මෑත කාලයේ ලෝකයේ ඇතැම් රටවල නම් වෙනස් වීමේ සිද්ධීන් වාර්තා වූ බව ඔබ අසා ඇති. එයින් මැසඩෝනියාවේ නම උතුරු මැසඩෝනියාව ලෙස වෙනස් වීම සුවිශේෂී සිදුවීමක් වුණා.

ග්‍රීසිය සහ මැසඩෝනියාව අතර ඇති වූ එකඟතාවක් මත, වසර 75 ක් පමණ පැවති මැසඩෝනියාවේ නම පිළිබඳ අර්බුදය නිම වුණා. එහෙත් එය සිදු වූයේ දෙරටෙහිම විශාල විරෝධතා මධ්‍යයේ යි.

මතභේදයට හේතුව

මැසඩෝනියා මතභේදය දෙවන ලෝක යුද්ධය අවසාන සමය තෙක් දිවෙනවා. යුගෝස්ලාවියාවේ බලය තහවුරු කරගත් පසු කොමියුනිස්ට්වාදීන් එරට ෆෙඩරල් ක්‍රමයක් ස්ථාපිත කළේ සමූහාණ්ඩු හයක් ලෙස රාජ්‍යය ප්‍රතිසංවිධානය කරමින්. මේ අනුව යුගෝස්ලාවියාව තුළ බිහි වූ එක් සමූහාණ්ඩුවක් වූයේ මැසඩෝනියා සමාජවාදී සමූහාණ්ඩුව යි.

පැරණි යුගෝස්ලාවියාව තුළ මැසඩෝනියාව​ (University of Texas, Austin)

මෙසේ යුගෝස්ලාවියානු සමූහාණ්ඩුවකට මැසඩෝනියාවයැ යි නම් තැබීම යාබද ග්‍රීසියේ අප්‍රසාදයට හේතු වුණා. ග්‍රීසිය කියා සිටියේ තම සංස්කෘතික සහ ඓතිහාසික අනන්‍යතාව සොරාගැනීමේ උත්සාහයක යුගෝස්ලාවියාව නිරත වන බව යි. අප බොහෝ දෙනා දන්නා පරිදි පුරාණයෙහි මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා උපන්නේ මැසඩෝනියාවේ යි. එම පෞරාණික ප්‍රදේශය පිහිටියේ වර්තමාන ග්‍රීසියේ මැසඩෝනියා ප්‍රාන්තයේ යි.

ග්‍රීසියේ මැසඩෝනියා ප්‍රාන්තයේ නමම යුගෝස්ලාව් සමූහාණ්ඩුවකට භාවිතා කිරීම පිළිබඳව ග්‍රීසිය කලබලයට පත් වුණා. ඇතැම් පිරිස් කියා සිටියේ ග්‍රීසියේ මැසඩෝනියා ප්‍රාන්තයට අයිතිවාසිකම් කීමේ අදහසින් යුගෝස්ලාවියාවේ මාර්ෂල් ටිටෝ මෙම නම සිය සමූහාණ්ඩුවකට ද යොදාගත් බව යි.

යුගෝස්ලාවියාව පාර්ශවයෙන් මතු වූ අදහස වූයේ මැසඩෝනියානු ජනතාව වෙනමම දකුණුදිග ස්ලැවික් භාෂාවක් කතා කරන වෙනම ජනතාවක් හෙයින් මෙසේ සමූහාණ්ඩුවක් ස්ථාපිත කිරීම සාධාරණ බව යි. මැසඩෝනියානු ජනතාව වාසය කළ ප්‍රදේශ බොහොමයක් පළමු සහ දෙවන ලෝක යුද්ධ අතර සමයේ ද යුගෝස්ලාවියාවේ කොටසක් වුව ද ඊට වෙනම ස්වයං පාලනයක් වූයේ නැහැ. එම ජනතාව අතර ද ජාතිකවාදී ව්‍යාපාර එතරම්ම ප්‍රබලව නැගී ආයේ ද නැහැ.

ස්වාධීන මැසඩෝනියාව

මැසඩෝනියා ප්‍රශ්නය වඩාත් බරපතල තත්ත්වකට පත් වූයේ 1991 දී යුගෝස්ලාවියාව බිඳ් වැටීමට පටන් ගැනීමත් සමග යි. මේ අවස්ථාවේ මැසඩෝනියාව ද පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බව ප්‍රකාශයට පත් කෙරුණා. එය හඳුන්වන ලද්දේ මැසඩෝනියා ජනරජය නමින්.

