15 වන සියවසේ මුල් භාගයේ දී ආරම්භ වුණු කෝට්ටේ රාජධානිය වසර 185ක් පුරාවට පැවතුණා. එම කාල සමය තුළ රජවරුන් අට දෙනෙකු කෝට්ටේ රාජධානිය පාලනය කළා. ඒ අතුරින් වඩාත්ම කැපී පෙනුණු පාලකයා වුණේ 6 වන පරාක්‍රමබාහු රජතුමා යි. දශක 5කට වැඩි කාලයක් රජකම් කළ එම රජතුමා ලංකාව එක්සේසත් කළ අවසන් රජු ලෙසින් ඉතිහාසගත වුණා.
එසේම, හයවන පරාක්‍රමබාහු රජතුමා සාහිත්‍ය ක්ෂේත්රය තුළ ප්රබෝධයක් ඇති කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දුන්නා. එම නිසා කෝට්ටේ යුගය මෙරට සාහිත්‍ය ඉතිහාසයේ ස්වර්ණමය කාල පරිච්ඡේදය බවට පත්වුණා.
ලංකාව එක්සේසත් කළ හැටි
ක්‍රි.ව. 1412 වසරේ දී හයවන පරාක්‍රමබාහු රජතුමා කෝට්ටේ සිය රාජධානිය වශයෙන් තෝරාගන්නා විට, ලංකාවේ ප්‍රාදේශිය රාජ්‍යයන් කිහිපයක් තිබුණා. ආර්ය චක්‍රවර්තී පරපුර යාපනය පාලනය කරන විට, ජෝතිය නම් පුද්ගලයෙකු උඩරට ප්‍රදේශය පාලනය කරනු ලැබුවා. ලංකාව තුළ තවත් රාජධානි කීපයක් පැවතීම සුභදායී නොවුණු නිසා ඒවායේ බලය ලබාගැනීම කෝට්ටේ රජතුමාගේ අරමුණ වුණා.
යාපනය රාජධානිය පාලනය කළ ආර්ය චක්‍රවර්තී රජ පරපුර ගම්පොළ රාජධානිය පැවති සමයේ සිටම බලවත්ව සිටියා. එම නිසා පරාක්‍රමබාහු රජතුමා මුල්ම සටන දියත් කළේ යාපනය රාජධානියට එරෙහිව යි. එහි දී යාපනයේ ආර්ය චක්‍රවර්තී බලය බිඳ දැමීම සඳහා ගිය සපුමල් කුමරු ඇතුළු පිරිස සටන ජයග්‍රහණය කළා. ඉන් පසුව අම්බුළුගල කුමරු යවා ජෝතිය සිටුවරයාගේ බලය බිඳ දැමුවා. යාපනය සහ උඩරට ප්‍රදේශ අත්පත් කරගත් 6 වන පරාක්‍රමබාහු රජතුමා ලංකාවම එක්සේසත් කළා.
සාහිත්‍ය ප්රබෝධයක් ඇතිවීමට වටපිටාව සැකසුණු හැටි
කෝට්ටේ රාජධානියේ ස්වර්ණමය කාල සීමාව ලෙසින් සැලකෙන්නේ හයවන පරාක්‍රමබාහු රාජ්‍ය සමය යි. එකල රට තුළ ආර්ථික, සාමාජීය, සහ සාහිත්‍ය දියුණුවක් ඇති වුණු බව පැරණි වංශ කතාවල සඳහන් වනවා. ඒ පරාක්‍රමබාහු රාජ්‍ය සමය අවුල් වියවුල්වලින් තොර සාමකාමී පාලන සමයක් වුණු නිසා යි.
