මිහිමත සුසානය: ඕසෝර්ස්ක්

1957 සැප්තැම්බර් 29 වනදින පෙර මෙන්ම අද වන විට ඕසෝර්ස්ක් නමින් හඳුන්වන 40 හේ නගරයට හිරු උදා වූයේ වෙනදාමෙන් සමාන්‍ය පරිද්දෙනි.

1947 දී මායාක් න්‍යෂ්ටික බලාගාරය වටා ඉදිකළ 40 හේ නගරය පිහිටා තිබුණේ රුසියාවේ සුන්දර දකුණු යූරල්ස් හි චෙල්යාබින්ස්ක් කාර්මික කලාපයේ ය. ආසන්න වශයෙන් 12,000 ක පමණ සේවක පිරිසක් ඒ වනවිට මෙම න්‍යෂ්ටික බලාගාරයේ වැඩ කටයුතු සදහා සහභාගි විය. නගරය ආරම්භයේ සිටම ද්විත්ව කටු කම්බි වැටවල්වලින් ආවරණය වී තිබූ අතර සන්නද්ධ ආරක්ෂකයෝ නිරන්තරයෙන් නගරය හා ඉන් පිටත නිරීක්ෂණය කළහ. නිවැසියන්ට තම පවුලේ අය සහ මිතුරන් ද ඇතුළුව නගරයෙන් පිටත්ව යෑමට හෝ පිටස්තරයන් සමඟ සම්බන්ධවීම සපුරා තහනම් විය. නගරයට සහ ඉන් පිටතට ඔවුන්ගේ ගමන් දැඩිලෙස පාලනය විය. විදේශිකයින්ට සහ අනේවාසික රුසියානුවන්ටද විශේෂ අවසරයකින් තොරව නගරයට ඇතුළුවීම සපුරා තහනම් විය. කිසිදු මාර්ග ගත සිතියමක නගරය නමින් සිතියම් ගතවීමක් නොවූ අතර සමස්තයක් ලෙස ගත්කල 40 හේ නගරය යූරල්ස් හී ඉතාම රහසිගතව, හුදකලාව හා අබිරහස් අන්දමින් ගොඩනැගෙමින් පැවතිණි.

2008 දී ඕසෝර්ස්ක් නගරය
2008 දී ඕසෝර්ස්ක් නගරය – Wikimedia Commons

කඩිමුඩියේ ඉදිකළ මායාක් බලාගාරය

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු කාල සීමාව වූ මේ සමයේදී, න්‍යෂ්ටික අවි නිපදවීම අතින් සෝවියට් සංගමය එක්සත් ජනපදයට වඩා සිටියේ පියවර කිහිපයක් පසුපසිනි. ප්‍රමාණවත් තරම් යුරේනියම් සහ ප්ලූටෝනියම් යොදාගනිමින් න්‍යෂ්ටික ශක්තිය දියුණු කිරීමට අදාළ වේගවත් පර්යේෂණ හා සංවර්ධන වැඩසටහනක් එවක ජෝශප් ස්ටාලින් රජය ආරම්භ කළේය. මායාක් බලාගාරය එලෙස 1945 සහ 1948 අතර කාලයේ කඩිමුඩියේ ඉදිකරන ලද්දකි. එකල න්‍යෂ්ටික භෞතික විද්‍යාව පිළිබඳ රුසියානු භෞතික විද්වතුන්ගේ දැනුමේ පැවති හිඩැස් හා අඩුපාඩු නිසා ගැනුණු බොහෝ තීරණවල ආරක්ෂාව ගැන විශ්වාසයක් නොවීය. මූලික සංවර්ධන අවධියේදී මායාක් න්‍යෂ්ටික බලාගාරය මගින් ඇතිකළ පාරිසරික ගැටලු ප්‍රධාන ලෙස නොසලකා හැරිණි. ප්‍රතික්‍රියාකාරක හයක් ඇතුළත් මෙම බලාගාරය ආයුධ ශ්‍රේණියේ ප්ලූටෝනියම් සංවර්ධනය කිරීම සඳහා න්‍යෂ්ටික ද්‍රව්‍ය සැකසීය.

