සුන්දර මිනිහා ගල් කන්දේ අසිරිය විඳගනිමු

ශ්‍රී ලංකාව තුළ පිහිටා තිබෙන සුන්දරතම ජාතික වනෝද්‍යාන අතුරින් එකක් වන යාල ජාතික වනෝද්‍යානය දකුණු මුහුදු තීරය ආශ්‍රිතව පිහිටා තිබෙනවා. සතුන් නැරඹීම සඳහා ප්‍රිය කරන  බොහෝ දෙනෙකු නිතරම මෙහි සංචාරය කරනවා. එලෙස සතුන් නැරඹීම සඳහා යාල වනෝද්‍යානයට යන දෙස් විදෙස් සංචාරකයන්ට එහි දී  තවත් අපූරු ස්ථානයක් දැකගත හැකියි. ඒ යාල කලාප අංක 2හි පිහිටා තිබෙන මිනිහා ගල් කන්ද නම් අපූරු ස්වභාවික නිර්මාණය යි. ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය ගැන අවධානය යොමු කරන බොහෝ දෙනෙකුට මෙය ඉතාමත් වැදගත් ස්ථානයක්. ඒ මෙම ස්ථානයෙන් ක්‍රි.පූ 500,000 වැනි ඈත යුගයකට අයත්  මානව සාධක හමු වුණු නිසා යි.

ගමන් මාර්ගය 

කොළඹ සිට මිනිහා ගල් කන්ද නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයෙකු මුලින්ම යාල ජාතික වනෝද්‍යානයට පැමිණිය යුතු යි. ඒ සඳහා මුලින්ම කළ යුත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා හම්බන්තොට නගරයට ගමන් කිරීම යි. ඉන් පසුව කිරින්ද, පලටුපාන හරහා වැටී ඇති B/499 මාර්ගය ඔස්සේ යාල ජාතික වනෝද්‍යානය කරා පිවිසිය හැකියි. මිනිහා ගල් කන්ද පිහිටා තිබෙන්නේ යාල කලාප අංක 2 තුළ යි. එලෙස යාල ජාතික වනෝද්‍යානයට පිවිසීමෙන් පසුව මහාසීලව, පටනංගල, සහ බූතව හරහා මැණික් ගඟ අසලට ගමන් කළ යුතුයි. ඉන් පසුව මැණික් ගඟ තරණය කොට මැණික් ගං මෝය වෙත දුෂ්කර ගමනක නිරත විය යුතු යි. එලෙස මැණික් ගං මෝය වෙත පැමිණ තවත් ඉදිරියට ගිය විට යාල වන සීමාවෙන් මිදී මුහුදු වෙරළ වෙත ළඟා විය යුතු යි. එවිට ඔබට ඉතාමත් සුන්දර වටපිටාවක් දැකගත හැකියි. එතැන් සිට තවත් කිලෝමීටර් 2ක පමණ දුරක් වෙරළ දිගේම ගමන් කළ විට මිනිහා ගල් කන්ද නම් සුන්දර ස්වභාවික නිර්මාණය දැකගත හැකියි. 

මිනිහා ගල් කන්ද ඈතට දිස්වන අයුරු (Kasun Lakmal Premadasa)

ඓතිහාසික වැදගත්කම

ලංකාවේ ඉතිහාසය ගැන අධ්‍යයනය කරන බොහෝ දෙනෙකු වඩාත් උනන්දු වන්නේ විජය කුමරු ලංකාවට පැමිණීමෙන් පසුව සිදුවුණු දේවල් පිළිබඳව සොයා බැලීමට යි. නමුත් ඊට වසර දහස් ගානකට පෙර ලංකාවේ ජනාවාස තිබුණු බව සොයාගෙන තිබෙනවා. එදා සිට අද දක්වා එක් එක් කාලවල පැවති පෙරටුගාමී සමාජ- තාක්ෂණික ලක්ෂණ මෙරට ඉතිහාසය යුග කිහිපයකට බෙදා තිබෙනවා. ආචාර්ය ශිරාන් දැරණියගල විසින් දිගු කලක් තිස්සේ අධ්‍යයනය කිරීමෙන් පසුව මෙරට ඉතිහාසය යුගවලට බෙදා තිබෙන්නේ පහත දැක්වෙන ආකාරයට යි.

1) ක්‍රි.පූ 125,000 (හෝ ඊට පෙර සිට)- ක්‍රි.පූ 1000- ප්‍රාග් ඓතිහාසික අවධිය (පුරා ශිලා, මධ්‍ය ශිලා සහ නව ශිලා යුගයන් මෙයට අයත්)

2) ක්‍රි.පූ 1000 සිට ක්‍රි.පූ 500- ඓතිහාසික යකඩ අවධිය 

3) ක්‍රි.පූ 500 සිට ක්‍රි.ව 300- මූල ඓතිහාසික අවධිය 

4) ක්‍රි.ව 300 සිට ක්‍රි.ව 1200- මධ්‍ය ඓතිහාසික අවධිය 

5) ක්‍රි.ව 1200 සිට ක්‍රි.ව 1500- අන්තර් ඓතිහාසික අවධිය 

6) ක්‍රි.ව 1500 සිට ක්‍රි.ව 1815- නූතන ඓතිහාසික අවධිය 

7) ක්‍රි.ව 1815 සිට වර්තමානය දක්වා- නූතන අවධිය 

ඉහත අවධි අතුරින් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ස්ථාන කිහිපයක් අප රට තුළ දැකිය හැකියි. එම ස්ථාන අතුරින් පැරණිතම ස්ථානය වන්නේ මිනිහා ගල් කන්ද යි. මිනිහා ගල් කන්ද නම් ඓතිහාසික ස්ථානයෙන්  හමුවුණු මෙවලම් ක්‍රි.පූ 500,000 තරම් පැරණි බව පුරාවිද්‍යාඥයන්ගේ මතය යි. පහත දක්වා තිබෙන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ස්ථාන කිහිපයක් සහ ඒවා ආසන්න වශයෙන් අයත්වන කාල සමයන් පිළිබඳව යි.

