Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගම්පෙරළියේ මහගෙදර වූ බලපිටිය මහා කප්පින වලව්ව

මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ ගම්පෙරළිය නවකතාව පාදක කරගෙන ආචාර්යය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ගම්පෙරළිය චිත්‍රපටය සහ පසුකාලීන ව නිර්මාණය වූ ගම්පෙරළිය ටෙලිනාට්‍යය යම් දිනෙක ඔබ නරඹා ඇත්නම් එහි කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ නිවස අනිවාර්යයෙන් ම ඔබේ මතකයේ ඇති.

විශාල කුළුණු රැසක් සහිත දිගු එළිමහන් ආලින්දයකින් යුක්ත වූ ඒ සුවිසල් නිවස ඉපැරැණි ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදි කර තිබූ එකක් වන අතර එය හැඳින්වූයේ මහා කප්පින වලව්ව ලෙසිනි. අනුරාධපුර යුගය දක්වා දිවෙන ඉතිහාසයක් ඇති පරපුරකට සෙවණ දුන් මෙම නිවස මෙරට දකුණු පළාතේ පිහිටි පැරැණිත ම වලව්වලින් එකක් ද විය.

පසුකාලීනව නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා විනාශ වී ගිය මෙම වලව්වේ ජීවත් වූ පරපුරට අනුරාධපුර යුගය දක්වා දිව යන ඉතිහාසයක් ඇති අතර මෙම ලිපිය මහා කප්පින වලව්ව හා එහි සෙවණ ලැබූ පරපුර පිළිබඳ ව යි.

ගම්පෙරළිය රූගත කිරීම් අතරතුර- Facebook- Bertram Nihal

මහා කප්පින වලව් පරපුරේ ආරම්භය

ඓතිහාසික මූලාශ්‍රවලට අනුව කප්පින පරපුරේ ඉතිහාසය අනුරාධපුර රාජධානි සමය දක්වා දිව යයි. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීමේ දී එම පිරිස සමඟ මෙරටට පැමිණි ඉසුරුමුණි කප්පින නම් බමුණා එම බෝධීන් වහන්සේගෙන් පැන නැඟුණු දෙතිස් පලරුහ බෝධීන් වහන්සේ නමක් ද රැගෙනවිත් බලපිටියේ වැලිතොට පිහිටි ඇඹලව ගල් වෙහෙර නම් විහාරස්ථානයේ රෝපණය කළ අතර ඉන්  අනතුරුව ඔහු මෙම ප්‍රදේශයේ ප්‍රභූවරයකු ලෙස ජීවත් වී ඇත.

මෙම බමුණු පරපුර පෘතුගිසි සමයේ දී සීතාවක රාජසිංහ රජුට උපකාර කර ඇති අතර එකල මෙම පරපුරේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ කප්පින සේනානායක නම් ප්‍රභූවරයකි. ඔහු ප්‍රබල රණශූරයකු ලෙස කටයුතු කර ඇති අතර පසුකාලීන ව සීතාවක රාජසිංහ රජු සමඟ ඇති වූ මතබේදයක් හේතුවෙන්  ඔහු මරා දමන ලෙස රජු අණ කර ඇත. ඔහු මරා හිස රැගෙන එන තැනැත්තකුට තෑගි ‌බෝග ද ලබා දෙන බවට ප්‍රචාරය කළ අතර එම සිදුවීම පාදක කරගෙන අපූරු ජනකවියක් ද නිර්මාණය වී තිබේ.

