Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වටිනාකමින් වැඩි ම කෞතුක භාණ්ඩ හතක්

විනෝදාංශ කියන දේ ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නමුත් සියලු ම දෙනාට පාහේ කුමන හෝ විනෝදාංශයක් තිබෙන බව නම් නොරහසකි. ඒ අතර මල් වැවීම, මුද්දර එකතු කිරීම, පොත්පත් කියවීම සහ එකතු කිරීම ආදී සම්ප්‍රදායික විනෝදාංශ මෙන්ම විවිධ වීඩියෝ ක්‍රීඩා කිරීම, චිත්‍රපට නැරඹීම වැනි නවීන විනෝදාංශ ද තිබිය හැකි යි.

අතීතයේ සිට වර්තමානය දක්වාත්, ඉන් ඔබ්බටත් බොහෝ දෙනකු ප්‍රිය කරන විනෝදාංශයක් ලෙස පෞරාණික වටිනාකමක් සහිත භාණ්ඩ, එනම් කෞතුක භාණ්ඩ එකතු කිරීම හැඳින්විය හැකි ය. ශ්‍රී ලංකාවේ ද බොහෝ පිරිසක් විනෝදාංශයක් වශයෙන් කෞතුක භාණ්ඩ එකතු කිරීම සිදු කරන අතර එවැනි භාණ්ඩ අලෙවි කිරීම සඳහා ම වෙන් වූ වෙළෙඳසල් ද රාශියක් රටේ සියලු ම ප්‍රදේශවල දී දැකගත හැකි ය.

සාමාන්‍යයෙන් එවැනි භාණ්ඩවල මිල ගණන් තරමක් ඉහළ මට්ටමක පවතින බව ඉතා ප්‍රසිද්ධ කරුණකි. විශේෂයෙන්ම කෞතුක භාණ්ඩ එකතු කරන පුද්ගලයන් අතර ඒවා මිල දී ගැනීම සඳහා තිබෙන තරගකාරී බව නිසා ඒවායේ මිල ගණන් නිරන්තරයෙන් ඉහළ මට්ටමක පවතියි. මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ ලෝකයේ ඉහළ ම මිල ගණන්වලට අලෙවි වූ කෞතුක භාණ්ඩ කිහිපයක් පිළිබඳ තොරතුරු යි.

පිනර් ක්වින්ග් මල්බඳුන – The Amazing World

පිනර් ක්වින්ග් මල්බඳුන

චීනයේ නිෂ්පාදිත මෙම විසිතුරු මල්බඳුන 2010 වසරේ දී පැවැති වෙන්දේසියක් අතරතුර අමෙරිකන් ඩොලර් මිලියන 80.2ක පමණ මුදලකට අලෙවි විය. එය ඒ දක්වා වූ කාලය තුළ චීන කෞතුක භාණ්ඩයකට හිමි වූ ඉහළ ම වටිනාකම වීම විශේෂත්වයකි. චීනයේ ක්වියැන් ලෝන්ග් අධිරාජ්‍යයාගේ පාලන කාලයේ දී අතින් නිමවන ලද බඳුනක් ලෙස සැලකෙන මෙය මුලින් ම නිර්මාණය කර තිබුණේ එක්තරා මාලිගාවක අලංකරණ කටයුතු සඳහා බව ඉතිහාසඥයන්ගේ මතයයි.

මෙම බඳුනේ ඉහළ සහ පහළ කොටස්වල කහ සහ නිල් පැහැති මල්වැල් නිර්මාණ දැකගත හැකි ය. එහි මැද කොටසේ වන වෘත්තාකාර කොටසක තරමක් විශාල මත්ස්‍යයකු සහ තරමක් කුඩා මත්ස්‍යයකු දැකගත හැකි ය. වර්ෂ 1735ත් 1796ත් අතර කාලයේ දී නිර්මාණය කර ඇති බවට සැලකෙන මෙහි පතුලේ පිටතින් රාජකීය මුද්‍රාවක් තබා ඇත.

බැඩ්මින්ටන් කැබිනෙට්ටුව – Reddit

බැඩ්මින්ටන් කැබිනෙට්ටුව

17 වැනි සියවසේදී පමණ ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේදී නිර්මාණය කර ඇති බවට විශ්වාස කෙරෙන මෙය 2004 වසරේදී අමෙරිකන් ඩොලර් මිලියන 36ක පමණ මුදලකට අලෙවි විය. ඒ අනුව මේ වන විට ලොව වැඩි ම මිලකට අලෙවි වූ පෞරාණික වටිනාකමක් සහිත දැව භාණ්ඩය ලෙස මෙය සැලකේ. මෙහි වටිනාකම එතරම් ඉහළ මට්ටමක පැවතීමට ප්‍රධානත ම හේතුවක් ලෙස ඊට ඔබ්බවා ඇති මැණික් සහ දියමන්ති වැනි දේ හැඳින්විය හැකි ය.

