Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

20 වන සියවසේ නොසිතු විරූ ප්‍රසිද්ධ මරණ

නොසැලකිල්ල, නොසලකා හැරිම, තමන් පිළිබඳ අධි තක්සේරුව නිසා සිදුවන මරණ එදිනෙදා ජීවිතයේ දී නිතර හමුවේ. පසුගිය සියවසේ ලොව ඉතාම ප්‍රසිද්ධියට පත් වූ එවන් ආකාරයේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ මරණ පිළිබඳ තොරතුරු ද ඉතිහාසය තුළ හමුවේ. මේ 20 වන සියවස තුළ ලොව ප්‍රකට පුද්ගලයන් හතර දෙනෙකු නොසිතු අන්දමින් අවාසනාවන්ත ලෙස මරණයට පත් වූ සිදුවීම් 4කි.

බ්‍රැන්ඩන් ලී

බ්‍රැන්ඩන් (Night Flight)

බ්‍රැන්ඩන් ලී යනු ලොකු කුඩා කා අතරත් ඉතා ජනප්‍රිය සටන් ශිල්පියෙකු වන බෲස් ලී’ගේ පුත්‍රයා ය. පියාගේ මඟම ගමන් කරමින් ක්‍රියාන්විත චිත්‍රපට කලාවේ නිරත වූ බ්‍රැන්ඩන් තමන්ගේ ඉරණම චිත්‍රපට දර්ශනයක් තුළ දී ම විසඳෙනු ඇතැ යි කිසිදා නොසිතන්නට ඇත. චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලා 10කට පමණ රංගනයෙන් දායක වූ බ්‍රැන්ඩන් මරණයට පත්වන්නේ The Crow චිත්‍රපටයේ දර්ශනයක් අතරතුර දී ය.

බෲස් ලී, ලින්ඩා කැඩ්වෙල් සහ බ්‍රැන්ඩන් ලී (tienphong.vn)

මෙම දර්ශනයේ දී එරික් ලෙස පෙනී සිටින බ්‍රැන්ඩන් හට වෙඩි තැබීමේ දර්ශනයක දී වෙඩි තැබීමට පැවරෙන්නේ මයිකල් මැසී වෙත ය. මිලි මීටර් 44 කැලිබර් පිස්තෝලයක් මේ සඳහා යොදාගත් අතර පෙර දර්ශනවල දී හිස් පතොරම් භාවිතා කරන ලදී. බ්‍රැන්ඩන් මිය යන දර්ශනයේ දී හිස් පතොරම් වෙනුවට ඩමී පතොරම් භාවිතා කර තිබූ බව සිදුවීම අවසානයේ වෙඩි තබා ඉතිරිව තිබූ කොපු පරීක්ෂා කිරීමේ දී අනාවරණය වූ අතර එම ඩමී පතොරමේ සැබෑ උණ්ඩම අන්තර්ගත වී තිබී ඇත. වෙඩි වැදීමෙන් පැය 13කට පසුව බ්‍රැන්ඩන් මරණයට පත්වන්නේ බඩවැලට සිදු වූ තුවාලය සහ හදවත දුර්වල වීමෙන් බව නිල වාර්තා පළ විය.

The Crow චිත්‍රපටයේ බ්‍රැන්ඩන් (metrotimes)

බ්‍රැන්ඩන්ගේ මරණය සිදුවන දර්ශනය සහ මයිකල් මැසීගේ අදහස් දැක්වීමක් පහත වේ.

මෙම සිදුවීමෙන් පසුව මයිකල් මැසී දිගු කාලයක් සිනමාවෙන් සමුගෙන වරදකාරී බව තමන්ට බාරගෙන ජීවත් විය. 2005 දී පළමුවරට මාධ්‍ය සමග මෙම සිදුවීම නිසා තමන්ට ඇති වූ කම්පනය පිළිබඳව පැවසීය. කෙසේ නමුත් 1994 දී The Crow චිත්‍රපටය ප්‍රදර්ශනය විය.

