උල්කාවකින් විනාශ වූ මැදපෙරදිග නගරය

සෑම වසරක ම මිලියන ගණනක් කුඩා ගල් කැට ප්‍රමාණයේ උල්කාෂ්ම පෘථිවියට පැමිණෙනවා. මේවා බොහෝමයක් පෘථිවි වායුගෝලයේ ගැටී ගිනිගෙන විනාශ වුවත් වායුගෝලයේ දී දැවී අවසන් වීමට නොහැකි වූ තරමක් විශාල උල්කාෂ්ම පෘථිවි පෘෂ්ඨයට පතිත වීමත් දැකිය හැකි යි. නමුත් බොහෝ අවස්ථාවල ඒවායින් පෘථිවි ජීවීන්ට හානියක් වන්නේ නැහැ. නමුත් සියවසකට වරක් පමණ නිවසක් තරම් විශාල උල්කාෂ්ම වායුගෝලයේ ගැටී පුපුරා යෑම නිසා අනතුරු සිදුවනවා.

2013 වසරේ දී සහ ඊට පෙර 1908 වසරේ දී රුසියාවේ එවැනි පිපුරුම් වාර්තා වුණා. මේවයින් දේපළ හානි වාර්තා වුණත් තුවාල හැරෙන්නට ජීවිත හානි වාර්තා වුණේ නැහැ. නමුත් ක්‍රිස්තු පූර්ව 1700දී පමණ සිදු වූ උල්කාපාත වායු පිපුරුමක් (meteor air burst) නිසා වර්තමාන ජෝර්දානය ආශ්‍රිත ප්‍රදේශයේ ශිෂ්ටාචාරයක් ම දැවී අළුවුණු බව පැවසෙනවා. Tall el-Hamman නම් මෙම නගරය සම්බන්ධ කැණීම් කටයුතු අදටත් සිදුවනවා.

බයිබලයේ සඳහන් පුරාවෘත්තය

බයිබලයේ උත්පත්ති කතාවේ Sodom සහ Gomorrah නම් නගර දෙකක් පිළිබඳ ව සඳහන් වනවා (18:20). මෙයින් Sodom නගරය සිරියාවේ පැවති ප්‍රධාන ම සහ පැරණිත ම නගරය බවට යි සැලකෙන්නේ. දෙවියන් මෙම නගර දෙක විනාශ කිරීමට තීරණය කරනවා. ඒ එම නගරයේ ජනතාව සිදු කළ පාපකාරී ක්‍රියාවලට දඩුවම් දීමක් වශයෙන් බවයි බයිබලයේ සඳහන් වන්නේ. නගරයේ මිනිසුන් සමලිංගික සේවනයේ යෙදීම එම පාපය බව එහි වැඩි දුරටත් දැක්වෙනවා.

දෙවියන්ගේ සැලැස්ම පිළිබඳ දැන ගන්නා ඒබ්‍රහම් එය නවත්වන ලෙස ඉල්ලා සිටිනවා. ඔහු කියා සිටින්නේ නගරයේ දෙවියන් අදහන ධාර්මික මිනිසුන් 50 දෙනෙක් තමන් සොයා දුනහොත් දෙවියන් නගරය විනාශ කිරීම නැවතිය යුතු බව යි. දෙවියනුත් එම ගනුදෙනුවට කැමති වනවා. නමුත් ඒබ්‍රහම්ට එවැනි මිනිසුන් 50ක් සොයා ගැනීමට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔහු වරින් වර ගොස් එම සංඛ්‍යාව අඩු කර ගන්නවා. අවසානයේ එය 10 දක්වා අඩු වූ පසු ඊට වඩා අඩු කිරීමට දෙවියන් කැමති වන්නේ නැහැ.

Sodom සහ Gomorrah නගර විනාශ වීම දැක්වෙන සිතුවමක් – trumpet-call.org

අවසානයේ දෙවියන් අහසින් ගිනි ගෙන දැවෙන ගෙන්දගම් වැසි වස්සවා නගර දෙකත් එහි සියලු ජිවීනුත් විනාශ කළ බව උත්පත්ති කතාවේ දැක්වෙනවා (19:24-25). මෙම පුරාවෘතයේ සඳහන් වන්නේ ක්‍රිස්තු පූර්ව 1700දී පමණ Tall el-Hammam නම් නගරය විනාශ වීම බව සමහර පිරිස් විශ්වාස කරනවා.