කඳ ගෙන ගොසින් බග වත්තේ දමා        පිලූ
හිස ගෙන ගොසින් සීතාවකට දී.             පිලූ
රුව ගෙන ගොසින් කොඩි ලන්සේ ලියා     පිලූ
කප්පින මුදලි නයිනන්කඩ මරා               පිලූ

එසේම පෘතුගීසින් ලංකාව පාලනය කරනු ලැබූ කාලය තුළ පුත්තලමේ සිට කුඹුක්කන් ඔය දක්වා ප්‍රදේශය තොටමුණු (ප්‍රාදේශීය පරිපාලන ඒකකයක්) හයකට බෙදා පාලනය කර ති‌බෙන අතර එයින් වැලිතර, වැලිසර සහ කළුවාමෝදර යන තොටමුණ හතරේ ප්‍රධානීන් වූයේ කප්පින පෙළපතේ ප්‍රභූන් ය. ඊට අමතර ව කුරුඳු වගාවේ මහබද්දේ (කාර්‍යංශයට සමාන ආයතනයක්) ප්‍රධාන තනතුරු හොබවන ලද්දේ ද මහා කප්පින වලව්වේ විසූ ප්‍රභූන් විසිනි.

කොළඹ මාළිගාකන්දේ මහමුදලි වලව්ව හා විවාහ සබඳතා ඇති වීම

කොළඹ මාළිගාකන්දේ පිහිටි මහ මුදලි වලව්වේ (වර්තමාන කුප්පියාවත්ත ජයශේකරාරාමය) දිවි ගෙවූ අද්‍රියන් ද ආබ්‍රේව් විජයගුණරත්න මුදලිතුමාට කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය කුරුඳුවත්ත, බොරැල්ල සහ මරදාන යන ප්‍රදේශ  අයත් ව තිබූ අතර ඒවා ඔහුගේ කුරුඳු වගා කළ ඉඩම් ය. ඊට අමතරව ගල්කිස්සේ, ටෙම්ප්ලර්ස් පාරේ සිට වටරප්පල දක්වා කොටස එම මුදලිතුමන්ගේ කුරුඳු වගාවක් පිහිටා තිබූ විශාලත ම ඉඩම බව පැවසේ.

වර්තමාන කුප්පියාවත්ත ජයශේඛරාරාමය- Facebook- වලව්ව 

ජූරි සභාවක් සහිතව නඩු විසඳීමේ තනතුරට පත් වූ ප්‍රථම සිංහල විනිශ්චයකාර පදවිය හිමි වන්නේ ද මෙම මහමුදලිවරයාට වන අතර දොළොස් දෙනකුගෙන් යුත් ආරක්ෂක හමුදා ඛණ්ඩයක් මෙන් ම ආණ්ඩුකාරවරයා හැරුණ විට අශ්වයන් හතර දෙනකු බැඳි රියක් භාවිත කිරීමට එකල අවසර තිබුණේ ද ඔහුට පමණක් බව කියැවේ.

ලංකාවේ අවසන් රජු වූ ශ්‍රි වික්‍රම රාජසිංහ රජු සහ බිසවුන් දෙදෙනා ඉංග්‍රීසින්ගේ රැකවරණය යටතේ කොළඹ රඳවා සිටි කාලයේදී එම රාජකීයන් මුණගැසීමට අවස්ථාව මෙම මුදලිවරයාට පමණක් ලැබුණු අතර ඒ අනුව රජ පවුලට අවශ්‍ය  ආහාර වර්ග හා රෙදිපිළි සැපයීමටත් අවසරය හිමි ව තිබුණේ ඔහුට පමණි.

1824 වසරේදී ඔහු අවුරුදු පනස් හතක් ආයු වළඳා මිය යාමෙන් අනතුරු ව මහමුදලි ධූරයට පත් වූයේ ඔහුගේ ඥාති සොහායුරකු වූ අද්‍රියන් ද ආබ්‍රේව් විජය ගුණරත්න රාජපක්‍ෂ (කණිෂ්ඨ) මහ මුදලිවරයා ය. 1830 වසරේදී මහා බද්දේ ඒකාධිකාරය අවසන් වීමෙන් පසු කුරුඳු ඒකාධිකාරය අද්‍රියන් රාජපක්‍ෂ මුදලිතුමන් යටතට පත්වන අතර කුරුඳු ‍අපනයනය කිරීම සඳහා අවසරලත් ප්‍රථම ලාංකිකකයා වීමේ ගෞරවය හිමි වන්නේ ද ඔහුට ය. ඔහු මහා කප්පින වලව්වේ විසූ හල්ජෝති කැරොලයින් ද සොයිසා විජය සිරිවර්ධන ළමාතැනී සමඟ විවාහ වී ඇත.

