Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව පළමු අගමැතිනිය හැදී වැඩුනු මහවලතැන්න වලව්ව

සබරගමුව පළාත තුළ, විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කය තුළ සියවස් ගණනාවක් පැරැණි වලව් කිහිපයක්ම දැකිය හැකිය. ඒ අතර මහවලතැන්න වලව්ව, ඇහැළේපොල වලව්ව, එක්නැළිගොඩ වලව්ව, ඉද්දමල්ගොඩ වලව්ව, සහ ඇමිටියගොඩ වලව්ව (ඇමටියගොඩ වලව්ව ගැන මෙතැනින් කියවන්න: අදටත් ‍රැකී තිබෙන ඇමටියගොඩ වලව්ව) වැනි ඒවා ප්‍රධාන තැනක් ගනියි. මේ සියලු වලව් දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියයි. 

ඇහැලේපොළ වලව්ව ආදී තවත් වලව් කීපයක් ගැන කතා කියවන්න: උඩරට වලව්වල සැඟවුණු අපූරු කතා

මේවාට අමතරව තවත් සුවිශේෂී වලව්වක් රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍රදේශයට වන්නට පිහිටා ඇත. එය අන් කවරකුත් නොව, ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක කුඩාකල හැදී වැඩුනු මහවලතැන්න වලව්ව යි.

වලව්වේ ඉදිරිපස/බලපිටියේ සිරි සීවලී හිමි- මහා කප්පින සීමා මාලක විහාරය

වලව්වේ ආරම්භය සහ පිහිටීම

බලංගොඩ නගරයේ සිට වැලිගෙපල ප‍්‍රධාන මාර්ගයේ සැතපුම් හයක් පමණ පැමිණෙන විට හමුවන ගල්ගොඩ ඉඹුලමුර හන්දියෙන් වමට සැතපුමක් පමණ ගිය විට දී මහවලතැන්න වලව්ව හමුවේ. මෙය අගමැති සිරිමාගේ මව වන රොස්මන්ඩ් හිල්ඩා කොන්ස්ටන්ටයින් මහවලතැන්න කුමාරිහාමිට අයත් වූ දේපළක් වන අතර, එහි ආරම්භය පිළිබඳව විවිධ මූලාශ්‍රයයන්හි සඳහන් වේ. ඒවාට අනුව මෙහි මුල්ම වලව්ව ඉදිකර ඇත්තේ වර්තමානයේ දක්නට ලැබෙන වලව්වට පසුපසින් වන අතර, එය මැද මිදුල් හතකින් යුතු ගොඩනැගිල්ලක් බව ද කියැවේ.

එන්. ඩී. මහවලතැන්න නම් අදිකාරම්වරයෙකුගෙන් පැවැත එන බවට සැලකෙන මහවලතැන්න පරපුර, සබරගමු පළාතේ කීර්තිමත් ප්‍රභූ පෙළපතක් ලෙස ජනතා ගෞරවයට පාත්‍රවිය. මෙම අදිකාරම්වරයා මුලින් ජීවත්වී ඇත්තේ ගොඩකුඹුර ප‍්‍රදේශයේ වලව්වක වන අතර, ඔහු විසින් මහවලතැන්න වලව්ව ඉදිකිරීම සඳහා එය පිහිටි ඉඩම තෝරාගත් ආකාරය පිළිබඳ අපූරු කතන්දරයක් තිබේ.

වලව්ව ඉදිකිරීම සඳහා ස්ථානය තෝරාගත් අයුරු

එකල අදිකාරම්වරයා සතු ගවයින්ට තණකොළ කැවීම සඳහා ඔහු යටතේ සිටි සේවකයින් ගව රංචුව දැක්කීමට හුරුව සිට ඇත්තේ වර්තමාන මහවලතැන්න වලව්ව පිහිටි ප්‍රදේශය ආශ්‍රිත කැලෑවට ය. සමහර අවස්ථාවල දී ගවයින් තණකොළ බුදින අයුරු නැරඹීම සඳහා අදිකාරම්වරයා ද එම ස්ථානයට යන බවත් පැරැණි මූලාශ්‍රවල සඳහන් වේ.

මෙසේ ගව රංචුව තණ බුදින අයුරු දැකබලා ගැනීමට එහි ගිය එක්තරා අවස්ථාවක, නරියෙකු හාවෙකු පසුපස ලුහුබැඳ එනු දුටු අදිකාරම්වරයා ඒ පිළිබඳව විමසිලිමත් වී තිබේ. දිව ආ හාවා එක්තරා ස්ථානයක දී නැවැතී, තමන් පසුපස හඹා ආ නරියා පසුපස ආපිට ලුහුබැඳ යන අයුරු අදිකාරම්වරයා දුටුවාලු. එසේ හාවා නරියා පසුපස හඹා යන්නේ එම ස්ථානය වාසනාවන්ත භූමියක් නිසායැ යි සිතූ අදිකාරම, මැද මිදුල් හතකින් යුතු මහවලතැන්න වලව්ව එම ස්ථානයේ ඉදිකළ බව කියැවේ. කෙසේ නමුත් මෙවැනිම ජනප්‍රවාදයක් රටේ කීපපොළක්ම අලලා ගෙතී ඇති නිසා, මෙහි සත්‍යාසත්‍යතාව පිළිබඳ සහතික විය නොහැකිය.

