Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හැම දෙනාටම නැතුවම බැරි මුදල්

සල්ලි දෙයියන්ගෙ මල්ලි කියනවානේ. කාට කාටත් නැතුවම බැරි සල්ලි ගැන විස්තර ටිකක් කියන්නයි මේ සූදානම. ඇත්තටම මුදල් භාවිතය ආරම්භ වුණේ කොයි කාලෙද, මුදලේ ඉතිහාසය, මුදල් ඒකක ගැන විස්තර දැනගන්න කැමති ඔබට මේ ලිපිය හුඟාක් වැදගත් වේවි.

wallpapercave.com

මුදල් කියන්නේ ධනවත්කමේ සංකේතයක්. මිනිසා ශිෂ්ටාචාරගත වීම ඇරඹුණු කාලය තෙක් මුදලේ ඉතිහාසය දිව යනවා. පසුගිය වසර 3,000ක කාලය තිස්සේ මුදල් මිනිසාට අත්‍යාවශ්‍ය අංගයක් බවට පත් වුණා. කාසියක් හෝ මුදල් නෝට්ටුවක් ලෙස තනිව ගත් විට එහි වටිනාකම අල්පයි. මුදලේ සත්‍ය වටිනාකම පැමිණියේ එය හුවමාරු කිරීමේ මාධ්‍යයක් සහ ධනවත් බවේ මිණුම් දණ්ඩක් බවට පත් වීමෙන් අනතුරුවයි. ඒ වගේම රට රටවල ඉතිහාසය හැදෑරීමේදී ඒ ඒ රටේ ආර්ථික හා සමාජයීය තොරතුරු දැනගත හැකි මාර්ගයක් ලෙසත් මුදල් වැදගත් වෙනවා.

භාණ්ඩ හුවමාරු ක්‍රමය

ආදි මානවයා හුරු වෙලා හිටියේ ස්වයංපෝෂිත ජීවන රටාවකට. ඔවුන්ට තමන්ගේ අවශ්‍යතා බොහෝමයක් තමන් විසින්ම සපුරා ගැනීමේ හැකියාව තිබුණා. එසේ සපුරාගත නොහැකි අවශ්‍යතා වෙනුවෙන් මිනිසුන් එකිනෙකා සමඟ සටන් කළා.

නමුත් පසුකාලීනව තමන් සතු භාණ්ඩ වෙනත් කණ්ඩායමක් සතු භාණ්ඩ සමඟ හුවමාරු කර ගැනීම වඩාත් ආරක්ෂාකාරී සහ පහසු ක්‍රමයක් බව ඔවුන් වටහා ගත්තා. මුදල් භාවිතයට පැමිණීමට පෙර භාණ්ඩ හුවමාරුව ඇරඹුණේ ඒ විදියටයි. ඔවුන් මේ ක්‍රමයෙන් ආහාර, ආයුධ, රෙදි, සැරසිලි ද්‍රව්‍ය, විවිධ අමුද්‍රව්‍ය සහ ගෘහ උපකරණ වගේ දේවල් හුවමාරු කර ගත්තා.

මුදලේ මූලාරම්භය

වර්ෂ 1622දී ගිලුණු Nuestra Señora de Atocha නම්  ස්පාඤ්ඤ නෞකාවෙන් තුළ තිබී හමු වුණු රන්  දණ්ඩක් (www.todayonline.com)

ක්‍රිස්තු පූර්ව 6 වන සියවසට ආසන්න කාලයේදී බටහිර සහ මධ්‍යම ආසියාවේ රන්, තඹ සහ ටින් වැනි ලෝහ නිධිවලින් එම ලෝහ නිස්සාරණය කිරීම ඇරඹුණා. ක්‍රිස්තු පූර්ව 7 වන සියවස වන විට ඊජිප්තුවේ සහ මෙසපොතේමියාවේ නිශ්චිත බරකින් යුතු රන් දඬු භාවිතා කිරීම සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබුණා. මුදල් ඒකක කියන සංකල්පය මුලින්ම ඇති වුණේ මේ කාලයේදීයි. ඉන්පසුව ලොව පුරා අනෙක් ජන සමාජයන්ද පිළිගත් මුදල් ඒකකයක් භාවිතා කරන්නට උත්සාහ දැරුවා.

ඒ කාලයේදී ඔවුන් විවිධාකාර ස්වරූපවල මුදල් ඒකක භාවිත කළා. නැගෙනහිර ආසියාවේ සහ අප්‍රිකාවේ බෙලිකටු, ගල් වර්ග, සත්ත්ව හම්, පබළු වර්ග, පිහි සහ තෝමර තල වැනි ආයුධත් මුදල් ඒකක ලෙස භාවිත කර තිබෙනවා. පිළිගත හැකි පළමු මුදල් ඒකකය වන කාසිය හඳුන්වාදෙන තෙක් මේ මුදල් ඒකක නොනැසී පැවතුණා.