කප්පින වලව්ව නව ආකෘතිය ඉදි කිරීම

කොළඹ- ගාල්ල මහා මාර්ගයේ බලපිටිය තරුණ බෞද්ධ සංගමය හා ගුරු විදුහල මැදින් වැටී ඇති මාර්ගයේ මීටර් සියයක් පමණ දුර ගෙවා ගිය විට මහා කප්පින වලව්ව පිහිටා තිබූ භූමියට ළඟා විය හැකි අතර එකල මෙම වලව්ව මාදු ගං ඉවුර දක්වා විහිදී ගිය අක්කර විසි දෙකක පමණ වපසරියකින් යුතු පොල් රුප්පාවක් මැද පිහිටා තිබූ බව කියැවේ. විවිධ යුගවලදී සමකාලීන ගෘහ නිර්මාණ ශිල්පයන්ට අනුව වෙනස් වූ මහා කප්පින වලව්ව ඕලන්ද ගෘහ නිර්මාණ අනුව අවසන් වරට වෙනස් කර ඇත්තේ මෙම අද්‍රියන් රාජපක්‍ෂ මුදලිතුමන් ය.

ජනප්‍රවාදයන්ට අනුව ඔහු මෙම නව වලව්ව ඉදිකිරීමට මුල්ගල තැබූ අවස්ථාවේ කිරි ඉබ්බකු පොළොවෙන් මතු වී ඇති අතර අත්තිවාරම කපන අවස්ථාවේ ඇති වු මෙම සිද්ධියෙන් මුදලිතුමන් කනස්සල්ලට පත්ව ඇත. කෙසේ වෙතත් එහි සිටි දෛවඥයන් මුදලිතුමාට පවසා ඇත්තේ විෂ්ණු දෙවියන්ගේ දස අවතාරයන්ගෙන් දෙවන අවතාරය ලෙස ගැනෙන ඉදිබුවා (ඉබ්බා) සුබ ලකුණක් බැවින් ඒ පිළිබඳ ව සතුටු විය යුතු බව ය. එම කරුණු පැහැදිලි කිරීමෙන් පසු අතිශය සතුටට පත් ඔහු අත්තිවාරම් කපා වලව්ව ඉදිකර වූ බවට ජනප්‍රවාදයන්හි සඳහන් වේ.

වලව්වේ තොරතුරු

මුදලිතුමන් ඉදි කරවූ මෙම නව වලව්වේ තුන් පසකට විහිදී ගිය ආලින්දයක් තිබූ අතර එය ලන්දේසි ගෘහනිර්මාණ ශිල්පය පිළිබිඹු කරන විශාල උස් කණු යොදා ගනිමින් ඉදිකර තිබිණි. මැද මිදුල්, නිදන කාමර, නාන කාමර, ප්‍රධාන සාලය ඇතුළු සාලවල් තුනකින් හා විශාල කෑම කාමරයකින් සමන්විත මහා කප්පින වලව්වේ විශාල මුළුතැන්ගෙයක් හා සේවකයන්ට වෙන් වූ කාමර ද තිබී ඇත. වලව්වට පසෙකින්  මුදලිතුමන්ගේ අශ්වයන් වෙනුවෙන් ඉදි කළ අශ්වගාලක් තිබූ අතර බුද්ධ වන්දනා කටයුතු සදහා දෙමහල් විහාර මන්දිරයක් ද ඉදි කරවා ඇත.

වලව්වේ පැරැණි ඡායාරූපයක් –  ලංකාදීප

සැම්සන් රාජපක්ෂ මහ මුදලිතුමා

අද්‍රියන් රාජපක්‍ෂ මහ මුදලිතුමන්ගේ එක ම පුතු ලෙස සැම්සන් රාජපක්‍ෂ 1830 වසරේ දෙසැම්බර් මස 30 වන දින උපත ලද අතර අද්‍රියන් රාජපක්‍ෂ මුදලිතුමන් සමඟ හිතවත්ව සිටි ඉංග්‍රීසි ජාතික උප කපිතාන්වරයකුගේ නම සිහිවීමට ඔහුට ‘‘සැම්සන්’’ යන නම තැබූ බව සඳහන් වේ.

