එකමුතුකමට මුල් තැන දුන් ලිච්ඡවි පාලනය

ඡන්දයක් ළං වන විට බොහෝ දේශපාලනඥයන් මතුරන කතාවක් තමයි ලිච්ඡවි දහමට අනුව රට පාලනය කළ යුතු බව. නමුත් ඔවුන් බලයට පත්වීමෙන් පසු ඒවා සම්පූර්ණයෙන් අමතක ව යනවා. අද රටේ තරුණ පරපුර පාලකයන්ට ගෙදර යන ලෙස එකමුතුව බල කරමින් මහා උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ කර ඇත්තේ මේ දූෂිත දේශපාලනය නිස යි.

පාසල් කාලයේ පටන් උගන්වන,බලය අතට ආ විට අමතක වන ලිච්ඡවි ධර්මය කුමක්ද කියා අපි විමසා බලමු.

 සොළොස් මහා ජනපද අතර ලිච්ඡවි දේශය-flexiprep.com

 

ලිච්ඡවි රට

ලිච්ඡවි නමින් බෞද්ධ සාහිතත්‍ය යේ දැක්වෙන රජවරුන් සිටි රට වජ්ජි (වෘජ්ජි) රට යි. මේ රට මගධ අධිරාජ්‍යයට සමීප ව පිහිටා තිබුණු ජනපදයක්. බුද්ධකාලීන සොළොස්මහා ජනපද රාජ්‍යයන්ගෙන් ප්‍රබල රාජ්‍යයක් වූ වජ්ජි ජනපද රාජ්‍යයෙහි සියලු ම ජනපදවල අගනුවර වුණේ විශාලා මහනුවර යි. වජ්ජි රාජ්‍යය සමෘද්ධිමත් රාජ්‍යයක් ව පැවතුණා. මෙහි වර්ධනය වූ අධික ජනගහනය හේතුවෙන් නගරය කිහිප වරක් විශාල වුණු නිසා විශාලා නම් වී යැයි සමහර මූලාශ්‍රවල කියවෙනවා. ලිච්ඡවි රට පාලනය කළ රජදරුවන් සහ මිනිසුන් ලිච්ඡවීන් ලෙස හඳුන්වන්නේ සොඳුරු ඡවි වර්ණයක් ඇති පිරිසක් නිසා බවත් පැවසෙනවා.

වජ්ජි කියන්නේ විදේහ, ලිච්ඡවී, නාතික ආදි ගෝත්‍ර අටක ක්‍ෂත්‍රියයන් සමඟියෙන් පාලනය කළ රටක්. මෙහි ගෝත්‍ර අතරින් විදේහ හා ලිච්ඡවි ගෝත්‍ර දෙකෙහි වූවෝ සෙස්සනට වඩා ප්‍රකට වූ බලවත්තු බව පෙනෙනවා. විදේශයන්ගේ ප්‍රධාන නුවර මිථිලාව යි. නාතික ගෝත්‍රිකයන්ගේ අගනුවර වුණේ කුන්දපුර (කුන්දග්‍රාම) ය යි. මෙහි පාලනය ගෙන ගියේ සමූහ ආණ්ඩුවක් වශයෙන්.

වේසාලි නගරයේ කොල්හුවාහි අශෝක කුලුන සහ බෞද්ධ නටබුන් -wikipedia.org

 වේසාලි හෙවත් විසාලා මහනුවර

මේ වජ්ජි ජනපදයේ අගනුවර යි. වජ්ජිගාම යැ යි ද මේ නගරය හැඳින්වුණා. මෙය පිහිටා තිබුණේ ගංගා නදියෙන් තුන් යොදුනකින් ( යොදුන= සැ. 4) ඈත උතුරු දිග යි. රජගහ පුරය මින් යොදුන් අටෙකින් මෑත ගංගා නදියෙන් දකුණු දිග පිහිටා තිබුණා. මේ නුවරට පිටිපසින් පිහිටි මහාවනය හිමාලය තෙක් පැතිර ගොස් තිබුණා. විසාලා පුරයේ බුදුන් වහන්සේ උදෙසා කළ කූටාගාරශාලා නම් විහාරයක් තිබුණා. බුදු හිමියන් පස්වන වස විසුවේ එම විහාරයෙ යි. මෙ නුවර වටේ ගව්ව බැගින් එකිනෙකට ඈත් වූ ප්‍රාකාර වලලු තුනක් ද ඉදි කර තිබුණා. ලිච්ඡවි රජුන් 7707 දෙනෙක් විශාලා පුරයෙහි ම නැවැතී රාජ්‍ය පාලන කටයුතුවල යෙදුණ බව පැවසෙනවා.

