යුද්ධයෙන් වැනසුණු රටවල් 5ක්

එක්තරා යුගයක ශ්‍රී ලංකාව පුරා යුද ගිනිදැල් පැතිරුණු ආකාරයට ම ගෙවුණු දශක කිහිපය ඇතුළත ලෝකයේ සමහර රටවල්වලට යුද්ධය නිසා දැඩි ලෙස හානි සිදුවුණා. ඊට  ආසන්න ම උදාහරණ ලෙසින් වර්තමානයේ දී ඇෆ්ගනිස්ථානය ආශ්‍රිත ව උද්ගතව ඇති තත්ත්වයත්, මීට මාස කිහිපයකට ගාසා තීරය තුළ මතුවුණු යුදමය තත්ත්වයත් දක්වන්නට පුළුවන්. මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ යුද්ධය නිසා විනාශයට පත්වුණු රටවල් 5ක් පිළිබඳව යි. 

5) ලිබියාව 

1969 අගෝස්තු මාසයේ ලිබියාවේ ඉද්‍රිස් රජතුමන් විදෙස් සංචාරයක නිරත වුණා. ඉන් ප්‍රයෝජන ගත් මුවම්මර් ගඩාෆි ඇතුළු පිරිස ලිබියාවේ පාලන බලය අල්ලා ගත්තා. එලෙස ලිබියාවේ පාලකයා වශයෙන් පත්වුණු 27 හැවිරිදි ගඩාෆි 2011 වසර දක්වා එරට පාලනය කළා. 2010 දෙසැම්බරයේ ටියුනීසියාවෙන් ඇරඹුණු අරාබි වසන්තය හේතුවෙන් වසර 23ක් පාලන බලයේ සිටි ෂිනෙ අබ්දීන් අලී නම් එරට ජනාධිපතිවරයා තනතුරෙන් නෙරපා දැමුණා. 

ඒ සමඟම අප්‍රිකාවේ සහ මැද පෙරදිග රටවල්වල දීර්ඝ කාලයක් තිස්සේ බලයේ සිටි ජනාධිපතිවරුන්ට එරෙහි ව විරෝධතා රැල්ලක් ඇති වුණා. 2011 වසරේ මුල් භාගයේ දී එවැනි විරෝධතා ලිබියාවේ නැගෙනහිර ප්‍රදේශය ආශ්‍රිත ව වාර්තා වුණා. ඉන් අනතුරු ව රට පුරා ම ඇතිවුණු විරෝධතා මැඩලීමට ගඩාෆිට හැකිවුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2011 අගෝස්තු මාසය වන විට ට්‍රිපොලි අගනුවර බලය කැරලිකරුවන්ට හිමි වුණා. ඒ සමඟම ප්‍රදේශයෙන් පලා ගිය ගඩාෆි ඔහුගේ උපන් ගමන් වුණු සිර්ටේ ප්‍රදේශයේ දී සතුරන්ට අසු වුණා. කැරලිකරුවන් ඉන් පසු ඔහු අල්ලාගෙන වධ දී මරා දැමුවා. 

මුවම්මර් ගඩාෆි – getty images

 

ලිබියාව විවිධ ගෝත්‍රයන්ට අයත් ජන කණ්ඩායම් ජීවත් වන රටක්. ගඩාෆි එහි ස්ථාවරත්වය පවත්වාගෙන ගියේ ආරක්ෂක අංශවල ශක්තියෙන් සහ එක් එක් ගෝත්‍රවල එදිරිවාදිකම් එකිනෙකාට  එදිරි ව භාවිත කිරීමෙන්. ගඩාෆිගේ මරණින් පසු ඔහු පවත්වා ගෙන ගිය මධ්‍යගත පාලනය කඩා වැටී ගෝත්‍ර එකිනෙකා කුළල් කාගන්නට පටන් ගත් නිසා දශක 4කට වැඩි කාලයක් පැවති සාමකාමී වාතාවරණය බිඳ වැටුණා.

