මිහින්තලේ ආරාම සංකීර්ණයේ කටු සෑය සහ ඉදිකටු සෑය

සුවිශේෂී බෞද්ධ සිද්ධස්ථානයක් වන මිහින්තලේ පූජා භූමිය මෙරට බෞද්ධයන්ගේ ඉමහත් වන්දනාමානයට ලක් වන පූජා භූමියකි. ඊට ප්‍රධාන හේතුව වන්නේ මෙරටට බුදු දහම රැගෙන වැඩම කළ මහින්ද හෙවත් මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිසට දේවානම්පියතිස්ස රජු හමු වූයේ මෙම ස්ථානයේ දී වීම යි.

ඒ අනුව මිහිඳු හිමි ඇතුළු පිරිස මෙරටට වැඩම කළ දිනය වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය සහ ඒ ආශ්‍රිත කාලයේ දී මිහින්තලේ පූජා භූමිය ආශ්‍රිත ව විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරේ. වර්තමානය වන විට මිහින්තලේ පූජා භූමිය ලෙස හැඳින්වෙන්නේ සීමිත භූමි ප්‍රමාණයක් වන නමුත් ඈත අතීතයේදී එය විශාල භූමි ප්‍රමාණයක් පුරා විහිදී තිබූ ආරාම සංකීර්ණයක් බව වර්තමානයේ දී පවා දැකිය හැකි නටබුන්වලින් පෙනී යයි. වර්තමාන මිහින්තලේ පුද බිම ලෙසින් හඳුනා ගන්නා ප්‍රදේශයෙන් ඔබ්බට වන්නට ද එම ආරාම සංකීර්ණයට අයත් ද තිබූ දාගබ් වැනි නටබුන් දැකිය හැකි අතර මෙම ලිපිය එවැනි සුවිශේෂී දාගබ් දෙකක් වූ කටු සෑය සහ ඉදිකටු සෑය පිළිබඳ ව යි.

මිහින්තලා කන්ද – Facebook- Ancient Sri Lanka

මිහින්තලා විහාර පරිශ්‍රය     

අනුරාධපුර නගරයට කිලෝමීටර් පහළොවක් පමණ නැගෙනහිරින් පිහිටා ඇති මිහින්තලය ලෙස ‌බොහෝ විට අප හඳුන්වන්නේ අම්බස්තල චෛත්‍යය පිහිටි ප්‍රදේශය පමණක් වුවත් පැරැණි මිහින්තලා ආරාම සංකීර්ණය මිහින්තලා කන්ද, රාජගිරිලෙන කන්ද,  ආනෙයිකුට්ටි කන්ද හා ඇත්වෙහෙර කන්ද යනුවෙන් අඩි 1,000ක් පමණ උස ශේෂ කඳු ගැට  සතරක් පුරා විහිදී තිබූ ආකාරය වර්තමානයේ හෙළි කරගෙන ඇත. දේවානම්පියතිස්ස රජතුමන් මහින්ද (මිහිඳු) හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලාට වැඩ වාසය කිරීම සඳහා ලෙන් කුටි 68ක් කරවන ලද්දේ මෙම පරිශ්‍රයේ ය.

මෙය මිස්සක පබ්බත, චේතිය පබ්බ, මහින්දත්ථල, අම්බත්ථල ආදි නම්වලින් ද හඳුන්වා ඇත. මිහින්තලා යන්න මහින්දත්ථල යන්නෙන් නිර්මාණය වූ නමක් වන අතර අඹතලා ලෙස නිර්මාණය වී ඇත්තේ අම්බත්ථල යන යෙදුම පාදක කරගෙන ය. ඉතිහාසය පුරාම මිහින්තලය රජවරුන්ගේ නොමද අනුග්‍රහයට පාත්‍ර වූ බව පෙනී යන අතර ලජ්ජතිස්ස රජු සෑගිරි වෙහෙර වටා සෙල්පවුරක් බැන්ද වූ අතර ඔහුගේ මළණු වූ මහදැළියාමනා රජු එහි ගිරිභණ්ඩ පූජාවක් පවත්වා ඇත. ඊට අමතර ව වසභ රජු එහි දහසක් ප්‍රදීප පූජා පැවැත්වූ අතර කනිට්ඨතිස්ස රජු එහි චේතියඝරයක් ද කරවූ බව මූලාශ්‍රයන්හි සඳහන් වේ.

