Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වඩාත් ම කතාබහට ලක්වන ලොව භූගත ඉදිකිරීම් අටක්

විවිධ අවශ්‍යතා සඳහා සිදු කර ඇති භූගත ඉදිකිරීම් පිළිබඳ ඔබ අසා ඇති. බොහෝ විට ආරක්ෂක හේතුන් මත කර ඇති එවැනි ඉදිකිරීම් ලෝකයේ බොහෝ රටවල දක්නට ලැබේ. මීට සියවස් ගණනාවකට පෙර ඉදි කළ, රටවල් කිහිපයක පිහිටි ඇදහිය නොහැකි තරම් දියුණු තාක්ෂණයකින් යුතු භූගත ඉදිකිරීම් කිහිපයක් පිළිබඳයි මෙම ලිපිය.

1. තුර්කියේ ඩෙරින්කුයු

තුර්කියේ කැපඩෝසියා පළාතේ භූගත නගර කිහිපයක් පිහිටා තිබුණත් ඒ අතරින් සුවිශේෂී ඉදිකිරීමක් ලෙස සැලකෙන්නේ ඩෙරින්කුයු භූගත නිවාස සංකීර්ණය යි. එය යුද කාලවලදී සරණාගතයන්ට නවාතැන් ගැනීම සඳහා ක්‍රිස්තු පූර්ව අටවැනි සියවසේ දී ඉදි කළ එකක් බව සැලැකේ.

මහල් දහ අටකින් සමන්විත එහි වා කවුළු, ළිං, මුළුතැන්ගෙවල්, පන්තිකාමර, තෙල් ගබඩා, නාන කාමර සහ වයින් නිෂ්පාදනාගාර වැනි සියලු දෑ පිහිටා තිබිණි. එහි පුද්ගලයන් 20,000කට පමණ එකවර නවාතැන් ගත හැකිව තිබූ බව කියැවේ.

ඩෙරින්කියු භූගත නගරය ඇතුළත – www.thetravelbunny.com

දේශීය ජන කොටසක් මුලින් ම ඉදි කළ මෙම නගරය බයිසන්තියානු යුගයේ දී කිතුනුවන් අතට පත් විය. ඔවුන් දේවස්ථාන සහ චිත්‍රාගාර වැනි දේ ද ඉදි කරමින් එය වඩාත් පුළුල් කර තිබේ. ඉතා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන ස්ථානයක් වුවත් මෙය සොයාගැනුණේ 1960 දී ය. සිය නිවෙස අලුත්වැඩියා කිරීම සඳහා පොළොව හාරමින් සිටි පුද්ගලයකු මෙම නිවාස සංකීර්ණයට අයත් එක් උමඟක් සොයාගැනීමත් සමඟ එහි කැණීම් ආරම්භ විය.

2. ප්‍රංශයේ නෞර්ස්

උතුරුදිග ප්‍රංශයේ පිහිටා ඇති නෞර්ස් භූගත නගරය ප්‍රංශයේ පිහිටි භූගත ඉදිකිරීම් අතර ප්‍රධාන තැනක් ගනී. සැතපුම් දෙකකට ආසන්න දිගින් යුතු උමං මාර්ග සහ කාමර තුන්සියයකින් සමන්විත එය පොළොවේ සිට අඩි සියයක් පමණ පහළින් පිහිටා තිබේ. ඉතිහාසඥයන් අනුමාන කර ඇත්තේ මෙය ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ දී කර ඇති ඉදිකිරීමක් බව යි.

ප්‍රංශයේ නෞර්ස් භූගත නගරය – www.map.france.com

මධ්‍යතන යුගයේ සිදු වූ යුද්ධ සහ විවිධ ආක්‍රමණ අතරතුර සැඟවීමේ ස්ථානයක් ලෙස මෙය භාවිත කර තිබේ. එහි පුද්ගලයන් තුන් දහසකට පමණ නවාතැන් ගත හැකි වූ බවත්, දේවස්ථාන, ඉස්තාල, ළිං, බේකරි ඇතුළු සියලු අත්‍යවශ්‍ය අංග පිහිටා තිබූ බවත් පැවැසේ. එය සියවස් ගණනාවක් තිස්සේ වසා තිබූ අතර 19 වැනි සියවසේ දී සංචාරක ගමනාන්තයක් ලෙස යළි විවෘත විය.

3. පෝලන්තයේ භූගත දෙව්මැදුර

පෝලන්තයේ ක්‍රකෝව් නගරයට නුදුරින් පිහිටි කාමර, මාර්ග සහ ප්‍රතිමාවලින් සමන්විත දැවැන්ත භූගත දේවස්ථාන සංකීර්ණයක් වන මෙහි ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 1200 තරම් ඈතට දිව යයි. මුලින් ම ලවණ පාෂාණ කැණීම සඳහා පොළොව හාරා ඇති එහි ජීවත් වූ ජනතාව පසුකාලීන ව පොළොවේ සිට අඩි දහසක් පමණ යටින් පිහිටි මෙම දේවස්ථානය ඉදිකර තිබේ.

