Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කාන්තා ව්‍යාපාරයට මුල්ගල තැබූ නිව්යෝක්හි තේ පැන් සාදය

කාන්තාවට හිමි විය යුත්තේ ‘සමතැන’ නොව ‘නිසිතැන’ බව බොහෝ විට සමාජයේ කාන්තා පුරුෂ දෙපාර්ශවයෙන් ම අසන්නට ලැබේ. මෙම ‘නිසිතැන’ ඉතිහාසයේ විවිධ කාලවකවානු තුළ දක්නට ලැබෙන අන්දම නම් සතුටුදායක නොවේ. විවධ කාලයන් තුළ නිසිතැන අර්ථ දක්වා ඇත්තේ කාන්තාවට හිතකර ලෙසින් නොවන බව පෙනේ. පුරාණ ඉන්දියාව තුළ තමන්ගේ සම්පූර්ණ ජීවිතය ම පුරුෂයෙකු යටතේ ජීවත් වීම කාන්තාවකගේ ඉරණම ලෙස සටහන් විය. යුරෝපය තුළ ද ප්‍රභූ කාන්තාව නිවසේ කටයුතු පවත්වාගෙන යන ගෘහ පාලිකාවන් වූ අතර, සාමාන්‍ය කාන්තාව වෙහෙසී ශ්‍රමය වගුරන ලද නමුත් කිසිදු අයිතිවාසිකමක් නොලද තැනැත්තියක් විය. වැඩවසම් යුගය අවසන් ව ධනවාදයට පිවිසුණු පසුව ද කර්මාන්ත ශාලා තුළ පවා අර්ධ වැටුප් ලබමින් සහ අඩත්තේට්ටම් සහිත ජීවිතයක් ඔවුන්ට උරුම විය. එසේ ම වෙහෙසී වැඩ කරමින් ආර්ථිකයට දායක වෙමින් ද, දරුවන් බිහි කරමින් ද, අනිවාර්ය ලෙස ම තමන් මත පටවන ලද වගකීමක් ලෙස දරුවන් රැකබලා ගනිමින් ද, නිවසේ කටයුතු ද ඉටුකරමින් සමාජ පැවැත්මට කෙතරම් දායක වුවත් ඡන්ද අයිතිය හෝ තීරණ ගැනීමේ අයිතිය පවා ඔවුනට හිමි නොවී ය.

කර්මාන්ත ශාලා තුළ කාන්තා ශ්‍රමිකයන් (historycrunch)

මෙය සාමාන්‍ය ස්වභාවය ලෙස සියලු දෙනා වටහාගෙන සිටියත්, පසු කලෙක මෙය අසාධාරණයක් බව පිරිසක් වටහා ගන්නා ලදී. තමන් ගත කළ ජීවිතවල නිස්සාරත්වය හමුවේ මීට වඩා යහපත් තත්ත්වයක් උදාකරගත යුතු ය යන අදහසින් සංවිධානය වීමට මුල් වූ පිරිස කාන්තා ව්‍යාපරයේ මුල්ගල් තබනු ලැබීය. කුළුගෙඩි පහර සියයකින් බිඳිය යුතු කළු ගලකට ආරම්භක කුළුගෙඩි පහර කිහිපය එල්ල කළ පිරිසකගේ කතාවකි මෙය.

නිව්යෝක්හි කාන්තා පාගමනක්- 1917දී (Wikipedia)

පසුකලෙක වර්ධනය වී ලෝකය පුරා පැතිර යන කාන්තා විමුක්ති ව්‍යාපාරයන්හි තිඹිරිගෙය බිහි වන්නේ නිව්යෝක් නගරයේ පැවැති තේ පැන් සංග්‍රහයකිනි. එය මතුපිටින් පමණක් තේ පැන් සංග්‍රහයක් විය. නමුත් එය සැබෑ ලෙස ම ඓතිහාසික හමුවක් විය. මෙය පවත්වන ලද්දේ 1848 ජූලි මස 9 වැනි දා නිව්යෝක්හි සැනේටා ෆෝල්ස්හි ජේන් හන්ට්ගේ නිවසේ දී ය. ජේන් හන්ට්ගේ ආරාධනය අනුව එලිසබෙත් කේඩි ස්ටැන්ටන්, ලුක්‍රීෂියා මෝට් සහ ඇගේ සොයුරිය, මාර්තා රයිට්, මේරි ඈන් මැක්ලින්ටොක් යන කාන්තාවන් මීට සහභාගී විය.