කුඩා කල බලපිටියේ ධීරානන්ද හිමියන් වෙතින් සිංහල භාෂාව හැදෑරූ සැම්සන් ඉන් අනතුරු ව එවකට කොළඹ ඇකඩමිය නමින් හැඳින්වූ වර්තමාන රාජකීය විද්‍යාලයට ඇතුළත්ව ඉංග්‍රීසි භාෂාව මනා ලෙස හැදෑරුවේ ය.  පසුව සිය ගම් ප්‍රදේශයට නැවත පැමිණි මොහු කහවේ ඥානානන්ද හා ලංකාගොඩ ධීරානන්ද යන හිමිවරුන් වෙතින් ධර්ම ශාස්ත්‍ර හැදරී ය. 

සැම්සන් රාජපක්ෂ 1856 වසරේදී ලුණුපොකුණ වලව්වේ විසූ ජොහානා ඩොරතියා ළමාතැනී සමඟ විවාහ විය. කෙසේ නමුත් කෙටි කලකින් සිය බිරියගේ සහ දරුවන් දෙදෙනාගේ අකල් වියෝවෙන්  ඔහු බලවත් ලෙස කම්පාවට පත් වූ අතර මාපියන්ගේ බලවත් ඉල්ලීම පරිදි සිය ඥාතිවරියක සමඟ නැවත විවාහ විය. එම විවාහයෙන් ඔවුන්ට දරුවන් දෙදෙනකු විය.

සැම්සන් රාජපක්ෂගේ පිළිරුවක් – Google Map- Prasanna Lakmal

සමාජ සේවා කටයුතු සහ අභාවය

සැම්සන් රාජපක්ෂ විවිධ සමාජ සේවා කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් පරිත්‍යාග කළ අතර වෛද්‍ය පීටර් ඩැනියෙල් ඇත්තනීස් මහතා ගාලු නගරවාසීන්ට කළ සේවාව ඇගයීම සඳහා ගාලු කොටුවේ පිහිටි ඔරලෝසු කණුව ඉදිකිරීමට ද සම්පූර්ණ අනුග්‍රහය දැක්වූයේ ය.

 1887 වසරේ දී බලපිටිය රෝහල ඉදි කිරීම සඳහා අවශ්‍ය ඉඩම් පරිත්‍යාග කළ ඔහු මාදු ගඟ මැද පිහිටි දූපතක පිහිටි කොත්දුව විහාරය යළි ඉදි කරවීමට ද මූලිකත්වය ගෙන කටයුතු කළේ ය. ඊට අමතරව 1878 වසරේදී ලංකාවට වැඩම කළ බුරුම ජාතික රාජගුරු ජාගර හිමියන්ට උපස්ථාන කළ ඔහු උන්වහන්සේගේ අවවාද අනුව එතෙක් ‌බෙදී සිටි අමරපුර නිකායික මහා සංඝයා සමගි කිරීමට ද උත්සහ දරා ඇත. ජාගර හිමියන්ගේ අවවාද අනුශාසනා මත මාදු ගඟේ ‘ස්වෙජින්’ නමින් උදකුක්ඛේප සීමා මාලකයක් ද මුදලිතුමන් තැනවී ය.

සමාජ මෙහෙවර අගයමින් 1876 වසරේදී සමස්ත ලංකා සාම විනිසුරු පදවියෙන් ද, වාසල මුදලි පදවිය ඇතුළු තවත් තනතුරු රැසකින් පිදුම් ලැබූ ඔහු ඔහු 1888 වසරේ ජනවාරි මස 26 වැනි දින අභාවප්‍රාප්ත විය.

