සෝවියට් සමූහාණ්ඩුවේ කුරිරුත ම කම්කරු කඳවුරු – වොර්කුටා ගුලාග්

1920 දශකයේ පටන් 1950 දශකය වන තුරු, සෝවියට් සමූහාණ්ඩුවේ කුප්‍රකට ‘වොර්කුටා ගුලාග්’ කම්කරු කඳවුරු නොහොත් එළිමහන් සිර කඳවුරුවලට අනුයුක්ත කළ මිනිසුන් ගණන මිලියන දෙකකට අධික යි. රුසියාවේ අතිශය දුෂ්කර පෙදෙස්වල සංවර්ධන කටයුතු සඳහා පිහිටවූ මේවාට අනුයුක්ත කළේ දේශපාලන සිරකරුවන්, අපරාධකරුවන් සහ විප්ලවවාදී මත දැරූ සාමාන්‍ය ජනතාව සහ ගොවියන් වැනි අය යි. 

නිසි ලෙස කුසට අහරක් හෝ, වේතනයක් නොමැති ව, සාමාන්‍ය මිනිසකුට දැරිය නොහැකි තරමේ වැඩ කන්දරාවක්, දැරිය නොහැකි තරමේ පරිසර තත්ත්ව තුළ, කිසිදු ආරක්ෂාවක් නොමැති ව ඔවුන් ඉටු කළ අතර, 1931 – 62 අතර කාලයේ දී ඒවා ඇතුළත දී මිය ගිය ගණන දෙලක්ෂයක් (200,000 ක්) පමණ වන බවට ගණන් බලා තිබෙනවා.

1945 වසරේ දී පමණ වොර්කුටා ගුලාග් හි රැඳවියන් පිරිසක්- Laski Diffusion/Getty Images

වධකාගාරයක ලක්ෂණ සහිත කඳවුරු

වොර්කුටා ගුලාග් කඳවුරු පිහිටා තිබුණේ සෝවියට් සමූහාණ්ඩුවේ අගනුවර වන මොස්කව් හි සිට සැතපුම් 1000 ක පමණ දුරින්, ආක්ටික් වෘත්තයට සැතපුම් 100 ක් පමණ උතුරට වන්නට යි. මෙහි වූ ගල් අඟුරු ආකරවල, නිතිපතා, කඳවුරු 130 කට පමණ අයත් ‘කම්කරුවන්’ මිලියනයකට අධික සංඛ්‍යාවක් සේවයේ යොදවා තිබුණා. ‘වොර්කුටා ගුලාග් කම්කරුවන් හෝ සිරකරුවන්’ ලෙස නම් කළ ඔවුන්ට එහි වූ අධික ශීතලෙන් ආරක්ෂා වීම සඳහා වන මූලික උපාංගවත් නිසි ලෙස සපයා තිබුණේ නැහැ. දවසේ ඉතා දිගු වේලාවක් ඔවුන් සේවය කළ අතර, නිසි ලෙස ආහාර හෝ වේතනයක් ද ලැබුණේ නැහැ.

වසර 20 කට අධික කාලයක් පැවති මේ කඳවුරුවල සිටි දේශපාලන සිරකරුවන් සමහර දෙනෙක් ඉතා හොඳ අධ්‍යාපනයක් ලබා තිබූ අය වූ අතර, නාසි සම්බන්ධතා, අනෙකුත් අපරාධ කිරීම වැනි දේ නිසා, ස්ටාලින් රජය ඔවුන් මෙහි එවා තිබුණා. එහි වූ අනෙකුත් අය ස්ටාලින්ට එරෙහි දේශපාලනික මත දැරීම නිසා මෙහි එවූ අය වුණා. සෝවියට් රජයේ නොපනත්කම් ඉවසා දරා ගත නොහැකි ව සිය හඬ අවදි කළ අය ද මෙහි එවා තිබුණු අතර, ඉන් සමහරක්, පසුකාලීන ව මෙම කඳවුරු ඉවත් කරගත් පසු ද මෙම පෙදෙසේ රැඳුණු අතර, ඔවුන්ගෙන් පැවත එන්නන් අද ද එහි සිටිනවා.