ලුක්‍රීෂියා මෝට් වහල් සේවය අහෝසි කිරීම වෙනුවෙන් දැඩි ව පෙනී සිටි අයෙක් වූ අතර මීට පෙර අවස්ථාවක ලන්ඩනයේ පැවති ලෝක වහල් විරෝධී සම්මේලනයකට සහභාගී ව තිබූ අතර, එහි දී පවා එම ස්ථානයට කාන්තා සහභාගීත්වය එහි ප්‍රධානීන් අනුමත නොකළ බව ඇගේ අත්දැකීම විය. ඔවුන්ව සභාවෙන් පිටත ස්ථානයක රඳවා අදහස් දැක්වීමෙන් තොර ව නැරඹීමට පමණක් අවස්ථාව සලසා ඇත. මෙය ද ඇගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාවක් විය.

ලුක්‍රීෂියා මෝට් (Wikipedia)

ලුක්‍රීෂියා මෝට් ප්‍රථම වතාවට එලිසබෙත් ස්ටැන්ටන් හමුවන්නේ මෙම තේ පැන් සංග්‍රහයේ දී ය. එය ඔවුන්ගේ සුසංගෝගයෙන් කාන්තා අයිතීන් වෙනුවෙන් සංවිධානය වූ ප්‍රථම අවස්ථාව විය. එලිසබෙත් ස්ටැන්ටන් ද තම රෝගී සැමියාට සාත්තු කරමින්, දරුවන් රැකබලා ගනිමින් නිව්යෝක්හි සෙනෙටා ෆෝල්ස්හි තනි ව වෙන්වූ ජීවිතයක් ගත කරමින් සිටි අතර, කාන්තාවගේ කටයුතු පිළිබඳ නිසි ඇගයීමක් නොමැති සමාජය පිළිබඳ කලකිරීමෙන් පසු විය.

එලිසබෙත් ස්ටැන්ටන් (Wikipedia)

1650 දශකයේ දී බ්‍රිතාන්‍යයේ බිහි වූ ක්වේකර් නිකාය තුළ වඩා නිදහස සහිත සියලු දෙනාට ගරුත්වයක් හිමි විය. පසුකලෙක මෙම ආගමික නිකාය ඇමරිකාවට ද සම්ප්‍රාප්ත වූ අතර තමන්ට වන අසාධාරණය පිළිබඳ ව කලකිරී සිටි කාන්තාවන් විශේෂයෙන් මේ ආගම හා එක් විය. ජේන් හන්ට්, ලුක්‍රීෂියා මොට් ඇතුළු පිරිස ද ක්වේකර් නිකායට එක් ව සිටියහ. එලිසබෙත් පමණක් ක්වේකර් ආගම වැළඳ නොසිටියේ ය.

ඔවුන් පැවැත්වූ සාකච්ඡාව තුළ දී කාන්තාවට ජීවිතය ගත කිරීමේ දී ඇති දැරිය නොහැකි දුෂ්කරතාව අවධාරණය කරන ලදී. කාන්තාවට අධ්‍යාපනය ලැබීමට හෝ ඡන්දය භාවිතා කිරීමට හෝ අයිතියක් නොවූ අතර විවාහක ද, අවිවාහක ද යන්නක් අදාළ නොවී ඇය විසින් උපයන සියලු දේ ඇය ව භාර ව සිටින පුරුෂයාට හිමි විය. මේ අනුව කාන්තාව දිගින් දිගටම දැඩි ව වෙහෙසී වැඩ කළත් ඇයට කිසිවක් හිමිනොවන බව තහවුරු විය. මෙම අසාධාරණයට එරෙහිව මෙතෙක් කල් හුදෙකලාව සිටිමින් ගැටලුව විසඳීම වෙනුවට ආගම තුළින් සැනසීමට උත්සහ කළ ඔවුන් ක්‍රියාකාරී ලෙස ගැටලුවට මැදිහත් වීමට මෙසේ මුලපුරන ලදී.