ඉන් පසුව 2012 සහ 2014 වසරවල දී ලිබියාවේ මහා මැතිවරණ පැවැත්වුණා. එම මහා මැතිවරණවලින් පසුව ද එරට දේශපාලන අස්ථාවරත්වය දිගට ම පැවතුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් විවිධ සන්නද්ධ කණ්ඩායම් රට පුරා ප්‍රචණ්ඩත්වය වපුරන්නට වුණා. ඒ අනුව 2011 වසරේ සිට ලිබියාවේ පවතින සිවිල් යුද්ධය නිසා එරටට දැඩි හානියක් සිදු ව තිබෙන බව මෙහි දී සිහිපත් කළ යුතු යි. 

ලිබියාවේ සිවිල් යුද්ධය – getty images

 

4) සිරියාව 

සිරියාව යන නම ඇසුණු සැනින් සිතෙහි ඇති වන්නේ එතරම් ප්‍රසන්න හැඟීමක් නොවෙ යි. ඒ එරට තුළ පවතින යුදමය වාතාවරණය නිසා යි. 2011 මාර්තු 15 වැනිදා බෂාර් අල් අසාද්ගේ පාලනයට එරෙහි ව සිරියාව තුළ විරෝධතා මාලාවක් ආරම්භ වුණා. එම විරෝධතා මැඬලීම සඳහා එරට ආරක්ෂක අංශ ගත් දරුණු ක්‍රියාමාර්ග හේතුවෙන් වැඩි කලක් යන්නට පෙර සන්නද්ධ අරගලයක් ඇතිවුණා. ඒ අනුව 2011 ජූලි 29 වැනිදා පිහිටුවා ගත් නිදහස් සිරියානු හමුදාව බෂාර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව සටන් වැදුණා.

ටික කලක් යන විට ඇතැම් බටහිර රටවල සහාය ද තුර්කියේ සහාය ලබන සටන්කාමී සංවිධාන ද, සමහර ඉස්ලාමීය සංවිධාන ද නිදහස් සිරියානු හමුදාවට සහාය ලබා දීමට තීරණය කළා. ඒ අතරතුර සිරියානු රජයට හිස්බුල්ලා සංවිධානය සහ ඉරානය සහාය ලබා දුන්නා. 2015 වසරේ සිට රුසියාව ද පසු ව ඉරාකය ද සිරියානු රජයට සහාය පළ කළා.

සිරියාවේ රජයට එරෙහිව සටන් වදින කණ්ඩායම් – getty images

 

2013 වසරේ මැද භාගය වන විට ඉස්ලාම් අන්තවාදී සංවිධාන කිහිපයක් සිරියානු යුද්ධයට සක්‍රීය ව දායක වුණා. අල් කයිඩා, ISIS, අල් නුස්රා පෙරමුණ වැනි සංවිධාන ඒ අතුරින් කැපී පෙනුණා. විදෙස් රටවල සිට පැමිණි සටන්කාමීන් ද එම සටනට සම්බන්ධ වුණා. එහි දී සිරියානු රජයට විරුද්ධ රටවල්වලින් මෙම පාර්ශව වෙත අවි ආයුධ සහ වෙනත් ආධාර ගලාගෙන ආවා. 

ඒ අයුරින් සිරියා යුද්ධයේ දී විදෙස් හමුදා කණ්ඩායම් ඉස්ලාමීය අන්තවාදී සංවිධාන වෙත එල්ල කරන ගුවන් ප්‍රහාර හේතුවෙන් පසුගිය කාලයේ දී විශාල විනාශයක් සිදුවුණා. දැනට වසර 10කටත් වැඩි කාලයක් පුරාවට පවතින සිරියා සිවිල් යුද්ධය නිසා ලක්ෂ 6කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බව වාර්තාවල දැක්වෙනවා. මිලියන ගණනක් සිරියානු වැසියන් අවතැන් වෙද්දී තවත් විශාල සිරියානුවන් ප්‍රමාණයකට සරණාගතයන් ලෙසින් වෙනත් රටවල්වලට යාමට සිදුවුණා.

