Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආදරයේ බලයෙන් නීති පද්ධතියක් වෙනස් කළ “ආදරණීය” යුවල – Mr. & Mrs. “Loving”

ආදරය වෙනුවෙන් කැප කිරීම් සිදු කළ ආදරවන්තයින් පිළිබඳ කතා අප කොතෙක්වත් අසා ඇත. ලයිලා – මජ්නු, රෝමියෝ – ජුලියට්, සාලිය – අශෝකමාලා කථා පුවත් පමණක් නොව, මෑතකදී විශාල ආන්දෝලනයකට ලක් වූ හැරී කුමරු සහ මේගන් මාර්කල්ගේ ප්‍රේම කතාවත් අපට කිසිදා අමතක වන ආදර අන්දර නොවෙයි. ප්‍රේමය නිසා දිවි පිදූ පෙම්වතුන් පමණක් නොව, ප්‍රේමය වෙනුවෙන් සටන් කළ ප්‍රේමවන්තයින් පිළිබඳවත් ඉතිහාසයෙන් බොහෝ කතා අපට ඇසී තිබෙනවා. වර්ණ භේදවාදී යුගයක් තුළ ඉපිද, පෙමින් වෙලී, විවාහ වී දරුවන් පවා ලැබූ පසුවත් නීතියේ රැහැනට හසු වන්නට සිදු වූ යුවලක්, ඒ වෙනුවෙන් සටන් වැදි රටක නීති පද්ධතියක් වෙනස් කළ බව ඔබ දැන සිටියාද? මේ ලිපියෙන් පාඨක ඔබ වෙත අප කියන්නට සූදානම් වන්නේ එවන් ආදරණීය යුවලක් පිළිබඳවයි.

රිචඩ් සහ මිල්ඩ්‍රඩ් ලවින්  (www.forajournal.com)

රිචඩ් සහ මිල්ද්රිඩ් ලවින් ආදර අන්දරය

1960 දශකයේ ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ විසූ නිවාස ඉදිකරන්නෙක් වූ රිචඩ් පෙරී ලවින් තම පවුලේ මිතුරියක සහ අසල්වාසී තරුණියක වන මිල්ඩ්‍රඩ් ජෙටර් සමග පෙමින් වෙලෙනවා. මොවුන්ගේ ආදරය කෙමෙන් කෙමෙන් දළුලමින් වැඩෙන්නේ ජාතීන් අතර සුසංයෝගයන් හෙවත් විවාහයන් (Inter – racial marriages) නීතියෙන් තහනම් වන යුගයක යි. වර්ජිනියා ප්‍රාන්ත ඊතියට අනුකූලව එවැනි විවාහයකට ඇතුල් වීම වසරකට නොඅඩු සහ වසර පහකට නොවැඩි සිර දඬුවමක් සඳහා පුද්ගලයකු යටත් කිරීමට හැකි වරදක්. නමුත්, කුමන නීතියකටවත් යටත් ව තම ආදරය පුද දෙන්නට අකමැති වන රිචඩ් ලවින් මිල්ඩ්‍රඩ්ව විවාහ කරගන්නේ වර්ජිනියා ප්‍රාන්තය තුළදීම යි.

කිසිවෙක් නොසිතන මොහොතක අත්අඩංගුවට ගැනෙන ලවින් යුවල වෙත නඩු පැවරෙන්නේ ඔවුන් එකල පැවති “Anti – Miscegenation Laws” හෙවත් ජාතීන් සම්මිශ්‍රණය කිරීමේ නීතිය යටතේ අපරාධමය වරදක් සිදු කොට ඇති බවට වන චෝදනාව යටතේ යි. මෙම නීතිය යටතේ සුදු සමක් සහිත පුද්ගලයින් “මිශ්‍ර” වර්ණිත සමකින් යුතු වන පුද්ගලයින් සමග සමීප සබඳතා පැවැත්වීම, ලිංගිකව හැසිරීම සහ විවාහ වීම ද අපරාධයක් ලෙස සැළකුණා. එම නීතිය යටතේ වරදකරුවන් බවට පත් වන්නට මේ “ආදරණීය” යුවලට සිදු වූයේ වෙනස් පැහැයන්ගෙන් යුතු සමක් සහිතව උපත ලද නිසාවෙන්ම මිස, වෙනත් කිසිදු හේතුවක් නිසා නොවේ.

