ගඩාෆි විසින් බලයෙන් නෙරපන ලද ලිබියාවේ රජු

කර්නල් මුවම්මර් ගඩාෆි 1969 දී බලයට පැමිණියේ ලිබියාවේ පැවති රාජාණ්ඩුව පෙරළා දමමින්. ලිබියාවේ ඒ වන විට රජකම දැරුවේ එරට එකම රජු ලෙස ඉතිහාසයට එක්ව ඇති ඉද්‍රිස් රජු යි. මෙහි වැදගත් ම කරුණ වන්නේ ඉද්‍රිස් රජු ද සිහසුන අතහැර ජනරජයක් ප්‍රකාශ කිරීම සඳහා සූදානමින් සිටීම යි.

ඉද්‍රිස් රජු, බලයට කෑදර අයෙකුට වඩා උගතකු සහ භක්තිමත් ඉස්ලාම් බැතිමතෙකු ලෙස ප්‍රකට වූ අයෙක්. ඔහු කිහිපවිටක් සිහසුන අත හරින්නට උත්සාහ කළත්, එයට ඔහුගේ සමීපතමයන් ඉඩ දුන්නේ නැහැ. මේ නිසා ඔහු තුර්කියේ සංචාරයක් අරඹා ඒ අතරතුර තමන් සිහසුන අතහරින බව නිවේදනය කළා.

මේ අතර ඔහු රටින් පිට වූ අවස්ථාව උපයෝගී කරගෙන ගඩාෆි සහ ඔහුගේ අනුගාමිකයන් බලය අල්ලාගත්තා. ඉද්‍රිස් කැමැත්තෙන් බලය අතහැරීම ගැන ඔවුන් දැන සිටියා ද යන්න පැහැදිලි නැහැ. නමුත් වෙනත් පිරිසක් බලය අල්ලාගැනීම පිළිබඳ ඉද්‍රිස් බොහෝ සතුටට පත් වූ බව සඳහන්.

සෙනූසි නායකයා

සෙනූසි නිකාය සූෆි ඉස්ලාමීය නිකායක් වුණා. එහි ආරම්භකයා වූ මුහම්මද් ඉබන් අලි අස්-සෙනූසි විශ්වාස කළේ, ඉස්ලාමය පරිහානියට පත්ව ඇති බව හා එය පුනරුදයට පත් කළයුතු බව යි. ඔහු තම ආගමික ව්‍යාපාරය ඇරඹූයේ සිරනයිකාවෙන්. එහි මධ්‍යම රජයක පාලනය එතරම් තදින් නොතිබූ අතර, ආගමික සහ දේශපාලනික ව්‍යාපාරයක් ලෙස සෙනූසි නිකායට මුල් ඇද නැගී සිටීමට එම ප්‍රදේශය අතිශයින් ම යෝග්‍ය වුණා.

අල්-මහ්දි, තම පියාගේ මරණින් පසු සෙනූසි නායකයා වුණා. ඒ 1859 දී. ඉද්‍රිස් උපන්නේ 1889 මාර්තු 12 වන දා යි. අල්-මාහ්දි 1902 දී මියයන විට​ ඉද්‍රිස් වැඩිහිටියෙකු වී තිබුණේ නැහැ. මේ නිසා සෙනූසි නිකායේ නායකත්වය ඔහුගේ ඥාති සහෝදරයෙකු වූ අහ්මඩ් අල් ෂරීෆ් විසින් බාරගනු ලැබුණා.

අහ්මඩ් අල් ෂරීෆ් (Public Domain)

1914 අප්‍රේල් මාසයේ දී ඉද්‍රිස් හජ් වන්දනාවේ යාමට පිටත් වුණා. ඔහු එම ගමනේ දී ඊජිප්තුවේ ඛෙදීව්වරයා මෙන්ම​ හෙජාස් හි ෂරීෆ්වරයා වූ හුසේන් ඇතුළු නායකයින් මුණගැසුණා. ආපසු එන ගමනේ දී ඔහු, ඊජිප්තුවේ දී බ්‍රිතාන්‍යයන් ද මුණගැසුණා. සෙනූසි නිකායේ සහාය බ්‍රිතාන්‍යයට ලබාගැනීම සඳහා උපකාර කරන ලෙස බ්‍රිතාන්‍යයන් ඔහුගෙන් ඉල්ලා සිටියා. මේ අවස්ථාවේ ඉද්‍රිස් තම චරිත ස්වභාවයේ එක් ස්වරූපයක් පෙන්නුම් කළා. ඔහු බල අරගල සඳහා සූදානම් වූයේ නැහැ. එම පණිවිඩය තම ඥාති සහෝදරයා වෙත ලබා දෙන්නට ඔහු පොරොන්දු වුණා. නමුත් ඔහුගේ තීරණ ගැනීම පිළිබඳ ඇඟිලි ගසන්නට තමන්ට නොහැකි බවත් ඉද්‍රිස් කියා සිටියා.