බයිබලය රචනා වුණේ ක්‍රිස්තු පූර්ව 7 වන ශතවර්ෂයේ වීමත් පර්යේෂණවල නිරත වූ පුරාවිද්‍යාඥයන්ට එම ප්‍රදේශයේ ගෙන්දගම් සහ වෙනත් ලවණ තැන්පත් වුණු බවට සාක්ෂි ලැබීමත් නිසා බයිබලයේ විස්තර කර ඇත්තේ මෙම සිදුවීම බවටත් පැවසිය හැකි යි. නගරය විනාශ වීම සඳහා හේතු වූයේ උල්කාෂ්මයක් වායුගොලයේදී පුපුරා යෑම බවට විශේෂඥයන් පෙන්වා දෙනවා.

උල්කාපාත වායු පිපුරුමක (cosmic airburst) ප්‍රබලතාව

අභ්‍යවකාශයේ ගමන් කරන උල්කාෂමයක සාමාන්‍ය වේගය තත්පරයට කිලෝමීටර 20ක් පමණ වනවා. මේ නිසා එවැන්නක් පෘථිවිය වටා ඇති වායුගෝලයේ ගැටුණු වහා ම ඒ අවට ඇති වාතය දැඩි ලෙස සම්පීඩනය වනවා. මේ නිසා වාතයේ උෂ්ණත්වය ඉහළ යන අතර එවිට උල්කාෂ්මයේ ද උෂ්ණත්වය සෙල්සියස් අංශක 1650ක් පමණ දක්වා වැඩි විය හැකියි.

Chelyabinsk නගරයේ අහසේ උල්කාෂ්මය ගමන් කළ ආකාරය – nasa.gov

 

2013 වසරේ රුසියාවේ Chelyabinsk නගරයට ඉහළ අහසේ සිදු වූ පිපිරීම සඳහා පාදක වූයේ මීටර 17-20 පමණ විශ්කම්භයක් ඇති උල්කාෂ්මයක් පුපුරා යෑම යි. මෙම පිපිරීමෙන් නිර්මාණය වූ කම්පන තරංග කිලෝ ටොන් 500ක පමණ TNT පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයක පිපුරුමකදී නිකුත් වන කම්පන තරංගවල ප්‍රබලතාවට සමාන බවයි පැවසෙන්නේ.

එනම් හිරෝෂිමා හි පරමාණු බෝම්බ පිපුරුම මෙන් 30 ගුණයක ප්‍රබලතාවකින් මෙම පිපුරුම සිදු වී තිබෙනවා.Chelyabinsk හි පිපුරුමෙන් නගරයේ වර්ග කිලෝමීටර 500ක වපසරියක පිහිටි ගොඩනැගිලි වලට බලපෑම් සිදුව තිබූ අතර 1600 ක පමණ පුද්ගලයින් ප්‍රමාණයකට තුවාල සිදු වී තිබුණා.

1908 දී රුසියාවේ මොන්ගෝලියානු දේශ සීමා අසල Tunguska නගරය ආසන්නයේ සිදුවූ පිපිරීම Chelyabinsk පිපුරුමට වඩා විශාල එකක් වනවා. මෙම ප්‍රදේශය මිනිසුන් නොගැවසෙන හුදකලා ප්‍රදේශයක් වීම නිසා 3 දෙනෙක් පමණක් මිය ගිය බවට සැලකෙන අතර එයද තහවුරු වී නැහැ. පර්යේෂකයන් 1920දී කළ අනාවරණවලට අනුව උල්කාෂ්ම වායු පිපුරුම සිදු වී ඇත්තේ පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 10-15ක් පමණ ඉහළ අහසේ යි.

නමුත් පිපුරුමෙන් වර්ග කිලෝමීටර 2150ක ප්‍රදේශයක ගස් මිලියන 80ක් පමණ කඩා වැටී තිබුණා. පිපිරී ගිය උල්කාෂ්මය මීටර 50-80ක් පමණ විශ්කම්භයක් ඇති එකක් බවටයි සැලකෙන්නේ. පිපුරුමෙන් නිර්මාණය වූ කම්පන තරංගය මෙගා ටොන් 30ක් පමණ වන බවත් එය හිරෝෂිමා පරමාණු බෝම්බ අවස්ථාවේ ඇතිවූ කම්පන තරංගය මෙන් 500 ගුණයක පමණ ප්‍රබලතාවකින් යුක්ත බවත් වාර්තා වනවා.