සිරියානු යුද්ධයේ අසුන්දර දසුනක්- getty images

 

3) ඉරාකය 

1979 වසරේ දී බලයට පත්වුණු සදාම් හුසේන් සුන්නි ඉස්ලාම් ලබ්ධිකයෙක්. ඔහුගේ පාලන සමය තුළ ශියා මුස්ලිම්වරුන්ට මෙන්ම කුර්දීන්ට ද දැඩි පීඩනයකට මුහුණ දීමට සිදු වුණා. 80 දශකයේ දී ඔහු  කුර්දීන් මර්දනය කිරීම සඳහා රසායනික අවි ප්‍රහාර පවා එල්ල කළ බවට සාක්ෂ්‍ය තිබෙන බව පැවසෙනවා. ඒ අයුරින් ඉරාකය තුළ මර්දනකාරී පාලනයක් ගෙන ගිය සදාම් හුසේන් 1980-1988 කාල සමයේ ඉරානය සමඟ යුද වැදුණා.

ඉරාන-ඉරාක යුද සමයේ දී ක්වේට් රජය ඉරාකයට මුදල් ආධාර ලබා දුන්නා. පසුව ක්වේට් රජය ඉරාකයෙන් එම මුදල් ඉල්ලා සිටියා. ඒ වන විට ඉරාකයේ ආර්ථිකය පිරිහී තිබුණු නිසා ඔවුන්ට එම මුදල් ආපසු ගෙවීමට හැකියාවක් තිබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉරාකය සහ ක්වේටය අතර සීතල යුද්ධයක් ඇති වුණා.

සදාම් හුසේන් – getty images

එදා ඉරාකයට රිදවීම සඳහා ක්වේටය ඔවුන්ගේ තෙල් නිෂ්පාදනය 40%කින් වැඩි කළා.  එලෙස ක්වේට් රජය තෙල් නිෂ්පාදනය වැඩි කිරීම, ඉරාකයේ ආර්ථිකයට එල්ල කළ මරු පහරක් වුණා. ඒ අවස්ථාවේ දී එවකට ඉරාක විදේශ ඇමති ධූරය දැරූ තරීක් අසීස් පවසා සිටියේ ක්වේට්ය තෙල් නිෂ්පාදනය වැඩිකරමින් ඉරාකයට එරෙහි ව ආර්ථික ආක්‍රමණයක් සිදු කළ බ වයි. එහි දී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ඉරාන – ඉරාක යුද සමයේ දී ගත් ණය කපා හැරීමට ක්වේට් රජය කටයුතු කළ යුතු බව යි.

ඒ අයුරින් ඔහු කළ ප්‍රකාශයත් සමඟ ම ඉරාකය සහ ක්වේටය අතර තිබුණු ගැටුම තවත් දුරදිග ගියා. එදා ඉරාක – ක්වේට් ගැටුම දුරදිග යාමෙන් පසුව එවකට ඉරාක නායකයා වශයෙන් කටයුතු කළ සදාම් හුසේන් හිතුවක්කාර තීරණයක් ගත්තා. ඒ ඉරාකයේ බලය පෙන්වීම සඳහා ක්වේටය ආක්‍රමණය කිරීමට යි. 1990 අගෝස්තු 3 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය ඉරාකයෙන් ඉල්ලා සිටියේ හැකි ඉක්මනින් ඔවුන්ගේ හමුදා ක්වේට් බිමෙන් ඉවත් කරගන්නා ලෙස යි. ඉරාක නායක සදාම් හුසේන් ඒ කිසිවකුගේ ඉල්ලීමකට කන්දුන්නේ නැහැ. එනිසා දිගට ම ඉරාක හමුදා ක්වේට් බිමේ රැඳී සිටියා. 

