නිශාචර නාසි ගුවන් නියමුවා – වර්නර් ස්ට්‍රයිබ්

දෙවන ලෝක යුධ සමයේදී රාජකීය ගුවන් හමුදා නියමුවන් හා ඇමරිකානු එක්සත් ජනපද ගුවන් නියමුවන්ට වඩා නාසි ගුවන් හමුදාවේ (Luftwaffe) නියමුවන් දක්ෂතාව අතරින් ඉදිරියෙන් සිටි බව ගුවන් සටන් වලදී සාර්ථක ලෙස ප්‍රතිවිරුද්ධ ගුවන් යානා බිම හෙලන ලද ගුවන් නියමුවන්ගේ ලැයිස්තුව පරික්ෂා කිරීමේදී තර්ක කරන්නට පුළුවන්. දෙවන ලෝක යුද්ධ ජයග්‍රහණය මිත්‍ර පාර්ශවය වෙත හිමි වූ බැවින් ජර්මානු ගුවන් නියමුවන්ගේ දක්ෂතා පිළිබඳව එතරම් කතාබහක් සමාජය තුළ හටගන්නේ නෑ.

මෙම සමයේදී ගුවන් යානා දෙකක් අතර මුහුණට මුහුණ ලා උඩු ගුවනේදී සිදුවන සටන් ඉතා ජනප්‍රිය වූ අතර එවැනි සටන් එකළ හදුන්වන ලද්දේ බලුපොර (Dogfight) ලෙසයි. එම සටන් වල ඉතා දක්ෂයෙක් වූ එරික් හාට්මන් පිළිබඳව ලිපියක් පසුගිය දිනෙක ඔබ වෙත ගෙන ආවා. ඉතින් අද ලිපියෙන් ගෙන එන්නේ ජර්මානු ගුවන් හමුදාවේ සිටි රාත්‍රියේදී සාර්ථකම  ප්‍රහාර එල්ල කරන ගුවන් නියමුවා පිළිබඳවයි. ඒ හිට්ලර් අතින් Knight’s Cross of the Iron Cross පදක්කම සමඟ ඕක් පත්‍ර හා කඩු යුගලය (with Oak Leaves and Swords) ලබා ගත් පළමු රාත්‍රී ප්‍රහාරකයා වන වර්නර් ස්ට්‍රයිබ්(Werner Streib) නම් දක්ෂ ගුවන් ප්‍රහාරකයායි.

Wehrmacht හමුදා බළකායෙන් Luftwaffe වෙත

Luftwaffe හෙවත් නාසි ගුවන් හමුදාව (Pinterest)

1911 වසරේ ජුනි 13 වනදා ජර්මනියේ Pforzheim ප්‍රදේශයේ උපත ලබන වර්නර් මූලික අධ්‍යාපනයෙන් පසුව ව්‍යාපාරික ක්ෂේත්‍රයට ඇතුළත් වීම පිණිස තුන් අවුරුදු පාඨමාලාවක සම්පූර්ණ කරනවා. පාඨමාලාව අවසන් කිරීමෙන් අනතුරුව ඔහු එම ක්ෂේත්‍රයට ඇතුළත් වීම පසෙක ලා නාසි යුධ​ හමුදාවේ (Wehrmacht) බළකායේ 14 වන පාබල බල ඇණියට පාබල සෙබළෙක් ලෙස ඇතුල් වන්නේ 1934 වසරේදීයි.

එහි මූලික පුහුණුව අවසන් කර වසරකින් පසුව නාසි ගුවන් හමුදාවට (Luftwaffe) එකතු වීමට තම කැමැත්ත පල කරන අතර 1935 වසරේ ඔක්තෝම්බර් මාසයේදී එයට එකතුවන්නේ ශිෂ්‍යභට නිළධාරියෙක් ලෙසයි. 1936 වසරේදී ප්‍රහාරක ගුවන් නියමුවෙක් ලෙස පුහුණුවීමට අවස්ථාව ලැබෙන අතර දැක්වූ දක්ෂතා හේතුවෙන් ලුතිනන්වරයෙක් ලෙස උසස්වීම් ලබනවා. පුහුණුව අවසන් වීමෙන් පසුව බර්ලින් නගරයට කිලෝමීටර් 70ක් දකුණු දෙසින් පිහිටි Jutterbog dam ගුවන් පෙරමුණට අනුයුක්ත කරනවා. BF-110 Zerstorer නම් ප්‍රහාරක ගුවන් යානය වර්නර්ගේ පළමු ගුවන් යානය වුණා.

