර්මන් ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් පැරිසිය විනාශ කිරීමේ අදහසින් පසුවුණා. ඔහුගේ අණ වූයේ අයිෆල් කුළුණ​, නෝත්‍රදාමය ආදී වැදගත් ස්ථාන සියල්ල විනාශ කළ යුතු බව යි. මේ අනුව​, පැරිසියේ ජර්මන් හමුදාවන් හි අණදෙන නිලධාරී වූ ඩීට්‍රිෂ් ෆොන් චොල්ටිට්ස්ට මේ සඳහා උපදෙස් දෙනු ලැබුණා.

ඩීට්‍රිෂ් ෆොන් චොල්ටිට්ස් (German Federal Archive)

පසු කාලීනව චොල්ටිට්ස් කියා සිටියේ තමන්ට මෙම සංස්කෘතික වශයෙන් වැදගත් වූ ස්ථාන විනාශ කිරීමට අවශ්‍ය නොවූ බ වයි. කෙසේ වෙතත් ඇතැම් ස්ථානයන් හි පුපුරන ද්‍රව්‍ය සවිකිරීමේ කටයුතු ඇරඹුණා. මෙම ක්‍රියාව ප්‍රමාද වීමට එක් හේතුවක් වූයේ ප්‍රමාණවත් තරම් පුපුරන ද්‍රව්‍ය නොතිබීම යි. චොල්ටිට්ස් සත්‍ය ලෙසම එම ස්ථාන විනාශ කිරීමට අදහස් කළේ ද නැද්ද යන්න තහවුරු කිරීමේ හැකියාවක් නැහැ.

කෙසේ නමුත් ජර්මානුන් යම් ක්‍රියාවකට සූදානම් වන බව නගරයෙහි වූ ප්‍රංශ විමුක්තිකාමීන් වටහා ගත්තා. ඔවුනට ද මේ පිළිබඳ විස්තර කණින් කොණින් දැනගැනීමට ලැබුණා. ඒ අනුව​, ඔවුන් එක් අතකින් නගරය තුළ කැරැල්ලක් සාංවිධානය කළ අතර අනෙක් අතට පැරිසිය විනාශ කිරීමේ ඉඩකඩ පිළිබඳ මිත්‍ර පාක්ෂිකයන්ට දැන්වීමට ද ඔවුන් උත්සාහ කළා. විමුක්තිකාමීන්ට තනිව නගරය අල්ලා ගැනීමට ප්‍රමාණවත් ශක්තියක් වූයේ නැහැ. එහෙයින්, නගරය විනාශයෙන් බේරා ගැනීම සඳහා මිත්‍ර පාක්ෂිකයන් එහි පැමිණීම අනිවාර්යය වුණා.

සටන ඇරඹෙයි

1944 අගෝස්තු 18 වන දා පැරිසියේ දුම්රිය සේවකයන් වැඩ වර්ජනයක් ඇරඹුවා. ප්‍රංශ පොලිස් නිලධාරීන් ද රාජකාරිවලින් ඉවත් වුණා. මේ අතර තැන තැන කුඩා ජර්මන් භට කණ්ඩායම් වෙත පහරදීම් ද පටන් ගැනුණා.

මෙකල පැරිසියේ විමුක්තිකාමීන් 20,000ක් පමණ වන්නට ඇතැ යි අනුමාන කෙරෙනවා. එහෙත් ඉන් වැඩි පිරිසක් සතුව අවි ආයුධ වූයේ නැහැ. නමුත් ඔවුන් විරෝධය දැක්වීමට වෙනත් ක්‍රම භාවිතා කළා. ජර්මන් වාහනවල ටයර් සිදුරු කිරීම​, මාර්ග සලකුණු පුවරු ඉවත් කිරීමෙන් ජර්මානුන් අතරමං කිරීම ආදිය ඒ අතරින් ප්‍රධාන යි.

ලෙක්රෙක් 1945 දී. ජර්මනිය වෙනුවෙන් සටන් කළ ප්‍රංශ ජාතිකයන් පිරිසක් අල්ලාගැනීමෙන් පසු (Public Domain)

ජර්මානුන්ට මතු වෙමින් පැවති කැරැල්ල වෙතත්, මිත්‍ර පාක්ෂික හමුදාවන් පැමිණීමේ ඉඩත්, නගරයේ මර්මස්ථාන විනාශ කිරීමේ සැලසුමත් ආදී සියල්ල පිළිබඳ සොයන්නට සිදු වුණා. ඒ සඳහා ප්‍රමාණවත් ශක්තියක් ඔවුන් සතු වූයේ නැහැ. මේ අතර අගෝස්තු 19 වන දා වන විට නගරයේ පොලිස් ස්ථාන සමහරක් ද දුම්රිය ස්ථාන සමහරක් ද ඇතුළු ඇතැම් ස්ථාන වූයේ විමුක්තිකාමීන් අත යි.