17 වැනි සියවසේ ඉතාලියේ විසූ ආදිපාදවරයකු වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙම නිර්මාණයට බැඩ්මින්ටන් කැබිනෙට්ටුව යන නම ලැබී ඇත්තේ එය ප්‍රථමයෙන් ම තබා තිබූ ‘බැඩ්මින්ටන්’ නම් මාලිගය නිසා ය. උසින් මීටර 3.8ක් සහ පළලින් මීටර 2.4ක් පමණ වන මෙය නිර්මාණය කිරීම සඳහා ආසන්න වශයෙන් වසර හයක පමණ කාලයක් ගත වී ඇති අතර වර්තමානයේදී එය ලිච්ටෙන්ස්ටයින් කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇත.

ඔලිෆන්ට් සටන් අඟ – Antiques Prices

ඔලිෆන්ට් සටන් අඟ

එකොළොස්වන සියවසේදී පමණ ඇතෙකුගේ දළයක් භාවිත කර අතින් නිමවන ලද අඟක් වැනි මෙම නිර්මාණය මෑත කාලයේදී පැවති ස්කැන්ඩිනේවියානු වෙන්දේසියක් අතරතුර අමෙරිකන් ඩොලර් මිලියන 16කට පමණ අලෙවි වී තිබේ. ලෝකයේ වර්තමානය වන විට ඉතිරි වී ඇත්තේ මෙවැනි නිර්මාණ හයක් පමණක් බව කියැවේ.

11 වැනි සියවසේදී පමණ සතුන් දඩයම් කිරීම විශාල ලෙස සිදු කෙරුණු හෙයින් සතුන් මැරීම සඳහා මෙම අඟ ආයුධයක් වශයෙන් භාවිත කර තිබෙන බව ඉතිහාසඥයන්ගේ මතය යි. ඒ හේතුව නිසා ම මෙහි විවිධ සතුන්ගේ රූප කැටයම් කර තිබෙන අතර පසුකාලීන ව විවිධ යුද්ධ සහ සටන් සඳහා ද මේවා ආයුධ වශයෙන් භාවිත කර ඇති බව කියැ වේ.

කැතරිනා කුමරියගේ ඔටුන්න – Forbes

කැතරිනා කුමරියගේ ඔටුන්න

වසර 18ක කාලයක්, එනම් 1852 වසරේ සිට 1870 දක්වා ප්‍රංශයේ අධිරාජ්‍යයා ලෙස කටයුතු කළ තුන්වන නැපෝලියන් අධිරාජ්‍යයාගේ බිරියට අයත් ව තිබූ බවට සැලකෙන මෙම කුඩා ඔටුන්න මරකත මැණික් සහ දියමන්ති යොදා ගෙන නිර්මාණය කර තිබෙ යි. එය මෙතෙක් වෙන්දේසියේ අලෙවි වී ඇති වටිනා ම ආභරණවලින් එකක් වේ.

මෙය අවසන් වරට 2011 වසරේ දී පැවති වෙන්දේසියක දී අමෙරිකන් ඩොලර් මිලියන 12.1ක පමණ මුදලකට අහිමි විය. කැරට් 500කට වැඩි වටිනාකමකින් යුතු මරකත මැණික් 11කින් සමන්විත වන මෙය වර්ෂ 1800ත් 1900ත් අතර කාලයේදී නිර්මාණය කර ඇති බවට සැලකේ. ඔටුන්න නිර්මාණය කර ඇති බවට සැලකෙන්නේ එම කාලසීමාව තුළ දී වුවත් එහි ඇති මරකත මැණික් බොහෝ කලක් පැරැණි බව ද කියැ වේ.

නැපෝලියන් රජුගේ කඩුව – Toronto Star

නැපෝලියන් රජුගේ කඩුව

ප්‍රංශයේ අධිරාජ්‍යයා ලෙස 1852 වසරේ සිට 1870 දක්වා කටයුතු කළ නැපෝලියන් රජු භාවිත කළ මෙම කඩුව 2007 වසරේ දී පමණ අමෙරිකන් ඩොලර් 6.4ක පමණ මුදලකට වෙන්දේසියකදී අලෙවි විය. මෙම කඩුව නැපෝලියන් රජු භාවිතා කිරීමෙන් අනතුරුව ඔහුගේ සහෝදරයකුට ත්‍යාගයක් වශයෙන් ලබා දී තිබෙයි.