කාසියේ උපත

www.trend-online.com

ඉතිහාසඥයන්ට අනුව මුලින්ම කාසි නිපදවලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 7 වන සියවසේ ලිඩියාවේදියි (වර්තමානයේදී තූර්කිය ලෙස හැඳින්වෙනවා). මෙම කාසිය නිපදවීමට “කනකරජතය” ලෙස හැඳින්වෙන රන් සහ රිදී ලෝහ මිශ්‍රණයක් භාවිතා කර තිබෙනවා. මේ කාසි වර්තමානයේ දක්නට ලැබෙන කාසි වගේ රවුම් හැඩැති වුණේ නැහැ. ඒවා විවිධ හැඩයන්ගෙන් සහ ප්‍රමාණයන්ගෙන් යුක්ත වුණා. මේවායේ සංකේත කොටා තිබුණේත් එක් පැත්තක පමණයි. මේවා බර අනුව වර්ග කෙරුණු අතර ග්‍රෑම් 0.15 සිට ග්‍රෑම් 14 දක්වා බරැති කාසි පැවතුණා. ඉන්පසු ලිඩියාවේ සිට ග්‍රීසිය දක්වා කාසිවල පැතිරීම සිදුවී තිබෙනවා.

මුදල් නෝට්ටු

මුදල් නෝට්ටු වලට මුහුණු යොදා චරිත වලට ගරු කිරීම බොහෝ රටවල සම්ප්‍රදායකි (www.1wallpaperhd.com)

ලිඩියාවෙන් සහ ග්‍රීසියෙන් පසුව චීනයත් කාසි භාවිතය ආරම්භ කළා. කාලයක් ගතවෙන විට අඩු පිරිවැයකින් මුදල් නිපදවීමේ අවශ්‍යතාවය පැන නැඟුණා. ඒ අවශ්‍යතාවය සපුරන්නට මුදල් නෝට්ටු හඳුන්වා දීම සිදු කළේ චීනය විසිනුයි. ඔවුන් මුලදී ලිනන්, උණ, කංසා, මල්බෙරි පොතු සහ මුව හම් භාවිතයෙන් මේ පිළිබඳව අත්හදා බැලීම් කළා. කාසි බරින් වැඩි වීමත්, වෙළඳාමේදී ප්‍රවාහනයේ අපහසුවත් නිසා මුදල් නෝට්ටු තිබීම බොහෝ වාසි සහගත වුණා.

මේ කාලයේදී චීනයේ කඩදාසි මුදල් නෝට්ටු නිපදවීම ඇරඹුණු අතර එවකට බලයේ සිටි චීන පාලකයන් වෙළඳුන්ට ඔවුන් සතු කාසි චීන භාණ්ඩාගාරයෙන් නෝට්ටුවලට මාරු කරගන්නා ලෙස යෝජනා කළා. ඉතා සැහැල්ලු මෙම මුදල් නෝට්ටු සුළඟකින් ගසාගෙන යෑමේ හැකියාවක් ඇති නිසා ඔවුන් මෙය “ෆෙයි ක්යාන්” හෙවත් “පියාඹන සල්ලි” ලෙසත් හැඳින්වූවා.

යුරෝපීය මුදල් නෝට්ටු

මුල් කාලයේදී කඩදාසි නෝට්ටු යුරෝපයේ එතරම් ප්‍රචලිත වුණේ නැහැ. මුදල් නෝට්ටු යුරෝපයට ගෙනාවේ මාකෝ පෝලෝ සහ රූබ්‍රක් හි විලියම් වැනි සංචාරකයන් විසිනුයි.

රට රටවල මුදලේ ඉතිහාසය

ඉතාලිය

1861 සිට 2002 දක්වා ඉතාලියේ භාවිත වුණේ  “ලිරා” නම් මුදල් ඒකකයයි. ඒ වෙනුවට අද භාවිත වෙන්නේ යුරෝ මුදල් ඒකකයයි.

ඉතාලියේ මුදල් නෝට්ටු (currencies.wikia.com)

එංගලන්තය

එංගලන්තයේ නිල මුදල් ඒකකය වන බ්‍රිතාන්‍ය පවුම්, ස්ටර්ලිං පවුම් ලෙසත් හැඳින්වෙනවා. බ්‍රිතාන්‍ය රිදී කාසිය නිපදවූවේ 1552දී වන අතර 1663දී රන් කාසිය නිපදවුණා. භාණ්ඩ ආනයනය කිරීමේදී රිදී කාසිත්, භාණ්ඩ අපනයනය කිරීමේදී රන් කාසිත් භාවිත වුණා. එංගලන්තය පළමු මුදල් නෝට්ටුව නිකුත් කළේ 1694 වසරේදියි.