වොර්කුටා ගුලාග් හි ආරම්භය

පළමුවන නිකුලස් සාර් රජ සමයේ හෙවත් 1840 දශකයේ දී රුසියාව සිය දේශපාලන සිරකරුවන් රඳවා තැබීමට සුදුසු, ජනශුන්‍ය බිම්කඩක් සොයමින් සිටියා. වොර්කුටා පෙදෙසේ වූ අභියෝගාත්මක පරිසර සාධක මැඬගෙන ජීවත් වීම ඉතා අපහසු බැව් පෙනී ගිය නිසා, එම අදහස ඔහු අතැර දැම්මා.

කෙසේ නමුත් පසුකාලීනව රුසියානු කුලවතුන් ඊට විරුද්ධ වූයේ කාරණා දෙකක් මුල්කොටගෙන යි. ඉන් පළමුවැන්න, හදිසියේ තම පන්තියේ අයකු දේශපාලන සිරකරුවෙක් වුවහොත්, ඔහුට ආරක්ෂිත ව එහි වසන්නට පහසුකම් සැලසිය හැකි බැව් ඔවුනට පෙනී ගියා, දෙවැන්න ස්වභාවික සම්පත් වලින් ආඪ්‍ය වොර්කුටා හි, පඩි නොගෙවන කම්කරුවන් ස්ථානගත කොට, එහි වූ ස්වභාවික සම්පත් උකහා ගැනීමට හැකි වෙයි නම් එය කාර්මීකරණය සඳහා ඉතා හිතකර බැව් ඔවුන් අනුමාන කරන්නට වුණා.

කම්කරු කඳවුරු පිළිබඳ ව වූ අදහසට නව පණක්

1930 වසරේදී කොමි ජනරජයේ ගල් අඟුරු සොයාගැනුණේ මේ අතර යි. මේ නිසා වොර්කුටා සම්බන්ධ කම්කරු කඳවුරු පිළිබඳ ව වූ අදහසට නව පණක් ලැබුණා. මේ අනුව 1931 වසරේ දී සිරකරුවන් දුසිම් දෙකක්, භූගර්භ විද්‍යාඥයන් සහ ආරක්ෂකයන් කිහිප දෙනෙක් එහි යැවුණා. ඉන් පසු එළඹි වර්ෂයේ දී ඔවුන් එහි පළමුවන ගල් අඟුරු පතලෙහි කැණීම් සිදු කළා. ඒ වන විට එය වසා තිබී මඩ සහිත පොළොව, අඳුරු වටපිටාව මෙන් ම ටයිගාව යම් ස්වභාව සෞන්දර්යයයකින් යුක්ත වූ බැව්, එහි ගිය පළමු කණ්ඩායම් සාමාජිකයෙක් වන කුලෙව්ස්කි පසුකාලීනව ප්‍රකාශ කර තිබුණා.

වොර්කුටා ගුලාග් සංකල්පය රුසියානු පාලකයන් අතර ඉතා ඉක්මනින්  ජනප්‍රිය වුණා. ඊට හේතුව වූයේ 1930 දශකයේ මැද භාගය වන විට එම පෙදෙසින් ඉතා හොඳින් ගල් අඟුරු සැපයුම සිදුවීම නිසා යි. 1938 වසර වන විට එහි සිරකරුවන් 15,000 කට අධික සංක්‍යාවක් සේවය කළ අතර, 1946 වසරේදී එය හැට දහස (60,000) ඉක්මවූවා.

වොර්කුටා ගුලාග් වෙත ඇතුළු වන තැන ඉදිකර තිබූ පුවරුව මෙහි ‘සෝවියට් රුසියාවට සේවය කරන්නන් විරුවන්’ වන බවට සඳහන් වේ- Laski Diffusion/Getty Images

රුසියානු බලධාරීන්ගෙන් සිදු වූ වද බන්ධන

සිරකරුවෙක් ලෙස වොර්කුටා හි ගෙවන ජීවිතය බොහෝ දෙනකුට කිසි ලෙසකින් පහසු වූයේ නැහැ. සිරකරුවන් ඒ වෙත ප්‍රවාහනය කර තිබුණේ කිටි කිටියේ සිර වන ලෙස ඇසුරූ දුම් රිය මැදිරිවල යි. බලධාරීන් ඔවුන් හැඳින්වූයේ ‘සුදු ගල් අඟුරු’ ලෙස යි. මෙලෙස ගමන් කිරීමේදී ම කිහිප දෙනෙක් මිය ගිය අතර, සෑම නැවතුමක ම පාහේ ඔවුන්ගේ සිරුරක් දෙකක් ඉවත් කරන්නට යෙදුණා. කෙසේ නමුත් මෙහි සේවයට යන සිරකරුවන්ට මෙසේ සේවය කිරීම ‘රුසියාව වෙනුවෙන් කරන අභිමානවත් සේවයක් බවත්, ඔවුන් සන්තුෂ්ඨිය සහ මානුෂිකත්වය වෙත ගෙන යන බවත්’ ඒත්තු ගන්වන්නට බලධාරීන් උත්සාහ කළා.

