Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගිනස් වාර්තා පොතට ගිය ලොව වැඩි ම කලක් ජීවත් වූවෝ

ශ්‍රී ලාංකික අප අතර අතිශයින්ම ජනප්‍රිය යෙදුමක් වන ‘ආයුබෝවන්’ යන්නෙහි අර්ථය ‘ආයුෂ බොහෝ වේවා’, එසේත් නැත්නම්, දිගු කලක් ජීවත් වන්නට හැකියාව ලැබේවා යන්න යි. දිගු කලක් ජීවත් වන්නට ලැබීමේ වටිනාකම කොපමණදැයි මෙම යෙදුම සමාජගත වී ඇති ආකාරයෙන් මොනවට පිළිබිඹු වේ.

ඕනෑම අයකු සුළු අසනීප තත්ත්වයක් හෝ ඇති වූ වහා රෝහලක් හෝ වෙනත් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නේත්, යම් යම් රෝග තත්ත්ව ඇති වීම වලක්වා ගැනීමේ අරමුණින් විවිධ ආහාරපාන සහ ප්‍රතිකාර ක්‍රම අත්හදා බලන්නේත් දිගු කාලයක් ජීවත් වීමට ඇති අසීමිත කැමැත්ත නිසා ය.

මේ ලිපිය, ගිනස් වාර්තා පොතට ඇතුළත් වීමට තරම් වාසනාව ලද, ඉතා දිගු කාලයක් ජීවත් වූ පුද්ගලයන් කිහිප දෙනකු පිළිබඳව යි.

ජීන් ගිනස් සහතිකය සමඟ – www.derstandard.de

ලොව ජීවත් වූ වයස්ගත ම පුද්ගලයා/ කාන්තාව

2020 වන විට වාර්තා වී ඇති තොරතුරු අනුව ලොව මෙතෙක් ජීවත් වූ වයස්ගත ම පුද්ගලයා සහ වයස්ගත ම කාන්තාව වයස අවුරුදු 122කුත් දින 164ක් ආයු වළඳා මිය ගිය ප්‍රංශයේ ජීවත් වූ කාන්තාවකි. ප්‍රංශයේ ආර්ල්ස් ප්‍රදේශයේ දී 1875 පෙබරවාරි 21 දින උපත ලැබූ ඇය නමින් ජීන් ලුයිස් කැල්මන්ට් නම් වූවා ය.

ලෝක යුද්ධ, සහ ස්පාඤ්ඤ උණ වැනි විවිධ වසංගත රෝග හමුවේ දිවි ගලවා ගැනීමට සමත් වූ ඇයට සුප්‍රසිද්ධ ඕලන්ද ජාතික චිත්‍ර ශිල්පියකු වූ වින්සන්ට් විලෙම් වැන් ගෝ පවා හමු වී තිබේ. ඇය එක්තරා පුවත්පතකට අදහස් දක්වමින් පවසා ඇත්තේ වරක් වැන් ගෝ පැමිණ සිය පියාට අයත් වෙළෙඳසලකින් පින්සල් මිල දී ගත් බව යි.

වයස අවුරුදු 114 දී ‘වින්සන්ට් ඇන්ඩ් මී’ (කැනඩාව, 1990) චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වූ ජීන් ලොව වයස්ගත ම නිළිය ලෙස ද සැලැකේ. ඉතා නිරෝගී ජීවිතයක් ගත කළ ඇය වයස අවුරුදු 100 දී බයිසිකල් පැදීම වැනි ක්‍රියාකාරකම්වල පවා යෙදුණා ය. දුම්පානයට ද ඇබ්බැහි වී සිටි ඇය එය අත්හැරියේ වයස අවුරුදු 120 දී වීම විශේෂත්වයකි. ඇය වරෙක සඳහන් කර ඇත්තේ ඇගේ නිරෝගී සහ දිගුකාලීන ජීවිතයේ රහස ඔලිව් තෙල් සහ චොක්ලට් බව යි.

