ලියෝ ෆ්‍රෑන්ක් සිරෙන් පැහැරගැනීම හා ඝාතනය

නීතිමය ක්‍රියාවලීන්හි අකාර්යක්ෂමතාව හේතුවෙන් උසාවියෙන් නඩුවක් විස‍ඳන තුරු බලාගෙන ඉන්න තරම් ඉවසීමක් ලංකාවෙ මිනිස්සුන්ට නැහැ. ඒ නිසා අපරාධයක් ගැන ආරංචි වුණු වහාම, තමන් දන්නා සුළු සුළු තොරතුරු මත පදනම්ව අහවලා වැරදිකරුවා ය කියලා තීරණය කරන්නත්, සැකකරුව අල්ලාගෙන තඩි බාන්න, හෝ “ආයුධ පෙන්වන්න” යවන්නත් ලංකාවෙ අපි වඩා කැමතියි.

මීට වසර 103කට පමණ පෙර එක්සත් ජනපදයේ වැසියන් පිරිසකුත්, මේ හේතු මතම එක්තරා අහිංසක වැසියෙකුව එල්ලා මරා දමනු ලැබුවා. ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව සිරගත කෙරුණු ඔහුව, ජනතාව විසින් වැරදිකරු බවට තීරණය කරලා, “යුක්තිය” ඉටුකිරීමට මරා දැමුනා. අවිනීතියෙන් යුක්තිය ඉටුකරන්නට යෑම කෙතරම් භයානක ද කියලා අදටත් උගන්වන සිදුවිමකුයි ලියෝ ෆ්‍රෑන්ක්ගේ ඝාතනය.

ලියෝ ෆ්‍රෑන්ක් (Omaha World-Herald)

මේරි ෆේගන්ව මැරුවේ කවුද?

එක්සත් ජනපදයේ ඇට්ලන්ටා පැන්සල් සමාගමේ සේවය කළ 13 හැවිරිදි මේරි ෆේගන්, 1913 අප්‍රේල් 26 වන දා එම කර්මාන්ත ශාලාව වෙත ගියේ තමන්ගේ වැ‍ටුප ලබාගන්න යි. 27 වන දා පාන්දර 3ට පමණ ඈව හමුවන්නේ කර්මාන්ත ශාලාවේ රාත්‍රී මුරකරුවාට, එහි බිම් මහලේ දී යි. ඈව ලිංගික අඩත්තේට්ටමට ලක්කොට, ඇගේම ඇඳුම් වලින් ඉරාගත් පටි වලින් ගෙල සිරකොට ඝාතනය කර දමා තිබුණා. ඇගේ මුහුණේ තැලුම් පහර හා සීරීම් තිබූ අතර, සිරුර දූවිලි සහ අළු වලින් වැසී ගොස් තිබුණේ මරණයට පෙර මිනීමරුවා සමග පොරබැඳූ බව පෙන්වමින්.

මේරි ෆේගන් (Pinterest)

ඇගේ සිරුර සමග කුඩා තුන්ඩු කැබලි දෙකක් හමුවුණා. එහි අපැහැදිලි භාෂාවෙන් “කළු ජාතිකයෙකු” හා “රාත්‍රී මුරකරුවෙකු” ගැන යමක් ලියා තිබුණු නිසා සිරුර සොයාගත් රාත්‍රී මුරකරුවාව අත් අඩංගුවට ගැණුනා.

යුදෙව් ජාතික කර්මාන්තශාලා අධ්‍යක්ෂකයා

29 හැවිරිදි යුදෙව්වෙකු වූ ලියෝ මැක්ස් ෆ්‍රෑන්ක්, මියගිය මේරි ෆේගන් සේවය කළ කර්මාන්තශාලාවේ අධ්‍යක්ෂකවරයා යි. නිව් යෝක්හි හැදී වැඩී, කෝනෙල් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයෙන් උපාධි ලබා සිටි ඔහු ඇට්ලන්ටාවට පැමිණ තිබුණේ 1908 දී යි. ඉන් වසර දෙකකට පසු විවාහ වන ෆ්‍රෑන්ක්, 1912 “බනේයි බ්‍රිත්” නම් යුදෙව් සංවිධානයේ, ඇට්ලන්ටාවේ සභාපතිවරයා ලෙස පත්වුණේ ජනතා කැමැත්තෙන්.