මුල් කාලයේදී වොර්කුටා වෙත ළඟා වූ සිරකරුවන්ට නිසි පරිදි නවාතැන් පහසුකම් තිබුණේ නැහැ. ඔවුන්ට ජීවත් වන්නට වූයේ කූඩාරම් වල යි. ගල් අඟුරු පතල් අවට සාදා තිබූ මේවායේ ශීතලෙන් ආරක්ෂා වීම සඳහා පහසුකම් නිසි ලෙස නොතිබූ අතර, බූරු ඇඳන්, ශරීරකෘත්‍යය කිරීම සඳහා බාල්දි වැනි දේවලින් සමන්විත වුණා. මේවායේ ඇති බිත්ති ඉරී ගිය පසු මඩ භාවිතයෙන් ඒවා වැසීම සිදු වුණා.

විශාලත ම අභියෝගය දැඩි ශීතලයි

වොර්කුටා පැමිණෙන අයට වූ විශාලත ම අභියෝගය වූයේ එහි ඇති දැඩි ශීතල යි. වසරේ මාස 10 ක් පමණ එහි ශීත සමය වූ අතර, එහි උපරි ම කාලයේ දී උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 40 ට පමණ අඩු වනවා. නිති පතා භයානක හිම කුණාටු ද ඇති වෙනවා. සිරකරුවන් සහ ඔවුන්ගේ ආරක්ෂකයන්ගේ ආරක්ෂාවට රැගෙන ගොස් සිටි සුනඛයින්ට හිම කුණාටු පැමිණෙන බවට ඉව වැටෙන අතර, ඔවුන් උඩු බුරලන්නට ගන්නවා.

එසේ සිදුවන විට සිරකරුවන් තමන් හුන් තැන ම පොළොව හාරා, ගුල් තනා ගෙන, ඒවා තුළට වී සිටිය යුතු වෙනවා. එක් වතාවක දී හිම කුණාටුවක් නිසා සිරකරුවන් 150 දෙනෙක් පමණ පණ පිටින් වැළලී ගොස් තිබූ අතර, ආරක්ෂකයන් ඔවුන්ගේ ජීවිතවලට වඩා තමන්ට අහිමි වූ ඇඳුම් ආයිත්තම් ගැන ළතැවුණු බැව්, එහි වූ සිරකරුවෙක් පසුකාලීනව මාධ්‍ය හමුවේ පවසා තිබුණා.

වොර්කුටා ගුලාග් මුල් සමයෙහි (1932 පමණ ) සේවය කරන පිරිසක්- Wikimedia Commons

වොර්කුටා හි සේවය කළ කම්කරුවන්ට නිසි ලෙස අත්වැසුම්, පා වැසුම්වත් සපයා තිබුණේ නැහැ. ඔවුන් සියලු දෙනා උදෑසන 5 ට අවදි විය යුතු වූ අතර, දිනකට පැය 12 බැගින් වැඩ කළ යුතු වුණා. දැඩි ශීතල නිසා මේ නිසා සිරකරුවන්ගේ අවයව ගල් වී කුණු වී යාම බහුලව සිදු වුණා. මෙම පෙදෙසෙන් පැන යන්නට උත්සාහ කරන අය අල්ලා ගෙන, අමානුෂික ලෙස පහර දෙන්නටත්, නිරුවත් කර, අන් අයගෙන් වෙන් කර සිර අඩස්සියේ තබන්නටත් බලධාරීන් කටයුතු කළා.