ජීන් සිය 120 වැනි උපන් දිනය දා – www.independent.co.uk

ඇයගේ 120 වැනි උපන්දිනය යෙදී තිබූ 1995 දී ඇගේ අනාගත බලාපොරොත්තුව කුමක්දැයි විමසූ විට ඇය පිළිතුරු දී ඇත්තේ “මම ඉතා කෙටි ජීවිතයක් බලාපොරොත්තු වෙමි.” යනුවෙනි. ජීන් 1997 අගෝස්තු 4 වැනි දින මිය ගියා ය.

මෙතෙක් ලොව ජීවත් වූ වයස්ගත ම පුද්ගලයා (පිරිමි)

මෑතකාලීන ඉතිහාසයේ ලොව ජීවත් වූ වයස්ගත ම පුද්ගලයා ලෙස සැලකෙන්නේ ජපානයේ ජිරොමන් කිමුරා ය. 1897 අප්‍රේල් 19 දින උපත ලැබූ ඔහු 2012 දී මෙම වාර්තාව පිහිටුවී ය. කිමුරා වයස අවුරුදු 65 දක්වා තැපැල් කාර්යාලයක සේවය කළේ ය.

ඔහුගේ පෞද්ගලික ආදර්ශ පාඨය වූයේ “දිගු කාලයක් ජීවත් වීමට අවශ්‍ය නම් ආලෝකය අනුභව කරන්න.” යන්න යි. ලොව ජීවත් වූ වයස්ගත ම පිරිමි පුද්ගලයා ලෙස තහවුරු වන විට ඔහු 115 වන වියේ පසු විය. 2013 ජූනි 12 දින ඔහු මිය යන විට වයස අවුරුදු 116 යි දින 54 ක් විය. 

කිමුරා මහලු වියේ දී – www.amp.france24.com

දැනට ජීවත් වන ලොව වයස්ගත ම පුද්ගලයා (කාන්තා)

1903 ජනවාරි 2 දින ජපානයේ උපත ලැබූ කේන් ටනාකා මේ වන විට ලොව ජීවත් වන වයස්ගත ම පුද්ගලයා/ කාන්තාව ලෙස සැලැකේ. මේ වන විට ඇගේ වයස අවුරුදු 119ක් සහ දින 116කි. කෙසේ වෙතත් ඇගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ ඇය සැබැවින්ම උපත ලබා ඇත්තේ 1902 දෙසැම්බර් 26 දින බව යි.

අඩු මාස ගණනකින් උපත ලැබූ ඇය වැඩි කලක් ජීවත් වේ යැයි නොසිතූ ඇගේ මව්පියන් ඇයගේ උපත ලියාපදිංචි කිරීම 1903 ජනවාරි මාසය දක්වා කල් දමා ඇති බව ඔවුහු පවසති.

කේන් තරුණ වියේ දී – www.wikipedia.org

දරුවන් පස් දෙනකුගේ මව වන ඇය මේ වන විට වැඩිහිටියන් රැක බලා ගන්නා ස්ථානයක ජීවත් වන අතර ඇය පසුගිය ජනවාරි මස සිය උපන් දිනය සැමරුවේ එහි ජීවත් වන අනිකුත් වැඩිහිටියන් සමඟ ය. වයස්ගත වුවත් සිය මනස ක්‍රියාශීලී ව තබා ගැනීමට ප්‍රිය කරන කේන් සාමාන්‍යයෙන් උදෑසන හයට අවදි වී ගණිතය සහ විද්‍යාව වැනි මනස වෙහෙසෙන ආකාරයේ විෂයයන් ඉගෙන ගනී.

කේන්ට පෙර, ලොව ජීවත් වූ වයස්ගත ම පුද්ගලයා (ගැහැනු) වූයේ ජපන් ජාතික කාන්තාවක් වූ චියෝ මියාකෝ ය. ඇය 1901 මැයි 2 දින උපත ලැබූ අතර 2018 ජූලි 22 දින මිය ගියා ය. ඒ වන විට ඇගේ වයස අවුරුදු 117 යි දින 81 කි.