වර්ජිනියා ප්‍රාන්ත අධිකරණය විසින් ලවින් යුවල වෙත වසරක සිර දඬුවමක් පනවා, එය වසර විසි පහකට අත්හිටවමින් පවසා සිටියේ “දෙවියන් වහන්සේ විවිධ පැහැයන්ගෙන් යුත් සම් ඇති මිනිසුන් වෙන වෙනම මහාද්වීප තුළ මවනු ලැබුවේ ඔවුන් එකිනෙකා සමග මිශ්‍රවීම වැළැක්වීමේ අරමුණින් බවත්, දෙවියන්ගේ එම ක්‍රියාදාමයට බාධා නොපැනවිය යුතු බවත්” ය. මිශ්‍ර විවාහයන්ගෙන් උපදින දරුවන් සමාජයට බරක් වන බවත්, ඔවුන් හට සදාකාලිකවම සමාජයෙන් කොන් වී සිටින්නට සිදුවන බවත් වර්ජිනියා අධිකරණයේ තර්කය වුණා. රිචඩ් හා මිල්ඩ්‍රඩ් යන දෙදෙනාටම එකවර වර්ජිනියා ප්‍රාන්තයට ඇතුල් වීමට හෝ එහි වාසය කිරීමට අවසර නොලැබෙන බවත්, ඔවුන් හට වර්ජිනියා ප්‍රාන්තයෙන් පිටත් වීමට සිදු වන බවත් දැනුම් දෙනු ලැබීමෙන් අනතුරුව ලවින් යුවල වර්ජිනියා ප්‍රාන්තය අතහැර වොෂින්ටන් නගරය වෙත පිටත් වනවා.

නමුත්, තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදීම අත් නොහරින රිචඩ් සහ මිල්ඩ්‍රඩ් පවත්නා නීතියට එරෙහිව පෙත්සමක් ගොනු කර අවසානයේ නඩු මගටද ගමන් කරනවා. මේ සඳහා ඔවුන්ට ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන්ගෙන් ද හිමි වන්නේ නොමද සහයක්. පෙගී, ඩොනල්ඩ් සහ සිඩ්නි ලවින් යන නම් ලද දරුවන් තිදෙනෙකුද සමගින් මෙම නීතිමය අභියෝගයන්ට මුහුණ දෙන ලවින් යුවල අවසානයේ තම නිහඬ සටන ජයගෙන ඇමරිකානු නීති පද්ධතියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නේ වෛරයෙන් නොව, තම නොසන්සිඳෙන උත්සාහයෙනි.

www.richmond.com

බොක්ස් ඔෆිස් වාර්තා තැබූ ‘ලවින්’ චිත්‍රපටය

රිචඩ් සහ මිල්ඩ්‍රඩ්  ලවින් යුවලගේ අනභිභවනීය සටන අලලා 2016 වසරේදී ජෙෆ් නිකලස් විසින් ලියා අධ්‍යක්ෂණය කෙරුණු “ලවින්” චිත්‍රපටය ලොව පුරා අතිශය ජනාදරයට පත් වූ චිත්‍රපටයක් බවට පත් වුණා. බොක්ස් ඔෆිස් වාර්තා පවා තබමින් මෙම චිත්‍රපටය ඇමරිකා එක්සත් ජනපදය පුරා ප්‍රදර්ශනය කෙරුණා. චිත්‍රපටයට පාදක වුණු තේමාව අදටත් ඇතැම් ඇමරිකානුවන්ගේ හිත් රිදවීම් වලට හේතුවක් බව ඇතැම් විචාරකයින් මත පළ කොට තිබුණා. සුදු හම ඇති පුද්ගලයින් ලෙසත්, කළු සම ඇති පුද්ගලයින් ලෙසත් හැඳින්වීමට එකල ඇමරිකානු ජාතිකයින් පුරුදුව සිටියා. මෙවැනි යුගයක විවාහ වී දරුවන් පවා ලැබ සිටි ලවින් යුවල මුහුණ පෑ අභියෝග පමණක් නොව, ගැරහුම් පවා ඉතා සියුම් ලෙස මෙම චිත්‍රපට පුරා සිත්තම් කොට තිබීම විශේෂත්වයක්. එපමණක් නොවෙයි, චිත්‍රපටය හැකි තාක්ම සත්‍ය තොරතුරු පෙන්නුම් කර ඇති බවටත් පැසසුම් ලැබී තිබුණා.