ලියෝ ෆ්‍රෑන්ක් නඩු විභාගයක් අතරතුර  (Wikimedia)

මේරි ෆේගන් මියයන දවසේ ඇගේ වැ‍ටුප ගෙවා තිබුණේ මේ යුදෙව් ජාතිකයා යි.

ෆේගන්ගේ මරණයට සැකපිට රාත්‍රී මුරකරු සහ ඇගේ මිතුරෙකුව අත් අඩංගුවට ගැණුනත්, ඔවුන් වරදකරුවන් විය නොහැකි බව පොලීසිය සලකනවා. එසේම මරණය සිදුවන්නට ඇත්තේ බිම් මහලේ දී නොව, දෙවන මහලේ දී (ෆ්‍රෑන්ක්ගේ කාර්යාලය තිබුණේ එහි යි) බව ඔවුන් උපකල්පනය කරනවා. ෆේගන්ගේ මරණයෙන් ෆ්‍රෑන්ක් ඉතා කම්පාවට පත්ව තිබීම ගැන සැලකිලිමත් වූ පොලීසිය, ඝාතනය සිදු වූ දින ඔහුගේ කාලසටහන් ඉල්ලා සිටිනවා. එසේම ෆ්‍රෑන්ක්ගේ ශරීරය පරීක්ෂා කෙරුණත්, ඔහු කා සමග හෝ පොරබැඳූ සලකුණු සිරුරේ හෝ එදා ඇඳ සිටි ඇඳුම්වල තිබුණේ නැහැ.

 “සැකය ඇත්තේ රාත්‍රී මුරකරු සහ ෆ්‍රෑන්ක් ගැන යි” (Wikimedia)

සිදුවීම ගැන පරීක්ෂණ පැවැත්වීම සඳහා ෆ්‍රෑන්ක් විසින්ම කැඳවනු ලබන පින්කටන් රහස් පරීක්ෂක ආයතනයේ නිලධාරියා මුල සිටම සැක කරන්නේ අපරාධකරුවා ෆ්‍රෑන්ක් බව යි. අප්‍රේල් 29 දා මුරකරුගේ නිවසෙන් ලේ තැවරුණු කමීසයක් හමුවන අතර, මුරකරු වරදට හසුකිරීමට ෆ්‍රෑන්ක් විසින් එය එහි දමන්නට ඇතැයි උපකල්පනය කර ෆ්‍රෑන්ක්ව එදිනම අත් අඩංගුවට ගැනෙනවා.

ජිම් කොන්ලිගේ ප්‍රකාශය

අත් අඩංගුවට ගැනුණු ෆ්‍රෑන්ක් මෙම ඝාතනය සිදුකළ බවට සෘජු සාක්ෂ්‍ය තිබුණේ නැහැ. ඔහුගේ මරණ වරෙන්තුව ලියැවුණේ ෆේගන්ගේ සැබෑ ඝාතකයා යැයි සැලකෙන, කර්මාන්තශාලාවේ පිරිසිදු කරන්නා වූ ජිම් කොන්ලි නිසා යි.

ජිම් කොන්ලි (Pinterest)

කළු ජාතිකයෙකු වූ ජිම් කොන්ලිව මැයි 1 දා පොලිස් භාරයට ගැනුනේ, ඔහු සිය ‍රැකියා කමීසයේ ලේ පැල්ලම් සෝදමින් සිටි බවට යමෙකු දැකීම නිසා යි. නමුත් පසුව ඒ මළකඩ බව කියැවුණා. මරණය සිදු වූ දින ඔහු කර්මාන්තශාලාවට නොපැමිණි බව කටඋත්තරයේ සඳහන් වුණත්, ඔහුව එදින ඒ පෙදෙසේ දී දු‍ටුවකු නිසා තව තවත් ප්‍රශ්න කෙරුණා. මැයි 24 වන දා කොන්ලි ප්‍රකාශ කළේ සිරුර සමග හමු වූ තුණ්ඩු කැබලි ලිව්වේ තමා බවත්, ඝාතනයට පෙර දා, ෆ්‍රෑන්ක්ගේ ඉල්ලීම පිට ලියන ලද බවත්. 29 වන දා කොන්ලි පවසන්නේ ෆ්‍රෑන්ක් විසින් මේරි ෆේගන්ව ඝාතනය කළ බවත්, ඇගේ සිරුර බිම් මහලට ගෙන යෑමට තමා ෆ්‍රෑන්ක්ට උදව් වූ බවත්. ඒ සඳහා ෆ්‍රෑන්ක් තමාට ඩොලර් 200ක් ගෙවූ බව කොන්ලි ප්‍රකාශ කරනවා.