Tunguska සිදුවීමෙන් ශාක විනාශ වී තිබූ අයුරු – theconversation.com

 

Tall el-Hammam නගරය

Tall el-Hammam යනු ලෝකඩ යුගයේ දී (ක්‍රිස්තු පූර්ව 3200 – 1200) සමෘද්ධිමත් නගර රාජ්‍යයක්. දකුණු ජෝර්දාන මිටියාවතේවූ උස් බිමක පිහිටි මෙම ජනාවාසය මළ මුහුදට ඊසාන දෙසින් ස්ථානගත වී තිබූ අතර එකල දකුණු දිග මධ්‍යධරණි ප්‍රදේශයේ අඛණ්ඩව පැවති විශාලත ම ලෝකඩ යුග නගරය බවට පත්ව තිබුණා.

එහි විශාලත්වය ජෙරුසලම මෙන් දස ගුණයක් පමණ වූ බවයි පැවසෙන්නේ. වසර 2500කටත් වැඩි ඉපැරණි ශිෂ්ටාචාරයකට අයත් වූ මෙම ප්‍රදේශයේ පරිපාලන මධ්‍යස්ථානය ලෙස සලකා ඇත්තේ Tall el-Hammam නගරය යි. මීටර් 30ක් උසින් සහ මීටර් 4 – 5ක් පමණ ඝනකමින් යුතු වූ තාප්පය කිලෝමීටර් 2.5කට වැඩි දිගකින් නගරය වටා දිවෙමින් එය ආරක්ෂා කර තිබුණා. තාප්පයේ දොරටු කිහිපයක් ද කුළුණු සහ වෙනත් ආරක්‍ෂක අංග ද තිබූ බවට සාක්ෂි පවතිනවා.

Tall el-Hammam හි පිහිටීම – nature.com

ජෝර්දාන මිටියාවත මධ්‍යධරණී කලාපයේ ජල මාර්ග හොඳින් ම පිහිටා තිබූ පළාතක් වීම නිසා මිනිස් වාසස්ථානයක් ලෙස වඩාත් සුදුසු ම ස්ථානයක් බවට සැලකෙනවා. මෙම ප්‍රදේශයේ ජල තත්වය බොහෝදුරට නයිල් නිම්න ආශ්‍රිත ප්‍රදේශයකට සමාන බව යි පැවසෙන්නේ. මේ නිසා මෙම ශිෂ්ටාචාරයේ දියුණු ම අවධියේ දී 50,000කට අධික ජනගහනයක් ප්‍රධාන නගර ත්‍රිත්වය (Tall el-Hammam, Tall Nimrin සහ Jericho), පරිවාර නගර සහ ගම්මාන මුල් කරගෙන පදිංචි ව සිට තිබෙනවා. එම සමස්ත ප්‍රදේශය වර්ග කිලෝමීටර 400ක පමණ භුමි භාගයක් වන අතර ප්‍රදේශයේ ජනතාව මැටි භාණ්ඩ කර්මාන්තයට ඉහළ දක්ෂකම් දැක්වූ පිරිසක් ලෙසයි සැලකෙන්නේ.

විනාශයක තරම

පුරාවිද්‍යාඥයන් Tall el-Hammam නගරයේ කැණීම් කටයුතු ආරම්භ කළේ 2005 වසරේ පමණ සිට යි. කැණීම් කටයුතුවල මුල් කාලයේදී ඔවුන්ට හමු වූ සාක්ෂි අනුව මීට වසර 3700කට පෙර Tall el-Hammam හි සමස්ත ශිෂ්ටාචාරය ම මුළුමනින්ම විනාශ වී ඇති බවට සොයා ගැනුණා. එවැන්නක් සිදුවීමට අදාළ හේතුව ඒ වනවිට අනාවරණය වී තිබුණේ නැහැ.

නගරය වටා ඉදිකළ තාප්පයක් පැවති බවට සලකුණු පැවතියත් ඒ සඳහා භාවිත වූ ගඩොල්වලින් කීපයක් හැරුණු කොට වෙනත් කොටස් ඉතිරි වී තිබුණේ නැහැ. මීටර 4-5ක් වැනි දැවැන්ත ඝනකමකින් යුක්තවූ තාප්පයක විශාල ගඩොල් ප්‍රමණයක් අතුරුදහන් වීම පුරාවිද්‍යාඥයන්ට ගැටලුවක් වුණා.