මායාක් බලාගාරය පිහිටි භූමියේ චන්ද්‍රිකා රූප සටහන
මායාක් බලාගාරය පිහිටි භූමියේ චන්ද්‍රිකා රූප සටහන -Wikimedia Commons

එකල මිනිස් ශ්‍රමිකයින්ට විකිරණශීලී ද්‍රව්‍ය මගින් ඇතිවන බලපෑම ගැන දැන සිටියේ අල්ප වශයෙනි. එසේත් නොමැතිනම් එම කරුණ හිතාමතා අත්හැර දමනු ලැබීය. කම්කරුවන් සඳහාවන ආරක්ෂිත ආම්පන්න අවම වූ අතර, බොහෝ දුරට එය සිදුකරන ලද්දේ දේශීය සිරකරුවන්ගෙන් බලහත්කාරයෙන් බව විශ්වාස කෙරේ. 1953 දී බලාගාරයේ වාර්තා වූ පළමු න්‍යෂ්ටික අනතුර සිදු වූ නමුත් කම්කරුවෙකු විකිරණවලට නිරාවරණය වූ බව දක්වන රෝග ලක්ෂණ පෙන්වන තෙක්ම බලධාරිහු එය නොදැන සිටියහ. (විකිරණ පිළිස්සුම් හේතුවෙන් ඔහුගේ කකුල් කපා ඉවත් කරන ලදී. නමුත් ඔහු දිවි ගලවා ගත්තේය). තවත් කම්කරුවන් හතර දෙනෙකු ද මේ නිසා පීඩාවට පත්විය. කාලයක් තිස්සේ අඛණ්ඩව මෙම ස්ථානයේ නිර්මාණය වූ භයානක සිදුවීම් දුසිම් ගණනක පළමු අවස්ථාව මෙය විය. න්‍යෂ්ටික අවි නිපදවීම කඩිමුඩියේ සිදුවූ බැවින්ද  දැනුමේ පැවති  අවිධිමත් බව නිසාද සෝවියට් බලධාරීන් විසින් සලකා බැලිය යුතු අනතුරු පවා නොදැන සිටියහ. අනාගත ඕසෝර්ස්ක් හෙවත්  40 හේ නගරය හැදී වැඩුණේ මෙම භයානක පසුබිම වටා ය.

ඉහළ මට්ටමේ විකිරණශීලීතාවක් සහිත අපද්‍රව්‍ය

1949 සිට 1956 දක්වා කාලය තුළ මායාක් බලාගාරය මගින් ඉහළ මට්ටමේ විකිරණශීලීතාවයක් සහිත අපද්‍රව්‍ය අසල ටෙචා ගඟට ක්‍රමානුකූලව මුදාහළ අතර එය ටොබෝල් ගඟට හා ආක්ටික් සාගරයට තවදුරටත් මේ විකිරණ මුදාහරිමින් ගලා ගියේය. වසර හතක කාලයක් තුළ ටෙචා ගඟට බැහැර කළ අපද්‍රව්‍යවල විකිරණශීලිතාව කියුරි මිලියන 2.75 ක් විය. ඝන අපද්‍රව්‍ය එම ස්ථානයේදීම ඉවත දමන ලද අතර පසුව ඒවායේ අන්තර්ගත වූ විෂ වායු පරිසරයට මුදාහැරීම වේගවත් විය. පසුකාලීනව ඇතිවූ සෞඛ්‍ය ගැටලු නිසා විකිරණශීලි දියර අපද්‍රව්‍ය අවට විල්වලට බැහැර කිරීම ආරම්භ විය. බලාගාරයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක හයම කයිසයිල්ටාෂ් විලට සම්බන්ධ වූ අතර අපිරිසුදු ජලය වැවට කෙළින්ම මුදා හරින විවෘත චක්‍රීය සිසිලන පද්ධතියක් මේ සඳහා භාවිත කළේය. මේ හේතුවෙන් කයිසයිල්ටාෂ් විල ඉක්මනින් අපවිත්‍ර වූ අතර ඒ වටා ඉහළ විකිරණශීලිතාවක් ද ගොඩනැගිණි. පසුව අපද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා කරච්චේ විල භාවිත කෙරුණු අතර මේ නිසා දූෂක, ප්‍රතික්‍රියාකාරකවලින් මඳක් ඈතින් තබාගත හැකි විය. නමුත් ඉතා ඉක්මනින්ම කරච්චේ විල ද “පෘථිවියේ දූෂිතම ස්ථානය” බවට පත්විය.