කොන්ලිගේ ප්‍රකාශයනුත්, ෆ්‍රෑන්ක්ට එරෙහිව වූ කටකතාත්, වරදකරුවා ඔහුමය යන මතයත්, යුදෙව්වන් කෙරෙහි තිබූ ජනතා අප්‍රසාදයත් නිසා 1913 අගෝස්තු 26 දා ජෝර්ජියාවේ උසාවිය විසින් ඔහුට මරණ දඬුවම නියම කරනවා. නමුත් ෆ්‍රෑන්ක්ගේ නීතිඥයන් ඊට එරෙහිව දිගින් දිගටම අභියාචනාවන් ඉදිරිපත් කරනවා.

1913 දී නඩු විභාගයක් අතරතුර (sempresereno.nl)

1915 ජුනි 21 දා ජෝර්ජියාවේ ආණ්ඩුකාරවරයා විසින් ෆ්‍රෑන්ක්ගේ නඩුව සැලකිල්ලට ගෙන, නැවතත් සාක්ෂ්‍ය පරික්ෂා කරනවා. ඒ මත පදනම්ව ෆ්‍රෑන්ක් වරදකරු බව ඔප්පු කිරීමට සාධක මඳ බව පවසමින්, ඔහුට මරණ දඬුවම වෙනුවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරෙනවා.

ජනතාවගේ තීන්දුව

මේ වන විටත් ෆේගන්ගේ මරණයට වගකිවයුත්තා ෆ්‍රෑන්ක් බවට මහ ජනතාව තීරණය කර අවසන්. එනිසා ආණ්ඩුකාරවරයාගේ තීන්දුවෙන් ඔවුන් දරුණු ලෙස කිපුණා. ප්‍රචණ්ඩකාරීන් ආණ්ඩුකාරවරයාගේ නිවසට පහර දෙන්නට උත්සාහ කළ නිසා ඔහුට සිය පවුල ද සමග ජෝර්ජියාව හැර යාමට සිදුවුණා.

තීන්දුවෙන් කෝපයට පත් ප්‍රචණ්ඩකාරීන් ස්ලේටන් නම් ආණ්ඩුකාරවරයාගේ නිවසට පහර දීමට උත්සාහ කළ බවට වූ පුවත්පත් ලිපියක්  (Timothy Hughes Rare Newspapers)

ඒ අතරේ ෆ්‍රෑන්ක්ව මිලෙජ්විල්හි බන්ධනාගාරයට රහසේම ප්‍රවාහනය කෙරුණේ ඔහුගේ ආරක්ෂාව සලකා බලා යි. ජුලි 17 වන දා එහි සිටි තවත් සිරකරුවෙකු මස් කපන පිහියකින් ෆ්‍රෑන්ක්ගේ ගෙල කපා දමන්නේ “ඔහු බන්ධනාගාරයට ලැජ්ජාවක්” බව කියමින්. කෙසේ වෙතත් දරුණු තුවාල ලබා වුව ද ෆ්‍රෑන්ක්ගේ දිවි ගැලවුණා.

මේරි ෆේගන්ගේ නයිට්වරු

මේ අතරේ ප්‍රදේශයේ හිටපු ආණ්ඩුකාරවරයෙකු, නගරාධිපතියෙකු, හා ශෙරිෆ්වරුන් කිහිපදෙනෙකු ද ඇතුළු මිනිසුන් 28ක ගේ කණ්ඩායමක් තමා “මේරි ෆේගන්ගේ නයිට්වරුන්” ලෙස හඳුන්වමින් සංවිධානගතව තිබුණා. ඒ, ෆ්‍රෑන්ක්ව සිරෙන් පැහැරගෙන, පෙර අත්හිටවූ මරණ දඬුවම ලබාදීමට යි.