රාත්‍රී ගුවන් ප්‍රහාරක බළකාය හෙවත් Nachtjagd නිර්මාණය වීම

Nachtjagd හෙවත් රාත්‍රී ගුවන් ප්‍රහාරක බලඇණිය (Wikimedia Commons)

දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමෙන් පසුව තමාගේ පළමු සාර්ථක ඉලක්කය නෙදර්ලන්ත උඩුගුවනේදී ලබා ගන්නා වර්නර් බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අයත්  බෝම්බ හෙළන යානාවක් වන Bristol Blenheim යානයක් විනාශ කරනේ 1940 වසරේ මැයි 19 වනදායි. එය ඔහු විසින් දහවල් කාලයේදී බිමහෙළු ප්‍රථම හා එකම ගුවන් යානය වෙනවා.

දෙවන ලෝක යුද්ධය ක්‍රමක් ක්‍රමයෙන් දරුණු අතට හැරෙන විට හිට්ලට්ගේ උපදෙස් මත රාත්‍රී ගුවන් ප්‍රහාරක බල ඇණියක්  පිහිටුවීමට ගුවන් හමුදා ප්‍රධානි හර්මන් ගෝරිං විසින් ක්‍රියා කරනවා.

1940 වසරේ මැයි මාසයේදී මෙම ඒකකය නාසි ගුවන් හමුදාවට එක් වන්නේ Nachtjagd නමින්. ආරම්භයේදීම එම ඒකකයට ගුවන් නියමුවෙක් ලෙස එකතු වන වර්නර් එම ඒකකයෙන් පළමු වරට රාත්‍රියේ ලබා ගත් සාර්ථක ඉලක්කයේ හිමිකරු බවට පත්වෙනවා.ඔහු විසින් රාත්‍රී කාලයේදී ප්‍රහාර එල්ල කර විනාශ කරනු ලබන්නේ රාජකීය ගුවන් හමුදාවට අයත් Armstrong whitworth whitley වර්ගයේ යුධ ගුවන් යානයක්.

මිත්‍ර ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා විනාශ කළ නිශාචරයා

වර්නර් ස්ට්‍රයිබ් (Asisbiz)

1940 වසරේ රාත්‍රී ප්‍රහාරක දෙවන බල ඇණි කණ්ඩායමේ අණදෙන්නා ලෙස පත් වූ ඔහු තම මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නේ  නෙදර්ලන්තයේ වෙන්ලෝ (Venlo) ප්‍රදේශයේ සිටයි. රාත්‍රියේදී රාජකීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා වෙත එල්ල කළ සාර්ථක ප්‍රහාර හේතුවෙන් එම වසරේම ඔක්තෝම්බර් මාසයේදී knight’s cross of the iron cross පදක්කම හිමිකරගැනීමට සමත්වෙනවා.

1941 වසර වන විට ඔහු විසින් රාත්‍රී කාලයේදී සාර්ථක ප්‍රහාර එල්ල කර තමන් විසින් බිම හෙළු ගුවන් යානා ගණන 26ක් දක්වා ඉහළ නංවා ගන්නා අතර 1943 වසරේ පෙබරවාරි මාසය වන විට රාත්‍රී ඉලක්ක 42ක් ලබා ගන්නට සමත් වෙනවා. දැක්වූ මෙම දක්ෂතා හේතුවෙන් පෙබරවාරි 26 වනදා හිට්ලර් විසින් ලබාගත් අයන් ක්‍රොස් පදක්කමට ඕක් පත්‍ර එකතු කරනු ලබනවා. තවද ලුතිනන් සිට මේජර් දක්වා උසස්වීමක් ලබනවා.