ක්වේටය ආක්‍රමණය කිරීම – getty images

 

ඉන් අනතුරුව ඉරාකය ආශ්‍රිත ව ආරම්භ වුණු යුද්ධය පළමු ගල්ෆ් යුද්ධය ලෙසින් හැඳින්වුණා. එහි දී බ්‍රිතාන්‍ය, අමෙරිකාව, සෝවියට් රුසියාව, ප්‍රංශය, ජර්මනිය, ජපානය, ඊජිප්තුව, සහ සෞදි අරාබිය යන රටවල්වල හමුදා ඉරාකයට එරෙහි ව සටනට පිවිසියා. එසේම සුඩානය, යේමනය, ජෝර්දානය, ඇල්ජීරියාව, ටියුනීසියාව සහ පලස්තීන විමුක්ති සංවිධානය යන පාර්ශව ඉරාකයට සහාය දැක්වීමට එකතු වුණා. එදා ඉරාකයට එරෙහිව සටන් වැදුණු පාර්ශවය බලවත් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ගල්ෆ් යුද්ධයෙන් ඉරාකය අන්ත පරාජයක් ලැබුවා. 

ඒ අනුව ඉම්පීරියල් යුද කෞතුකාගාරය ඉදිරිපත් කරන දත්තවලට අනුව ගල්ෆ් යුද්ධය හේතුවෙන් ඉරාක භටයන් 20,000-35,000 ත් අතර ප්‍රමාණයක් මරණයට පත් ව තිබෙනවා. සිවිල් වැසියන් 100,000-200,000 අතර ප්‍රමාණයක් මරණයට පත්වන්නට ඇතැයි විශ්වාස කරනවා. ගල්ෆ් යුද්ධය නිසා දැඩි පරිසර හානියක් ද සිදුවුණා.

පර්සියානු බොක්කට බොරතෙල් විශාල වශයෙන්  මුදා හැරීම නිසා වෙරළ තීරය දූෂණය වුණා. තෙල් ළිං ගිනි ගැනීම නිසා වායුගෝලයට විෂ වායූන් එකතු වුණා. එමගින් පරිසරයට විශාල හානියක් සිදුවුණා. ගල්ෆ් යුද්ධය නිසා සිදු වුණු විනාශය හේතුවෙන් ඉරාකය ආර්ථිකමය වශයෙන් පිරිහීමකට ලක්වුණු බව ද කිව යුතුම යි.

පළමු ගල් යුද්ධය – getty images

 

2003 මාර්තු මාසයේ දී අමෙරිකාව සහ බ්‍රිතාන්‍යයේ මූලිකත්වයෙන් ඉරාක ආක්‍රමණයක් සිදු වුණා. එහි දී සදාම් හුසේන් පාලනය යටතේ පීඩාවට පත්ව සිටි ශියා මුස්ලිම්වරුන් සහ කුර්දීන් ආක්‍රමණිකයන්ට සහාය දැක්වූවා. එම ආක්‍රමණයට ලෝකයේ රටවල් රැසක් විරෝධය පළ කළත් ඉන් පලක් වුණේ නැහැ.

එදා අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය එකතු වී සදාම් හුසේන්ගේ පාලනය පෙරළා දමා ඔහුට මරණීය දණ්ඩනය ද ලබා දීම එවකට දැඩි ආන්දෝලනයකට ලක්වුණු සිදුවීමක් වුණා. එලෙස ඉරාකය තුළ පැවති යුදමය තත්ත්වය නිසා දැඩි විනාශයක් සිදුවුණා. රට අස්ථාවරත්වයටත් පත්වුණා. ඒ අයුරින් ඉරාකය පුරා ඇවිළුණු ගිනිදැල් අදටත් නොනිමී පවතිනවා.

2003 ඉරාක යුද්ධය – getty images

2) පලස්තීනය 

1947 වසර වන විටත් පලස්තීනයේ බහුතරයක් සිටියේ මුස්ලිම්වරුන්. එක්සත් ජාතීන්ගේ සංවිධානය,  1947 දී පලස්තීනය පිහිටා තිබුණු භූමිය තුළ ඊශ්‍රායලය සහ පලස්තීනය වශයෙන් වෙනම රාජ්‍ය දෙකක් ප්‍රකාශයට පත් කළා. එක්සත් ජාතීන් භූමිය බෙදීමට යෝජනා කළේ මෙලෙසින්:

* පලස්තීනයේ භූමියෙන් 56.47%ක යුදෙව් රාජ්‍යයක් පිහි‍ටුවීම. මෙම භූමියට යුදෙව්වන් 498 000ක් සහ මුස්ලිමුන් 325 000ක් අයත් ය. 

