බෝයිං හා එක් වූ මැක්ඩොනල් ඩග්ලස්හි කතාව

1967 දී ආරම්භ වූ මැක්ඩොනල් ඩග්ලස් යනු ඇම‍ෙරිකා එක්සත් ජනපදයට අයත් ප්‍රසිද්ධ ගුවන් යානා නිෂ්පාදන සමාගමක්. ඇමෙරිකානු ගුවන් හමුදාවට මෙන්ම අභ්‍යාවකාශ වැඩසටහන්වලට අවශ්‍යය  ප්‍රධාන සම්පත් දායකයෙක් ලෙස මෙම සමාගම එකල ක්‍රියාත්මක වුණා. එමෙන්ම සිවිල් ගුවන් සේවාව සඳහා මගී ප්‍රවාහන ගුවන් යානා හා ජෙට් යානා නිෂ්පාදනය කිරීමත් මෙම සමාගම විසින් සිදුකර තිබෙනවා.

ඇම‍ෙරික එක්සත් ජනපදයේ තිබුණු පැරණි ගුවන් යානා නිෂ්පාදන සමාගම් දෙකක් එකට එකතු වීමෙන් මැක්ඩොනල් ඩග්ලස් සමාගම නිර්මාණය වන අතර 1997 දී එය ගුවන් යානා නිෂ්පාදනයේ ප්‍රමුඛයෙක් වන බෝයිං සමාගම හා එකතු වෙනවා.

මැක්ඩොනල් ඩග්ලස් නිර්මාණය වූ අයුරු

Douglas DC-3 (flickr.com)

1921 දී ආරම්භ වූ “ඩග්ලස් ගුවන් යානා” නම් ඇමෙරිකානු ගුවන් යානා නිෂ්පාදන සමාගමේ ප්‍රධාන නිෂ්පාදන වන්නේ පෞද්ගලික භාවිතය සඳහා කුඩා ගුවන් යානා නිෂ්පාදනය කිරීම යි. දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමත් සමගම ඇමෙරිකානු ගුවන් හමුදාවට ඩග්ලස් DC-3 නම් ප්‍රවාහන ගුවන් යානා නිෂ්පාදනය කරන්නේ මෙම සමාගම යි.

දෙවන ලෝක යුද්ධය නිමාවෙන් පසුව ඩග්ලස් සමාගම විසින් නව මගී ප්‍රවාහන ගුවන් යානා නිපදවීම ආරම්භ කරනවා. ඒ යටතේ  DC-6, DC-7, හා DC-8 නිෂ්පාදනය කරනවා. මේ අතර ඩග්ලස් සමාගම විසින් ඇමෙරිකානු නාවික හමුදාව සඳහා ප්‍රහාරක යානා නිෂ්පාදනය ආරම්භ කරනවා. ඒ අනුව ඩග්ලස් F3D Skyknight, ඩග්ලස් F4D Skyray, හා F4D Skyray යානා නිෂ්පාදනය වෙනවා.1953 දී ඔවුන්  විසින් වේගවත් ජෙට් යානාවක් වන Skyrocket DB-II නිෂ්පාදනය කරනවා.

මේ අතර මැක්ඩොනල් සමාගම විසින් ඇමෙරිකානු හමුදාවට අවශ්‍යය ජෙට් යානා නිෂ්පාදනය කරනවා. FH-1 Phantom, F2H Banshee, F3H Demon, හා F-101 Voodoo ඒ අතර වෙනවා.

1963 වසර වන විට ගුවන් යානා සමාගම් දෙකම අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පානවා. ඩග්ලස් සමාගම නව DC ගුවන් යානා නිෂ්පාදනය සඳහා අධික ලෙස මුදල් වියදම් කිරීමෙන් ආර්ථික අස්ථාවරත්වයකට පත් වී සිටිනවා. මෙම කාලය වන විට හමුදාවට අවශ්‍යය යානා නිෂ්පාදනය කිරීමේ වැඩසටහනින් මැක්ඩොනල් සමාගම ද අධිකව පාඩු ලබමින් සිටිනවා. එයට පිළිතුරක් ලෙස මෙම සාමාගම් දෙක එකට එකතු වී 1967 වසරේ අප්‍රේල් මාසයේ දී මැක්ඩොනල් ඩග්ලස් සමාගම ආරම්භ කරනවා.