අගෝස්තු 16 දා රාත්‍රියේ බන්ධනාගාරය වෙත පැමිණි ඔවුන්, එහි ටෙලිෆෝන් වයර කපා, වාහන වල ඉන්ධන හිස්කොට, ජේලර්වරුන්ට පහර දී, ෆ්‍රෑන්ක්ව පැහැරගත්තා.

ෆේගන්ගේ මරණයට “යුක්තිය” ඉ‍ටුවෙයි

ශෙරීෆ්වරයෙකුට අයත් ඕක් වදුලක, මේරි ෆේගන්ගේ නිවසට මුහුණ ලා සිටින පරිදි ලියෝ ෆ්‍රෑන්ක්ව එල්ලා ඝාතනය කෙරුණා  (nydailynews.com)

පැහැරගත් ෆ්‍රෑන්ක්ව ‍රැගෙන ගියේ බන්ධනාගාරයෙන් කි.මී. 300ක් පමණ ඈතින් පිහිටි ෆේගන්ගේ උපන් ගමට යි. එහි දී අගෝස්තු 17 උදෑසන 7ට ඔහුගේ දෑත් හා දෙපා බැඳ දමා, පහර දී, ප්‍රසිද්ධියේම ගසක එල්ලා මරා දමනු ලබනවා. මේ ගැන දැනසිටි එහි වැසියන් බොහෝ දෙනෙකු ළමයින් ද කැ‍ටුව එහි පැමිණ තිබුණේ මේරි ෆේගන්ට “යුක්තිය ඉ‍ටුවනු” නැරඹීමට යි. අධිකරණය කුමක් කීවත්, එම මරණයට වගකිව යුත්තේ ෆ්‍රෑන්ක් බවට මොවුන් තීරණය කර තිබුණා.

ෆ්‍රෑන්ක්ගේ සිරුර ඇට්ලන්ටාව හරහා ඔහුගේ උපන් ගම වූ නිව් යෝක් වෙත යැවුණු අතර, එහි දී මිහිදන් කෙරුණා. නමුත් මිනීමරුවන් දඬුවම් ලැබුවේ නැහැ. මිනීමරුවන් කවුද යන්න හෙලිකිරීමත් ප්‍රදේශවාසීන් විසින් ප්‍රතික්ෂේප කළේ ෆ්‍රෑන්ක්ට ලැබුණු දඬුවම යුක්තිසහගත බව ඔවුන් විශ්වාස කළ නිසා යි.

ලියෝ ෆ්‍රෑන්ක් එල්ලා මැරීමේ පින්තූර සහිත තැපැල්පතක්  (CVLT Nation)

ෆ්‍රෑන්ක්ව එල්ලා මරණ දර්ශනයේ ඡායාරූප සහිත තැපැල්පත් සහ ඔහු එල්ලා දැමුණු කඹය පවා කෑලි කපා, සිහිවටන ලෙස ප්‍රසිද්ධියේ විකුණනු ලැබුවත්, බලධාරීන් එයට විරුද්ධව පියවරක් ගත්තේ නැහැ. නීතියට වඩා සිය පුද්ගලික මතය ගැන විශ්වාසය තැබූ ජනතාව අතින් අහිංසකයෙකුගේ දිවි තොර වුණේත්, මිනීමරුවෙකු දඬුවම් ලැබීමෙන් ගැලවුණේත් එහෙමයි.

ඉන් මාස දෙකකට පසු ජෝර්ජියාවේම කඳු ගැටයක් මුදුණේ දී යුදෙව්-විරෝධී, ක‍තෝලික-විරෝධී, සංක්‍රමණික-විරෝධී දෙවන කූ ක්ලක්ස් ක්ලෑන් කල්ලිය පිහි‍ටුවනු ලබනවා.

මූලාශ්‍රයයන්:

Time

NY Daily News

Business Insider

American Heritage

The Washington Post

Cover: times of Israel

Related Articles