මහායානික ආභාසය

ශ්‍රී ලාංකික ථෙරවාද බුදුදහමේ කැපීපෙනෙන ස්ථානයක් වූ මිහින්තලය ද පසු කාලීන ව අභයගිරිය නියෝජනය කළ ධර්මරුචි නිකායිකයන්ගේ ආධිපත්‍යයට යටත් වූ බව ඉතිහාසය පිරික්සීමේ දී පෙනී යයි. ධාතුසේන රජු (ක්‍රි.ව 463- 479) අඹතලා වෙහෙර අලුත්වැඩියා කරවා අභයගිරි විහාරික ධර්මරුචි නිකායට අයත් භික්ෂූන්ට පූජා කළ බව මහාවංසයෙහි සදහන් වේ.

මිහින්තලේ ආරාම සංකීර්ණය/- istockphoto.com

අනුරාධපුර අභයගිරිය පුදබිමේ පිහිටා ඇති පස්වෙනි කාෂ්‍යප රජුගේ සෙල්ලිපියෙන් ද මිහින්තලය යම් කලෙක අභයගිරියට අයත් ව තිබූ බව සනාථ වේ. මේ අනුව මිහින්තලය හෙවත් චේතියගිරිය අභයගිරිය සතු වූ වැදගත් පූජනීය ස්ථානයක් වූ අතර මහසෙන් රජු විසින් මහාවිහාරයට තාඩන පීඩන එල්ල කරන ලද අවස්ථාව වන විට ද  මිහින්තලයේ බලය ධර්මරුචිකයන් සතු වූ බව මහාවංසයට අනුව පෙනී යයි.

කටු සෑයේ පිහිටීම

මිහින්තලේ වන්දනාවේ යන බොහෝ පිරිසකට මෙම කටුසෑය දක්නට නොලැබීමට හේතුවක් වන්නේ මෙම පරිශ්‍රය පිහිටා තිබෙන්නේ අම්බස්තල චෛත්‍ය පරිශ්‍රයට පරිබාහිර ව වීම නිසායි. කටු සෑයට පහසුවෙන් ම ළඟා වීමට හැකි අතර මිහින්තලේ කෞතුකාගාරය දෙස සිට කළුදිය පොකුණ පරිශ්‍රය දෙසට දිවෙන A9 මාර්ගය ඔස්සේ ගමන් කිරීමේ දී කළුදිය පොකුණ පරිශ්‍රයට ප්‍රථමයෙන් මෙම කටු සෑය ප්‍රධාන මාර්ගය අසල ම පිහිටා තිබෙනු දැක ගත හැකි ය.

කටු සෑය වන්දනාමාන කරන බැතිමතුන් – seemore4less.com 

කටු සෑය යන නාමය හා ඒ පිළිබඳව වන ජනප්‍රවාද 

සාමාන්‍යයෙන් චෛත්‍යයකට නොයෙදෙන නමක් ලෙස කටු සෑය යන නම හඳුනාගත හැකි අතර ජනප්‍රවාදවලට අනුව මෙම සෑයේ මිහින්තලා ආරාම සංකීර්ණය  නිර්මාණය කිරීම සඳහා ප්‍රයෝජනයට ගන්නා ලද කම්හල් උපකරණ සහ ආයුධ නිධන් කර ඇති බව පැවසුණත් එය සත්‍යතාවයෙන් තොර බව බොහෝ දෙනකු දරන මතයයි.

