සමුදුරු පත්ලේ හුදෙකලා වූ අබිරහස් නගරය – තෝනිස් හෙරක්ලියෝන්

අභිරහස් පුරාවෘත්තයක අනාවරණය

අපි, ඇඟ ලොමු ඩැහැගන්වන ආකාරයේ අද්භූත පුරාවෘත්ත අසා ඇත්තෙමු. කාලයේ වැල්ලෙන් වැසී ගොස් අභිරහසක් බවට පත් වූ අතීත රාජධානි කොතෙක් නම් තවම රහසේ සැඟවී පවතිනවා විය හැකිද? ප්‍රංශ ජාතික ෆ්‍රෑන්ක් ගොඩ්ඩියෝ (Franck Goddio) නම් විසි එක්වන සියවයේ අති විශිෂ්ඨ සාගර පුරාවිද්‍යාඥයා විසින් වර්ෂ 2000දී තෝනිස් හෙරක්ලියෝන් (Thonis-Heracleion) පුරාණ රාජධානිය සමුදුරු පත්ලෙන් සොයාගැනීම වූ කලී අභිරහස් පුරාවෘත්තයක් ලොවට අනාවරණය කිරීමකි.

ගවේශක ‍ෆ්‍රෑන්ක් ගොඩ්ඩියෝ (Historic Mysteries)

තෝනිස් හෙරක්ලියෝන් සොයා මෙහෙයුම්

තෝනිස් හෙරක්ලියෝන් නමැති අතුරුදහන් වූ පෞරාණික නගරය, ක්‍රි. පූ. 331 දී ඇලෙක්සැන්ඩ්‍රියාවේ සමාරම්භයට පෙර, ග්‍රීක ලෝකයේ සිට ඊජිප්තුව කරා ප්‍රවේශවීමට පැවති ප්‍රධාන නැව්තොට ලෙස භාවිත වී ඇත. රාජ වංශයන්හි පාලනය සහ ඔවුන්ගේ පාලනය යටතේ ඉදි කර ආගමික පුද පූජා පැවැත්වූ අමුන් දේවස්ථානය හේතුවෙන්  තෝනිස් හෙරක්ලියෝන් නගරය පුරාතන ලෝකය තුළ ප්‍රසිද්ධියට පත් වී ඇත. මෙම ගාම්භීර නගරය ක්‍රි.පූ. අට වන සියවසේ ඉදි කරන ලදැයි හඳුනාගෙන ඇත. ස්වභාවික ව්‍යසනයන් ගණනාවකට මුහුණ දුන් දැවැන්ත තෝනිස් හෙරක්ලියෝන්, ක්‍රි.ව. අට වන සියවස වන විට මධ්‍යධරණී මුහුදු පත්ලෙහි සිය රහස් මිහිදන් කර සැඟව ගියේය.

European Institute for Underwater Archaeology (IEASM) ආයතනයෙහි අධ්‍යක්ෂකවරයා වූ ෆ්‍රෑන්ක් ගොඩ්ඩියෝ විසින් තෝනිස් හෙරක්ලියෝන් සොයා මෙහෙයුම් ආරම්භ කරන විටත් මෙහි පිහිටීම පිළිබඳ කිසිදු මාර්ග ලකුණක් ඔවුන් සතුව නොතිබුණි. සැඟවීගොස් පුරාවෘත්ත බවට පත් වූ බැබිලෝනියාව, පොම්පෙයි, අභිරහස් ඇට්ලාන්ටිස් නගර මෙන් නොව තෝනිස් හෙරක්ලියෝන් නගරය පිළිබඳව නව ලොව තුළ කතාබහට ලක් වූයේ ඉතා අල්ප වශයෙනි. හුදු පෞරාණික ලේඛන සහ ශිලාලිපිවල කලාතුරකින් සටහන්ව තිබීම හැරුණු කොට මානව ප්‍රජාව වෙතින් තෝනිස් හෙරක්ලියෝන් පිළිබඳ මතකය සදහටම මැකී ගොස් තිබුණි.

ක්‍රි.පූ. පස් වන සියවසේ විසූ ග්‍රීක ඉතිහාසඥ හෙරඩෝටස් විසින්, හෙරක්ලස් නම් වීරයා ඊජිප්තුවට පළමුවෙන් පා තැබූ ස්ථානයේ ඉදි කළ සුප්‍රසිද්ධ දේවස්ථානයක් ගැන පවසා ඇත. එමෙන්ම ට්‍රෝජන් යුද්ධයට පෙර හෙලන් සිය පෙම්වතා වූ පැරිස් සමඟ හෙරක්ලියෝන් නැරඹීමට පැමිණි බව ද හෙරඩෝටස් සඳහන් කරයි. හෙරඩෝටස්ගෙන් සියවස් හතරකට පමණ පසු ඊජිප්තුව වෙත පැමිණි භූ‍ගෝල විද්‍යාඥ ස්ට්‍රාබෝගේ (Strabo) නිරීක්ෂණයන්ට අනුව, හෙරක්ලස් දේවස්ථානය ස්ථාපිත කර තිබූ හෙරක්ලියෝන් නගරය, කැනෝපුස්ට නැගෙනහිර දෙසින් නයිල් නදියේ කැනොපික් ශාඛාවට මුහුණ ලා පිහිටා තිබී ඇත.