ඔවුන් ඉන්පසු ව මේ පිළිබඳ ව පුවත්පත් දැන්වීම් පළකරමින් දැනුවත් කිරීම් සිදුකළ අතර ඉන්පසු ව මේ ගැන උනන්දුවක් දක්වන සැලකිය යුතු පිරිසක් එකතු කරගැනීමට හැකි විය. තේ පැන් සාදයෙන් දින දහයකට පසු ව එනම්, 1848 ජූලි 19 සහ 20 දෙදිනේ දී සැනේකා ෆෝල්ස්හි වැස්ලියන් දේවස්ථානයේ දී කාන්තා අයිතීන් වෙනුවෙන් සමුළුවක් පවත්වන ලදී. මෙය හඳුන්වනු ලබන්නේ සෙනේකා ෆෝල්ස් සමුළුව නමිනි. මෙහි දී කාන්තා අයිතීන් පිළිබඳ ව සාකච්ඡාවක් සහ පොදු ප්‍රකාශනයකට අත්සන් තැබීමක් සිදුවිය. එය ලෝක ඉතිහාසයේ පළමු වරට කාන්තා අයිතීන් වෙනුවෙන් පැවැත්වූ සම්මේලනය ලෙස ඉතිහාසගත වේ. මේ සඳහා කාන්තාවන් සහ පුරුෂයන් තුන්සියයක් පමණ සහභාගී වූ අතර, කාන්තාවක් 68 දෙනෙකු සහ පිරිමින් 32 දෙනෙකු ප්‍රකාශනයට අත්සන් තබනු ලැබීය.

සමුළුව පැවැත්වූ වැස්ලියන් දේවස්ථානය (history)

හදිසියේ පැවැත්වුවත් මෙම සම්මේලනය ඇමරිකානු කාන්තා ව්‍යාපරයේ මෙන්ම ලෝක කාන්තා ව්‍යාපාරයේ සන්ධිස්ථානයක් විය. කාන්තාවන්ට ප්‍රසිද්ධියේ කතා පැවැත්වීම පවා සංස්කෘතික ව අඩපණ කර තිබූ පසුබිමක ඔවුන් මෙය ඉතා හොඳ ආරම්භයක් කර ගත්හ.

අත්සන් තැබූ ප්‍රකාශනය (pinterest)

අවසානයේ දී මෙසේ සටහනක් එකතු කරමු. 1868 දෙසැම්බර් 12 වන දා කාල් මාක්ස් විසින් නාරිවේදී වෛද්‍යවරයෙකු වූ වෛද්‍ය ලුයිස් කුගල්මාන් වෙත ලිපියක් ලියමින් මෙසේ පැවසීය. ‘ඉතිහාසය පිළිබඳ ව කිසියම් ම හෝ දෙයක් දන්නා කෙනෙකු, දන්නා දෙයක් නම් ශ්‍රේෂ්ඨ සමාජ පරිවර්තන කිසිවක් කාන්තාවගේ දායකත්වයකින් තොර ව සිදු නොවන බව යි. සමාජ ප්‍රගමනයේ මට්ටම නිශ්චිතව ම මැනිය හැකි මිනුමක් වන්නේ එම සමාජය තුළ කාන්තාවට හිමි ස්ථානය අනුවයි.’

දැන් ඔබට මේ ලිපිය අපේ ස්මාර්ට් ඇප් එකෙන් පහසුවෙන් කියවන්න පුළුවන්.

Roar සිංහල ඇප් එක අද ම ඩවුන්ලෝඩ් කරගන්න;

Play Store: http://roar.cm/android

App Store: http://roar.cm/ios

කවරයේ පින්තූරය: 1888 ජාත්‍යන්තර කාන්තා කවුන්සිලය - එලිසබෙත් ස්ටැන්ටන් ඉදිරියෙන්ම සිටියි (history)

මූලාශ්‍රය:

https://www.history.com

Related Articles