මැසඩෝනියාවේ නමේ ගැටළුව සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු කාලයේ බෝල්කන් ප්‍රදේශයේ බල දේශපාලනය පිළිබඳ වැදගත් කරුණක් බවට පත් වුණා. සමාජවාදී කඳවුරෙහි බිඳවැටීමෙන් පසු නැගෙනහිර යුරෝපා රටවල ප්‍රධාන දේශපාලනික් කඳවුරු දෙක වූයේ බටහිර හා සමීප වීමට පක්ෂ පිළ සහ රුසියාව සමග සමීප වීමට පක්ෂ පිළ යි. මැසඩෝනියාවේ ද මෙම තත්ත්වයෙහි ලොකු වෙනසක් වූයේ නැහැ. කෙසේ නමුත් මැසඩෝනියාවට බටහිර සමග සමීප වීමට නොහැකි සුවිශේෂී කරුණක් ද වුණා. මැසඩෝනියාව යන නමින් නේටෝ සංවිධානයට හෝ යුරෝපා සංගමයට එම රාජ්‍යය ඇතුල් වීම පිළිබඳ ග්‍රීසිය විරුද්ධ වුණා.

1991 දී මැසඩෝනියාව ස්වාධීන වීමේ සිටම මෙම ග්‍රීක විරෝධතාව මතු වූ අතර එම කරුණ නිසා මුල් කාලීනව මැසඩෝනියාවට අන්තර්ජාතික පිළිගැනීම ලබාගැනීමත් පහසු වූයේ නැහැ. මේ අතර ග්‍රීසියේ ද මේ කරුණ අරභයා විශාල විරෝධතා ඇති වුණා. කල් යාමේ දී "මැසඩෝනියා ජනරජය​" යන නම බොහෝ රටවල් පිළිගත් නමුත් ග්‍රීක විරෝධය දිගටම පැවතුණා. මේ පිළිබඳව එරට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද කරුණු දැක්වූවා. මේ අනුව මැසඩෝනියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත්තේ මැසඩෝනියා පැරණි යුගෝස්ලාව් සමූහාණ්ඩුව (Former Yugoslav Republic of Macedonia) යන නමින්. එසේ සාමාජිකත්වය ලැබුණේ 1993 දී යි.

ආර්ථික සම්බාධක​

1994 දී ග්‍රීසිය විසින් මැසඩෝනියාව වෙත ආර්ථික සම්බාධක පැනවුණා. මැසඩෝනියාව ගොඩබිමින් වට වූ රටක් වන හෙයින් ඔවුන් සිය ප්‍රධාන වරාය ලෙස භාවිතා කළේ ග්‍රීසියේ තෙසලොනිකි නගරය යි. ආර්ථික සම්බාධක පැනවීමත් සමග එම වරාය මැසඩෝනියාවට වැසී ගියා.

මේ අතර ග්‍රීසිය විසින් මැසඩෝනියාව වෙත විවිධ ඉල්ලීම් කළා. මැසඩෝනියා ධජයේ වූ වර්ජිනා සූර්ය සලකුණ ඉවත් කළ යුතුය යන්න ඉන් එකක්. ග්‍රීසිය කියා සිටියේ එය ඓතිහාසික​ ග්‍රීක සංකේතයක් බව යි. තව ද මැසඩෝනියාවේ ව්‍යවස්ථාවේ ද ඇතැම් වගන්ති සංශෝධනය කළ යුතු ය යනුවෙන් ග්‍රීසිය බලපෑම් කළා.

ග්‍රීක මැසඩෝනියාවේ ධජය (Wikimedia Commons)
1992 සිට 1995 දක්වා වූ මැසඩෝනියා ජනරජයේ ධජය​ (Wikimedia Commons)
1995 න් පසු මැසඩෝනියා ධජය​ (Wikimedia Commons)

1995 දී දෙරට අතර ආර්ථික සබඳතා නැවත ඇති කිරීමට එකඟතාවක් ඇතිවුණා. මැසඩෝනියා ධජය ද වෙනස් කරනු ලැබුණා. නමුත් මැසඩෝනියා නමේ ආරවුල විසඳනු ලැබුණේ නැහැ.

එකඟතාවයක් කරා

2001 දී මැසඩෝනියාවෙහි දේශපාලනය වෙනස් මඟක් ගැනීමට හේතු වූ සිදුවීමක් වුණා. එනම් එහි ඇල්බේනියානුවන් අතර සන්නද්ධ බෙදුම්වාදී ව්‍යාපාරයක් බිහි වීම යි. එයින් පසු ග්‍රීසිය ඇතැම් අවස්ථාවල මැසඩෝනියාව යුරෝපා සංගමය සහ නේටෝව සමග සම්බන්ධ වීම පිළිබඳ යම් ධනාත්මක ස්ථාවරයක් පෙන්නුම් කළා. එහෙත් ඒ කිසිදු අවස්ථාවක එම කටයුතු ඉදිරියට යාමට ඔවුන් ඉඩක් දුන්නේ නැහැ.