1953 වසරේදී ජොසප් සටාලින් මිය ගියා. මේ වන විට වොර්කුටා හි සේවය කිරීම සිරකරුවන්ට ඇති වී තිබුණා. ඔවුන් ස්ටාලින්ගේ මරණය ප්‍රයෝජනයට ගෙන වැඩ වරන්නටත්, විරෝධතා දක්වන්නටත් වුණා. එම වසරේ ජූලි මස ඔවුන් මහා වැඩ වර්ජනයක් ආරම්භ කළ මුත්, අගෝස්තු මස 1 වැනි දා බලධාරීන් ඔවුන්ට වෙඩි තැබූ අතර, ඉන් දුසිම් ගණනක් මිය ගොස්, සිය ගණනක් තුවාල ලැබුවා. 

කෙසේ නමුත් ඔවුන් සටන අත් නොහැරියේ, සාමූහිකත්වයෙන් ඕනෑම බලවේගයක් පරාජය කළ හැකි බැව් පසක් කරමිනු යි. ඉක්මනින් ම වොර්කුටා ගුලාග් හි අවසානය සනිටුහන් වූ අතර,1962 වසරේදී එය වසා දැමුණා. ඒ වන විට එහි සේවය කරමින් සිටියදී මිය ගිය ගණන විසි ලක්ෂය ඉක්මවා තිබුණා.

වොර්කුටා ගුලාග් වසා දැමීමෙන් පසු සමය

වොර්කුටා ගුලාග් වසා දැමීමෙන් පසු, සිරකරුවන් ඒ පෙදෙසෙන් නික්මී ගියා, කෙසේ නමුත් ඉන් සමහරකට යාමට තැනක් තිබුණේ නැහැ. ඔවුන් වොර්කුටාවල ම රැඳුණේ එය ජනාවාසකරණය කරමින්. ඉන් පසු රුසියාවේ නන් දෙසින් සමහරක් දෙනා ද මේ පෙදෙසට ඇදුණේ ආර්ථික කරුණු මුල්කරගෙන යි.

සිරකරුවන් නික්ම යාමත් සමඟ සෝවියට් බලධාරීන් විශාල ගැටලුවකට මුහුණපෑවා. ඒ ඒ වන විට රුසියාවට ගල් අඟුරු සැපයූ මර්මස්ථානයක් බවට වොර්කුටා පත් වී තිබීම නිසා යි. කිසි ලෙසකින් එහි වූ ගල් අඟුරු පතල් වැසිය නොහැකි තත්ත්වයක් ඇති වී තිබුණා. මේ නිසා විශාල වේතනයන් ගෙවමින්, කම්කරුවන් එහි යවන්නට ඔවුනට සිදු වුණා. මේ නිසා කෙමෙන් කෙමෙන් වොර්කුටා පාසල්, පල්ලි, රෝහල් සහිත නගරයක් බවට පත් වුණා. ඒ වන විට එහි ගල් අඟුරු පතල් 13 ක් ඇති අතර, 1980 දශකය වන විට එහි වූ ජනගහනය දෙලක්ෂ පනස් දහස (250,000) දක්වා වැඩි වී තිබුණා. 

වොර්කුටාව වර්තමානයේ දිස් වන අයුරු – Pinterest.com

කෙසේ නමුත් වොර්කුටා හි සමෘද්ධිමත්භාවය වැඩි කල් තිබුණේ නැහැ. අද වන විට එහි වූ ගල් අඟුරු පතල්වලින් ක්‍රියාකාරී මට්ටමෙහි තිබෙන්නේ පතල් 4 ක් පමණ යි. එහි සමහර ස්ථාන සම්පූර්ණයෙන් ජනශුන්‍ය පෙදෙස් බවට පත් වී තිබෙනේ ‘හොල්මන්’ නගරයක ස්වරූපයක් දක්වමිනු යි. එහි ජනගහනය මේ වන විට හැට දහස (60,000) දක්වා අඩු වී තිබෙනවා. එහි ඉඩම් කඩම් වැනි දේ මිල අඩු වුවත්, එහි වූ ජනයා වඩාත් පහසුකම් සහිත පෙදෙස් සොයා ගොස් තිබෙනවා. මෙයට හේතුව වී ඇත්තේ 1990 දශකයේ මුල් භාගයෙහි සෝවියට් සමූහාණ්ඩුව කඩා වැටුණු පසු මෙම පෙදෙසට බලධාරීන්ගෙන් ලැබුණු අවධානය අඩු වීම යි. 

කවරයේ ඡායාරූපය - වර්තමානයේ වොර්කුටා නුවර- flipboard.com
මූලාශ්‍ර:
Allthatsinteresting.com
Rferl.org
Calvertjournal.com

Related Articles