පුරාණ කාලයේ දී මිහින්තලයේ සෙල්ලිපිවල ද සඳහන් කොට ඇති ‘කතු සෑය’ මෙය බව හඳුනාගත හැකි අතර ඒ පිළිබඳ ව සතරවැනි මිහිදු රජුගේ මිහින්තලා පුවරු ලිපියේ ‘…….. කතුමහසෑයෙහි කම්නවාමට් දම්ගමියෙන්……..දෙව්දූන් ගෙහි ඉසා කතුසෑයෙහි ඉසා කිර්බඬ්පව් දාගැබ්හි ඉසා……’ යනුවෙන් සඳහන් වේ. එහි සදහන් වෙන්නේ එම කතුමහ සෑයේ ප්‍රතිසංස්කරණ උදෙසා පූජා කළ ඉඩකඩම් ආදිය ඇත් වෙහෙර පාලනය කරන නිලධාරීන් ම පාලනය කළ යුතු බවත් නිසි කලට එම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ යුතු බවත්ය.

සිවු වන මිහිඳු රජු කරවූ සෙල්ලිපිය – sinhala.archaeology.lk 

ඇතැමුන් මෙහි දැක්වෙන කතු සෑය මිහින්තලේ කන්ඨක චෛත්‍ය බවට අර්ථ නිරූපණය කළ ද එහි සඳහන් වන්නේ කණ්ඨක චෛත්‍ය නොව මෙම කටු සෑය බව සනාථ වේ. කාලයාගේ ඇවෑමෙන් කතු යන්න උච්ඡාරණයේ පහසුව තකා කටු ලෙස ව්‍යවහාර වන්නට ඇතැයි සිතිය හැකි ය. මහාවංසයට අනුව මෙම කතු සෑය කරවන ලද්දේ ක්‍රි.ව  807-812 රාජ්‍ය කරන ලද දෙවැනි දප්පුල රජුගේ බිසව වූ සේනා නම් වූ බිසව විසිනි.

වාස්තු විද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක පර්යේෂණ

විශේෂ වාස්තු විද්‍යාත්මක සැලැස්මක් අනුව නිමවා ඇති මෙම චෛත්‍යය ශිලාමය ප්‍රාකාරයක් සහිත මඳක් උස් වු වේදිකාවක් මත හෙවත් මළුවක් මත පිහිටා ඇති අතර ප්‍රමාණයෙන් එතරම් විශාල නොවේ. මෙම චෛත්‍යයේ පේසාවන් සහිත පාදම කොටස ද ශිලාමය නිර්මාණයන් වේ. ඉන් ඉහළ කොටස ගඩොලින් නිමවා ඇති අතර ධාතු ගර්භයෙන් ඉහළ කොටස වර්තමානය වන විට දක්නට නොලැ‌‌බේ. සෑ මළුවට පිවිසීම සදහා පියගැට පෙලක් ඇති අතර එහි දෙපස කොරවක් ගල් ද්විත්යක් හා මුර ගල් ද්විත්වයක් ද දැකිය හැකි ය.

දහනව වැනි සියවසේ මුල් භාගයේ දී මෙම සෑයේ සිදු කරන ලද කැණීම්වලදී ක්‍රිව 8 – 9 කාලයට අයත් ආකාශ ගර්භ වැනි මහායාන පුස්තකයන් ගෙන් උපුටාගත් ධර්මපාඨ සටහන් වූ තඹ තහඩු කීපයක් හමුවී ති‌බේ. එයින් පෙනී යන්නේ මහායානිකයන් ගරු කළ ධර්මධාතු නමස්කාරය නම් පූජා ක්‍රමය කටු සෑය ආශ්‍රිතව පැවැති බවයි. වර්ෂ 1941 දී මෙම කටු සෑය පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් බවට පත් කරන ලදී.