කෝට්ටේ රාජධානිය තුළ සාහිත්‍ය ප්රබෝධයක් ඇති කිරීම සඳහා භික්ෂූන් වහන්සේලා කිහිපදෙනෙකු මූලිකත්වය ගත්තා. තොටගමුවේ ශ්‍රී රාහුල හිමි, වෑත්තෑවේ හිමි, සහ වීදාගම මෛත්‍රී හිමි වැනි හිමිවරුන් ඒ අතරට අයත් වුණා. එසේම එම යුගයේ දී ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව ප්‍රසිද්ධ පිරිවෙන් ඇති වුණා. එම පිරිවෙන් මඟින් රට තුළ සාහිත්‍ය ප්රබෝධයක් ඇති කිරීම සඳහා අවශ්‍ය අනුග්‍රහය ලැබුණා.
කෝට්ටේ යුගයේ දී දක්නට ලැබුණු ප්‍රසිද්ධ පිරිවෙන්
හයවන පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ දී විසූ භික්ෂූන් වහන්සේලා කිහිපදෙනෙකු විසින් ඇතිකළ පිරිවෙන් නිසා උගත්කමින් වැඩි පිරිසක් බිහිවුණා. එකල පිරිවෙන්වල ඉගැන්වූ සිංහල, පාලි, කාව්‍ය, සංස්කෘත, ප්රාකෘත වැනි විෂයන් නිසා සිසුන්ගේ දැනුම වර්ධනය වුණා. එසේ ලබාගත් දැනුම උපයෝගී කරගනිමින් බිහිකළ විශිෂ්ට නිර්මාණ නිසා අප රට තුළ සාහිත්‍ය ප්රබෝධයක් ඇති වුණා. එදා ලංකාව තුළ සාහිත්‍ය ප්රබෝධයක් ඇති කිරීමට දායක වුණු පිරිවෙන් කිහිපයක් මෙසේ දැක්විය හැකියි.
1) තොටගමුවේ විජයබා පිරිවෙන
2) කෑරගල පද්මාවතී පිරිවෙන
3) පැපිලියානේ සුනේත්රාදේවී පිරිවෙන
4) දෙවුන්දර ඉරුගල්කුලතිලක පිරිවෙන
5) එරබත්තොට ධර්මරාජ පිරිවෙන
6) වීදාගම ශ්‍රී ඝනානන්ද පිරිවෙන
7) ගලතුරුමුල පිරිවෙන
8) උස්සාපිටිය මහපාය පිරිවෙන
කෝට්ටේ යුගයේ සාහිත්‍ය පෝෂණය කළ හිමිවරුන්
කෝට්ටේ යුගයේ සිටි තොටගමුවේ ශ්‍රී රාහුල හිමි, වීදාගම මෛත්‍රී හිමි, සහ වෑත්තෑවේ හිමි යන දක්ෂ සාහිත්‍ය නිර්මාණකරුවන් තිදෙනා අතින් විශිෂ්ට නිර්මාණ බිහිවුණා. එදා ලියවුණු සාහිත්‍ය ග්‍රන්ථවල අඩංගු වුණු ඇතැම් කරුණු නූතන විෂය නිර්දේශයට පවා ඇතුළත් වී තිබෙනවා.
තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
1408 වසරේ මැයි 8 වන දින උපන් රාහුල හිමියන් ගිහි කාලයේ දී ජයබාහු යන නමින් හඳුන්වනු ලැබුවා. ජයබාහු කුමරුගේ පියා එකල දකුණු ප්‍රදේශය භාරව සිටි වීරබාහු නම් කුමරු යි. මව සීලවතී නම් දේවිය යි. එදා වීරබාහු කුමරු අකාලයේ මියයාම හේතුවෙන් කුඩා ජයබාහු කුමරු හැදී වැඩුණේ හයවන පරාක්‍රමබාහු රජු යටතේ යි. මෙම කුමරුවාගේ ජන්ම පත්‍රය පරීක්ෂා කළ නක්ෂත්රකරුවා පවසා සිටියේ උසස් තත්ත්වයකට පත්වීමේ හැකියාවක් කුමරු සතුව පවතින බව යි. එලෙස රජු සමීපයේ හැදී වැඩුණු ජයබාහු කුමරු 17 හැවිරිදි වියේ දී පැවිදි දිවියට ඇතුළත් වුණා.