කේන්ගේ මෑතකාලීන ඡායාරූපයක් – www.japantimes.co.jp 

2021 වන විට ලොව ජීවත් වූ වයස්ගත ම පිරිමි පුද්ගලයා

2021 වන විට ලොව ජීවත් වෙමින් සිටි වයස්ගත ම පිරිමි පුද්ගලයා ලෙස සැලකුණේ ස්පාඤ්ඤයේ Saturnino de la Fuente García ය. 2021 සැප්තැම්බර් 10 දින සත්‍යාපනය කරගත් පරිදි ඔහුගේ වයස ඒ වන විට අවුරුදු 112ක් සහ මාස 211කි.

1909 පෙබරවාරි 8 වැනි දින උපත ලැබූ ඔහුට වයස අවුරුදු පහේ දී ස්පාඤ්ඤ උණ වැලඳී තිබේ. ඉන් සුවය ලැබූ ඔහු තරුණ වියට පත් වූ පසු වෘත්තියෙන් සපත්තු නිෂ්පාදනය කරන්නෙක් විය. 1933 දී විවාහ වූ Saturninoට දරුවන් අට දෙනෙක් විය. 2022 ජනවාරි 18 දින ඔහු මිය ගියේ ය.

Saturnino – www.news18.com

ඔහුට පෙර මෙම වාර්තාවට හිමිකම් කියුවේ 2020 මාර්තු 30 වැනි දින වන විට වයස අවුරුදු 112 යි දින 1 ක් සම්පූර්ණ කර සිටි එක්සත් රාජධානියේ බොබ් වේටන් ය. ඔහු උපත ලැබුවේ 1908 මාර්තු 29 වැනි දින ය. බොබ් 2020 මැයි 28 දින පිළිකාවක් වැලඳීම හේතුවෙන් මිය ගියේ ය.

වයස්ගත ම විවාහක යුවළ

2020 වන විට ලොව වයස්ගත ම විවාහක යුවළ වාර්තාවට හිමිකම් කියුවේ 1941 පෙබරවාරි 7 වැනිදා විවාහ වූ, ඉක්වදෝර ජාතික ජුලියෝ සීසර් මෝරා ටැපියා සහ වොල්ඩ්‍රමිනා මැක්ලෝවියා ක්වින්ටෙරෝස් රෙයිස් ය. ඔවුන් දෙදෙනාගේ උපන් දින වූයේ පිළිවෙළින් 1910 මාර්තු 10 සහ 1915 ඔක්තෝබර් 16 යන දින වේ.

2020 වන විට 110 හැවිරිදි වියේ පසු වූ ජුලියෝ සහ 104 හැවිරිදි වියේ පසු වූ වොල්ඩ්‍රමිනා වසර 79කට වැඩි විවාහ දිවියක් ගත කර තිබිණි. ඒ වන විට ඔවුන් දෙදෙනාගේ ම වයස්වල එකතුව වයස අවුරුදු 214ක් සහ දින 358කි. ජුලියෝ 2020 ඔක්තෝබර් 22 දින මිය ගියේ ය.

ජුලියෝ සහ වොල්ඩ්‍රමිනා – www.albawaba.com

“ආදරය, අන්‍යෝන්‍ය ගෞරවය, අවංකව වැඩ කිරීම සහ සාරධර්ම මත පදනම් වූ නිසි අධ්‍යාපනය යන දෑට මුල්තැන දීම පවුලේ එකමුතුකමේ සහ අපගේ නිරෝගී බවෙහි රහස යි.” මෙම යුවළ වරෙක පැවසූහ. 

කවරයේ ඡායාරූපය- ලොව එතෙක් මෙතෙක් ජීවත් වූ වයස්ගතම පුද්ගලයා/ කාන්තාව ලෙස සැලැකෙන ජීන් සිය මිණිබිරියන් දෙදෙනා සමඟ - www.independent.co.uk

මූලාශ්‍ර:

www.guinnessworldrecords.com

www.independent.co.uk

www.albawaba.com

The Irish Times

Related Articles