ඇමරිකාව

ඇමරිකාවේ නිල මුදල් ඒකකය වන්නේ ඇමරිකන් ඩොලර්. එංගලන්තයේ මුදල් නෝට්ටු භාවිතා වෙන අතරතුරේදීත් ඇමරිකාවේ සිදු වුණේ භාණ්ඩ හුවමාරුවමයි. නමුත් 1775 දී ඇමරිකාවේ “The Continental” නමින් මුදල් නෝට්ටුවක් හඳුන්වා දෙනවා. ඩොලරය නමින් නැවත නම් කරනු ලැබුවේ මෙම මුදල් නෝට්ටුවයි. “ඩොලර්” නාමය “Thaler” යන ජර්මන් වචනයෙන් බිඳී ආවක්.

The Continental මුදල් නෝට්ටුව (www.worldbanknotescoins.com)

1781 වසරේදී ඇමරිකාවේ පළමු ජාතික බැංකුව ආරම්භ කළ අතර 1785දී ඇමරිකානු ඩොලරය එහි පිළිගත් මුදල් ඒකකය බවට පත් වුණා. 1914දී $5, $10, $20, $50. සහ $100 මුදල් නෝට්ටු නිකුත් වූ අතර 1918දී $500, $1,000, $5,000 සහ $10,000 වැනි ඉහළ වටිනාකමකින් යුතු නෝට්ටු නිකුත් කෙරුණා. 1929දි නෝට්ටු නිෂ්පාදන වියදම අවම කිරීමට නෝට්ටුවක ප්‍රමාණය 25%කින් අඩු කළා. ඉහළම වටිනාකමකින් යුත් $100,000 නෝට්ටුව නිකුත් කළේ 1934දියි.

1934දී නිකුත් කළ $100,000 නෝට්ටුව (alphanumis.blogspot.com)

චීනය

පුරාණ චීනයේ මුදල් ඒකකය ලෙස ප්‍රධානවම භාවිත වුණේ කාසි. රන්, රිදී, යකඩ, තඹ සහ ඊයම්වලින් විවිධ හැඩයට, විවිධ බරින් සහ විවිධ සංකේතවලින් මේ කාසි සමන්විත වුණා. පසුකාලීනව පළමු කඩදාසි නෝට්ටු හඳුන්වාදුන්නේත් චීනය විසිනුයි.

ප්‍රංශය

1999දී යුරෝ මුදල් ඒකකය හඳුන්වා දෙන තුරු ප්‍රංශයේ නිල මුදල් ඒකකය වුණේ ෆ්‍රෑන්ක්. මෙය හඳුන්වා දුන්නේ 1360දීයි. 1803දි “Germinal Franc” ලෙස නව මුදල් ඒකකයක් හඳුන්වා දුන්නා. 2002දී යුරෝ ප්‍රංශයේ නිල මුදල් ඒකකය බවට පත් වුණා.

ශ්‍රී ලංකාව

1929දී නිකුත් කළ ශ්‍රී ලංකා රුපියල් 5 නෝට්ටුව (www.wikiwand.com)

ලංකාවේ පළමු මුදල් නෝට්ටුව විදියට සැලකෙන්නේ පතාග නෝට්ටුවයි. 1785 මැයි 10 වැනිදා මෙය නිකුත් කරනු ලැබුවා. මුල් අවධියේදී පතාග 50, 100, 500 සහ 1000 නෝට්ටුත්, පසු කාලීනව ඊට අමතරව පතාග 1, 2, 3, 4, 5, 10 නෝට්ටුත් නිතුක් කළා. 1870 වර්ශයේදී ශ්‍රි ලංකාවේ ඉන් පෙර පැවති සියළුම කාසි සහ මුදල් නෝට්ටු භාවිතය අහෝසි කළ අතර 1872දී රුපියල් ශත ක්‍රමය ආරම්භ වුණා.

අද අපි කවුරුත් පාවිච්චි කරන මුදල්වල අාරම්භය සිදු වුණේ එ් විදිහටයි.

කවරයේ පින්තූරය – pickywallpapers.com

මූලාශ්‍ර:

  1. visual.ly
  2. www.chinahighlights.com
  3. www.oanda.com
  4. www.fxcm.com
  5. www.divaina.com
  6. www.danuma.lk
  7. wikipedia.org
  8. www.wikiwand.com
  9. slbanknotes.blogspot.com

Related Articles