උන්වහන්සේ දෙමටාගම වාචිස්සර නමින් පැවිදි දිවියට ඇතුළත්ව වැඩ විසුවේ ගණේගොඩැල්ල නම් විහාරය තුළ යි. වාචිස්සර හිමියන්ගේ මුත්තා වුණු උත්තරමූල රාහුල හිමියන්ගේ මුල් පන්සල වුණේත් එය යි. පසු කලෙක තොටගමුව විජයබා පිරිවෙනේ නායක හිමි බවට පත්වුණු වාචිස්සර හිමියන් සිය නම තොටගමුවේ ශ්‍රී රාහුල නමින් වෙනස් කරනු ලැබුවා. පිරිවෙනේ නම සහ මුත්තාගේ නම එකතු වී එම නාමය නිර්මාණය වුණා. රාහුල හිමියන් තොටගමුව විජයබා පිරිවෙනේ නායක හාමුදුරුවන් බවට පත්වීමෙන් පසුව පිරිවෙන උසස් තත්ත්වයකට පත් වුණා. ඒ රාහුල හිමියන් සතුව තිබුණු දැනුම නිසා යි.
රාහුල හිමියන්ට අපූරු මතක ශක්තියක් තිබුණු බව ඔබ අසා ඇති. එම මතක ශක්තිය උන්වහන්සේට ලැබුණු ආකාරය පිළිබඳව සඳහන් වන ජනප්‍රවාදයක් පවතිනවා.
දිනක් වීදාගම හිමි ධර්ම දේශනයකට වැඩමවීමට පෙර බලගතු සරස්වතී තෙල් බඳුනකට අශ්ව කෙන්දක් දමා සත් වරක් ගසා දමා එය දිවේ ගා ගන්නා අයුරු කුඩා රාහුල හිමි බලා සිටියා. ගුරු හිමියන් පන්සලෙන් පිටත් වුණු විගස රාහුල හිමියන් කළේ එම තෙල් බඳුන ගෙන පානය කිරීම යි. එය බලවත් ඖෂධයක් වුණු නිසා රාහුල හිමියන් සිහිමුර්ජා වී බිම ඇද වැටුණා. එම සිද්ධිය දුටු වෙනත් සාමණේර හිමි නමක් වහාම ගුරුහිමියන්ට ඒ බව දන්වා සිටියා. එම පණිවුඩය ලද විගසම යළි පන්සලට වැඩම කළ ගුරු හිමියන් බෙහෙත් ඔරුවක දමා කුඩා රාහුල හිමි සුවපත් කළා. කුඩා රාහුල හිමියන් පානය කළ ඖෂධයේ තිබුණු බලගතුකම නිසා මතක ශක්තියෙන් අගතැන්පත් වුණු බව එම ජනප්රවාදයෙන් කියවෙනවා.
එකල රාහුල හිමියන්ව “ෂඩ්භාෂා පරමේශ්වර” යන ගෞරව නාමයෙන් හඳුන්වනු ලැබුවේ සංස්කෘත, ප්රාකෘත, පෛශාවි, සෞරසේනි, අප්‍රභංශ, මාගධී යන භාෂා පිළිබඳ පෘථුල දැනුමක් තිබුණු නිසා යි. රාහුල හිමියන් විසින් රචනා කළ ප්‍රසිද්ධ පොත් කිහිපයක නම් පහත දක්වා තිබෙනවා.