බැන්ඩෝ මිට්සුගොරෝ VIII

බැන්ඩෝ මිට්සුගොරෝ VIII යනු ජපානයේ සුප්‍රකට වේදිකා ප්‍රසංග ආකෘතියක් වන කබුකී ශිල්පියෙකි. ඔහු අවාසනාවන්ත ලෙස මියැදුණේ මත්ස්‍ය ආහාරයක් ගැනීම නිසා ය. මෙම මත්ස්‍ය වර්ගය හඳුන්වන්නේ ෆුගු නමිනි. මෙය ඉතා ප්‍රණීත මත්ස්‍ය වර්ගයක් ලෙස හඳුන්වනු ලබන අතර නිවැරදි ලෙස පිස ගැනීමට නොහැකි වුවහොත් ආහාරයට ගන්නා පුද්ගලයාට තමන්ගේ මරණය නිසැකවම සහතික කරගැනීමට ද හැකි වේ. මේ නිසා ෆුගු පිසීම සඳහා බලපත්‍ර ලබාගත යුතු වේ. අද ද ඒ සඳහා විශාල පුහුණුවක් ලබාගෙන බලපත්‍රයක් ලබාගත යුතු ය. නමුත් ජපානය කම්පනය කළ බැන්ඩෝ මිට්සුගොරෝගේ මරණය සිදුවන්නේ කෝකියාගේ දුර්වලතාවයක් නිසා නොව ඔහුගේම තීරණයක් අනුව ය.

බැන්ඩෝ (Wikipedia)

මෙම ෆුගු මත්ස්‍යයාගේ ශරීර අභ්‍යන්තර අවයව ඉතා විෂ සහිත වන අතර එම අභ්‍යන්තර කොටස් පිසීමට පෙර ඉවත් කිරීම අනිවාර්යක් වේ. විශාල වශයෙන්ම විෂ අන්තර්ගත වන්නේ අක්මාව තුළ වුවත් බැන්ඩෝ මිට්සුගොරෝ අවන්හලට ගොස් ෆුගු මත්ස්‍ය අක්මා හතරක් ඇණවුම් කළේ තමන්ට ෆුගු විෂ හානි නොවන බවට වූ දැඩි විශ්වාසයක් නිසා ය. ඔහුගේ ඉල්ලීම අනුව අවන්හල් හිමියා ද ඔහුට ෆුගු මත්ස්‍ය අක්මාවන් හතරක්ම ලබාදුන් අතර කිසිදු පැකිළීමකින් තොරව සියල්ල අනුභව කරන ලදී. මේ නිසා ජපානය තුළ ‘ජීවත්ව සිටින ජාතික වස්තුවක්’ ලෙස හැඳින්වූ බැන්ඩෝ මිට්සුගොරෝ VIII විෂ ශරීරගතව මරණයට පත්විය. අවසානයේ විෂ සහිත ආහාර ලබාදීම නිසා අවන්හල් හිමියාට ෆුගු බලපත්‍රය ද අහිමි විය.

ෆුගු මත්ස්‍යයා (youtube)

ඉසඩෝරා ඩන්කන්

ඉසඩෝරා ඇමෙරිකාවේ උපත ලද සුප්‍රකට නර්තන ශිල්පිනියකි. 1876 මැයි මස 26 වන දා කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝහි උපන් ඇය, වයස අවුරුදු 20 වන විට යුරෝපයට ගොස් නර්තනය හදාරා නර්තන ශිල්පිනියක් ලෙස කටයුතු ආරම්භ කරනු ලබයි. ස්ත්‍රීවාදිනියක් මෙන්ම කොමියුනිස්ට්වාදිනියක් ලෙස ද හැඳින්වූ ඉසඩෝරාගේ ඇමෙරිකන් පුරවැසිභාවය ද මේ නිසා අහෝසි කර දමයි. ඇගේ දරුවන් දෙදෙනෙක්ම 1913 දී මෝටර් රථ අනතුරකින් පසුව ජලයේ ගිලී මිය යන අතර, ඇගේ මරණය සිදුවන්නේ ද ඉතා අවාසනාවන්ත ලෙස මෝටර් රථ ගමනක දී ය.

