ඛේදවාචකයකින් කෙළවර වූ දස්කොන් ප්‍රමිලා අසම්මත පෙම් පුවත.

මෙය අැත්තටම ලංකාව, ප්‍රංශය සහ දකුණු ඉන්දියාව යන රටවල් තුන සම්බන්ධ පෙම් පුවතක් කිව්වොත් වඩාත් නිවැරදියි. නරේන්ද්‍රසිංහ රජුගේ මෙහෙසියක වූ ප්‍රමිලා බිසවගේත්, එවකට රජවාසල මහාදිකාරම් ධූරය හෙබවූ දස්කොන් අදිකාරම් අතරත් පැවති රහසිගත සම්බන්ධය අවසානයේදී කෙළවර වුණේ දස්කොන් අදිකාරමට මරණ දණ්ඩණය හිමි වීමෙනුයි.

මෙය වැඩි දෙනෙක් අහලා තිබෙන කතාවක් වුවත් එහි බොහෝ දෙනෙක් නොදන්නා කාරණාත් තිබෙනවා. අද ලිපියෙන් මේ සිදුවීම ගැන වැඩි දෙනෙක් නොදත් තොරතුරුත් දැන ගන්න පුළුවන්.

කපිතාන් ලාහේ ඇතුළු පිරිස.

ලංකා ඉතිහාසය තුළ අවස්ථා දෙකකදී දස්කොන් යන නාමය භාවිතා වෙනවා. මේ කතාවේ කතා නායකයා වගේම ‘ගැස්කොන්’ නම් ඔහුගේ පියාවත් හඳුන්වා ඇත්තේ මේ නමින්. ප්‍රංශ ජාතික අද්මිරාල් ද ලාහේ නම් නැව්පතියා 1672 දී ලංකාවේ ත්‍රිකුණාමල ප්‍රදේශයට පැමිණෙනවා. මේ ගමන අතරතුර මහ මුහුදේදී ඔවුන්ට ලන්දේසීන් සමඟ සටන් කිහිපයකටම මුහුණ දීමට සිදු වන අතර ඒ හැම සටනක්ම ජයග්‍රහණය කරන්නටත් මොවුන් සමත් වෙනවා. එකල මහනුවර රාජධානියේ රජකම් කරමින් සිටි දෙවන රාජසිංහ රජුත් ලන්දේසීන් සමඟ කෝපයෙන් පසු වුණා. මේ සිදුවීම දැනගැනීමෙන් පසු අපමණ සතුටට පත් රජුගෙන් අනගි ආගන්තුක සත්කාර ලබන්නටත් ලාහේ ඇතුළු පිරිසට හැකි වුණා.

දෙවන රාංසිංහ රජු (thuppahi.wordpress.com)

පේදෲ ගැස්කොන්.

තමන්ගේ සඟයන් නැව් නැඟලා නැවත මව්රටට යද්දී මේ නැව් කණ්ඩායමේ දෙවන නිලධාරියා වුණ ගැස්කොන් නැමැත්තා විතරක් ලංකාවේ නතර වුණා. නෙස්‌ක්‍රිඤ්ඤා නම් පෘතුගීසි කාන්තාවක් විවාහ කරගත් ඔහු පදිංචි වෙලා හිටියේ මහනුවර. කලක් ගතවන විට මොවුන් දෙපලට දරුවෙක් ලැබුණා. ඔහුගේ නම පේදෲ ගැස්කොන්. කුඩා කාලයේ පටන්ම පේදෲව පිරිවෙන් අධ්‍යාපනයට යොමු කරන්න ඔහුගේ දෙමව්පියන් කටයුතු කළා.

ඔහු හා සම වයසක පසුවූ දෙවැනි රාජසිංහ රජුගේ පුත් නරේන්ද්‍රසිංහ කුමාරයාවත් එකල පිරිවෙන් අධ්‍යාපනයට යොමු කර තිබුණා. මේ දෙදෙනා කාලයක් ගත වෙද්දී ගජ මිතුරන් බවට පත් වුණා. ඒ නිසාම කුඩා පේදෲට දෙවැනි රාජසිංහ රජුගේ ආදර කරුණාව හා විශේෂ සැලකිලි ලැබුණා.