වලව්වේ ඇතුළත ඡායාරූපයක්/විහාර සබරගමුව

මෙම අදිකාරම්වරයාගෙන් පසුව ඔහුගේ පුත්‍රයෙකු වූ මුදලිවරයෙකු විසින් මහවලතැන්න වලව්ව ආසන්නයේ විහාරස්ථානයක් ද කරවා ඇති අතර, එය “චන්ද්‍රසේකර මුදලින්දාරාමය” ලෙස වර්තමානයේ ද දැකිය හැකියි. ඔහු දකුණු පළාතේ වලව්වකින් පැවැත ආ තරුණියක සමග විවාහ වන අතර, ඔවුන්ට එක් පිරිමි දරුවෙකු සහ ගැහැණු දරුවෙකු සිටි බව සඳහන් වේ. ඉන් පිරිමි දරුවා වූ සැමුවෙල් ඩේවිඩ් මහවලතැන්න, රත්නපුර බටුගෙදර පිහිටි එල්ලාවල වලව්වේ තරුණියක සමග විවාහ වී ඇත. එම තරුණියගේ සහෝදරයා, එනම් ෆ්‍රැන්සිස් එල්ලාවල, විවාහ වී ඇත්තේ සැමුවෙල් ඩේවිඩ් මහවලතැන්නගේ සහෝදරිය සමග යි.

පැරැණි වලව්ව වෙනුවට අළුත් වලව්වක් ඉදි කිරීම

වර්තමානයේ දැකිය හැකි මහවලතැන්න වලව්ව ඉදිකෙරී ඇත්තේ සැමුවෙල් ඩේවිඩ් මහවලතැන්න විසිනි. ඔහු විසින් මහවලතැන්න වලව් භූමියේ වගා කෙරුණු ඖෂධ උයන තාමත් සුරැකිව පවතියි. වර්තමාන වලව්ව 1900ත් 1911ත් අතර කාලය තුළ, මුලින් ඉදිකළ වලව්ව පිහිටා තිබූ ස්ථානයේම ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකර තිබේ. එය විශාල විසිත්ත කාමරයකින් සහ නිදන කාමර හතරකින් යුක්ත වන අතර සේවක කාමර කිහිපයක් සහ මුළුතැන්ගෙය දෙකකින් ද සමන්විත ය. පැරැණි නිවෙස්වල දක්නට ලැබුණු අනිවාර්ය අංගයක් වූ සොල්දරයක් මෙහි ද ඉදිකිරීමට සැලසුම්කර තිබූ නමුත් එය ඉදිකර නොමැත.

වලව්ව වටාම දිවෙන විවෘත ආලින්දයක් තිබීම විශේෂ වන අතර, එහි ඇති ආරුක්කු වලව්වට විශාල අලංකාරත්වයක් ගෙන දෙයි. වලව්වේ සියලුම දැව කොස් වන අතර දිසාවගේ අධිකරණ ශාලාව, කාර්යාල කාමරය, මහජන හමුවීම් ස්ථාන ආදිය වලව් භූමියේම ඉදිකර තිබී ඇත.

රත්වත්තේ පරපුර සමග සම්බන්ධ වන අයුරු

සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක/sirimavobandaranaike.lk

සැමුවෙල් ඩේවිඩ් මහවලතැන්නගේ එක් දියණියක් වන රොස්මන්ඩ් හිල්ඩා  කොන්ස්ටන්ටයින් කුමාරිහාමි උපත ලැබුවේ ද එල්ලාවල වලව්වේ ය. සැමුවෙල් ඩේවිඩ් මහවලතැන්න රටේ මහත්මයාට පිරිමි දරුවන් නොසිටි නිසා, බින්න විවාහයකට (බිරිඳගේ නිවසේ නවාතැන් ගැනීමට) කැමැති අයෙකු ඔහුගේ එක් දියණියක් වූ මේ රොස්මන්ඩ් හිල්ඩා කොන්ස්ටන්ටයින් කුමාරිහාමිට විවාහකර දීමට ඔහු කටයුතු යෙදුවේ ය.