1) මිනිහා ගල් කන්ද- ක්‍රි.පූ 500,000

2) පතිරාජවෙල- ක්‍රි.පූ 150,000

3) පාහියන් ලෙන- ක්‍රි.පූ 34,000

4) කුරුවිට බටදොඹ ලෙන- ක්‍රි.පූ 32,500

5) කුරුවිට බටතොට ලෙන- ක්‍රි.පූ 30,000

6) කිතුල්ගල බෙලි ලෙන- ක්‍රි.පූ 27,000

7) අළු ලෙන- ක්‍රි.පූ 10,500

8) බෙල්ලන් බැඳි පැලැස්ස- ක්‍රි.පූ 6,500

9) දොරවක කන්ද- ක්‍රි.පූ 5,250

කිතුල්ගල බෙලි ලෙන (Youtube)

මිනිහා ගල් කන්දේ ස්වභාවය පිළිබඳව කෙටියෙන් 

මෙහි ඇති පාෂණ ස්ථරය කාලයක් තිස්සේ ලවණ මිශ්‍ර සුළඟට නිරාවරණය වී තිබුණු නිසා ඛාදනයට ලක්ව තිබෙනවා. එලෙස දීර්ඝ කාලයක් තිස්සේ ඛාදනය වුණු පාෂාණ ස්ථරය මිනිසෙකුගේ රුවක් මෙන් දිස්වන නිසා එය මිනිහා ගල් කන්ද නමින් හඳුන්වනවා. මෙම හුණුගල් සැකැස්මෙහි පහළ ස්ථරය ෆොසිලීකරණය නොවුණු යමල කැටිති සහ වැලි ගල් පාදමකින් යුක්ත යි. ඊට ඉහළින් පිහිටි ප්‍රදේශය දුඹුරු සහ කහ පැහැති වැල්ලකින් යුක්ත යි. මෙහි ඉහළ පෙදෙසේ දී දක්නට මැටි සහ වැලි ස්ථර අතර ෆොසිලීකරණයට ලක් වුණු පසැඟිල්ලන්, ගැස්ට්‍රෝපෝඩාවන්, දෙපියන් බෙල්ලන් වැනි සමුද්‍ර ජීවීන් හමුව තිබෙනවා. 

මිනිහා ගල් කන්දේ පාෂාණවල ස්වභාවය (Kasun Lakmal Premadasa)

මිනිහා ගල් කන්ද ආශ්‍රිතව සිදුකළ කැණීම් 

1923 වසරේ දී මිනිහා ගල් කන්ද ආශ්‍රිතව කැණීම් සිදුකළ මෝර්ලි ඩේවිඩ් විසින් Lamellibranchia සහ Gastropoda යන ප්‍රභේදවලට අයත් අපෘෂ්ඨවංශී මුහුදු ජීවී ෆොසිල හඳුනාගනු ලැබුවා. ඉන් පසුව 1960 වසරේ දී කැණීම් සිදුකළ පෝල් දැරණියගල විසින් ස්පන්ජි, කොරල්, එකයිනොඩර්මාටා වැනි  ප්‍රභේදවලට අයත් අපෘෂ්ඨවංශික ෆොසිල මෙම බිමෙන් සොයාගත්තා. එසේම මිනිහා ගල් කන්ද භූමියෙන් හමුවුණු විවිධ ශිලා මෙවලම් නිසා මෙය ප්‍රාග් ඓතිහාසික මානව වාසස්ථානයක් බව හඳුනාගනු ලැබුවා. එලෙස හමුවුණු ශිලා මෙවලම් පිළිබඳව පර්යේෂණ කිරීමෙන් පසුව අනාවරණය වුණේ මෙහි ක්‍රි.පූ 500,000දී  පමණ පෙර මානව වාසස්ථාන තිබී ඇති බවයි. 

පැරණි ශිලා මෙවලම් (සංස්කාර විනිවිද)

මීට වසර ලක්ෂ ගණනකට පෙර අප රට තුළ මිනිස් වාසයක් තිබුණු බවට සාක්ෂ්‍ය සපයන්නේ මිනිහා ගල් කන්ද නම් පාෂාණ ස්ථරය යි. එම නිසා ඔබ යාල වනෝද්‍යානය නරඹන්නට ගිය අවස්ථාවක මෙම සුවිශේෂී ස්ථානය නරඹා එහි මොහොතක් ගතකරන්න අමතක කරන්න එපා.

කවරයේ ඡායාරූපය- මිනිහා ගල් කන්ද (Kasun Lakmal Premadasa)

මූලාශ්‍රයයන්- අපේ උරුමය- රාජ් සෝමදේව  

Related Articles