මේ අතර 2011 දී මැසඩෝනියාවේ අගනුවර වන ස්කොප්යේහි දී මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ප්‍රතිමාවක් නිරාවරණය කරනු ලැබුණා. මේ අවස්ථාවේ දී නැවතත් ග්‍රීසිය සිය අප්‍රසාදය පළ කළා. ඔවුන් යළිත් චෝදනා කළේ මැසඩෝනියාව විසින් තමන්ට අයත් ඓතිහාසික චරිතයකට අයිතිවාසිකම් කියන බව යි.

තත්ත්වය සමනය වීමට වූයේ 2017 දී සොරාන් සයේව් මැසඩෝනියා අගමැති ලෙස පත් වූ පසු යි. ඔහු ග්‍රීසිය සමග මේ පිළිබඳ සාකච්ඡා කරන බව කියා සිටියා. මේ අනුව ග්‍රීසියේ අගමැති ඇලෙක්සිස් සිප්‍රාස් සමග ඔහු මේ පිළිබඳ සාකච්ඡා පැවැත්වූවා.

එකඟතා ගිවිසුමෙන් පසු සිප්‍රාස් (දකුණේ) සහ සයේව් (Wikimedia Commons)

මැසඩෝනියාවේ නම උතුරු මැසඩෝනියාව ලෙස වෙනස් කිරීම පිළිබඳ දෙරට අතර එකඟතාවක් ඇති වූයේ 2018 ජූනි 12 වන දා යි. මේ අනුව එම වසරේ සැප්තැම්බර් 30 වනදා මැසඩෝනියාවෙහි පවත්වන ලද ජනමත විචාරණයකින් එම යෝජනාව සම්මත කරනු ලැබුණා. මෙහිදී වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 94ක් එම යෝජනාව අනුමත කළා. නමුත් ඡන්ද ප්‍රකාශ කළේ ඡන්දදායකයින්ගෙන් සියයට 37ක් පමණ යි.

කෙසේ නමුත් දෙරටෙහි පාර්ලිමේන්තුවලට මෙම එකඟතාව ඉදිරිපත් කරගෙන සම්මත කරගනු ලැබුණා. ග්‍රීක පාර්ලිමේන්තුවේ දී එම යෝජනාව සම්මත වූයේ ඉතා සුළු වැඩි ඡන්ද ගණනකින්. එමෙන්ම පාලක සන්ධානයේ එක් පක්ෂයක් ඉන් ඉවත්ව යාම නිසා සිප්‍රාස්ට පාර්ලිමේන්තු බහුතරය ද අහිමි වීමට එය හේතු වුණා. මේ අතර ග්‍රීසිය පුරා උද්ඝෝෂණ ද ඇති වුණා.

"මැසඩෝනියාව යනු ග්‍රීසිය යි" යන සටන් පාඨය යටතේ ග්‍රීසියේ වූ විරෝධයක් (Al Jazeera)

මේ සියල්ල මධ්‍යයේ අදාල එකඟතාව 2019 පෙබරවාරි 12 වන දා ක්‍රියාවට නැංවුණා. මැසඩෝනියාවේ නම උතුරු මැසඩෝනියාව ලෙස වෙනස් කරනු ලැබුණා. ඒ සමගම එම රාජ්‍යය යුරෝපා සංගමයේ සහ නේටෝවේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා කටයුතු කරන බව ප්‍රකාශ කෙරුණා.

පැරණි ගමන් බලපත්‍රවල ද රටේ නම වෙනස් වීම දැක්වීමට මුද්‍රාවක් තබා තිබෙනවා (Chamara Sumanapala)

ජනමත විචාරණයෙන් කුමක් කීවත් මැසඩෝනියානුවන් සැලකිය යුතු පිරිසක් රටේ නම වෙනස් කිරීමට විරුද්ධ වනවා. එය හොඳින් පෙනුණ අවස්ථාවක් වූයේ රටේ නම අලුත් වීමට පෙර සිය ගමන් බලපත් සාදා ගැනීමට උනන්දු වූ පිරිස් සංඛ්‍යාව දකිද්දී යි.

කෙසේ වෙතත්, පැරණි ගමන් බලපත්‍රවල ද රටේ නම වෙනස් වීම දැක්වීමට මුද්‍රාවක් තබා තිබෙනවා.

Cover Image: නම වෙනස් කිරීමට එරෙහි විරෝධයක් (Getty Images)