ඉසඩෝරා (Wikipedia)

ඇය පුරුද්දක් ලෙස ගෙල වටා දිගු සළුවක් පැළඳ සිටියේ ය.  1927 සැප්තැම්බර් මස 14 වන දා ප්‍රංශයේ නීස් නගරයේ දී මෝටර් රථ පුහුණුවීම් සිදුකරමින් සිටි අතර, ඇගේ සහායක රියදුරා රථය පදවාගෙන එන විට ඇය පැළඳ සිටි සළුව මෝටර් රථයේ පිටුපස රෝදයේ ඇක්සලය අතර සිරවිය. මේ නිසා පළමුව ඇගේ ගෙල සිර වූ අතර, ගෙල කැඩී යාමට වැඩි වේලාවක් ගත නොවීය. සළුවේම පැටලී ඇගේ ප්‍රාණ නිරුද්ධ සිරුර ද මහ මඟට ඇද වැටුණි.

elmundo.es

හැරී හුඩීනි

A&EBiography

ලොව මැජික් ශිල්පයේත් අවදානම් ඇස්බැන්දුම් වික්‍රමාන්විත නවමු මඟකට ගෙන එමින් ලොව පුරා ඉතා ජනප්‍රියත්වයට පත් වූ හැරී හුඩීනි 1874 මාර්තු 24 වන දා හන්ගේරියාවේ දී ඒරිච් වෙයිස් නමින් උපත ලබයි. 19 වන සියවසේ අග භාගයේත්, 20 වන සියවසේ මුල් භාගයේත් ලොව අතිශය ජනප්‍රිය වූ මැජික් ශිල්පියා ඔහු ය. වේදිකා මැජික් ශිල්පියෙකු ලෙස කටයුතු ඇරඹූ ඔහු පසුව විවිධ අවදානම් ක්‍රියාවල යෙදුණි. මාංචුවලින් නිදහස් වීම, පණපිටින් වැළලීම වැනි මිනිසුන් විස්මයට පත්කරවන මැජික් ශිල්ප දැක්වීය. එකල ඔහුව ‘මාංචු රජු’ ලෙස ද හැඳින්වූයේ මේ දස්කම් නිසා ය. එතෙකින් නොනැවතුණු ඔහු රංගන ශිල්පියෙක් ලෙස සිනමාවේ ද කටයුතු කළේ ය.

තරුණ වයසේ සංදර්ශනයක (Wikipedia)

දිනක් සංදර්ශනයක් අවසන් කර මඳ වේලාවක් විවේක ගෙන සිටින විට ආධුනික බොක්සිං සටන් කරුවෙකු පැමිණ ඔහුගෙන් විමසා සිටියේ, ඔබට ඕනෑම කෙනෙකුගේ පහරදීම් ඉවසා සිටීමට හැකි බවට වන ප්‍රකාශය සත්‍යය ද යන්න යි. එය සත්‍යයක් බව පවසන හුඩීනි ඔහුට ද තමන්ගේ උදරයට පහරදීමට අවස්ථාව ලබා දෙයි. නවක බොක්සිං තරගකරුවා වේගවත් පහර හතරක් හුඩීනිගේ උදරයට එල්ල කළ අතර, මඳ අපහසුවක් දැනුණත් හුඩීනි නැවත සංදර්ශනය පැවැත්වීමට පිටවෙයි. දින කිහිපයකට පසුව හුඩීනිගේ උදරයේ දැඩි වේදනාවක් හටගෙන ඇති අතර සංදර්ශන පැවැත්වීමට ද නොහැකි තත්ත්වයකට ඔහු පත්වේ. මේ නිසා හුඩීනීව වහාම රෝහල්ගත කරන අතර, පෙර අවස්ථාවේ බොක්සිං තරගකරු උදරයට එල්ල වූ ප්‍රහාර නිසා ඔහුගේ උණ්ඩුකපුච්චය පිපිරී ගොස් ඇති බව අනාවරණය වන්නේ පසුව යි. අවසානයේ රෝහලේ දී ම හැරී හුඩීනිගේ අවසන් සුසුම් ගිලිහී ගියේ ය.

blog.nli.org.il

මූලාශ්‍රයයන්:

washingtonpost.com

thegreatharryhoudini.com

nytimes.com

Related Articles