මාලිගාව අතීතයේ තිබෙන්නට ඇතැයි සැලකෙන ආකාරය සහ වර්තමාන නටඹුන් – nature.com

 

නගරයේ ඉදිකර තිබූ මහල් 3කින් පමණ සමන්විත මාලිගාවක් ලෙස සැලකිය හැකි ඉදිකිරීමක ද බිම් මහල හැරුණුකොට පළමු මහලේ කොටසක් සහ ඉහළ මහල් සියල්ල සම්පුර්ණයෙන් ම කඩා වැටී ඇති බවට සාක්ෂි හමු ව තිබෙනවා. කඩා වැටුණු බිත්ති හෝ කුළුණු ආදියේ සැලකිය යුතු ප්‍රමාණයේ අවශේෂ කොටස් කිසිවක් දක්නට ලැබී නැහැ.

මීටර 15ක් පමණ උස මෙම මාලිගයේ බිත්ති ද මීටර 2ක් පමණ ඝනකමින් යුක්ත නිසා ඒවායේ ගඩොල් ද විශාල කුට්ටි ලෙස ඉතිරි ව තිබිය යුතු බවට පුරාවිද්‍යාඥයන් විශ්වාස කරනවා. ගඩොල් කුඩු බවට පත්වීමෙන් නිර්මාණය වූ බවට සැලකිය හැකි මැටි අංශු තට්ටු කීපයක් ම කැණීම් භූමියෙන් හමු වී තිබෙනවා.

ඉහත ආකාරයේ විනාශයක් ස්වභාවික උවදුරකින් මිස වෙනයම් ලෙසකින් සිදුවීමට ඉඩ නැති බව ඒ අනුව නිගමනය කරගෙන තිබුණා. නමුත් ඉහළ ම පරිමාණයක භූ කම්පනයක දී වුවත් විශාල ප්‍රමාණයේ ගඩොල් කොටස් හමු විය යුතු බව යි පර්යේෂකයන්ගේ අදහස වුණේ. එසේම විනාශය පැමිණ ඇත්තේ යම් දිශාවකින් වීම නිසා භූ කම්පනයකින් මෙය සිදු වූ බවට වන මතය බැහැර කළ හැකි යි.

එසේ නම් කිසියම් පිපුරුමක දී ඇතිවූ කම්පන තරංග හේතුවෙන් Tall el-Hammam නගරය විනාශ වූ බවට යි සැලකුණේ. ඒ අනුව යමින් තැන්පත් වී ඇති පස් තට්ටුවල සාම්පල පරික්ෂා කිරීම ආරම්භ කෙරුණු අතර එහි දී වීදුරු බවට පත්වූ මැටි කොටස් ද හමු වී තිබෙනවා.

අධික පීඩනයකට ලක්වූ තිරුවාණා පාෂාණ – nature.com

 

සර්කෝන් වැනි ඛනිජ වීදුරු දක්වා ද්‍රව වීමට නම් සෙල්සියක් අංශක 4000කට වැඩි උෂ්ණත්වයකට ලක් විය යුතු වනවා. එම නිසා භූ කම්පනයක් පිළිබඳ ව වන මතය සම්පුර්ණයෙන් ම බැහැර කළ හැකි යි. වීදුරු බවට පත්වූ මැටි තට්ටුවේ ඝනකම මිලිමීටර 1ක් පමණ වනවා. එනම් සමස්ත මැටි අවශේෂ ම විදුරු බවට පත් වී නැහැ. එයින් අදහස් වන්නේ උෂ්ණත්වය වැඩි වීමට හේතුවූ ප්‍රභවය ඉතා කෙටි කාලයක දී පමණක් ක්‍රියාත්මක වී ඇති බව යි.

මේ නිසා පර්යේෂකයන්ගේ උපකල්පනය වුණේ අදාළ ප්‍රදේශය මිලිතත්පර කිහිපයකට පමණක් සෙල්සියස් අංශක 8000-12,000 අතර උෂ්ණත්වයකට නිරාවරණය වන්නට ඇති බවයි. වීදුරු බවට පත්වූ මැටි තට්ටුවට අමතර ව අධික පීඩනයකට ලක්වූ තිරුවාණ පාෂාණ තට්ටුවක් ද පර්යේෂකයන්ට හමුවනවා. ඉතා දැඩි ඛනිජයක් වන තිරුවාණ පාෂාණ එවැනි පීඩනයකට ලක්වීමට නම් ඉතා දැවැන්ත කම්පන තරංගයකට ලක්විය යුතු යි.