විශාලාව වර්තමාන ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ උතුරු දෙසට අයත් පෙදෙසක්. එය කුෂිනගර් සිට කිලෝ මීටර් 216ක් දුරිනුත්, හාජිපූර් සිට කිලෝ මීටර් 15ක් දුරිනුත් පිහිටා තිබෙනවා. නගරයේ උස මුහුදු මට්ටමේ සිට උස මීටර් 52ක්. එය අද ‘වෛශාලී’ නම් කුඩා ගම්මානයක් ලෙස පවතිනවා. බුදුන් වහන්සේගේ අවසන් වස් කාලය ගත කර ඇත්තේ විශාලාවේ බේළුව නම් ගමේ යි. බෞද්ධ නටබුන් රාශියක් වර්තමාන වෛශාලියේ ‘කොල්හුවා’ නම් ප්‍රදේශයේ දකින්න පුළුවන්.

 වේසාලියේ සර්වඥ ධාතු නිධන් කර ඇති බව සැලකෙන ස්තූපයක නටබුන්-wikipedia.org

සප්ත අපරිහානීය ධර්ම

බුද්ධ කාලය ලෙස සැලකෙන්නේ ක්‍රිස්තු පූර්ව හයවැනි සියවස යි. ඒ කාලයේ භාරතයෙහි අවුල් වියවුල් අඩුවෙන් ම පැවති රට ලෙස සැලකෙන්නේ වජ්ජි රට යි. එය ගැන සිතන අපට මතක් වන්නේ අද ලොව සතුටින් ම සිටින මිනිසුන් ඇති පින්ලන්තය යි. වජ්ජි රටේ එකල ක්‍රියාත්මක ව පැවතුණේ ගණතන්ත්‍ර පාලනයක්. එය රටේ සැම මිනිසකු ම මෙන්ම ආගමික පූජකවරුන් සහ ආගමික ස්ථාන ද ගැන සැලකිලිමත් වුණු පාලන ක්‍රමයක් ලෙස දේශපාලන විචාරකයන් පවසනවා. එම පාලන ව්‍යවස්ථාව ලෙස සැලකුණේ බුදුන් හඳුන්වා දුන් සප්ත අපරිහානීය ධර්ම යි. අපි මේ සප්ත අපරිහානිය ධර්ම මොනවාදැයි විමසා බලමු:

1. නිතර රැස් වී තම රාජ්‍යයේ ගැටලු , මිනිසුන්ගේ රෝග පීඩා, රටේ දියුණු කටයුතු පිළිබඳ කතාබහ කිරීම
2. සාකච්ඡා අවසානයේ සමගිව විසිර යාම
3 අතීත රජවරුන් පැනවූ නීතී ඒ ආකාරයෙන් ආරක්ෂා කිරීම, උල්ලංඝණය නොකිරීම, අතිරේක නීති නොපැනවීම
4. වැඩිහිටි පරපුරට ගරු කරමින් ඔවුන්ගේ අවවාද අනුශාසනා ලබාගැනීම
5. විවාහක කාන්තාවන්ගේ සහ අවිවාහක තරුණියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම
6. වජ්ජි රට තුළ හා පිටත තිබෙන පූජනීය ස්ථානවලට ගරු කරමින් ආරක්ෂා කිරීම
7 . රාජ්‍යයට නොපැමිණි පූජ්‍ය පක්ෂය ගෙන්වා ගැනීම සහ පැමිණි පූජ්‍ය පක්ෂයට රැකවරණය සලසා දීම

මෙම නීති වජ්ජි ජනපදයට අයත් විවිධ ගෝත්‍රවල රජවරුන් පිළිපැදීම නිසා ඔවුන් අතර ආරවුල් මතුවුණේ නැහැ. මේ සාමකාමී පාලනයට අකුල් හෙලන පාලකයන් ද එකල සිටියා.