1984 දී ඇම‍ෙරිකාවේ සිවිල් හා යුද හෙලිකොප්ටර් නිෂ්පාදනය කරන සමාගමක් වන හියුස් හෙලිකොප්ටර් ආයතනය ඔවුන් විසින් මිල දී ගන්නවා.

මැක්ඩොනල් ඩග්ලස්හි කඩා වැටීම

බෝයිං සමග එකතු වීමෙන් පසුව බෝයිංහි නිල ලාංඡනය මැක්ඩොනල් ඩග්ලස් වෙතට ද ලැබීම (Boeing Images)

1989 දී “රොබර්ට් හුඩ්” මැක්ඩොනල් ඩග්ලස්හි නව සභාපතිවරයා ලෙස පත්වෙනවා. ඔහු විසින් සමාගමට නව ක්‍රමෝපායන් හඳුන්වා දෙන අතර ඒ යටතේ සේවකයන් 5000කගේ පමණ තනතුරු අහිමි වෙනවා. තවත් කළමනාකරණ මට්ටමේ සේවකයන් 2800ක් අලුතෙන් නිර්මාණය කළ තනතුරුවලට අනියුක්ත කරනවා. ඉන් 2200ක් පමණ සේවකයන්ට තම කළමනාකරණ තනතුරු අහිමි වෙනවා.

1991 වසරේ A-12 Avenger II යානය හඳුන්වාදීමේ වැඩසටහන යටතේ තාක්ෂණික දෝෂ, වියදම් අධික වීම හා ප්‍රමාද වීම් හේතුවෙන් ඇමෙරිකානු ආරක්ෂක අමාත්‍යංශය සිය බලවත් අප්‍රසාදය මැක්ඩොනල් ඩග්ලස් වෙත ප්‍රකාශ කරනවා. ඒ හේතුවෙන් එම යානයේ වැඩිදියුණු කිරීම් අතරමඟ නවතිනවා.

තව ද ඇමෙරිකානු ආරක්ෂක අංශය මඟින් පැවැත් වූ Advanced Tactical Fighter, හා Joint Strike Fighter ව්‍යාපෘති සඳහා තම ප්‍රහාරක ගුවන් යානාවල සැලසුම් ඉදිරිපත් කරන නමුත් තරගකරුවන් හමුවේ මෙම සමාගම පරාජයට පත්වෙනවා. මැක්ඩොනල් ඩග්ලස් සමාගමට එම කොන්ත්‍රාත් ලබා ගැනීමට නොහැකිවීම ආර්ථික අස්ථාවරත්වයට බලපෑ ප්‍රබල හේතුවක් ලෙස සදහන් කළ හැකි යි.

Boeing AH-64 Apache හෙලිකොප්ටයර මුලින්ම නිෂ්පාදනය කරන්නේ Hughes Helicopters සමාගම යි. අනතුරුව එය මැක්ඩොනල් ඩග්ලස් සමාගම ද පසුව බෝයිං සමාගම විසින් ද නිෂ්පාදනය කරනවා. ( YouTube)

1991 දී DC පවුලේ නව ගුවන් යානය වන DC 11 සාර්ථක නොවීම ද, මෙම යානය සිංගප්පූරු ගුවන් සමාගමෙන් ප්‍රතික්ෂේප වීම තුළින් ද ඔවුන් දැඩි අර්බුදයකට මුහුණ පානවා.