1) පරවි සංදේශය
2) සැළලිහිණි සංදේශය
3) කාව්‍යශේඛරය
4) පංචිකාප්‍රදීපය
5) බුද්ධිප්පසාදනී
6) සීමා සංඛර ඡේදනී
7) තොටගමු නිමිත්ත
8) චතුරාර්ය සත්‍ය කාව්‍යය
වෑත්තෑවේ හිමි
තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ ප්‍රධාන ගෝලයෙකු වුණු වෑත්තෑවේ හිමියන් විශිෂ්ට සාහිත්‍ය නිර්මාණ කිහිපයක් රචනා කරනු ලැබුවා. වෑත්තෑවේ හිමියන් රාහුල හිමියන්ගේ හොඳම ගෝලයා බවට පත්වුණා. එයට ඊර්ෂ්‍යා කළ සෙසු ගෝලයන් ඔවුන් දෙදෙනාව විරසක කරවනු ලැබුවා. එලෙස විරසක වී සිටි කාලයේ දිනෙක රාහුල හිමියන් විසින් වෑත්තෑවේ හිමියන්ගේ ආහාර පිඟානේ කීප පළකට පළා මැල්ලුම් බෙදීමෙන්, පල නොකියා පළා බෙදුවේයැ යි කියමනක් ද ඇති වුණා. පසු කලෙක වෑත්තෑවේ හිමියන් අතින් ගුත්තිල කාව්‍යය රචනා වුණේ තොටගමුව පන්සලෙන් පිටව කළකිරීමෙන් සිටි කාල සමයේ යි. එලෙස ලියන ලද ගුත්තිල කාව්‍යය මුලින්ම පිළිගන්වනු ලැබුවේ රාහුල හිමිට යි. වෑත්තෑවේ හිමියන් එම කාව්‍ය සංග්‍රහය වායු ගණයෙන් අරඹා තිබුණු නිසා සිවුර හැරදා රටිනුත් පිටවන්නට සිදුවන බව රාහුල හිමියන්ට අවබෝධ වුණා. රහල් හිමියන් ඒ පිළිබඳව වෑත්තෑවේ හිමියන්ට දැන්වූ බවත් ජනප්රවාදයේ කියවෙනවා. එම අනාවැකිය සත්‍ය කරමින් වෑත්තෑවේ හිමියන් සිවුරු හැර විදෙස්ගත වුණු බව ද ඉතිහාස කතාවල සඳහන් වනවා.
වීදාගම මෛත්‍රී හිමි
වීදාගම මෛත්‍රී හිමියන්ගේ හොඳම ගෝලයා බවට පත්වුණේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි යි. කෝට්ටේ යුගයේ සාහිත්‍ය පෝෂණය කිරීම සඳහා විශාල මෙහෙවරක් කළ මෛත්‍රී හිමියන් ප්‍රසිද්ධ ග්රන්ථ කිහිපයක් රචනා කොට තිබෙනවා. උන්වහන්සේ විසින් රචනා කළ ග්රන්ථ කිහිපයක් මෙලෙස දැක්විය හැකියි.
1) ලෝ වැඩ සඟරාව
2) බුදුගුණාලංකාරය
3) කවි ලකුණු මිණි මල
4) හංස සංදේශය
5) දහම් ගැට මාලාව
6) චූල බෝධි වංශය
කෝට්ටේ යුගයේ දී ලියවුණු ප්‍රසිද්ධ සංදේශ කාව්‍යය
විවිධ කාරණා හේතුකොට ගෙන මෙම යුගයේ දී සංදේශ කාව්‍යය ලියවුණා. ඒ අතුරින් වඩාත් ප්‍රසිද්ධ වුණු සංදේශ කාව්‍යය කිහිපයක් පිළිබඳව තොරතුරු පහත දක්වා තිබෙනවා.
පරෙවි සංදේශය
මෙය තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචනා කළ පළමු කෘතිය යි. හයවන පරාක්‍රමබාහු රජුගේ වැඩිමහල් දියණිය වුණු චන්ද්‍රාවතී කුමරියට සැමියෙකු සහ පුතෙකු පතමින් දෙවිනුවර උපුල්වන් දෙවියන් හට යැදීමට මෙම සංදේශය රචනා කළා.
සැළලිහිණි සංදේශය
මෙම සංදේශ කාව්‍යය තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් අතින් ලියවුණු විශිෂ්ටතම සාහිත්‍ය නිර්මාණ අතරට අයත් වනවා. උලකුඩය දේවියට පුතෙකු ලබාදෙන ලෙස විභීෂණ දෙවියන්ට යැදීම සඳහා මෙම සංදේශය රචනා කරනු ලැබුවා.