උල්කාෂ්මයක් පොළොවට පතිත වීමෙන් නිර්මාණය වූ ආවාටයක් මෙම ප්‍රදේශයේ දක්නට නොමැති නිසාවෙන් මෙවැනි විනාශයක් සිදුවීමට නම් අභ්‍යවකාශ වස්තුවක පිපුරුමක් වායුගෝලයේ දී සිදු විය යුතු බවට නිගමනය වුණා. විනාශයේ ප්‍රමාණය හා සිදු වී ඇති දිශාව සැලකූ විට Tall el-Hammam නගරයට යාබද ව මළ මුහුද ප්‍රදේශයේ සිට කිලෝමීටරයක් පමණ ඉහළ අහසේ එවැනි පිපුරුමක් සිදු වී ඇති බවයි පැහැදිලි වුණේ. මෙය මෙගා ටොන් 12ක පමණ ප්‍රබල පිපුරුමක් වන්නට ඇති බවට සැලකෙනවා.

උල්කාපාත වායු පිපුරුම සිදුවුවා යැයි සැලකෙන ආකාරය – sci-news.com

 

නගරය සියවස් ගණනකට අතහැර දැමේ

ගොඩනැගිලිවලට සිදුවූ හානිය සැලකීමේ දී නගරයේ ජිවත් වූ සියලු දෙනා හදිසියේ ඇති වූ මෙම පිපුරුම හේතුවෙන් මිය යන්නට ඇති බව විශ්වාස කෙරෙනවා. කෙසේවෙතත් මෙම සිදුවීමෙන් පසු වසර 700ක් පමණ ගතවන තුරු මෙම ප්‍රදේශය ජනවාසයකින් තොරවූ බවටයි සාක්ෂි හමුවී ඇත්තේ. එයට ප්‍රධාන හේතුව වන්නේ නගරය ආශ්‍රිත භූමියේ පස නිසරු වීම බවට විශ්වාස කෙරෙනවා. ඒ බව තහවුරු කරගෙන ඇත්තේ පස් ස්තරවලින් ලබා ගත් සාම්පලවල අධික ලවණ ප්‍රමාණයක් තිබීම මගිනු යි.

මළ මුහුද යනු ලවණ ප්‍රමාණය අධික මුහුදු කලාපයක් වීම නිසාත් ඒ ආශ්‍රිත වෙරළ කොටසේ ද එවැනි ම ලවණ සාන්ද්‍රණයක් තිබිය යුතු යි. නමුත් Tall el-Hammam නගරයට එපිටින් වගා කළ හැකි භූමි පැවතුණත් පිපුරුමෙන් පසු ඒවා ද අතහැරුණේ කෙසේද යන්න ගැටලුවක් වනවා. පර්යේෂකයන්ගේ ඒ සඳහා වූ පැහැදිලි කිරීම වූයේ පිපුරුම නිසා මුහුදු ජලය සහ වෙරළබඩ ලවණ මිශ්‍ර පස විසි වී ගොස් අවට කලාපයේ ම ව්‍යාප්ත වන්නට ඇති බව යි. එසේම මුහුදු ජලය, අධික උෂ්ණත්වය නිසා වාෂ්ප වී ලවණ ස්ඵටික ලෙස නගරය සහ වගාබිම් ප්‍රදේශවල තැන්පත් වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

කැණීම් කටයුතු සිදුවන ආකාරය – archaeologydigs.blogspot.com

 

Tall el-Hammam නගරය ආශ්‍රිත ව ලබා ගත් පස් සාම්පලවල ලවණ සාන්ද්‍රණය 50,000ppm බවයි වාර්තා වන්නේ. සාමන්‍යයෙන් තිරිඟු වගා කළ හැක්කේ ලවණ සාන්ද්‍රණය 13,000ppm ට අඩු පාංශු තත්ත්වවල දී පමණක් වන අතර බාර්ලි සඳහා එම අගය 18,000ppm පමණ වනවා. ඒ අනුව පසුකාලීන ව හෝ ජනාවාස ඇති නොවීම මෙමගින් පැහැදිලි වනවා මෙන් ම උල්කාපාත වායු පිපුරුමක් සිදු වූ බවට වන මතය තවදුරටත් තහවුරු වනවා.

වෙනත් උල්කා පිපුරුම් ඇතිවූ ප්‍රදේශවල මෙන් ම Tall el-Hammam නගරය ආශ්‍රිතවත් ප්ලැටිනම් සහ කාන්දම් ගෝලිකා වැඩි සාන්ද්‍රණයකින් හමු වී තිබීම ද තවත් ප්‍රබල සාක්ෂියක් ලෙස දැක්විය හැකි යි. මේ සියලු සොයාගැනීම් අනුව යමින් Tall el-Hammam නගරය ආශ්‍රිත කැණීම් කටයුතු තවදුරටත් සිදුවනවා.