ඇය සමග විවාහ වන, උඩරට ප්‍රභූ පරපුරක් වන රත්වත්තේ පරපුරේ බාන්ස් රත්වත්තේ දිසාව (1883- 1957) ඒ අනුව මහවලතැන්න වලව්වේ පදිංචි වන අතර, පසුකාලීනව ඔහු සිය මාමණ්ඩිය විසින් දැරූ බලංගොඩ රටේ මහත්මයා සහ දිසාවේ තනතුරවලට ද පත්විය. එයින් කලකට පසු රාජ්‍ය මන්ත්‍රණ සභාවට ද තේරී පත්වන්නට බාන්ස් රත්වත්තේ දිසාව සමත්විය.

මහවලතැන්න වලව්ව සතුව ඉපැරැණි පොත්පත් රාශියකින් සමන්විත පුස්තකාලයක් තිබී ඇත. රොස්මන්ඩ් හිල්ඩා කුමාරිහාමි විසින් විද්‍යෝදය විශ්වවිද්‍යාලයය – අද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය – ආරම්භ කරන අවස්ථාවේ එම පුස්තකාලය විශ්වවිද්‍යාල සිසුන්ගේ පරිහරණය සඳහා පරිත්‍යාගකර තිබේ. එම පරිත්‍යාගය, විශ්වවිද්‍යාලයය විවෘත කරන උත්සවයේ දී එහි නිර්මාතෘ වැලිවිටියේ සෝරත හිමියන් විසින් සඳහන් වී ඇත.

සිරිමා රත්වත්තේ සහ ඇගේ සොයුරු සොයුරියන්

වමේ සිට- සිරිමා, මව, පියා, සහෝදරිය/sirimavobandaranaike.lk

බාන්ස් රත්වත්තේ දිසාවට සහ කුමාරිහාමිට ක්ලිෆඩ් රත්වත්ත, සීවලී රත්වත්ත, බාන්ස් රත්වත්තේ (කනිෂ්ඨ), සහ මැකී රත්වත්තේ යනුවෙන් පිරිමි දරුවන් හතරදෙනෙකුත්, සිරිමා රත්වත්ත, විමලා පැට්‍රීෂියා රත්වත්තේ යනුවෙන් ගැහැණු දරුවන් දෙදෙනෙකුත් විය. මෙයින් සිරිමා රත්වත්තේ විවාහ වූයේ ගම්පහ නිට්ටඹුව පිහිටි හොරගොල්ල වලව්වේ පුත්‍රයා වූ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක සමග ය. පසුකාලීනව ඔහු ශ්‍රී ලංකාවේ සිව්වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වන අතර, ඔහුගේ අභාවයෙන් පසු සිරිමා රත්වත්තේ බණ්ඩාරනායක “ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය” ලෙස වාර්තාවක්  තබමින් මෙරට අග්‍රාමාත්‍යධුරයට පත්විය.

සිරිමා රත්වත්තේගේ සොහොයුරිය වූ විමලා පැට්‍රීෂියා රත්වත්තේ එඩ්වඩ් ජේම්ස් දිවිතොටවල සමග විවාහ වන අතර, ක්ලිෆඩ් රත්වත්තේ විවාහ වන්නේ රත්නපුර එල්ලාවල වලව්වේ මල්ලිකා එල්ලාවල සමග යි. ඇගේම සොහොයුරියක වූ රෝසිනී එල්ලාවල සීවලී රත්වත්තේ සමග විවාහ වන අතර සීවලී- රෝසිනී යුවලගේ දියණිය, ලක්මිණි රත්වත්තේ විවාහ වන්නේ උපාලි පුවත්පත් සමාගමේ නිර්මාතෘ උපාලි විජේවර්ධන සමග යි.

උපාලි විජයවර්ධන ගැන වැඩිදුර කියවන්න: උපාලි විජේවර්ධනගේ අභිරහස් අතුරුදන්වීම

වලව්වේ වර්තමාන තත්ත්වය

වලව්වේ මෑතකදී ලබාගත් ඡායාරූපයක්/විහාර සබරගමුව

වසර සියයකටත් වැඩි ඉතිහාසයකට උරුමකම් කියන මහවලතැන්න වලව්ව තවමත් කිසිදු හානියක් නොවී ඒ අයුරින්ම පවත්වාගෙන යන අතර, මෑතක් වන තුරුම එහි ජීවත් වූයේ, ක්ලිෆඩ් රත්වත්තේ සමග විවාහ වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී මල්ලිකා එල්ලාවල රත්වත්තේ ය. මන්ත්‍රිණියගේ අභාවයෙන් පසුව එම යුවලගේ දරුවන් වලව්වේ වාසය කරයි.

මූලාශ්‍රයයන්: sirimavobandaranaike.lk
swrdbandaranaike.lk
facebook.com/Chandrika Bandaranaike Kumaratunga
lankadeepa.lk
bbc.com
ගම්වැසියන්ගෙන් ලබාගත් තොරතුරු

Cover Photo- විහාර සබරගමුව

Related Articles