Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලිබියාවෙන් තවත් සැකකටයුතු ගුවන් අනතුරක්?

1988 සීතල දෙසැම්බර් මාසයේ 21 වන දින, මඟීන් 259ක් සමග ස්කොට්ලන්තයේ ලොකර්බි නගරයට ඉහළ අහසේ පුපුරා ගිය PAM AM 103 යානය පිළිබඳව අපි පසුගිය ලිපියකින් කතා කළෙමු. එම ම්ලේච්ඡ ත්‍රස්ත ක්‍රියාව ලිබියාවේ ගඩාපි පාලනයේ සෘජු අනුදැනුම මත සිදූවූ බවත්, අවසානයේ ලිබියානු ජාතිකයෙකු වූ අල් මෙග්‍රාහි කෙරෙහි සැකය යොමු වූ බවත් ඒ ලිපිය කියැවූ ඔබ දනියි. කෙසේ නමුත් ලිබියානු රජය සැකකාර අල් මෙග්‍රාහී ජාත්‍යන්තර අධිකරණයට භාරදීම ප්‍රතික්ෂේප කරනු ලැබුණි. ඉන්පසුව ලිබියාවට එරෙහිව සම්බාධක පැනවීමෙන් හා එවකට බ්‍රිතාන්‍ය අගමැතිවරයාව සිටි ටොනි බ්ලාර්ගේ ලිබියාවේ කරන ලද “සහෝදරත්වයේ” සංචාරයෙන් අනතුරුව එම සිරකරුවා නෙදර්ලන්තයේ අධිකරණයට භාර දීමටත්, මියගිය අයට වන්දි ගෙවීමටත් ගඩාපි පාලනය එකඟ විය. අවසානයේ අල් මෙග්‍රාහිට වරදට දඬුවම් ලැබුණ ද, පිළිකා තත්ත්වයක් හේතුවෙන් ඔහුගේ දඬුවම් කාලය ගෙවීමට පෙර නිදහස් කෙරුනු අතර, ඔහු ලිබියාවේ දී වීරයෙකු ලෙස සැලකුම් ලැබ මියගියේ ය. 

අප තවත් ලිපියකින් කතාකළේ මෙම ගුවන් අනතුර සම්බන්ධව බටහිර රටවල මැදිහත්වීමෙන් ලිබියාවේ ගෑස් සම්පත කොල්ලකෑම සඳහා ලිබියාව හිරකර ගැනීමට කරන ලද දැල එලීමේ ක්‍රියාවලියක් ගැන යි. 

මේ ලිපියෙන් අප අද කතාකරන්නට යන්නේ PAM AM 103 ගුවන් යානයේ අනතුරෙන් හරියටම වසර හතරකුත් දවසකින් ලිබියාවේ දීම කඩා වැටුනු මඟී ගුවන්යානයක් පිළිබඳව ය. දිනය 1992 දෙසැම්බර් 22 දෙවෙනිදා ය. ලොකර්බි ගුවන් අනතුර සිදුවූයේ 1988 දෙසැම්බර් 21 වෙනිදා ය. මෙවර අනතුරට පත් ගුවන්යානය ලිබියානු ගුවන් සේවයේ  LY 1103 ය. ලොකර්බි ගුවන් යානය PAN AM 103. LY 1103 යානයේ නම වෙනස් කර තිබුණේ ද ඊට මාස කිහිපයකට පෙර වීම ද විශේෂ කරුණකි.

ට්‍රිපොලි නගරය අසල වැටී තිබු යානයේ සුන් බුන් – අල් ජසීරා

LY 1103 ගුවන් යානය මඟීන් 157ක් සමගින් ලිබියාවේ බෙන්ගාසී බෙනීනා ගුවන් තොටුපලින් ගුවන්ගත වූයේ, ලිබියාවේම ට්‍රිපොලි ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත යාමට යි. එහෙත් ගමනාන්තයට විනාඩි 5කටත් අඩු කාලයක් තිබිය දී යානය කඩා වැටුනේ යානයේ සිටි සියලු මඟීන්ට ජීවත්වීමේ වරම් අහිමි කරමිනි. යානය කඩා වැටීමත් සමග ලිබියානු රජය එහි වරද ජාත්‍යන්තරයට පටවනු ලැබුවේ, පනවා ඇති සම්බාධක හේතුවෙන් අමතර කොටස් ලබා ගැනීමට නොහැකි වූ නිසා මෙම අනතුර සිදුවූ බව කියමිනි. එහෙත් එය පැහැදිලි ලෙසම ගෙතූ කතාවක් බව පසුව සනාථ වූයේ ඒ වන විට ලිබියාව, තුර්කිය හරහා ගුවන්යානා අමතර කොටස් ලබාගනිමින් සිටීම හේතුවෙනි. එමෙන්ම ගුවන්යානය ගුවන්ගත කිරීමට පෙර යානය පරික්ෂා කර ඉංජිනේරුවන්ට අනුව යානයේ වූ (සම්බාධක නිසා ලබාගැනීමට නොහැකි වූ බව කියන) අදාළ කොටස්වල තාක්ෂණික ගැටළු තිබී නැත. 