හංස සංදේශය
වීදාගම මෛත්‍රී හිමියන් විසින් හංස සංදේශය රචනා කරනු ලැබුවා. හයවන පරාක්‍රමබාහු රජුට සෙත් පතමින් රතන සූත්‍රයෙන් ලක්ෂ වාරයක් පිරිත් කියන ලෙස ඉල්ලා කෑරගල වනරතන හිමියන්ට යැවූ හසුනක ආකාරයෙන් මෙය රචනා කර තිබෙනවා.
කෝකිල සංදේශය
මෙය දෙවිනුවර ඉරුගල්කුලතිලක පරිවෙන්පති හිමියන් විසින් රචනා කළා. යාපනයේ ආර්ය චක්‍රවර්තී බලය බිඳ දැමූ සපුමල් කුමරුට සෙත් පැතීම සඳහා මෙය ලියනු ලැබුවා. එහි දී සපුමල් කුමරුව ආරක්ෂා කර දෙන මෙන් උපුල්වන් දෙවියන්ගෙන් ඉල්ලන ආකාරයෙන් මෙය රචනා කර තිබෙනවා.
ගිරා සංදේශය
හයවන පරාක්‍රමබාහු රජතුමාට සහ රජුගේ ඇමති මණ්ඩලයට සෙත් පතා මෙම සංදේශ කාව්‍යය රචනා කර තිබෙනවා. නමුත් මෙහි කතුවරයා පිළිබඳව කිසිදු සඳහනක් කර නැහැ.
කෝට්ටේ සාහිත්‍යයේ දක්නට ලැබුණු ප්‍රධාන ලක්ෂණ
කෝට්ටේ යුගය තුළ දී විවිධ ආකාරයේ සාහිත්‍ය ග්රන්ථ රචනා වුණා. සංදේශ කාව්‍ය, ජාතක කතා, චරිත කතා, වංශ කතා, උපදේශ කාව්‍ය, ශතක කාව්‍ය, උපහාස කාව්‍ය, ධර්ම ග්රන්ථ, භක්ති කාව්‍ය වැනි ආකාරවලට අයත් පොත් ඒ අතරට අයත් වුණා. එම නිර්මාණ පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී පහත සඳහන් ලක්ෂණ හතර දක්නට ලැබුණා.
1) සංදේශ කාව්‍යය සාහිත්‍යය දියුණු වීම
2) පද්‍ය ග්රන්ථ බහුලව දක්නට ලැබීම
3) ගද්‍ය ග්රන්ථ වැඩිපුර දක්නට නොලැබීම
4) එළිසම කාව්‍යය දියුණු වීම
හයවන පරාක්‍රමබාහු රජතුමාගේ මරණයෙන් පසුව කෝට්ටේ රාජධානිය ක්‍රමයෙන් විනාශය කරා ගියා. ඉන් පසුව රජවුණු දෙවැනි ජයබාහු රජුව මරා දැමූ සපුමල් කුමරු 6 වන බුවනෙකබාහු නමින් රජකමට පත්වුණා.
සපුමල් කුමරු රාජ්‍යත්වයට පත්වීමෙන් පසුව රාහුල හිමියන් එළිපිටම එයට සිය විරෝධය දක්වනු ලැබුවා. ඉන් කෝපයට පත්වුණු රජතුමා රාහුල හිමියන් සමග වෛර බැඳගත්තා. සිය ජීවිතය ආරක්ෂා කරගැනීම සඳහා ඇල්පිටිය ප්‍රදේශයේ ගල් ලෙනකට වැඩි රහල් හිමියන් අප්‍රසිද්ධ ජීවිතයක් ගත කළා. එම නිසා කෝට්ටේ යුගයේ දී ඇතිවුණු සාහිත්‍ය ප්රබෝධය හයවන පැරකුම්බා යුගයෙන් පසුව අවසන් වුණා.
කවරයේ ඡායාරූපය- තොටගමුවේ විජයබා පිරිවෙන (magzin)
මූලාශ්‍රයයන්- මහාවංසය
ශ්‍රී ලංකාවේ ඉතිහාසය- අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව