Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මැයි දිනයේ ඉතිහාසය ගැන ඔබ දැනගත යුතු කරුණු 5ක්

සෑම වසරකම මැයි 1 වැනිදා ලොව පුරා බොහෝ දෙනෙකු ජාත්‍යන්තර කම්කරු දිනය සමරනවා. වසර 100කට එහා ඉතිහාසයක් තිබෙන කම්කරු දිනය සැමරීමට අවශ්‍ය පසුබිම සැකසුණේ 1886 වසරේ චිකාගෝ නුවර දී සිදුවුණු එක්තරා සිද්ධියක් නිසා යි. ඉන් වසර කිහිපයකට පසුව ලෝකයේ රටවල් රැසක්  මැයි 1 වැනිදාට කම්කරු දිනය සමරන්නට පටන්ගත්තා. නමුත් ශ්‍රී ලංකාවේ කම්කරු දිනය සැමරීම ආරම්භ වුණේ ඊට වසර 38කට පමණ පසුව යි. 

එදා සිට අද දක්වා අප රට තුළ සෑම වසරකම පාහේ මැයි 1 වැනිදාට කම්කරු දිනය සමරනු ලැබුවා. නමුත් ඇතැම් වසරවල දී ආරක්ෂක සහ වෙනත් හේතූන් මත මැයි දින සැමරුම සිදුවුණේ නැහැ. ශ්‍රී ලංකාව සැමරූ ඇතැම් මැයි දිනවල දී අමතක නොවන සිදුවීම් ද වාර්තා වුණ. එනිසා කම්කරු දිනය පිළිබඳව ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතු කරුණු 5ක් පහතින් දක්වා තිබෙනවා.

1) කම්කරු දිනය ආරම්භ වීමට බලපෑ හේතුව 

පොලිසිය සහ කම්කරුවන් අතර ඇතිවුණු ගැටුම (Thoughtco)

1886 වසර වන විට කම්කරුවන්ට සිය රාජකාරි කිරීම සඳහා නිශ්චිත පැය ගණනක් වෙන්ව තිබුණේ නැහැ. එනිසා හාම්පුතුන් සේවකයන් වැඩි කාලයක් සේවයේ යොදවනු ලැබුවා. එම අසාධාරණය දිගු කලක් තිස්සේ ඉවසාගෙන සිටි එක්තරා කම්කරුවන් පිරිසක් අරගලයක් කිරීම සඳහා සූදානම් වුණා. ඔවුන් 1886 මැයි 1 වැනිදා ඇමරිකාවේ චිකාගෝ නුවරට එක්රැස් වුණා. එදා ඔවුන් සිය හාම්පුතුන්ගෙන් ඉල්ලා සිටියේ දිනක සේවා මුරය පැය 8ක් දක්වා කෙටි කරන ලෙස යි. 

කම්කරුවන් පිරිසක් ආරම්භ කළ වැඩවර්ජනය පිළිබඳව ආරංචිය පැතිරයාමත් සමග තවත් දහස් ගණනින් කම්කරුවන් එම භූමිය වෙත පැමිණෙන්නට වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මැයි 3 වැනිදා වන විට 65000ක පමණ කම්කරුවන් පිරිසක් චිකාගෝ නුවරට ඒකරාශී වී සිටියා. ඔවුන් විවිධ සටන් පාඨ කියමින් තම ඉල්ලීම දිනාගැනීම වෙනුවෙන් අරගලයේ යෙදුණා. කම්කරුවන්ගේ නැගිටීම හාම්පුතුන් දුටුවේ ඔවුන්ට එල්ල වුණු අභියෝගයක් ලෙසයි. එනිසා ඔවුන් පොලිසිය යොදවා විරෝධතාවයේ යෙදුණු කම්කරුවන්ට නින්දිත අයුරින් පහරදුන්නා.

පොලිසිය සහ කම්කරුවන් අතර දරුණු ලෙස සටන් ඇවිලී ගියා. ආයුධ සන්නද්ධව පැමිණි පොලිස් භට පිරිස් නිරායුධ කම්කරුවන්ට පහර පිට පහර එල්ල කළා. අරගලයේ යෙදුණු කම්කරු පිරිසත් නොසැලෙමින් පොලිස් භටයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කළා. නමුත් තත්ත්වය පාලනය කිරීමට අපහසු වීමත් සමග පොලිස් භටයන් කම්කරු පිරිසට වෙඩි තබන්නට පටන් ගත්තා. එයින් ඇතැමුන් මරණයට පත්වෙද්දී තවත් පිරිසක් තුවාල ලැබුවා. එලෙස අරගලය මර්ධනයෙන් අවසන් කිරීමට පොලිසිය උත්සාහ කරද්දී කම්කරුවන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමට අවශ්‍ය වුණා. එනිසා අකමැත්තෙන් වුව ද එම අරගලය තාවකාලිකව නැවැත්වීමට සිදුවුණා. 

පොලිසිය, ඇල්බට් පාසන්ස්, ජෝර්ජ් එන්ගල්, ලුවී ලින්ග්, මයිකල් ෂ්වොබ්, ඔගස්ටස් ස්පයිස්, ඔස්කා නිබේ, සැමුවෙල් ෆීල්ඩන්, ඇඩොල්ෆ් ෆිෂර් යන කම්කරු නායකයන් අටදෙනා අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පවරනු ලැබුවා. එම නඩු විභාගය අවසානයේ දී ඔස්කා නිබේට වසර 15ක සිර දඬුවමක් ලැබෙද්දී ෆිල්ඩන්ට සහ ෂ්වොබ්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබුණා. ඉතිරි පස්දෙනා එල්ලා මැරීමට තීන්දු කළා. 

1887 නොවැම්බර් 11 වැනි දින කම්කරු නායකයන් පස්දෙනා එල්ලා මැරීමට නියමිතව තිබුණත් ඉන් එක් අයෙකු ඊට පෙර සියදිවි හානිකර ගත්තා. ඉතිරි හතරදෙනා නියමිතව තිබුණු පරිදි එල්ලා මරා දැමුවා. නමුත් 1893 ජූනි 26 වැනිදා චිකාහෝ පිහිටි ඉලිනොඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාරයවරයා ලෙස කටයුතු කළ ජෝන් පීටර් ඇල්ට්ගෙල්ඩ් තීන්දු කළේ එම කම්කරු නායකයන් 8 දෙනා නිවැරදිකරුවන් බව යි. එහි ප්‍රතිඵලයක් වශයෙන්  සිරගතව සිටි සෙසු කම්කරු නායකයන් තිදෙනාට නිදහස ලැබුණා.  

2) ලෝකයේ කම්කරු දිනය සැමරීම ආරම්භය වුණු හැටි

1936 වසරේ දී බ්‍රිතාන්‍යයේ කම්කරු දිනය (Flashback)

1889 වසරේ මැයි 1 වැනිදා ෆ්‍රෙඩ්‍රික් එංගල්ස්ගේ නායකත්වයෙන් යුතුව ජාත්‍යන්තර කම්කරු සංවිධානය ප්‍රංශයේ පැරිස් නුවර දී රැස්වුණා. ඊට වසර 3කට පෙර ඇමරිකාවේ චිකාගෝ නුවර දී පැය 8ක වැඩ මුරයක් ඉල්ලා කම්කරුවන් රුධිරයෙන් කළ පරිත්‍යාගය සදාකල් සැමරිය යුතු බව එහි දී යෝජනා වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සෑම වසරකම මැයි 1 වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමට එම සමුළුවේ දී තීරණය වුණා. එදා සිට ලෝකයේ ඇතැම් රටවල් සෑම වසරකම මැයි 1 වැනිදාට ලෝක කම්කරු දිනය සැමරීම ආරම්භ කළා. 

වර්තමානය වන විට ලෝකයේ රටවල් රැසක් කම්කරු දිනය සඳහා පෙළපාලි සංවිධානය කරනු ලබනවා. නමුත් පසුගිය වසරේ සිට ලොව පුරා පැතිරයමින් පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසා සැලකිය යුතු රටවල් පිරිසකට මැයි දිනය සැමරීම සඳහා අවස්ථාවක් ලැබුණේ නැහැ.

3) ලංකාවේ මැයි දින සැමරුමේ ආරම්භය සිදුවුණු ආකාරය 

ඒ. ඊ. ගුණසිංහ පිළිරුව (Dinamina)

ශ්‍රී ලංකා කම්කරු දිනයේ ඉතිහාසය පිළිබඳව කතා කරන විට ඒ. ඊ. ගුණසිංහ නම් කම්කරු නායකයාව අමතක කරන්නට බැහැ. 1891 මැයි 1 වැනිදා එනම් කම්කරු දිනයක උපත ලැබූ ගුණසිංහ තරුණ වියේ සිට කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටියා. එනිසා ඔහු මෙරට කම්කරු ජනතාව අතර වඩාත් ප්‍රසිද්ධ පුද්ගලයෙකු බවට පත්වුණා. එම කාල වකවානුව වන විට ලෝකයේ බොහෝ රටවල්වල කම්කරු දිනය උත්සවශ්‍රීයෙන් සැමරූ නිසා ගුණසිංහට මෙරට තුළ කම්කරු දිනය සැමරීමට අවශ්‍ය වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1927 වසරේ දී ගුණසිංහගේ ප්‍රධානත්වයෙන් මෙරට කම්කරු සැමරුමක් පැවැත්වුණා. එදා මැයි දින පෙරහැරක් පවත්වා පැමිණ සිටි කම්කරුවන්ට තෑගි භෝග බෙදාදීමක් සිදුවුණා. 

අප රට තුළ මුල්ම වරට සංවිධානාත්මක මැයි රැළියක් පැවැත්වුණේ 1933 වසරේ දී යි. එදා උත්කර්ෂවත් අයුරින් පැවති මැයි රැළිය කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් වුණා. 1934 වසරේ දී කොළඹ තරුණ සංගමය විසින් මැයි දින සැමරුමක් සිදුකරනු ලැබුවා. එසේම 1935 වසරේ දී දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහගේ නායකත්වයෙන් සමාජවාදීන්ගේ මැයි දින සැමරුමක් සිදුවුණා. එම වසරේම අග භාගයේ දී ලංකා සමසමාජ පක්ෂය ආරම්භ වුණා. 1936 වසරේ සිට ඔවුන් ද මැයි දින සැමරුමට සහභාගි වුණා.

ඉන් අනතුරුව දශක 5ක් පමණ ගෙවුණු පසුව ලංකා කොමියුනිස්ට් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, නව සමසමාජ පක්ෂය වැනි දේශපාලන පක්ෂයන් ශ්‍රී ලංකාව තුළ ආරම්භ වුණා. එනිසා 1980 දශකය පමණ වන විට මෙරට තුළ මැයි දින රැළි විශාල ප්‍රමාණයක් පැවැත්වුණා. එසේම මෙරට තුළ ක්‍රියාත්මක වුණු විවිධ ආකාරයේ වෘත්තීය සමිති රැසක් ද මැයි දින සැමරුම සඳහා සම්බන්ධ වුණා. 

4) මැයි දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්වීම 

ටී. බී. ඉලංගරත්න (Dinamina) 

1935 වසරේ දී රජයේ ලිපිකරු සේවයට එක්වුණු ටී. බී. ඉලංගරත්න 1947 වසර වන විට ලංකා ලිපිකරු සේවක සංගමයේ සභාපති තනතුරට තේරී පත්වුණා. ඉන් වසර 9කට පසුව පැවති 1956 මහා මැතිවරණයේ දී ගලහ ආසනය ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ටී. බී. ඉලංගරත්න, බණ්ඩාරනායක රජයේ කම්කරු ඇමතිවරයා බවට පත්වුණා. ඔහු කම්කරු නායකයෙකු වශයෙන් දිගු කලක් කටයුතු කර තිබුණු නිසා කම්කරු ප්‍රශ්න පිළිබඳව හොඳ අවබෝධයකින් සිටියා. එනිසා ඉලංගරත්න ඇමතිවරයා මැදිහත් වී 1956 වසරේ සිට මැයි දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කරනු ලැබුවා. ඉලංගරත්න යුගයේ දී මෙරට කම්කරුවන්ට පහත දක්වා තිබෙන අයිතීන් ද ලැබුණා. 

1) සේවක අර්ථසාධක අරමුදල බිහිකිරීම

2) කම්කරු ආරවුල් පනත ක්‍රියාත්මක කිරීම 

3) සාප්පු සහ කාර්යාල සේවක පනත ක්‍රියාත්මක කිරීම 

4) දරු ප්‍රසූතිය සඳහා නිවාඩු ලබාදීමේ පනත ක්‍රියාත්මක කිරීම 

5) කම්කරු වන්දි පනත ක්‍රියාත්මක කිරීම

6) ජාතික වේතන කොමිසම බිහිකිරීම

7) වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන බිහිකිරීම

8) සේවකයින් හිටි අඩියේ සේවයෙන් පහ කිරීමට පාලකයින්ට තිබුණු අයිතිය අහෝසි කිරීම

9) සමූපකාර කම්කරු සමීති වෙත කොන්ත්‍රාත් වැඩ ලබා දීම

10) වෘත්තීය සමිති නියෝජිතයන්ට විදෙස් සම්මන්ත්‍රණවලට සහභාගී වීමට පහසුකම් සැලසීම

5) මෙරට මැයි දින ඉතිහාසයේ සිදුවුණු අමතක නොවන සිදුවීම් 

1987 තහනම් මැයි දිනයේ දී පැවති රැළිය (DBS Jeyaraj)