* පලස්තීනයේ භූමියෙන් 43.53%ක මුස්ලිම් රාජ්‍යයක් පිහි‍ටුවීම. මෙම භූමියට මුස්ලිමුන් 807 000ක් සහ යුදෙව්වන් 10 000ක් අයත් ය. 

* ජෙරුසෙලම මේ රාජ්‍යයන් දෙකට ම අයත් නොවන අන්තර්ජාතික පාලනයක් යටතේ  තබාගැනීම. මෙම භූමියට මුස්ලිමුන් 105,000ක් සහ යුදෙව්වන් 100,000ක් අයත් ය. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය පලස්තීනය සහ ඊශ්‍රායලය වෙන් කිරීමට ඉදිරිපත් කළ මේ සැලැස්මට යුදෙව්වන් එකඟ වුණත්, මුස්ලිම්වරුන් එකඟ වුණේ නැහැ. ඔවුන්ගේ තර්කය වුණේ පැරණි පලස්තීනයේ මුස්ලිම් ජනයා වැඩිපුර ජීවත් වුණු නිසා, පලස්තීනය බෙදා වෙන්කරන විට වැඩි ප්‍රදේශයක් පලස්තීන කොටසට හිමි විය යුතු බව යි.

1947 එක්සත් ජාතීන්ගේ භූමිය වෙන් කිරීමේ සැලැස්ම – Al Jazeera

 

1948 මැයි මාසයේ දී බ්‍රිතාන්‍යයන් පලස්තීන භූමියෙන් ඉවත්වුණා. ඒ සමඟ ම ඊශ්‍රායලය තමා නිදහස් රාජ්‍යයක් බව ප්‍රකාශයට පත් කළා. එයට විරුද්ධ වුණු ජෝර්දානය, ඊජිප්තුව, ලෙබනනය, ඉරාකය, සහ සිරියාව යන රටවල් පහ පසුදාම ඊශ්‍රායලය සමඟ යුද වැදුණා. 1949 ජූලි මාසයේ එම යුද්ධය අවසන් වෙද්දී කලින් පැවති පලස්තීන බිම් ප්‍රදේශවලින් 2/3ක් ඊශ්‍රායලය අයත් කරගෙන තිබුණා.

එසේම ඊජිප්තුවට ගාසා තීරයේ බලයත්, ජෝර්දානයට බටහිර ඉවුරු ප්‍රදේශයේ බලයත් හිමි වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පලස්තීනයේ ජනයාට උරුම වුණේ ඉතාමත් කුඩා බිම් ප්‍රදේශයක් පමණ යි. එනිසා ලක්ෂ 7කට වැඩි පලස්තීන වැසියන් පිරිසක් අසල්වැසි අරාබි රටවල්වලට සරණාගතයන් ලෙස සංක්‍රමණය වුණා.

1949 යුද්ධයේ අවස්ථාවක් – getty images

 

ඒ අයුරින් පලස්තීනයට ඔවුන්ගේ පැරණි බිම් ප්‍රදේශය අහිමි වුණු නිසා ඊශ්‍රායලය සමඟ බද්ධ වෛරයෙන් සිටි පලස්තීන ජාතිකයන් 1964 වසරේ දී පලස්තීන විමුක්ති සංවිධානය පිහිටවූවා. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන අරාබි ලීගය ලබා දුන්නා. 1965 වසරේ වසරේ දී පලස්තීන විමුක්ති සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාර මාලාවක් ආරම්භ කළා. 1965 වසරේ දී ප්‍රහාර 35කුත්, 1966 වසරේ දී ප්‍රහාර 41කුත් ඔවුන් ඊශ්‍රායලය වෙත එල්ල කර තිබුණා.