වර්ෂ 1933ට පෙර රාජකීය ගුවන් හමුදාවේ අණදෙන නිලධාරියෙක් අබුකර් නගරයට ඉහළ අහසේ පියාසර කරමින් සිටියදී ජලය තුළ තිබෙන නටබුන්වල ඡායාවක් දැක ඇත. නමුත් ඒ පිළිබඳ විශේෂ ගවේශනයක් කිරීමට තරම් පසුබිමක් එකල නොපැවතිණි. විසිවන සියවසෙහි අවසාන භාගයෙහි Egyptian Supreme Council of Antiquitiesහි සහාය ද ලබාගනිමින් සිය කණ්ඩායම සමඟ අතුරුදන් වූ හෙරක්ලියෝන් නගරය සොයා ගවේශන ආරම්භ කළ පළපුරුදු සමුද්‍ර ගවේශක ෆ්‍රෑන්ක් ගොඩ්ඩියෝ, අබුකර් මුහුදු බොක්කෙහි (Aboukir Bay) බටහිර කොටසට කිලෝමීටර 11ත් 15ත් අතර කලාපය තුළ මෙම නගරය සැඟව ඇති බව ගණනය කරන ලදී. අදාළ සමුද්‍ර ප්‍රදේශය තුළ ජලයෙහි පැවති අඳුරු ස්වභාවය සහ විනිවිද නොපෙනීමෙහි ස්වභාවය හේතුවෙන් ඔවුන්ගේ ගවේශනය වඩාත් අභියෝගාත්මක විය.

හෙරක්ලියෝන්හි පිහිටීම (lahistoriaconmapas.com)

තෝනිස් හෙරක්ලියෝන් නගරයේ දළ සිතියමක් (Art Law Journal)

සමුදුරු පත්ලෙන් මතු වූ නිධානය

ගවේෂණයෙහි ප්‍රතිඵලයක් ලෙස ෆ්‍රෑන්ක් ප්‍රමුඛ කණ්ඩායම අතීතයෙන් දොරටුවක් විවර කර රහස් ගණනාවක් අනාවරණය කරගන්නා ලදී. අමුන් දේවස්ථානය, හෙරක්ලස් හෙවත් කොන්සොවු  (Khonsou), ඊජිප්තුව කෙරෙහි වූ සියලු වෙළඳ කටයුතු පාලනය කළ වරායන් මෙන්ම නගරවාසීන්ගේ දෛනික ජන ජීවිතයෙහි ස්වභාවය පවා මෙකී ගවේශනයන්හි ප්‍රතිඵලයක් ලෙස අනාවරණය කරගන්නා ලදී. ඊජිප්තු පුරාවිද්‍යාවේදීන් තුළ එතෙක් පැවති ප්‍රහේලිකාව විසඳාලමින්, හෙරක්ලියෝන් සහ තෝනිස් යනු නගර දෙකක් නොව, නම් දෙකකින් හැඳින්වූ එකම නගරයක් බව මෙම ගවේශනයෙන් තහවුරු කරගන්නා ලදී. ග්‍රීකයන් විසින් මෙම නගරය හෙරක්ලියෝන් නමින් හඳුන්වා ඇති අතර ඊජිප්තු ජාතිකයන් විසින් එය තෝනිස් යනුවෙන් හඳුන්වා ඇත.

හෙරක්ලියෝන් සහ තෝනිස් යනු එකම නගරය හඳුන්වන ලද නම් දෙකක් බවට තහවුරු කෙරෙන ශිලා ස්ථම්භයක් (Christoph Gerigk, Franck Goddio, Hilti Foundation)

සමුදුර පත්ලෙහි ගවේශන කටයුතු සිදු කරමින් (Christoph Gerigk, Franck Goddio, Hilti Foundation)