මෙම ගුවන් යානය අනතුරෙන් ටික වේලාවකට පසු මිග්-23 ගුවන් යානාවක් ද කඩා වැටුනු අතර, එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනාට තුවාළ සහිතව වුව ද ජීවිත බේරාගැනීමට හැකිවිය. මෙනිසා ලිබියාව රජය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන ලද අතර, මෙම ගුවන් යානය අනතුරට හේතුව මිග්-23 යානය LY 1103 ගුවන් යානය හා ගැටීම බවට නිගමනය විය. ඒ අනුව මිග් යානයේ ගුවන් නියමුවන්ට සිර දඬුවම් නියම කෙරෙණි. 

සියල්ල කණපිට හැරුනේ අරාබි වසන්තය ඔස්සේ ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆිගේ වසර හතළිහකට අධික ඒකාධිපති පාලනය 2011 දී බිඳ වැටීමත් සමග ය. ඒ වන විට සිර දඬුවම් විඳිමින් සිටි මිග්-23 ගුවන් නියමුවන් දෙදෙනා නිදහස්ව සිටි අතර, ඔවුන් කියා සිටියේ මිග්-23 යානය LY 1103 යානය හා ගැටුනේ නැති බව ය. එසේම තවත් ගුවන් යානයක් ඒ මඟෙහිම ඒ වන විට ගුවන්ගත කර ඇති බවට පණිවුඩ සංඥා තමන්ට නොලැබුණු බවත් ඔවුන්ගේ ප්‍රකාශයේ සඳහන් විය. ඔවුන් කියා සිටියේ LY 1103 යානයේ පිටුපස කොටසට කිසියම් වස්තුවක් වැදුනු බවත්, ඒ ඝට්ටනයෙන් එම යානයේ පිටුපස කොටස කඩාවැටුණු බවත්, සහ යානයේ කඩා වැටීමට එය හේතු වූ බවත් ය. එම වස්තුව හේතුවෙන් තමන්ට ද තමන්ගේ මිග්-23 යානය පාලනයෙන් ගිලිහී ගිය බව ද, තම යානයේ කඩා වැටීමට හේතු වූයේ එම සිදුවීම බව ද ඔවුන් පැවසීය.

අලි අවුජාලි – BBC.com

මේ පිළිබඳව ඇඟ කිලිපොලා යන හෙළි කිරීමක් සිදුවූයේ ලිබියානු රජයේ මෙන්ම, ගඩාෆි පාලනයෙන් පසුව පිහිටවූ අන්තර්වාර පාලනයේ ද රාජතාන්තිකයකු වූ අලි අවුජාලි විසිනි. ඔහුට අනුව මෙම ගුවන්යානය ලොකර්බි ගුවන් අනතුරේ දී මෙන්ම ගුවනේ දී පුපුරවා හැරීමට සූදානම් කර තිබී ඇත. ඊට හේතුව වී ඇත්තේ, එම අනතුර සිදුවූයේ සම්බාධක හේතුවෙන් අමතර කොටස් ගෙන්වීමට නොහැකි නිසාවෙන් බව ලොවට කියමින් ලබා ගන්නා අනුකම්පාව මත, එම සම්බාධක ඉවත්කර ගැනීමේ උත්සාහයකි. නමුත් එම පුපුරවාහැරීම සාර්ථක නොවුන තැන, එම ගුවන්යානය වෙනත් ප්‍රහාරයකින් බිම දමා, එම ප්‍රහාරයේ වගකීම මිග් යානය මත පටවනු ලැබීය. 

ලොකර්බි ගුවන් අනතුරෙන් මියගිය 270 ද දේශපාලන හා ආර්ථික වාසි මත කරන ලද ඝාතනයක වින්දිතයන් බවට මේ වන විටත් බැහැර කළ නොහැකි මත පලවී තිබේ. අලි අවුජාලිගේ ප්‍රකාශය නිසා ලිබියාවේ මේ 157ක් ඝාතනය කෙරුණු අනතුර ද එවැනිම දේශපාලන අරමුණක් මත සිදුවූවක්දැ යි සැක පවතී. තමන්ගේ පුද්ගලික අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා තමන්ගේ රටේ වැසියන් අමු අමුවේ ඝාතනය කිරීමට මෙම දේශපාලකයින් පසුබට නොවන බවට තවත් නිදසුන් අවශ්‍ය ද?

විමර්ශන ලේඛන:

upi.com/Archives/1992/12/22/Libyan-jet-crashes-killing-158-apparently-after-mid-air-collision/7156725000400/

bbc.com/news/world-africa-25979532

heraldscotland.com/news/13087013._No_mid_air_collision__in_1992_Libya_air_disaster/

aljazeera.com/program/episode/2013/8/7/flight-1103

Related Articles