මේ කාලය වන විට සෝවියට් දේශය බිඳ වැටීමෙන් සීතල යුද්ධයේ තරගකාරීත්වය මඳක් අඩු වෙනවා. ඒ හේතුවෙන් ඇමෙරිකානු ආරක්ෂක අමාත්‍යංශය විසින් මැක්ඩොනල් ඩග්ලස් සමාගමට පිරිනමන කොන්ත්‍රාත් ප්‍රමාණය ද සීඝ්‍ර ලෙස අඩු වෙනවා. 1997 දී ඇමෙරිකාවේ දියුණු ගුවන් යානා සමාගමක් වන බෝයිං සමග එකතු වීමට මැක්ඩොනල් ඩග්ලස් ආයතනය කටයුතු කරනවා.

මැක්ඩොනල් ඩග්ලස්  සිවිල් ගුවන් යානා

Boeing 717 (Business Insider)

නිෂ්පාදනය කරනු ලැබූ ප්‍රවාහන ගුවන් යානා ලෙස  DC-8, DC-9, (DC8 හා DC9 ගුවන් යානා ඩග්ලස් සමාගම යටතේ නිර්මාණය විය) DC-10, DC-10 Air Tanker, MD-11, MD-80, හා MD-90 (බෝයිං සමාගම හා එක් වූ පසුව මෙම යානා සියල්ල නිෂ්පාදනය බෝයිං වෙළඳ සමාගම යටතේ සිදුවෙයි) තව ද MD 95 ගුවන් යානය Boeing 717 ලෙස වර්තමානයේ දී වෙළඳපොළට එකතු වෙනවා.

මැක්ඩොනල් ඩග්ලස්හි මිලිටරි ගුවන් යානා

McDonnell Douglas AV-8B Harrier II (stmed.net)

ඔවුන් විසින් 1967 දී නිර්මාණය කරනු ලබන A-4G Skyhawk සැහැල්ලු ප්‍රහාරක ගුවන් යානය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවටත් නවසීලන්ත ගුවන් හමුදාවටත් ලබාදෙනවා. F-4 Phantom II නම් ප්‍රහාරක ගුවන් යානය එක්සත් ජනපදයේ නාවික, ගුවන් හමුදා මෙන්ම මැරීන් බලකාය විසින් ද භාවිතා කරනවා. 1968 දී නිර්මාණය වන C-9 නම් ප්‍රවාහන ජෙට් යානාව ඇමෙරිකානු හමුදාව හා කුවේට් ගුවන් හමුදාව විසින් භාවිතා කරනවා.

1972 දී නිෂ්පාදනය කරනු ලැබූ F-15 Eagle නම් ප්‍රහාරක යානය ඇමෙරිකාව, ජපානය හා ඊශ්‍රායලය විසින් භාවිතා කරනවා. 1985 දී ගුවනේ සිට භුමියේ පිහිටි ඉලක්කවලට සාර්ථක ප්‍රහාර එල්ල කළ හැකි AV-8B Harrier II ප්‍රහාරක යානය නිෂ්පාදනය කරන අතර ඇමරිකාව, ඉතාලිය, හා ස්පාඤ්ඤය විසින් මෙය භාවිතා කරනවා. 1995 දී හඳුන්වා දෙන ලද මිලිටරි ප්‍රවාහන යානාවක් වන C-17 යානය මේ වන විට හඳුන්වන්නේ Boeing C-17 Globemaster III නමින්. එය ඇමරිකාවේ ඉන්දියානු හා බ්‍රිතාන්‍ය හමුදා විසින් භාවිතා කරනවා.

මැක්ඩොනල් ඩග්ලස් විසින් නිෂ්පාදනය කරනු ලැබූ තාමත් වෙළඳපොළට පැමිණෙන මිලිටරි හා සිවිල් ගුවන් යානා බොහොමයක මේ වන විට  එම නම වෙනස් වී බෝයිං වෙළඳ නාමය ආදේශ වී ඇති බව සඳහන් කළ හැකි යි.

මූලාශ්‍රයයන් –

mcdonnelldouglas.weebly.com/

www.britannica.com/topic/McDonnell-Douglas-Corporation

www.militaryfactory.com/aircraft/contractor.asp?thisCompany=McDonnell%20Douglas

boeing.mediaroom.com/1997-07-31-Boeing-Completes-McDonnell-Douglas-Merger

Related Articles

Exit mobile version