අහ්මඩ් අල් ෂරීෆ් පළමු ලෝක යුධ සමයේ දී බ්‍රිතාන්‍යයට එරෙහිව යුධ වැදුණා. මෙහි දී ඉද්‍රිස් පාර්ශවයක් නොගෙන සිටියා. සෙනූසි හමුදා යුද්ධයෙන් පරාජය වීමත් සමග අල් ෂරීෆ්ගේ බලය බිඳ වැටුණා. ඒ සමග ම සෙනූසි නායකයා බවට ඉද්‍රිස් පත් වුණා.

මේ පිළිබඳ වැඩි විස්තර ඔබට මෙම ලිපියෙන් කියවන්නට හැකියි: පළමු ලෝක යුද්ධයේ අප්‍රකට යුධ පෙරමුණ – ලිබියාව

බ්‍රිතාන්‍යයන් විසින් ඉද්‍රිස් ව සිරනයිකාවේ එමීර්වරයා ලෙස පිළිගනු ලැබුණා. පසුව ඉතාලිය ද ඊට එකඟ වුණා.

පිටුවහල් වීම

1922 දී බෙනීටෝ මුසෝලිනී ඉතාලි නායකත්වයට පත් වූ පසු සිරනයිකාවේ අභ්‍යන්තර ප්‍රදේශය හෙවත් කුෆ්‍රා ප්‍රදේශය තම පාලනය යටතට ගැනීම සඳහා සටන් කිරීමට පටන් ගත්තා. මේ අවස්ථාවේ ඉද්‍රිස් ඊජිප්තුවට පළා ගියා. ඔහුට සටන් කිරීමේ ඕනෑකමක් වූයේ නැහැ. නමුත් ඔමාර් මුක්තාර් යටතේ සෙනූසි සටන්කාමීන් වසර ගණනක් ඉතාලි සේනාංකවලට එරෙහිව සටන් කළා. මෙහි දී සිරනයිකාවේ විශාල පිරිසක් ඝාතනය කෙරුණ අතර, දහස් ගණන් සිර කඳවුරුවල ගාල් කෙරුණා. මුක්තාර් 1931 දී එල්ලා මරා දැමුණේ ඉතාලි හමුදා විසින් අල්ලාගැනීමෙන් අනතුරුව යි.

දෙවන ලෝක යුද්ධය අතරතුර මිත්‍ර රටවල් විසින් ලිබියාව අල්ලා ගැනුණා. පසුව එය බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ හමුදා පාලනය යටතේ පැවතුණා. මේ අවස්ථාවේ දී ලිබියාවේ අනාගතය කෙසේ විය යුතුදැ යි විවිධාකාර විවාදයන් ඇති වුණා.

එක්සත් ලිබියාව

ලිබියාවේ හෙවත් පැරණි ඉතාලි උතුරු අප්‍රිකාවේ ප්‍රධාන ප්‍රදේශයන් තුනක් වුණා. ඒ ට්‍රිපොලිටානියාව​, සිරනයිකාව, සහ ෆෙසාන් ප්‍රදේශය යි. මෙයින් ෆෙසාන් ප්‍රදේශය විශාල ජනගහනයකින් යුතු ප්‍රදේශයක් නොවේ. වැඩිම ජනගහනයක් වාසය කළේ ට්‍රිපොලිටානියාවෙයි. මේ සියලු ප්‍රදේශයන් හි ජනතාව අතර වැඩි ම පක්ෂපාතී වූයේ ගෝත්‍රයටයි. මේ අනුව එක්සත් රාජ්‍යයක් නිර්මාණය කිරීම පහසු වූයේ නැහැ.