1943 වසරේ ජර්මානු ගුවන් ඉංජිනේරුවන් විසින් නිපදවන ලද Heinkel He 219 නම් රාත්‍රී ගුවන් ප්‍රහාර එල්ල කිරීම සදහා විශේෂයෙන් නිර්මාණය කරන ලද ප්‍රහාරක යානය අත්හදා බැලීම සදහා පළමුවරට එය පදවනු ලබන්නේ වර්නර් විසින්. 1943 වසරේ ජූනි මස 12 වනදා රාත්‍රී කාලයේ Heinkel He 219 යානයෙන් ගුවන්ගත වන ඔහු මිනිත්තු 30ක් ඇතුළත මිත්‍ර හමුදාවේ Avro Lancaster නම් යුධ ගුවන් යානා 5ක් බිමහෙළා නිරුපද්‍රිතව පැමිණෙනවා. නමුත් ගුවන් යානය නැවත ගොඩ බෑමේදී නියමිත වේග සීමාව ඉක්මවීම හේතුවෙන් අනතුරට ලක්වෙනවා. මෙම අනතුරෙන් වර්නර් තුවාල ලබනවා.

1944 වසරේ මාර්තු මාසය වන විට ඔහු ලබාගත් තහවුරු කළ රාත්‍රී ඉලක්ක සංඛ්‍යාව 66 දක්වා ඉහළ නගින අතර ඒ හේතුවෙන් ඔහුගේ අයන් ක්‍රොස් පදක්කමට කඩු යුගලක් එකතු කරන්නේ හිට්ලර් විසින්.

රාත්‍රී ප්‍රහාරකයන්ගේ ප්‍රධානියා ලෙස

1945 වසරේදී නාසි ගුවන් හමුදාවේ ප්‍රධාන ගුවන් නියමුවන් හිට්ලර් හමු වූ අවස්තාව. ඉතා දක්ෂ ගුවන් ප්‍රහාරකයන් වන Erich Hartmann, Graf Punski, Gerhard හා Erich Walther ඇතුළු ගුවන් නියමුවන් මෙහි සිටින අතර වම්පස පළමුවෙනියාට සිටින්නේ වර්නර්. (rarehistoricalphotos.com)

1944 වසරේ හිට්ලර් විසින් ඔහුව රාත්‍රී ප්‍රහාරක ගුවන් නියමුවන්ගේ ප්‍රධානියා ලෙස පත්කරන අතර යුද්ධය අවසන් වන තුරු ඔහු විසින් එම තනතුර දරනවා. ජර්මනිය ඇතුළු අක්ෂ පාර්ශවය යටත් වී යුද්ධය අවසන් වන විට ඔහු විසින් බිම දමා තිබූ ප්‍රහාරක ගුවන් යානා ගණන 66ක් වූ අතර එයින් 65ක්ම විනාශ කර තිබුනේ රාත්‍රී කාලයේ වීම විශේෂත්වයක් විය. එම කාලය තුළ ඔහු ගුවන් සටන් 150කට පමණ සහභාගිවී තිබෙනවා.

දෙවන ලෝක යුද්ධය නිමවීමෙන් පසු

වර්නර්ගේ සොහොන් කොත (ww2gravestone.com)

දෙවන ලෝක යුද්ධය නිමවීමෙන් පසුව මිත්‍ර හමුදාවේ අත්අඩංගුවට පත්වෙන වර්නර්  දෙවන ලෝක යුධ සිරකරුවන් නිදහස් කිරීම යටතේ නිදහස් වී නැවතත් බටහිර ජර්මනියේ ජර්මන් ගුවන් හමුදාවට එකතුවන්නේ 1956 වසරේදීයි. ගුවන් යානා පුහුණු පාසලක උපදේශකයෙක් ලෙස කටයුතු කරන ඔහු 1966දී තම ගුවන් හමුදා දිවියට ආයුබෝවන් කියන්නේ බ්‍රිගේඩියර් ජෙනරාල් වරයෙක් ලෙසයි. දෙවන ලෝක යුධ සමයේ මිත්‍ර පාර්ශවයේ ගුවන් නියමුවන්ට තර්ජනයක් වූ මෙම නිශාචර ගුවන් නියමුවා 1986 වසරේ ජුනි 15 වනදා මෙලොව හැර යනවා.

කවරයේ ජායාරූපය – Asisbiz

Related Articles