මෙම විමුක්ති සංවිධානය 1967 වසරේ පළමු කාර්තුව ඇතුළත ප්‍රහාර 30කට වැඩි ප්‍රමාණයක් සිදු කළා. එම ප්‍රහාර එල්ල වුණේ ඊශ්‍රායෙලයේ සාමාන්‍ය ජනයා ඉලක්ක කරගෙන. එනිසා  පලස්තීනය සහ ඊශ්‍රායලය අතර තිබුණු වෛරය තවත් වැඩි වුණා. එම වසරේ ඊශ්‍රායලය, සිරියාව, ජෝර්දානය සහ ඊජිප්තුව අතර ඇති වුණු සය දින යුද්ධයෙන් ජයග්‍රහණය හිමි වුණේ ඊශ්‍රායලයට යි. එදා ඔවුන් පලස්තීනයට ඉතිරි ව තිබුණු ඉතිරි බිම් කොටස්වලින් ද සැලකිය යුතු ප්‍රමාණයක් අල්ලා ගත්තා. 

සය දින යුද්ධයේ අවස්ථාවක් – getty images

 

එදා සිට ගෙවුණු දශක 5ක කාලය තුළ ඊශ්‍රායෙල්-පලස්තීන යුද්ධය විවිධ අවස්ථාවන්වල දී ඇවිළ ගියා. ටික කාලයක් දෙපාර්ශවය අතර සාම ගිවිසුමක් ක්‍රියාත්මක වුණත් ඉන් සාර්ථක ප්‍රතිඵල අත්වුණේ නැහැ. ඊශ්‍රායලය යුද ශක්තිය අතින් ඉදිරියෙන් සිටින රටක් නිසා දෙපාර්ශවය අතර ඇති වුණු සටන්වලින් වැඩිම හානියක් සිදු වුණේ පලස්තීනයට යි.

ඒ අනුව තවමත් විටින් විට ඇවිළ යන මෙම අර්බුදය හේතුවෙන් පලස්තීනයට විශාල හානියක් සිදුවුණා. පැරණි පලස්තීන භුමි ප්‍රදේශවලින් ඔවුන්ට දැනට ඉතිරි ව තිබෙන්නේ ඉතාමත් කුඩා භූමි ප්‍රදේශයක් පමණ යි. 

එදා සිට අද දක්වා පලස්තීනයට සිය භූමිය අහිමි වුණු හැටි- Diplomatic mission of palestine

 

1) ඇෆ්ගනිස්ථානය

1973 වසරට පෙර ඇෆ්ගනිස්ථානයේ රාජාණ්ඩුවක් පැවතුණා. එම වසරේ මොහොමඩ් සහීර් ෂා රජතුමා හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කළ මොහොමඩ් ඩාවුඩ් ඛාන් එරට බලය පාලන අල්ලා ගත්තා. ඩාවුඩ් ඛාන් ද රජ පවුලට නෑකම් කියූ අයෙක් වුණත් ඔහු රාජාණ්ඩුව අහෝසි කර සමූහාණ්ඩුවක් පිහිටවූවා.

එම  කාලය තුළ එරට කොමියුනිස්ට් පක්ෂය වුණු  මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බලවත් වන්නට පටන් ගත්තා. ලැබුණා. එසේම සෝවියට් දේශය සහ ඇෆ්ගනිස්ථානය අතර සබඳතා ඇති වුණා. පසුව ඩාවුඩ් සෝවියට් දේශය සමඟ තිබුණු සබඳතා අඩු කිරීමට තීරණය කළා. එනිසා මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ඩාවුඩ් අතර ගැටුම් ඇති වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1978 වසරේ දී ඩාවුඩ්ව බලයෙන් නෙරපා ඝාතනය කළා. 

ඉන් පසුව ඇෆ්ගනිස්ථානයේ ඇතිවුණු කොමියුනිස්ට් පක්ෂ පාලනය සෝවියට් රුසියාව සමඟ සබඳතා ඇති කර ගත්තා. ඒ පිළිබඳ ව අමෙරිකාව සහ අසල්වැසි පාකිස්තානය සතුටට පත්වුණේ නැහැ. 1979 වසරේ දී ජනාධිපති නූර් තරාකි ඝාතනය කොට අගමැති හෆිසුල්ලා ආමින් බලය අල්ලා ගත්තා. ඔහු සෝවියට් රුසියාව සමඟ ගැටුම් ඇති කර ගත්තා.