ලිබියාවේ සාම්ප්‍රදායික පළාත් (Wikimedia Commons)

ඉද්‍රිස් සිරනයිකාවේ ගෝත්‍ර නායකයන්ගේ ගෞරවයට පාත්‍ර වුණා. ඔහුව බොහෝ දෙනා දුටුවේ ආගමික නායකයෙකු ලෙස යි. නමුත් ට්‍රිපොලිටානියාවේ විවිධ නායකයන් අතර එක අදහසක් වූයේ නැහැ. කෙසේ වෙතත් 1949 නොවැම්බරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී මේ පිළිබඳ අවසන් තීරණයක් ගනු ලැබුණා. ඒ අනුව 1952 ජනවාරි 1 වන දා වෙද්දී ඉද්‍රිස් යටතේ එක්සත් ලිබියාව ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමට කතිකා කරගත්තා. 1951 දෙසැම්බර් 24 වන දා ඉද්‍රිස් ලිබියාවේ නිදහස ප්‍රකාශයට පත් කළා.

සංහිඳියාව සහ අරාබි ජාතිකවාදය

ඉද්‍රිස් සිය අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළේ සලීම් මුන්ටසර් නම් ට්‍රිපොලිටානියානු දේශපාලකයා යි. මුන්ටසර් ඉතාලිය සමග ද සහයෝගයෙන් ක්‍රියාකළ අයෙකු වුණා. එහෙයින් ඔහු පත් කිරීම විවාදාත්මක ක්‍රියාවක් වූ නමුත් ඉද්‍රිස්ට අවශ්‍ය වූයේ රාජ්‍ය පාලනය හුරුපුරුදු අය තම රජයට එක්කර ගැනීමට යි. නූතන රාජ්‍යයකට අවශ්‍ය මූල්‍ය සහ බැංකු කටයුතු සහ පරිපාලන කටයුතු පිළිබඳ පුරුද්දක් තිබුණේ ඉතාලි පාලන සමයේ ඔවුන් හා කටයුතු කළ නිලධාරීන්ට බව ඉද්‍රිස් තේරුම් ගත්තා.

මේ අතර ඉද්‍රිස් ඉතාලියට සහාය දැක්වූ සහ නොදැක්වූ ආදී බෙදීම් පසෙක ලා කටයුතු කරන ලෙස කියා සිටියා. ලිබියාවේ අධ්‍යාපනය දියුණු කිරීම සඳහා විශාල කාර්යභාරයක් සිදුකරනු ලැබුණා. රජයේ කටයුතු සඳහා දේශපාලනයෙන් තොරව සුදුස්සන් පත් කිරීම ඉද්‍රිස්ගේ සාර්ථක පියවරක් වුණා. පසු කලෙක ගඩාෆිගේ පාලන සමයේ දී සිදු වූ දියුණුවට අවශ්‍ය මූලික කටයුතු ඉද්‍රිස් විසින් සිදුකළ බව සඳහන් කළ හැකියි.

ඉද්‍රිස් රජු 1951 දී (Public Domain)

නිදහස ප්‍රකාශ කරන සමයෙහි ලිබියාව අතිශයින් ම දුගී රාජ්‍යයක් වුණා. දෙවන ලෝක යුධ සමයෙහි ඔවුනගේ නගර සියල්ලක් ම පාහේ බරපතල ලෙස හානියට පත්ව තිබුණා. ලිබියාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා හෝ අනෙකුත් කටයුතු සඳහා හෝ මුදල් තිබුණේ ද නැහැ. මෙම අවස්ථාවේ ඔවුනට උපකාර කිරීමට ද ඉදිරිපත් වූයේ බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව යි. ඔවුන් එරට යුධ කඳවුරු ඉදිකළ අතර ඒ වෙනුවට ලිබියාවට මුදල් ලබා දුන්නා.

යාබද ඊජිප්තුව මෙකළ පාලනය කළේ ගමාල් අබ්දෙල් නසාර් විසින්. නසර් යනු එකල අරාබි ජාතිකවාදයේ වීරයා යි. ඔහු බටහිර රටවල යුධ කඳවුරු ලිබියාවේ පැවතීම පිළිබඳ සිය අප්‍රසාදය පළ කළා. මේ අතර 1956 සූවස් යුද්ධය ඇති වුණා. මෙහි දී ඊජිප්තුව චෝදනා කළේ තම රටට පහර දීම සඳහා බ්‍රිතාන්‍යය ලිබියාවේ කඳවුරු ප්‍රයෝජනයට ගන්නා ලද බව යි. නමුත් ඉද්‍රිස් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළ අතර, පසු කාලයක නසර් ද ඉද්‍රිස්ගේ ප්‍රකාශය තහවුරු කළා. නමුත් ඊජිප්තුව ලිබියානු විරෝධී ප්‍රචාරක කටයුතු දිගටම කරගෙන ගියා.