1987 අප්‍රේල් 17 වැනි කොටි ත්‍රස්තවාදීන් ත්‍රිකුණාමලය-හබරණ මාර්ගයේ දී බස් රථ පෙළකට ප්‍රහාර එල්ල කළා. එම ප්‍රහාරයෙන් හමුදා සෙබළුන් 75 දෙනෙකු ඇතුළුව 126 දෙනෙකු මරුමුවට පත්වුණා. එම වසරේම අප්‍රේල් 21 වැනිදා පිටකොටුව බෝ ගහ අසල පුපුරා ගිය මරාගෙන මැරෙන බෝම්බය නිසා 122 දෙනෙකු පමණ මරණයට පත්වුණා. ඒ අයුරින් රට තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය වීම නිසා එම වසරේ මැයි දින සැමරුම තහනම් කිරීමට එවකට රජය තීරණය කළා. නමුත් රජයේ තීරණය පිළිබඳව කිසිදු තැකීමක් නොකළ මවුබිම සුරැකීමේ ව්‍යාපාරය මැයි රැළියක් සහ පෙළපාලියක් පවත්වනු ලැබුවා. මාදුළුවාවේ සෝභිත හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, දිනේෂ් ගුණවර්ධන ඇතුළු ගිහි පැවිදි පිරිසක් එයට නායකත්වය ලබාදුන්නා. 

එදා නාරාහේන්පිට අභයාරාමයට රැස්වුණු 2000කට අධික සෙනඟක් රැළිය සඳහා සහභාගී වුණා. ඉන් පසුව එම පිරිස ආණ්ඩුවට එරෙහිව සටන් පාඨ කියමින් බැනර් ඔසවාගනිමින් මහා මාර්ගයට පිවිසියා. එලෙස ගමන් කළ පෙළපාලියට මුලින් බැටන් පොලු පහර එල්ල කළ ආරක්ෂක අංශ පසුව රබර් උණ්ඩ සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. නමුත් ඒවා ද මැඬගෙන පෙළපාලිය ඉදිරියට ගිය නිසා එයට පොලිසිය විසින් වෙඩි තබනු ලැබුවා. වෙඩි ප්‍රහාර නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ යන්ත්‍ර ක්‍රියාකරුවෙකු ලෙසින් සේවය කළ ලෙස්ලි ආනන්දලාල් මියගියා. ඔහු වැල්ලම්පිටිය බ්‍රැන්ඩියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වුණා. එසේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ 84/85 කණ්ඩායමේ සිසුවෙකු වුණු කිත්සිරිමෙවන් රණවක ද පොලිස් වෙඩි පහරින් මියගියා. ඔහු පානදුර කුරුප්පුමුල්ලේ පදිංචි අයෙකු වුණා.

1987 තහනම් මැයි දිනයෙන් පසුව බොහෝ දෙනෙකුට අමතක නොවන මැයි දිනය බවට පත්වුණේ 1993 මැයි දිනය යි. එදා එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය එවකට ජනාධිපතිධූරය දැරූ රණසිංහ ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එම පෙළපාලිය සඳහා පැමිණ සිටි විශාල පිරිසත් සමගින් ජනාධිපති ප්‍රේමදාස ආමර් වීදිය හරහා ගමන් කරමින් සිටිය දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. එම බෝම්බ ප්‍රහාරය හේතුවෙන් ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇතුළු 11 දෙනෙකුට සිය ජීවිත අහිමි වුණා. 

කවරයේ ඡායාරූපය- ප්‍රේමදාස ජනාධිපතිවරයා මියයාමට මොහොතකට පෙර (DLIVE)

මූලාශ්‍රයයන්- කදුළු සලන පාරාදීසය 

                         Silumina.lk 

Related Articles