ආමින් බටහිරට නැඹුරු වනු ඇති බවට අනුමාන කළ සෝවියට් දේශය සිය හමුදා ඇෆ්ගනිස්ථානය වෙත යවා ආමීන් ඝාතනය කර එරටට හිතවත් පාලකයකු වුණු බබ්රක් කර්මාල් යටතේ නව රජයක් පිහිටවීමට කටයුතු කළා. 1979 වසරේ දී සිදුවුණු එම සිද්ධියෙන් පසුව සෝවියට් හමුදා භට පිරිස් විශාල ප්‍රමාණයක් ඇෆ්ගනිස්ථානයට ඇතුළු වුණා. 

1979 සෝවියට් ආක්‍රමණය – getty images

 

එම කාල වකවානුව වන විට සුන්නි මුස්ලිම් මුජහිදීන් කණ්ඩායම් ඇෆ්ගනිස්ථාන රජයට විරුද්ධව සටන් කරමින් සිටියා. එදා ඇෆ්ගනිස්ථානයට සෝවියට් රුසියානු හමුදා ඇතුළු වීම පිළිබඳ ව අසතුටු වුණු අමෙරිකාව සහ පාකිස්තානය මුජහිදීන් කණ්ඩායම්වලට ආධාර කළා. ඉන් පසුව සෝවියට්, ඇෆ්ගන් හමුදා කණ්ඩායම් සහ සුන්නි මුස්ලිම් මුජහිදීන් කණ්ඩායම් අතර දරුණු සටන් ඇවිළ ගියා. එනිසා ඇෆ්ගනිස්ථානයට විශාල විනාශයක් සිදුවුණා. 1985 දී සෝවියට් දේශයේ බලයට පත්වුණු මිහායිල් ගොර්බචොෆ්ට ඇෆ්ගන් යුද්ධය අවසන් කිරීමට අවශ්‍ය වුණා. ඒ අනුව ඔහු 1989 වසර විට ඇෆ්ගනිස්ථානයෙන් රුසියානු හමුදා ඉවත් කරගත්තා. 

ඉන් පසුව ඇෆ්ගනිස්ථානයේ බිහිවුණු තලේබාන් සංවිධානය 1996 දී එරට පාලන බලය අල්ලා ගත්තා. 2001දී අමෙරිකාවට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කළ අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ට තලේබාන් සංවිධානය රැකවරණය ලබා දුන්නා. ඒ පිළිබඳ ව උරණ වුණු අමෙරිකාව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීම හේතුවෙන් එරට තලේබාන් පාලනය බිඳ වැටුණා. ඉන් පසුව අමෙරිකානු හිතවාදී රජයක් ඇෆ්ගනිස්ථානය තුළ ස්ථාපිත කෙරුණා.

අමෙරිකා-තලේබාන් යුද්ධය – getty images

අමෙරිකානු සහ නේටෝ හමුදා ඇෆ්ගනිස්ථානය තුළ ස්ථානගත කෙරුණා. පසු කලෙක  සැඟ ව සිටි තලේබාන් සටන්කරුවන් සහ අමෙරිකන් හමුදා අතර ගැටුම් ඇතිවුණා. පසුගිය වසර කිහිපය තුළ ඇෆ්ගනිස්ථානයෙන් අමෙරිකානු සහ නේටෝ හමුදා සැලකිය යුතු ප්‍රමාණයක් ඉවත් වුණා. ඉන් උපරිම වාසිය ගත් තලේබාන් සටන්කරුවන් ඇෆ්ගනිස්ථානයේ බලය යළි අල්ලා ගත්තා. ඒ අනුව දශක 4ක් පුරාවට ඇෆ්ගනිස්ථානයේ ඇවිළුණු යුද ගිනිදැල් තවදුරටත් නොනිමී පවතිනු ඇති. 

 

 

 

 

කවරයේ ඡායාරූපය - යුද්ධයෙන් පීඩා විඳින අසරණ මිනිසුන්- getty images

මූලාශ්‍ර:

history.com

forces.net

Saddam: The Secret Life by Con Coughlin Un.org

Soviet war in Afghanistan

CNN 

Related Articles