දස්කොන් මහාදිකාරම් ධූරයට.

දෙවන රාජසිංහ රජුගේ අභාවයෙන් පසුව රජකම හිමිවිය යුතුව තිබුණේ නරේන්ද්‍රසිංහ කුමාරයාට වුණත් ඒ තීරණයට උඩරට රදළයන් කැමති වුණේ නැහැ. ඔවුන් කුමාරයාට විරුද්ධව කැරැල්ලක් සංවිධානය කළා. වනයට පලා ගොස් සේනා සංවිධානය කරමින් සිටි නරේන්ද්‍රසිංහ කුමාරයාට මේ කාලවකවානුව පුරාම සහය දෙමින් පේදෲ ගැස්කොන් විශ්වාසවන්ත මිතුරෙකු ලෙස කටයුතු කළා. මේ කාලයේදී රට පාලනය කරනු ලැබුවේ දෙවන විමලධර්මසූරිය රජු විසින්.

කැරැල්ල සාර්ථකව මැඩපැවැත්වූ කුමරු වර්ෂ 1707 දී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ ලෙස සිංහලයේ රජ වුණා. කළගුණ අමතක නොකළ රජු සිංහල ප්‍රධානීන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ වුවත් තම මිතුරු ගැස්කොන්, මහාදිකාරම් ධූරයට පත් කරගන්නවා. ඉන්පසුව භාවිතයේ පහසුව සඳහා ගැස්කොන් යන නාමය දස්කොන් ලෙස වෙනස් වෙනවා. මේ තනතුර වෙනුවෙන් කෘතගුණ සැලකීමක් විදියට දස්කොන් රජු වර්ණනා කර ප්‍රශස්ති කාව්‍යයක්ද රචනා කර තිබෙනවා.

අතීත සෙංකඩගල පුරවරයේ සිතියම (readtiger.com)

සෙල්ලම් නිරිඳු.

නරේන්ද්‍රසිංහ රජු රජකමට වඩා කෙළිලොල් ජීවිතයකට හුරු වි සිටියා. කලහකාරී සහ කෘෘර ගති දැරූ නිසාත් සුරා සූදුවට සහ ස්ත්‍රීන් කෙරේ ලොල්ව සිටි බැවිනුත් ඔහු ජනයා අතර සෙල්ලම් නිරිඳු ලෙස ප්‍රකටව සිටි අතර, 1708 දී ඉන්දියාවෙන් ගෙන්වා ගත් නායක්කාර් වංශික කුමරියක් වූ ප්‍රමිලා කුමරිය සරණ පාවා ගත්තා. රජුට හඟුරන්කෙත, කුණ්ඩසාලේ සහ සෙංකඩගල යන ස්ථාන තුනෙහිම මාළිගා තුනක් තිබූ අතර ප්‍රමිලා කුමරිය සිටියේ හඟුරන්කෙත රජ මාළිගයේයි.

ප්‍රමිලා සහ දස්කොන්.

රජ වාසල ප්‍රසිද්ධ රහසක් බවට පත් වූ ප්‍රමිලා බිසවගේත් දස්කොන් අදිකාරම්ගේත් ප්‍රේමය ආරම්භ වන්නේ දස්කොන්, මහාදිකාරම් ධූරයට පත් වීමෙන් පසුව බවයි සඳහන් වෙන්නේ. ප්‍රමිලා බිසව හඟුරන්කෙත මාළිගයේත්, රජු සෙංගඩගල මාළිගයේත් වාසය කිරීමත් එවැනි තත්ත්වයක් ඇති වීමට තවත් බලපා තිබෙනවා. ප්‍රමිලා බිසව මෙන්ම දස්කොන් අදිකාරම්ද කවි ලිවීමෙහි නිපුණත්වයක් දැක්වීම ඔවුන් එකිනෙකා කෙරෙහි ළං වීමට තවත් හේතුවක් වූවා විය හැකියි.