පෘථිවියේ උල්කා ගැටීම වැලැකීමට ගෙන ඇති පියවර

උල්කාෂ්මයක් පතිත වී හෝ වායුගෝලයේ පුපුරා යාමකින් පෘථිවි ජීවයට අනතුරක් ඇතිවීමේ සම්භාවිතාවක් පවතින බව අප බැහැර කළ යුතු නැහැ. එහෙත් NASA ඇතුළු අනෙකුත් අභ්‍යවකාශ ආයතනවල ගණනයන්ට අනුව විශාල ප්‍රමාණයේ උල්කාෂ්මයක් පෘථිවියේ ගැටීමට ඉදිරි වසර 100 ගණනක කාලය තුළ ඉඩක් නොමැති බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් 2019 වසරේ පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කළ ‘2019 OK’ නම් ඇස්ටරොයිඩය හඳුනාගැනුණේ පැය 24කට පමණක් පෙරාතුව වීම නිසා ගණනයන් ද නිරවද්‍ය නොවන අවස්ථා පවතින බව ද සැලකිය යුතු යි.

උල්කා ගැටීමකින් පෘථිවියේ ජීවය ආරක්ෂා කර ගැනීමේදී හොලිවුඩ් චිත්‍රපටවල මෙන් පෘථිවියේ ගැටීමට එන ඇස්ටරොයිඩයක් ඈත අභ්‍යවකාශයේ දී පුපුරුවා හැරීම අපට පළමුවෙන් ම සිහියට නැගෙන්නක්. නමුත් එවැනි පුපුරුවා හැරීමක දී විශාල ඇස්ටරොයිඩය කුඩා කොටස්වලට කැඩී ගියත් එම කොටස් වලින්ද නැවත අනතුරුදායක පිපුරුමක් පෘථිවි පෘෂ්ඨයේ හෝ වායුගොලයේදී නිර්මාණය විය හැකියි.

මේ නිසා වඩා පිළිගත් ක්‍රමවේදය වන්නේ න්‍යෂ්ටික මිසයිලයක් ඇස්ටරොයිඩය ආසන්නයේ පුපුරුවා හැරීමෙන් එහි ගමන් පථය සුළු වශයෙන් වෙනස් කිරීම බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. පෘථිවිය ඇතුළු සියලු අභ්‍යවකාශ වස්තූන් අධික වේගයෙන් ගමන් කිරීම නිසා ඉතා සුළු වෙනසක් නිවැරදි මොහොතේ දී සිදු කිරීමෙන් විශාල ලෙස ඇස්ටරොයිඩයේ ගමන් පථය වෙනස් කළ හැකි යි.

ඇස්ටරොයිඩවල ගමන් පථය වෙනස් කරන HAIV යානය – nasa.gov

 

ඇස්ටරොයිඩයක ගමන් පථය වෙනස් කිරීම සඳහා පිපුරුමක් සිදු කිරීම වෙනුවට NASA ආයතනය DART (Double Asteroid Redirection Test) නම් අත්හදා බැලීමේ මෙහෙයුමක් සිදු කරනවා. මෙහිදී සිදු වන්නේ තත්පරයට කිලෝමීටර 6ක පමණ අධික වේගයකින් ගමන් කළ හැකි යානාවක් (HAIV – Hypervelocity Asteroid Intercept Vehicle) මගින් ගැටීමට එන ඇස්ටරොයිඩය වටා පරිභ්‍රමණය වන කුඩා ඇස්ටරොයිඩයක දිශාව වෙනස් කිරීම යි. මේ සඳහා අධි තාක්ෂණයකින් යුත් ස්වයං පාලනයක් ඇති NEXT-C Ion නම් Electric Propulsion එන්ජිමක් භාවිත කරනවා. ඊට අවශ්‍ය බලය ලබා ගන්නේ සුර්ය ශක්තියෙන් වීමත් විශේෂත්වයක්. මෙම මෙහෙයුම ලබන වසරේ දී අත්හදා බැලීමට නියමිත යි.

මේ පිළිබඳ ව විස්තර කෙරෙන වීඩියෝවක් පහළින් නරඹන්න.

කවරයේ පින්තූරය -  bloomberg.com 

මූලාශ්‍ර:

phys.org 

nature.com 

earthdate.org 

tallelhammam.com 

science.howstuffworks.com

nationalgeographic.com 

christianity.com

interestingengineering.com

Related Articles