ටෙචා ගඟ-රුසියාවේ වඩාත්ම මාරාන්තික න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කරන ලද ස්ථානයකි
ටෙචා ගඟ-රුසියාවේ වඩාත්ම මාරාන්තික න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කළ ස්ථානයකි-abc.net.au

ද්‍රව න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා වන පහසුකම් 1953 දී බලාගාරයට හඳුන්වා දුන්නේ ය. එය භූගතව මීටර් 8.2 (අඩි 27) ක් පමණ කොන්ක්‍රීට් පදනමක් මත සවි කර ඇති වානේ ටැංකිවලින් සමන්විත විය. විකිරණශීලීතාවයේ පැවති ඉහළ මට්ටම නිසා දිරාපත් වන අපද්‍රව්‍යවලින් නිකුත්වූ අධික තාපය මගින් අදාළ අපද්‍රව්‍ය රත්වීම් හේතුකොට ගෙන පද්ධතිය සිසිලනය සඳහා ඒ වටා ටැංකි විස්සකින් සමන්විත සිසිලන පද්ධතියක් ඉදි කෙරිණි.එහෙත් සිසිලන යන්ත්‍රය සහ ටැංකිවල අන්තර්ගතය අධීක්ෂණය කිරීමේ පහසුකම් ඒ වනවිටත් ප්‍රමාණවත් නොවීය.

අබිරහස් බිහිසුණු අනතුරක සේයා

ද්‍රව විකිරණශීලී අපද්‍රව්‍ය ටොන් 70-80ක් පමණ අඩංගු එක් ටැංකියක සිසිලන පද්ධතිය අක්‍රීය වූ අතර පසුව එය අලුත්වැඩියා කිරීම බලධාරීන් නොසලකා හැරීය. ක්‍රමක්‍රමයෙන් අදාළ ටැංකියේ උෂ්ණත්වය ඉහළ යාමට පටන්ගත් අතර අබිරහස් බිහිසුණු අනතුරක සේයා මතුවෙමින් පැවතිණි. මාරකය 1957 සැප්තැම්බර් 29 වන දිනට යෙදී තිබිණි. අධික උෂ්ණත්වයේ ප්‍රතිඵලයක් ලෙස විකිරණශීලී ද්‍රව්‍ය වලාකුළක් අහසට මුදාලමින් අපද්‍රව්‍ය ටැංකිය එක්වරම පුපුරා ගියේය. ඒවායේ අඩංගු ඇමෝනියම් නයිට්රේට් සහ ඇසිටේට පරිසරයට එකතු විය. පිපිරීමෙන් ක්ෂණික හානි කිසිවක් සිදු නොවූ නමුත් ඇස්තමේන්තුගත කෙරුණු ආකාරයට 20 MCi (800 PBq) විකිරණශීලීතාවක් ඒ වනවිටත් පරිසරයට මුදා හැර තිබිණ. මෙම අනතුරෙන් නිකුත් වූ වැඩි ප්‍රමාණයක් විකිරණ, අනතුර සිදු වූ ස්ථානය අවට පරිසරය වසා සිටි අතර ටෙචා ගඟ ද මින් සාධනීය ලෙස දූෂණය විය. මෙහි භයානකම ප්‍රතිඵලය වූයේ 2 MCi (80 PBq) අගයෙන් යුතු විකිරණශීලිතාවක් අනතුර සිදු වූ ප්‍රදේශයෙන් ඔබ්බට ද කිලෝමීටර් සිය ගණනක් පුරා පැතිර යාමය.