ඔවුන් එම පාෂාණ ස්ඵටික භාවිත කර විවිධ ප්‍රතිමා සහ බිත්ති කැටයම් නිර්මාණය කර තිබේ. ඒ අතර ලියනාඩෝ ඩාවින්චිගේ ‘අන්තිම රාත්‍රී භෝජන සංග්‍රහය’ සිතුවමට සමාන අනුරුවක් ද එහි තිබේ. වසර හත්සියයක් තිස්සේ සිදු වූ මෙම ආකරයේ  කැණීම් කටයුතු 2007 දී අවසන් විය. එතැන් පටන් මෙය පෝලන්තයේ ඉතා ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත්ව තිබේ.

පෝලන්තයේ භූගත දෙව්මැදුර ඇතුළත – www.laurewanders.com

4. ඉතියෝපියාවේ ලලිබෙලා

ඉතියෝපියාවේ පිහිටි ලලිබෙලා භූගත දේවස්ථාන සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ දැඩි ආගමික භක්තියකින් යුතු රජ කෙනෙකි. පොළොව හාරා, මතුපිටට පෙනෙන සේ එම ඉදිකිරීම් කරවා ඇති බැවින් එය සාමාන්‍ය භූගත ඉදිකිරීමකට වඩා තරමක් වෙනස් වේ. මෙම සංකීර්ණයේ වඩාත්ම කැපී පෙනෙන ගොඩනැගිල්ල වන ශාන්ත ජෝර්ජ් දේවස්ථානය පොළොව මට්ටමේ සිට අඩි සියයක් පමණ ගැඹුරට හාරන ලද ස්ථානයක ඉදි කර තිබේ. එහි සිට අනිකුත් දේවස්ථානවලට යාමට භූගත මාර්ග පද්ධතියක් ද ඉදිකර තිබේ.

ඉතියෝපියාවේ ලලිබෙලා දේවස්ථාන සංකීර්ණය – www.tourradar.com

ජනප්‍රවාදයේ සඳහන් වන්නේ දේවස්ථාන එකොළහකින් යුතු මෙම සංකීර්ණයේ වැඩ අවසන් කිරීමට වසර විසි හතරක කාලයක් ගත වී ඇති බවයි. කෙසේ වෙතත් ඉතිහාසඥයන් පෙන්වා දී ඇත්තේ එහි ඉදිකිරීම් සියවස් ගණනාවක් තිස්සේ අදියර කිහිපයක් යටතේ සිදු වී ඇති බවයි. මේ වන විට ඉතියෝපියානු සම්ප්‍රදායයික කතෝලික ආගමට අයත් සිද්ධස්ථානයක් වන මෙය වැඳපුදා ගැනීමට පුද්ගලයන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් වාර්ෂිකව පැමිණෙන බව කියැවේ.

5. බෙයිජිං හි භූගත නගරය

1960-70 දශක අතරතුර කාලයේ න්‍යෂ්ටික යුද්ධයක අවදානමක් මතු වූ බැවින් චීනයේ අගනුවර වූ බෙයිජිං නගරය මූලික කරගෙන භූගත නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට චීන රජය තීරණය කළේ එවැනි යුද්ධයක් ඇති වුවහොත් සිය ජනතාව ආරක්ෂා කරගැනීමේ අරමුණිනි. ‘Dixia Cheng’ නමින් හැඳින්වෙන මෙම භූගත නගරය ඉදි කර ඇත්තේ පුද්ගලයන් මිලියනයකට ආසන්න ප්‍රමාණයකට මාස හතරක කාලයක් ආරක්ෂිත ව රැඳී සිටීමට හැකි වන අයුරිනි.

එහි නිවාස, පාසල්, රෝහල්, ධාන්‍යාගාර සහ අවන්හල් පමණක් නොව ආසන දහසකින් යුතු සිනමාශාලාවක් ද පිහිටා තිබිණි. මෙම නගරය කිසිදු අවස්ථාවක භාවිත නොකළ නමුත් එය නගරයේ සාමාන්‍ය ඉදිකිරීම්වලට පහළින් තවමත් නිරුපද්‍රිත ව දැකිය හැකි ය. ඉන් වැඩි කොටසක් මේ වන විට මුද්‍රා තබා තිබේ.

බෙයිජිං හි පිහිටි භූගත නගරයේ ඇති උමඟක් – New York Post

6. ජෝර්දානයේ පෙට්‍රා

“Indiana Jones and the Last Crusade” චිත්‍රපටයේ දැකිය හැකි පෙට්‍රා නගරය පිහිටා ඇත්තේ දකුණු ජෝර්දානයේ කඳුකර ප්‍රදේශයක ය. එම ප්‍රදේශය ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ජනාවාසකරණය වී තිබුණත් මීට වසර දෙදහසකට පෙර එය ජනාවාසකරණයේ උච්චත ම අවස්ථාවට පැමිණ තිබේ. ඊට හේතුව ජෝර්දානයේ දේශීය ජන කොටසක් වැලිගල්වලින් සැදුණු මෙම කඳුකරය උත්සවශාලා, ආගමික ස්ථාන සහ සොහොන්බිම් වැනි ඉදිකිරීම්වලින් සමන්විත භූමියක් බවට පත් කිරීම යි.