 යුද පිණිස යන අජාසත් රජු අතුළු හමුදාව බව සැලකෙන සාංචි කැටයමක්-wikipedia.org

 

වජ්ජි රටට ආක්‍රමණයක්

එවකට භාරතයේ මගධ අධිරාජ්‍යයට තව තවත් රටවල් එකතු කර ගැනීමට එරට රජු වුණු අජාසත්ට අවශ්‍ය වුණා. අජාසත්ත රජු ලිච්ඡවීන් සමඟ සටන් කළා මේ රාජ්‍යය අල්ලා ගන්න. මේ යුද්ධය පවතින විට රටේ සංවර්ධිත කටයුතු, ආහාර නිෂ්පාදනය බිඳ වැටුණා. අජාසත්තට ලිච්ඡවි රට ලේසියෙන් අල්ලා ගන්නට ලැබුණේ නැහැ.
 අජාසත් රජුගේ මස්සකාර නම් ඇමැතිවරයා බුදු හිමියන් හමු වී රජුගේ සටන ගැන පවසා බුදුන්ගේ උපදෙස් බලාපොරොත්තු වුණා. බුදු හිමියන් ආනන්ද හාමුදුරුවන්ගෙන් අසා සිටියේ වජ්ජි රටේ පාලකයන් තමන් හඳුන්වා දුන් සප්ත රිහානිය ධර්මයන් තවමත් කඩ නොකොට රකින්නේ ද යන වග යි. එය එසේ නම්, ලිච්ඡවීනට කිසිදු පිරිහීමක්, අගතියක් නොවන්නේ යැයි ද මගධ අධිරාජයාට එම රටට හානියක් කළ නොහැකි යයි ද බුදු හිමියන් පවසා තිබෙනවා.

 මගධ රජ මාලිගය දැක්වෙන සිතුවමක්- booksfact.com

මස්සකාර බමුණු ඇමැතිවරයා, අජාසත් රජු වෙත පැමිණ බුදුන් වහන්සේ දෙසූ කරුණු සැළ කර සිටියා. ලිච්ඡවින් සමඟියෙන් සිටින තාක් කල් ඔවුන් පරාජය කළ නොහැකි බව වැටහුණු, අජාසත් රජු යුද්ධයට යන අදහස අත්හැරියා. නමුත් රජු රහස් කුමන්ත්‍රණයක් කළා.

 ලිච්ඡවි රජ කාසි- numismaticsmuseum.gov.np

එක්සත් බව බිඳ දමයි

අජාසත්ත රජු සිය අමාත්‍යවරයකු ලිච්ඡවි රාජ්‍යයට යවා එරට එක්සත් බවට හානි කළ බව පේනවා. ගංගා නදිය හරහා ප්‍රහාර එල්ල කිරීමට තීරණය කළ අජාසත් රජු පාටලීපුත්‍ර නගරයේ බළකොටුවක් ඉදිකරවුවා. ලිච්ඡවි රජ දරුවන් මේ ආක්‍රමණයට මුහුණදීමට යාමේ දී ඔවුන් අතර එකඟතාව බිඳී ගියා.

එක්සත්කම බිඳ වැටී ගියෙන් ඔවුන් යුද්ධයෙන් පරාජයට පත්වුණා. මෙසේ දිගුකලක් යුද්ධ කර පීඩාවට පත්ව සිටි රටේ අගනුවර වන විසාලා නුවරට වර්ෂාව නොලැබීමෙන් මහා දුර්භික්ෂයක් හට ගත්තා. මිනිසුන් බයෙන් ජීවත්වීමට පටන් ගත්තා. මිනිසුන් රෝගී වී මරණයට පත්වුණා.

 වේසාලියේ මෑතක දී තනා ඇති විශාල බුදු පිළිමයක්- biharprabhanews facebook page

තුන් බියෙන් වෙළී ගොස් තිබුණු විසාලා මහනුවරට බුදුන් වහන්සේ වැඩියේ පන්සියයක් සංඝයා වහන්සේ සමඟින්. උන්වහන්සේ රතන සූත්‍රය දේශනා කරමින් ජනතාවට ආශීර්වාද කර පාලකයන්ට ද නිසි සේ රාජ්‍ය පාලනය කරන්නැයි උපදෙස් දුන්නා. රතන සූත්‍ර දේශනාවෙන් පසු ඇද වැටුණු වර්ෂාවෙන් මළ සිරුරු සියල්ල ගංගාවලට ගසාගෙන ගොස් නුවර පිරිසුදු වූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා.

කවරයේ ඡායාරූපය- බුදු හිමියන් රජවරුන් සමඟ සිටින ගන්ධාර කැටයමක්-quod.lib.umrich.edu 

මූලාශ්‍ර:

pitaka.lk
aryapatipada.org

Related Articles