ටියුඩර් රාජපක්ෂ

සැම්සන් රාජපක්ෂ මහමුදලිතුමන්ගේ එක ම පුතු වූයේ ටියුඩර් දීදෙරක් නතානියල් රාජපක්ෂ නැතහොත් ටියුඩර් රාජපක්ෂ මහමුදලිතුමන් වන අතර ඔහු සිය පියාගේ අඩිපාරේ යමින් ව්‍යපාර කටයුතු මෙන්ම සමාජ සේවා කටයුතු ද රැසක් ඉටු කර ඇත.

සැම්සන් රාජපක්ෂ සහ ටියුඩර් රාජපක්ෂ/ ලංකාදීප

1898 වසරේ දී මීගමුවේ මැග්ඩලීන් ජෝන් ද සිල්වා රාජපක්ෂ මුදලිතුමන්ගේ දියණියක වූ ප්‍රාන්සස් ලීලි ළමාතැනී සමඟ යුග දිවියට පත් ටියුඩර් රාජපක්ෂ මහමුදලිතුමන්ට බ්‍රියට්‍රිස් ශීලා, හියුබට් රාජපක්ෂ සහ ටියුඩර් ලැන්ස්ලොට් යන නමින් දරුවන් තිදෙනෙක් වූහ.

කටුනායක ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා අක්කර දහයක් පරිත්‍යාග කෙරුණේ ඔහු සතු ඉඩම්වලින් වන අතර බලපිටිය තරුණ බෞද්ධ සංගමය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වූ ඉඩම ද පරිත්‍යාග කළේ ද, එහි ගොඩනැගිල්ලක් ඉදි කළේ ද ඔහු ය. සිය බිරියගේ පියා සිහිවීම සඳහා මීගමුව රෝහලේ අංග සම්පූර්ණ සූතිකාගාරයක් තනවා පරිත්‍යාග කළ ඔහු චිත්‍ර කලාවට ද දස්කම් දැක්වූ අයකු විය.

ජීවිතයේ අවසාන භාගයේදී, 1956 වසරේ මාර්තු මස 04 වැනි දා  මහා කප්පින වලව්ව හා ඉඩම උපසම්පදා කටයුතුවලට පමණක් පරිහරණය කිරීමට හැකිවන පරිදි සඟ සතු කොට පූජා කිරීමට ඔහු කටයුතු කළේ ය.

වර්තමානයේ දැකිය හැකි වලව්වේ ආකෘතිය/ Facebook- Bhikku Siri Sivali

වර්තමාන තත්ත්වය

මෙවැනි අතීතයකට හිමිකම් කියන මහා කප්පින වලව්ව පසුකාලීනව ගම්පෙරළිය ආදී චිත්‍රපට හා ටෙලිනාට්‍ය කිහිපයක් රෑගත කිරීම සඳහා යොදා ගැනිණි. නිසි පරිදි සංරක්ෂණය නොකිරීම නිසා පසු ව එය ගරා වැටුණු  අතර වර්තමානයේ එම භූමියේ දක්නට ලැ‌‌බෙන්නේ වලව්වේ ආකෘතියක් ලෙස ඉදිකරන ලද විහාරස්ථානයකි. බලපිටිය මහ කප්පින වලව්ව සීමා මාලක විහාරස්ථානය ලෙස නම් කොට ඇති මෙය අමරපුර ශ්‍රී සද්ධම්මවංශ නිකායේ මූලස්ථානය ලෙසින් සලකනු ලැබේ.

කවරයේ පින්තූරය- මහා කප්පින වලව්වේ පැවැති පිංකමක් - ලංකාදීප

 මූලාශ්‍ර:

සුද්දන්ටත් අණ දුන් බළපිටියේ මහමුදලි (ලංකාව බැබළ වූ සිටුවරු 1- 2)  -හේමන්ත ද සිල්වා

ගාලු කොටුවේ ඔරලෝසු කණුව ලන්දේසීන්ගේ ද සිංහලයන්ගේ ද? - දේ.සූ. ද සොයිසා

Related Articles