ඉදිකටු සෑය – attractionsrilanka.com

ඉදිකටු සෑය

කටු සෑය පූජා භූමියට මදක් එපිටින් පිහිටා ඇති ඉදිකටු සෑය එක්වර ප්‍රධාන මාර්ගයට දිස් නොවන අතර එයට හේතු වී ති‌බෙන්නේ එය මදක් කැළෑබද ප්‍රදේශයක පිහිටා තිබීම යි. ජනප්‍රවාදයන්ට අනුව මෙම සෑය නිර්මාණය කොට ති‌‌බෙන්නේ මිහින්තලා ආරාමයේ භික්ෂූන්ගේ චීවර මැසීම සදහා ප්‍රයෝජනයට ගත් ඉදිකටු තැන්පත් කරමිනි. මෙම චෛත්‍යය ද පෙනුමෙන් කටු සෑයට ඉතා සමාන වන අතර ප්‍රමාණයෙන් ද ඊට සමාන වේ.

ඉතිහාසඥයන්ගේ මතයට අනුව මෙම ස්තූපයෙන් ද මහායානික ලක්ෂණ පෙන්නුම් කරන ඒ අවට පිහී ආරාම සංකීර්ණයක නටබුන් අද ද දැක ගත හැකි ය. මේ අනුව පෙනී යන්නේ කටු සෑය හා ඉදිකටු සෑය යන චෛත්‍යය ද්විත්වය හුදකලා චෛත්‍ය නොව ආරාම සංකීර්ණයකට අයත් ව තිබූ චෛත්‍ය බවයි.

කටු සෑය අසළල පඬුරු ගැට ගසා ඇති අයුරු- Google Map – Mikey Kh

වර්තමානයේ පැවැත්වෙන පුද පූජා

වර්තමානය වන විට කටුසෑය ආශ්‍රිත ව දේව විශ්වාසයන් අනුව බහුල ව පුද පූජා සිදු වන බව දක්නට ලැබේ.තවත් මතයක් අනුව මෙම ස්ථානයේ බහිරව දේවතාවුන් උදෙසා පුජා පවත්වයි. පලතුරු පූජා, කිරි ඉතිරවීම හා පඬුරු ගැටගැසීම් ආදී පූජා විධි ගණනානක් මේ ආශ්‍රිත ව සිදු වන අතර ඒ සඳහා ම කැප වූ කපු මහතුන් ද සිටින බව පෙනී යයි. සිය ප්‍රාර්ථනා ඉටු කර ගැනීම සඳහා දිනපතා සැලකිය යුතු පිරිසක් මෙම ස්ථානය වන්දනාමාන කරනු දැක ගත හැකි ය. කෙසේවෙතත් මෙහි වන්දනා කටයුතු සඳහා යන ඔබ චෛත්‍යයට හෝ අවට නටබුන්වලට හානි දායක කටයුතු, පූජා ආදිය සිදු කිරීමෙන් වැලැකීම යහපත් වේ.

මූලාශ්‍ර- සිංහල මහාවංසය - ‌බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය

මිහින්තලාවේ හෙළ අභිමානය ලොවටම
පෙන්වන විස්මිත නිමැවුම් - තාරක වික්‍රමසේකර

ශිලා ලේඛන සංග්‍රහය පළමු වෙළුම - පරිවර්තනය සද්ධාමංගල කරුණාරත්න
මිහින්තලේ කටුසෑයේ ප්‍රාර්ථනා පාරාදීසය - ඩබ්ලිව්. ප්‍රදීප්

https://elearning.lk/blog

කවරයේ පින්තූරය- කටු සෑය/ Google Map- Ken Wong

 

Remark: මූලාශ්‍ර- සිංහල මහාවංසය - ‌බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මිහින්තලාවේ හෙළ අභිමානය ලොවටම පෙන්වන විස්මිත නිමැවුම් - තාරක වික්‍රමසේකර ශිලා ලේඛන සංග්‍රහය පළමු වෙළුම - පරිවර්තනය සද්ධාමංගල කරුණාරත්න මිහින්තලේ කටුසෑයේ ප්‍රාර්ථනා පාරාදීසය - ඩබ්ලිව්. ප්‍රදීප් https://elearning.lk/blog කවරයේ පින්තූරය- කටු සෑය/ Google Map- Ken Wong

Related Articles