සමුදුරු පත්ලෙහි කරන ලද කැණීම් මගින් හෙරක්ලියෝන් නගරයෙහි විචිත්‍රත්වයත් පුරාතනයෙහි මෙම නගරය සතුව පැවති බල මහිමයත් අනාවරණය කරගන්නා ලදී. නගරයෙහි පැවති දේවස්ථානයන්හි චමත්කාරජනක ස්වභාවය, ඒවායෙහි ස්ථාපිත කර තිබූ දැවැන්ත ප්‍රතිමා, ශිලා ලිපි, ගෘහ නිර්මාණ ආකෘති, ආභරණ, කාසි, චාරිත්‍ර හා පුද පූජා පැවැත්වීමට භාවිත කළ මෙවලම්, කුඹල් සහ පිඟන් කර්මාන්තයන්හි නිමැවුම් අධ්‍යයනය කිරීම මගින් හෙරක්ලියෝන් නගරය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් මවා ගැනීමට ෆ්‍රෑන්ක් ප්‍රමුඛ කණ්ඩායමට හැකි විය. සොයාගත් ප්‍රතිමා අතර මීටර් 5කට වඩා උසැති – රජෙකුගේ සහ රැජිණකගේ ප්‍රතිමා පැවති අතර, විවිධ මැණික් වර්ග, සත්ව රූ අඹන ලද හිරිගල් කැටයම් නිර්මාණ ද පැවතුණි.

මීටර් 5.4ක් උසැති හාපි (Hapy) දෙවිඳුන්ගේ ප්‍රතිමාවක් (Christoph Gerigk, Franck Goddio, Hilti Foundation)

නටබුන් ප්‍රතිමාවල ප්‍රමාණය මනිමින් (Christoph Gerigk, Franck Goddio, Hilti Foundation)

සමුදුරු පත්ලෙහි සැඟව තිබූ නටබුන් අනාවරණය කරගනිමින් (Christoph Gerigk, Franck Goddio, Hilti Foundation)

ක්‍රි.පූ. 6 වන සියවසේ සිට ක්‍රි.පූ. 4 වන සියවස දක්වා කාලය තුළ හෙරක්ලියෝන් ඉතා ඉසුරුමත් නගරයක් වූ බවට, එම යුගයට අයත් කාසි ප්‍රමාණය සහ පිඟන් භාණ්ඩ සාක්ෂ්‍ය සපයයි. තෝනිස් හෙරක්ලියෝන් වරාය තුළ පිහිටා තිබෙන දැවැන්ත තඩාග ගණනාව පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වන්නේ, එය එකල ලෝක වෙළඳාම තුළ දැවැන්ත ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වූ බවයි. හෙරක්ලියෝන් වරායෙන් සොයාගත්, ප්‍රමාණයෙන් 700කට වඩා වැඩි, විවිධ ස්වරූපයන්ගෙන් යුත් පැරණි නැංගුරම් සහ ක්‍රි.පූ. 6වන සියවසේ සිට 2වන සියවස දක්වා කාල පරාසය තුළ සිදු වූ බවට කාල නිර්ණය කරන ලද නැව් මුහුදුබත් වීම් 60ක පමණ ප්‍රමාණය සලකා බලන විට මෙකී කරුණ තවදුරටත් තහවුරු වේ.

න‍ටබුන් ප්‍රතිමා ගොඩට ගනිමින් (Christoph Gerigk, Franck Goddio, Hilti Foundation)

නගරයෙහි සුන්බුන් (Christoph Gerigk, Franck Goddio, Hilti Foundation)

හෙරක්ලියෝන් ජනපදය

අමුන් දේවස්ථානය කේන්ද්‍ර කරගනිමින් ඒ වටා හෙරක්ලියෝන් ජනපදය ව්‍යාප්තව තිබී ඇත. නගරය වටා පැවති ඇළ මාර්ග පද්ධතිය හේතුවෙන්, නගරය ජලාශයක් තුළ පිහිටා තිබෙන්නාක් වැනි දර්ශනයක් දිස් වී ඇත. මෙම ඇළ මාර්ග පද්ධතිය අතුරු ඇළ මාර්ග එකිනෙක සම්බන්ධ කර ඉදි කර තිබෙන අතර මෙකී ඇළ මාර්ග වරාය තුළ පිහිටා තිබෙන විශාල ප්‍රමාණයේ තඩාග වෙත සම්බන්ධිතය. නගරය පුරා අභ්‍යන්තර භාණ්ඩ ප්‍රවාහනය; කාර්යක්ෂම, වේගවත් සහ විධිමත් එකක් කිරීම සඳහා මෙම යාන්ත්‍රණය සකස් කරන ලදැයි ගවේශනයන් මගින් අනාවරණය කරගන්නා ලදී.

හෙරක්ලියෝන් නගරයෙහි ආකෘතියක් (i.guim.co.uk)

අද්විතීය හෙරක්ලියෝන් රාජධානිය වූ කලී අතීත මානව වංශ කතාව වෙත නූතනයේ ඇස යොමු කිරීමට සමත් වූ විශිෂ්ට ගවේශනයකි.

කවරයේ පින්තූරය (Pinterest)

මූලාශ්‍ර

  • franckgoddio.org
  • theguardian.com
  • atlasobscura.com
  • telegraph.co.uk
  • dailymail.co.uk

Related Articles