හානියට පත් ප්‍රදේශය තුළ පැවති හිතාමතාම බැහැර කරන ලද විකිරණශීලී අපද්‍රව්‍යවලින් සමන්විත ටෙචා ගඟ සහ කරච්චේ විල පිලිවලින් 2.75 MCi (100 PBq) හා 120 MCi (4,000 PBq) අගයන් සහිත ඉහළ විකිරණශීලීතාවක් අනතුරට පෙරසිටම පෙන්වීය. අනතුර සිදුව ගෙවීගිය ඊළඟ පැය දහයේ සිට එකොළහ දක්වා කාලය තුළ විකිරණශීලී වලාකුළු ඊසාන දෙසට ගමන් කළ අතර ඒවා කිලෝමීටර් 300–350 (සැතපුම් 190–220) අතර ප්‍රදේශයක පැතිර තිබිණි. පසුව වලාකුළෙහි බිඳවැටීම හේතුවෙන් කිලෝමීටර් 800 ත් 20,000 ත් අතර (වර්ග සැතපුම් 310 සිට 7,720 දක්වා) ප්‍රදේශයක් දීර්ඝකාලීනව විකිරණවලට නිරාවරණය වීම සිදුවිය. මෙම ප්‍රදේශය East-Ural Radioactive Trace (EURT) ලෙස පසුව හැඳින්විණි.

1957 බලාගාරයේ පිපිරුම නිසා අවට භූමිවල විකිරණශීලි ස්ට්රොන්ටියම් තැන්පත්වීමේ ක්‍රමානුකූල සිතියම ඉහත දැක්වේ. පිපිරුමෙන් පසු ඉවත් නොකළ ජනාවාස විශාල කවවලින් දැක්වේ. ඉවත් කරන ලද ජනාවාස කුඩා කවවලින් දැක්වේ.

බලාගාරයේ පිපිරුම නිසා අවට භූමිවල විකිරණශීලි ස්ට්‍රොන්ටියම් තැන්පත්වීමේ ක්‍රමානුකූල සිතියම.පිපිරුමෙන් පසු ඉවත් නොකළ ජනාවාස විශාල කවවලින් දැක්වේ. ඉවත් කළ ජනාවාස කුඩා කවවලින් දැක්වේ-iopscience.iop.org

බරපතල සෞඛ්‍ය බලපෑම් සීමා කිරීම සඳහා ජනගහනය ඉවත් කිරීම ඇතුළු හදිසි පියවර කිහිපයක් ගන්නට රජය උත්සුක විය. අනතුර සිදුවන විට මෙම ප්‍රදේශවල මිනිසුන් 270,000 ක් පමණ වාසය කළද, ඉවත් කරනු ලැබුවේ ඉන් 11,000 ක් පමණි (එය ඉටු කිරීමටත් වසර දෙකක් පමණ ගත විය). විකිරණවලින් අපවිත්‍ර වූ භෝග හා පශු සම්පත් විනාශ කරමින් සුන්බුන් පිරිසුදු කිරීම සඳහා ඉතිරිව සිටි අයට බල කෙරිණි. විකිරණවලින් ආරක්ෂා නොවී වැඩ කළ ඔවුහු නැවත සිය නිවෙස් කරා ගියහ. මායාක් බලාගාරය අසල ජීවත් වූ බොහෝ ගොවීන්ට මෙම පිපිරුම ප්‍රහේලිකාවක් විය. පිපිරීම දුටු යාබද කෝරබොල්කා ගම්මානයේ ගොවීන් සිතුවේ ගෝලීය න්‍යෂ්ටික යුද්ධයක් ආරම්භ වී ඇති බවකි.