එහි දැකිය හැකි ‘අල් කස්නෙහ්’ නම් ගොඩනැඟිල්ල පෙට්‍රා නගරයේ පිහිටි ගොඩනැඟිලි අතරින් විශේෂ තැනක් ගනී. එය අඩි එකසිය තිහක උසින් යුතු විචිත්‍රවත් කැටයම් සහිත පාෂාණමය පිවිසුමකින් සමන්විත සුවිශාල ගොඩනැගිල්ලකි. අතීතයේ මෙම නගරයේ පුද්ගලයන් විසි දහසකට ආසන්න ප්‍රමාණයක් ජීවත් වූ බව කියැවේ.

කෙසේ වෙතත් ක්‍රිස්තු වර්ෂ හත්වැනි සියවසේ දී එය අත්හැර දමා තිබේ. එතැන් පටන් ක්‍රිස්තු වර්ෂ 1800 වන තෙක් කිසිවෙක් මෙම නගරය පිළිබඳ දැනසිටියේ නැත. පෙට්‍රා නගරයේ නටබුන් සෙවීම සඳහා වන කැණීම් කටයුතු තවමත් සිදු වේ. එහි නටබුන්වලින් බහුතරයක් භූගත ව පවතින බව විශ්වාස කෙරේ.

ජෝර්දානයේ පෙට්‍රා නගරයේ දැකිය හැකි  ‘අල් කස්නෙහ්’ ගොඩනැගිල්ල

7. ඉතාලියේ ඔර්වියෙටෝ

ඉතාලියේ කඳු මුදුනක පිහිටි ඔර්වියෙටෝ ප්‍රදේශය  සුදු වයින් නිෂ්පාදනය සඳහා බොහෝ සෙයින් ප්‍රසිද්ධ ය. භූගත ළිං සහ පොකුණු වැනි ඉදිකිරීම් ගණනාවක් මෙම ප්‍රදේශයේ දැකිය හැකි ය. ඊට අමතර ව එහි එකිනෙකට සම්බන්ධිත උමං මාර්ග එක්දහස් දෙසියයකට වැඩි ප්‍රමාණයක් ද පිහිටා තිබේ. එම උමං මාර්ග ආශ්‍රිතව දැකිය හැකි කුටි, වයින් ගබඩා සහ පරෙවි කූඩු ලෙස භාවිත කර තිබෙන බව ඉතිහාසඥයන්ගේ මතය වේ. ඊට අමතරව යුද කාලවලදී, විශේෂයෙන් ම දෙවැනි ලෝක යුද්ධය අතරතුර, සැඟ වී සිටීම සඳහා ද ප්‍රදේශයේ ජනතාව එම කුටි යොදා ගෙන තිබේ.

ඔර්වියෙටෝ හි පිහිටා ඇති උමං මාර්ගයක් – www.lonelyplanet.com

8. බ්‍රිතාන්‍යයේ බර්ලින්ටන්

සීතල යුද්ධය අතරතුර යම්කිසි න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වුවහොත් බ්‍රිතාන්‍ය රජයේ ඉහළ පෙළේ නිලධාරීන්ට රැඳී සිටීම  සඳහා කෝර්ෂාම් ගම්මානයේ අක්කර 35ක පමණ භූමි ප්‍රමාණයක ඉදි කළ භූගත ආරක්ෂක ස්ථානයකි- බර්ලින්ටන් බංකරය. එහි කාර්යාල, ආපන ශාලා, දුරකථන හුවමාරු මධ්‍යස්ථාන, වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ නිදන කාමර ගණනාවක් පිහිටා තිබේ.

හදිසි අවස්ථාවක දී බ්‍රිතාන්‍ය අගමැති සහ අනෙකුත් ප්‍රධාන රජයේ නිලධාරීන් හාරදහසක් පමණ ආරක්ෂිත ව රඳවා තැබීමට හැකි වන පරිදි මෙම බංකරය සැලසුම් කර තිබිණි. එහි අගමැතිවරයාට, මහජනතාව ඇමතීමට භාවිත කළ හැකි අභ්‍යන්තර ශබ්දාගාරයක් පවා පිහිටා තිබේ. කෙසේ වෙතත් එය කිසිදිනෙක භාවිතයට ගෙන නැත.

අත්හැර දමා ඇති බර්ලින්ටන් බංකරය – www.bbc.com

කවරයේ ඡායාරූපය- පෝලන්තයේ පිහිටි භූගත දෙව්මැදුර ඇතුළත ඡායාරූපයක් - www.catholicnewsagency.com

මූලාශ්‍ර:

www.history.com/ Evan Andrews

www.thetravelbunny.com

www.lonelyplanet.com

www.bbc.com

Related Articles