දූෂණ සහ අක්‍රමිකතා

මේ අතර 1959 දී ලිබියාවේ ඛනිජ තෙල් සොයාගනු ලැබුණා. මේ අනුව මෙතෙක් එරටට වූ මූල්‍ය අපහසුතා කෙමෙන් දුරු වේ ය යන බලාපොරොත්තු ඇති වුණා. තෙල්වලින් එරට ආදායම උපයන්නට වුණේ 1961 සිට යි. නමුත් යටිතල පහසුකම් දියුණු කිරීම ආදිය සඳහා කල් ගතවුණා. මේ අතර ඉද්‍රිස් අවට සිටියවුන්ට දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ චෝදනා එල්ල වුණා. ඉද්‍රිස් මේ පිළිබඳ ව දැඩි පියවර ගැනීමට අපොහොසත් වුණා.

ඉද්‍රිස්ට මේ වන විට විශාල පෞද්ගලික ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු වී තිබුණා. ඔහුට සිහසුන බාර ගැනීමට දරුවන් සිටියේ නැහැ. ඔහුගේ පවුලේ අනෙක් ප්‍රධාන චරිත කිසිවක් පිළිබඳ ඔහුට පැහැදීමක් ද වූයේ නැහැ. ඔහු 1950 දශකයේත්, 1960 දශකයේත් කිහිපවිටක් ම රජකම අතැර ලිබියාව ජනරජයක්යැ යි ප්‍රකාශ කිරීමට සූදානම් වූයේ, මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස යි. ඔහුගේ රජයේ සමීපතමයින් ඒ අවස්ථාවන් හි ඔහු වළකාලූයේ එක රැයින් ලිබියාව ජනරජයක් නොකරන ලෙස පවසමින්. අනෙක් අතට මෙම යෝජනාව සිරනයිකාවේ නායකයින්ගේ අප්‍රසාදයට හේතු වුණා. ජනරජයක් බිහි වූ විට එහි පාලනය ජනගහනය වඩා වැඩි ට්‍රිපොලිටානියාව වෙත මාරු වේ ය යන බිය ඊට හේතු වුණා.

බලය අහිමි වීම

1969 අගෝස්තු මාසයේ දී ඉද්‍රිස් තුර්කියේ සංචාරයක නිරත වුණා. මේ වන විට රටේ අරාබි ජාතිකත්වය ඉස්මතු වෙමින් ඉද්‍රිස්ගේ පාලනය කඩා වැටෙමින් තිබුණා. තුර්කියට ගිය ඉද්‍රිස් සිහසුන අතහැරීම පිළිබඳ නිවේදනයක් නිකුත් කළා. ඒ වන විට ලිබියාවේ බලය කනිෂ්ඨ හමුදා සාමාජිකයන් පිරිසක් විසින් අල්ලාගන තිබුණා. ජනතාව අතර මෙම වෙනස පිළිබඳ ව වූයේ විශාල ප්‍රසාදයක්. ඉද්‍රිස් ද ඒ පිළිබඳ කිසිදු විරෝධයක් නොදැක්වූ බව සඳහන්.

මුවම්මර් ගඩාෆි 1969 සැප්තැම්බරයේ දී (AFP/Getty Images)

ගඩාෆි බලය අල්ලාගත් පසු ඉද්‍රිස් ඊජිප්තුවෙහි පදිංචියට පැමිණියා. ඔහු 1983 දී සිය මරණය තෙක් ම ජීවත් වූයේ ඊජිප්තුවේ යි.

මුවම්මර් ගඩාෆි ගැන කියවන්න​: හතළිස් දෙවසරක් ලිබියාව පාලනය කළ මුවම්මර් ගඩාෆි

කවරයේ පින්තූරය: ඉද්‍රිස් රජු (Al Jazeera World)

මූලාශ්‍රය​:

Libya’s Forgotten King (Al Jazeera)

Related Articles