ඔවුන් දෙදෙනාම කවි ලිවීමෙහි අති දක්ෂයන්. (www.abris.com.tr)

සතුරු කුමන්ත්‍රණ.

දස්කොන්ගේ කවීත්වය රජ වාසල බොහෝ පිරිසකගේ සිත් ගත්තත් ඔහුව මහාදිකාරම් ධූරයට පත් කරනවාට උඩරට රදළ පිරිස දැඩි විරෝධයක් දැක්වූවා. සමහරු දස්කොන් මිෂනාරි කටයුතුවලට සම්බන්ධ වනවාට අකමැති වූ අතර මේ නිසා රජවාසල තුළ ඔහුගෙන් පලිගන්නට මාන බලමින් සිටි පිරිස වැඩි වුණා.

ප්‍රමිලා බිසවගේ රෝගය.

මේ අතරතුරදී ප්‍රමිලා බිසවට අභිරහස් රෝගයක් වැළඳුණු අතර එයින් සුව වීමට තොවිලයක් කළ යුතු බවට තීරණය වුණා. මේ සඳහා ඇගේ රුවට සමාන ජීවමාන ප්‍රමාණයේ බලි රූපයක් අවශ්‍ය වන බව පැවසුණු නිසා දස්කොන් මූර්ති ශිල්පියෙකු ලවා දේවියගේ රුවට සමාන මැටි අනුරුවක් සාදවනු ලැබුවා. මෙම අනුරුවේ ප්‍රමිලා බිසවගේ කලවා පෙදෙසේ වූ උපන් ලපය නැති බව දුටු දස්කොන් ඒ බව මූර්ති ශිල්පියාට පවසා තිබෙන බවයි සඳහන් වන්නේ.

මැටි ප්‍රතිමාව දැක නරේන්ද්‍රසිංහ රජු සතුටු වූවත් උපන් ලපය පිළිබඳ දස්කොන් දැනුවත් වූයේ කෙසේදැයි යන සැකය රජුට මතු වුණා. රජු දස්කොන් හා ප්‍රමිලා දේවියගේ රහස් සම්බන්ධය ගැන දැනගත්තේ මේ ඔස්සේ වැඩි තොරතුරු සොයා බැලීමේදී වන අතර ඉන්පසු දස්කොන් අදිකාරම සිරගත කෙරුණා. මෙම සිදුවීමෙන් පසු මහාදිකාරම් තනතුරට පත් වූයේ ලෙව්කේ රාළයි.

මෙම සිදුවීම දස්කොන් සමඟ සතුරුකමින් සිටි අයෙකු විසින් කරවන ලද කුමන්ත්‍රණයක් බවට මතයක්ද පවතිනවා. සිරගතව සිටි දස්කොන් තම නිවැරදිභාවය විස්තර කෙරුණ “නෝක්කාඩු මාලය” නම් කවි සංග්‍රහය නව මහාදිකාරම් වූ ලෙව්කේ රාළ අතේ රජුට යවා තිබුණත් දස්කොන් සමඟ තිබූ තරහව නිසා ලෙව්කේ රාළ එය රජු අතට පත් වීම ප්‍රමාද කර තිබෙනවා. දස්කොන් තම නිවැරදි භාවය සනාථ කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා නිසා රජු ඔහුව බෝගම්බර දංගෙඩිය මතදී හිස ගසා මරා දමන්නට තීරණය කරනවා.

මෙම කුමන්ත්‍රණයට මුල් වූයේ ලෙව්කේ රාළ බවත්, හිතාමතාම දස්කොන්ගේ නිවැරදි භාවය ඔප්පු කිරීමට තිබූ සාක්ෂි වසන් කළ නිසාත් දස්කොන්ගේ මරණයෙන් පසුව ලෙව්කේ රාළව සිරගත කළ බවත් සඳහන් වෙනවා.

කවරයේ පින්තූරය – midlifecrisisgapyear.wordpress.com

මූලාශ්‍ර:

  1. archives.dailynews.lk
  2. www.divaina.com
  3. worldbeyondworld.blogspot.com
  4. archives.dinamina.lk

Related Articles