පදිංචිකරුවන් 300 ක් විකිරණ විෂ වී මරුට

දින කිහිපයක් ඇතුළත ගමේ පදිංචිකරුවන් 5000 න් 300 ක් විකිරණ විෂ වීමෙන් මිය ගියහ. ඉවත් කිරීමට සැලසුම් කළ නමුත් ජනවාර්ගික රුසියානුවන් පමණක් වෙනත් ස්ථානයකට ගෙන යන ලදී. ගමේ ඉතිරි භාගය ජනවාර්ගික ටාටාර්වරුන් වූ අතර ඔවුන් එම ස්ථානයේම අත හැර දමා ගොස් තිබිණි. එතැන් සිට වසර 50 කට වැඩි කාලයක් තුළ බොහෝ ගම්වැසියන් විශ්වාස කරන්නේ ඔවුන් අත්හදා බැලීමක් ලෙස ගම තුළ ඉතිරි කර ඇති බවය. කෝරාබොල්කා හි පිළිකා අනුපාතය ඉතා ඉහළ අගයක් ගත් අතර එය විකිරණවලට නිරාවරණය නොවූ ගමකට වඩා පස් ගුණයකි. කලාපය අවට ඇති අනෙකුත් ගම්වල පිළිකා, ජානමය අසාමාන්‍යතා සහ වෙනත් රෝගාබාධ ද ඉහළ ගොස් ඇති බව වාර්තා විය. 1968 වසන්තයේ දී කරච්චේ විල වියළී යන්නට පටන් ගත් අතර සුළඟින් සැලකිය යුතු විකිරණශීලී දූවිලි ප්‍රමාණයක් විලෙන් ඉවතට ගසාගෙන ගොස් මිලියන පහක පමණ ජනතාවක් කියුරි මිලියන පහක විකිරණශීලීතාවකට නිරාවරණය කළේය.

බටහිර පුවත්පත් මෙම සිදුවීම ගැන දැන සිටියේ ඉතා අල්ප වශයෙනි. කටකතා පැවතුණද, 1976 වන තෙක්ම මෙය රහසක්ව පැවතිණි. සෝවියට් සංගමය බිඳ වැටෙන තෙක්ම මෙම න්‍යෂ්ටික අනතුර පිළිබඳ තොරතුරු පැතිර ගියේ අක්‍රමවත්ව ය. ජීව විද්‍යාඥයෙකු හා සෝවියට් විසම්මුතිවාදියෙකු වන ෂෝර්ස් මෙඩ්විඩෙව් “නිව් සයන්ටිස්ට්” ජර්නලයහි අදාළ ව්‍යසනය පිළිබඳ වාර්තාවක් ප්‍රකාශයට පත් කරන තෙක්ම මේ පිළිබඳව පිලිගත හැකි නිශ්චිත තොරතුරු නොපැවතිනි.

චෙල්යාබින්ස්ක් කලාපය මෙතරම් දූෂිත වීමට එකම හේතුව මෙම ව්‍යසනයම නොවේ. 1949 සිට 1956 දක්වා ටෙචා ගඟට දැමූ ඉහළ විකිරණශීලිතාවක් සහිත අපද්‍රව්‍ය මීට මූලික හේතුවක් විය. මායාක් බලාගාරය 1987 දී න්‍යෂ්ටික අවි සැකසීම නවතා දැමූ නමුත් තවමත් චෙල්යාබින්ස්ක් හි ක්‍රියාත්මක වන අතර රුසියාව පුරා නැව්ගත කරන ලද න්‍යෂ්ටික ඉන්ධන නැවත සැකසීම සිදු කරයි. ප්‍රතික්‍රියාකාරක අඩංගු මෙම භූමිය අවට ප්‍රදේශය පෘථිවියේ වඩාත්ම දූෂිතම ස්ථානය ලෙස හැඳින්වේ. විකිරණ ව්‍යසනයෙන් හා දිගු කාලීන කාර්මික දූෂණයෙන් පීඩාවට පත් ගම්වාසීන් තවමත් නැවත පදිංචි කිරීම හා වන්දි ගෙවීම කඩිනම් කරගැනීම සඳහා සටන් වැද සිටිති.

කවරයේ ඡායාරූපය: විදේශිකයින්ට විශේෂ අවසරයකින් තොරව නගරයට ඇතුළුවීම සපුරා තහනම් විය.

මූලාශ්‍ර;

Consequences of the radiation accident at the Mayak production association in 1957 (the 'Kyshtym Accident').
Lenssen, "Nuclear Waste: The Problem that Won't Go Away" 
Andrea Pelleschi (2013). Russia. ABDO Publishing Company.  
globalsecurity.org 
Conclusions of government commission
 Kyshtym disaster | Causes, Concealment, Revelation, & Facts". Encyclopedia Britannica.
Kabakchi & Putilov 1995 

Related Articles