කෙසේ නමුත් එදිනම ජර්මානුන් සහ විමුක්තිකාමීන් අතර සටන් විරාමයකට එළඹීමට කටයුතු කෙරුණා. ඒ සඳහා මූලිකත්වය ගත් විමුක්තිකාමීන් වූ අතර ස්වීඩන් කොන්සල්වරයා මැදිහත්වීම සිදු කළා. තමන් සත්‍ය වශයෙන්ම ඉතා දුර්වල තත්ත්වයක පසුවීම හේතුවෙන් එවන් සටන් විරාමයකට පැමිණීම විමුක්තිකාමීන්ට වාසිදායක වුණා. මේ අතර​, තමන්ට මතුවූ එක් අභියෝගයකින් නිදහස් වීමට ලැබීම ජර්මානුන්ට ද අස්වැසිල්ලක් වුණා.

පැරිසිය කරා

ඩි ගෝල් ප්‍රංශයට පැමිණියහොත් තම යුධ සැලසුම් සමග “පිස්සු නැටීමට​” ඉඩ ඇති බව දත් මිත්‍ර පාක්ෂික දේශපාලන නායකත්වය ඔහුව හැකි තරම් කල් බ්‍රිතාන්‍යයේ තබා ගැනීමට උත්සාහ කළා. එහෙත් ඔහු ප්‍රංශය වෙත ගුවනින් පැමිණීමට සමත් වුණා.

මේ අතර මිත්‍ර හමුදා ප්‍රධාන අණදෙන නිලධාරී ජෙනරල් ඩ්වයිට් අයිසන්හවර් පැරිසිය අල්ලාගැනීම කල් දැමීමට වූ තීරණය තහවුරු කර තිබුණා. මේ අවස්ථාවේ ලෙක්රෙක් තම ඩිවිෂනයේ කොටසක් පැරිසිය වෙත යැව්වේ අයිසන්හවර්ගේ සහ තම සමීපම උසස් නිලධාරියා වූ ඇමරිකන් මේජර් ජෙනරාල් ජෙරෝව්ගේ අණ නොතකමින්.

විමුක්තිකාමීන් සහ ජර්මානුන් අතර සටන් විරාමය යම් යම් සිද්ධීන් යටතේ වුව ද අගෝස්තු 24 තෙක් පැවතුණා. කෙසේ වෙතත් එදා රාත්‍රියේ ප්‍රංශ සේනා පැරිස් නගර සීමාවට පැමිණ තිබුණා.

පැරිසියේ යළි ප්‍රංශ ධජ (Public Domain)

ප්‍රංශ සේනා පැරිසිය වෙත පිටව ගිය බව දැනගත් පසු ඇමරිකානුවන් ද සිය සේනාංකයක් එහි එව්වා. ඔවුන් ඊළඟ දිනයේ උදෑසන නගරය කරා පැමිණියා. මිත්‍ර පාක්ෂිකයන්ට පැරිසිය කරා එන ගමනේ දී විශේෂ විරෝධයකට මුහුණ දීමට සිදුව තිබුණේ ද නැහැ. ජර්මානුවන් පත්ව තිබුණේ එතරම්ම නරක තත්ත්වයකට යි.

අගෝස්තු 25 වන දාම චොල්ටිට්ස් යටත් වීමට ද තීරණය කළා. ඒ අනුව ප්‍රංශ හමුදා නායකයින් එදිනම පැරිසිය කරා පැමිණියා. එමෙන්ම එදිනම ජනතාව ඇමතූ ඩි ගෝල් සඳහන් කළේ පැරිසිය තමන් විසින්ම නිදහස ලබාගත් බව යි. මෙය එතරම් නිවැරදි නොවූ ප්‍රකාශයක් වුව ද (ප්‍රංශ සේනා සමස්ථ මිත්‍ර හමුදාවෙන්ම ඉතා කුඩා කොටසක් වුණා) එය දේශපාලනිකව ඉතා වැදගත් ප්‍රකාශයක් වුණා.

මීට අමතරව චාර්ල්ස් ඩි ගෝල් තම බලය පැරිසියේ ස්ථාවර කරගත්තා. ඒ අනුව නගරය ගලවා ගැනීමේ මූලික ගෞරවය හිමි වූයේ ඩි ගෝල්ට මිස කොමියුනිස්ට්වාදීන් ඇතුළු විමුක්තිකාමී කැරලිකරුවන්ට නොවේ.

මූලාශ්‍රයයන්

Cover Image: ඩි ගෝල් ඇතුළු පිරිස පැරිසිය නිදහස් කරගත් පසු (Imperial War Museum)

Related Articles