“ලවින්” චිත්‍රපටයෙන්.. (www.facebook.com)

සම්මාන

හොඳම නිළිය සඳහා ලැබෙන ඔස්කාර් සම්මානය මෙන්ම හොඳම නළුවා සහ නිළිය සඳහා පිරිනැමෙන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන ද ඇතුළුව ලොව පුරා චිත්‍රපට සම්මාන උළෙලවල් රැසක සම්මාන 84ක් සඳහා නිර්දේශ වුණු මෙම චිත්‍රපටය ඒ අතුරින් සම්මාන 24ක් දිනාගනු ලැබුවා. චිත්‍රපටයේ ප්‍රධාන නිළියට පන පෙවූ රූත් නෙගා වෙත විචාරක ප්‍රසාදය නොමදව හිමි වුනේ ඇය විසින් ඉදිරිපත් කරන ලද රංගනයේ සංවේදී භාවය සහ තාත්වික භාවය නිසාවෙන්ම බවත් නොරහසක්. ( “Loving” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මෙතැනින්:   https://www.youtube.com/watch?v=zRXuCY7tRgk

www.createdequal.neh.gov

“ලවින් එදිරිව. වර්ජිනියා ප්‍රාන්ත රජය”

“ලවින් එදිරිව. වර්ජිනියා ප්‍රාන්ත රජය” හෙවත් “Loving V. State of Virginia” යනුවෙන් ගොනු කරන ලද නඩුව ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් උසාවිය දක්වා ගමන් කිරීමෙන් අනතුරුව, 1967 වසරේදී අවසන් තීන්දුව ලබා ගත්තා. ඇමරිකානු සිවිල් අයිතීන් සටනේ සන්ධිස්ථානයක් ලෙස පිළිගැනෙන මෙම නඩු තීන්දුවෙන් පැවසුනේ මින් අනතුරුව ජාතීන් අතර විවාහ සිදු කිරීම නීත් විරෝධී නොවන බවයි. ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහ හතර වන සංශෝධනය මගින් සැපයෙන හෙවත් Equal Protection and due process, එනම්, අධිකරණමය ක්‍රියා පටිපාටින් සඳහා ඉඩ ලැබීම හා නීතියේ සමාන රැකවරණය ලැබීම යන අයිතිවාසිකම් උල්ලංඝණය වන බව අධිකරණයේ මතය වුණා. ෆෙඩරල් අධිකරණයේ ඒකමතික තීන්දුවක් හරහා මෙම නඩුව ජය ගැනීමට ලවින් යුවල සමත් වීම 1967 වැනි කාලයක දී ඔවුන් ලද විශාලතම ජයග්‍රහණයක් ලෙසිනුත් සැළකුනා.

පසු කාලීනව අභියෝගයට ලක් කෙරුණු ජාතීන් අතර සිදු කෙරුණු විවාහයකදීම මෙම නඩු තීන්දුව උපයෝගී කරගනිමින් නීතිමය බාධාවන් ජයගන්නට ඇමරිකානු ජනතාව හට අවස්ථාව සැලසී තිබුණා. සමලිංගික විවාහ නීතිගත කිරීම ඉල්ලා සිටි නඩුවේදී පවා සමානාත්මතාවය පිළිබඳ තර්ක ගොඩනැගීමේදී මෙම නඩුව උපයෝගි කොටගෙන තිබීම විශේෂත්වයක්. මෙම නඩුවේ තීන්දුව ලබා දෙනු ලැබූ ජූනි 12 වන දින “Loving Day” ලෙස නම් කිරීමටත් ඇමරිකානුවන් කටයුතු කොට තිබුණේ එතරම්ම ඔවුන්ට එය වැදගත් දිනයක් වූ නිසාවෙනුයි.

කෙසේ වෙතත්, රිචඩ් සහ මිල්ඩ්‍රඩ් සෑම දෙනෙකුටම ඉතුරු කළ පණිවුඩය වූයේ නීතීන් කොතරම් පදනම් විරහිත වුවත්, තමා වෙත කොපමණ බාධක එල්ල වුවත්, එම බාධා ජයගන්නට ඉවසිලිවන්ත සහ ශක්තිමත් ආදරයකට හැකියාව ඇති බවයි.

කවරයේ ඡායාරූපය – https://3.bp.blogspot.com

තොරතුරු උපුටා ගැනීම – supreme.justia.com (JUSTICIA – US supreme Court) හා www.imdb.com වෙබ් අඩවි ඇසුරිණි.

Related Articles