මෙහි දිග අඟල් 32ක් පමණ වේ. එහි ඇති පෞරාණික වටිනාකමට අමතර ව මෙම කඩුව නිර්මාණය කිරීමේදී රත්‍රන් යොදාගෙන තිබීම එහි වටිනාකම තව තවත් ඉහළ නංවා ඇත. මුල් කාලයේදී යුද්ධ සඳහා ද මෙම කඩුව භාවිත කර තිබෙ යි. 1978 වසර දක්වා නැපෝලියන් පරපුරේ සාමාජිකයන් සතු වූ මෙම කඩුව පසුව එරට ජාතික වටිනාකමකින් යුතු වස්තුවක් බවට ප්‍රකාශයට පත් කර ඇත.

එලිසබෙත් ටේලර් ගේ කරමාලය – Fashion Lady

එළිසබෙත් ටේලර් ගේ කරමාලය

2011 වසරේ පැවති වෙන්දේසියක් අතරතුර අමෙරිකානු ඩොලර් මිලියන 11.8ක පමණ මුදලකට අලෙවි වූ මෙම කරමාලය භාවිතා කළ පුද්ගලයා හේතුවෙන් එහි වටිනාකම තව තවත් වැඩි වී තිබේ. 1932 වසරේ උපත ලබා 2011 මාර්තු මස 23 දින දක්වා ජිවත් වූ බ්‍රිතාන්‍ය-අමෙරිකානු සම්භවයක් සහිත ලෝ ප්‍රකට නිළියක් වූ එළිසබෙත් ටේලර් මෙය මෑතකාලීන ව භාවිතා කර තිබිණි. ඊට ප්‍රථම තවත් කිහිප දෙනකු ම එය භාවිතා කරන ඇත. මෙම කරමාලය මධ්‍යයේ දැකිය හැකි මුතුඇටය 1500ත් 1600ත් අතර කාලයේදී මෙක්සිකෝවෙන් සොයා ගත් එකක් බව කියැවේ.

ඉන් අනතුරුව ස්පාඤ්ඤයේ දෙවැනි පිලිප් රජතුමන් මිලදී ගත් එය වසර ගණනාවක් තිස්සේ රාජකීය පවුලේ කාන්තාවන් භාවිතා කර තිබිණි. ඉන් අනතුරුව 1969 වසරේදී පමණ එළිසබෙත් ගේ සැමියා ඇයට ත්‍යාගයක් වශයෙන් ලබා දීම සඳහා අමෙරිකන් ඩොලර් 37,000ක පමණ මුදලක් ගෙවා එය මිලදී ගෙන තිබේ.

ඇයට ත්‍යාගයක් වශයෙන් ලැබෙන අවස්ථාව වන විට රත්‍රන් මාලයකට සම්බන්ධ කර තිබූ මෙම මුතුඇටය මුතු, දියමන්ති සහ රතුකැට මැණික් යොදාගෙන සකස් කරන ලද මාලයකට සම්බන්ධ කර නැවත ප්‍රතිනිර්මාණය කර ඇත. එළිසබෙත්ගේ ඉල්ලීම අනුව එය සිදු කරනු ලැබුවේ සුප්‍රසිද්ධ කාටියර් ස්වර්ණාභරණ සමාගම විසිනි.

ඩ්‍රැකියුලා චිත්‍රපටයේ පෝස්ටරයක් – Amazon.com

ඩ්‍රැකියුලා චිත්‍රපටයේ පෝස්ටරයක්

1931 වසරේදී නිර්මාණය කළ අමෙරිකානු අද්භූත ත්‍රාසජනක චිත්‍රපටයක් වන ඩ්‍රැකියුලා, ගැරට් ෆෝට් රචනා කළ තිර රචනයක් පාදක කොටගෙන ටොඩ් බ්‍රව්නිං අධ්‍යක්ෂණය කොට සම නිෂ්පාදනය කර ඇත. ඊට පදනම් වී ඇත්තේ 1924 දී හැමිල්ටන් ඩීන් සහ ජෝන් එල්. බැල්ඩර්ස්ටන් රචනා කළ ඩ්‍රැකියුලා නාට්‍යය වේ.

ඒ අනුව 1931 වසරේදී මෙම චිත්‍රපටය තිරගත වූ කාලයට සමගාමි ව නිර්මාණය කර තිබෙන පෝස්ටර් අතරින් මේ වන විට ඉතිරි ව තිබෙන්නේ දෙකක් පමණකි. ඉන් එකක් වන මෙම පෝස්ටරය 2017 වසරේ දී පැවති වෙන්දේසියක් අතරතුර අමෙරිකන් ඩොලර් 525,800ක පමණ මුදලකට අලෙවි විය. 

කවරයේ පින්තූරය- පෞරාණික වටිනාකමක් සහිත භාණ්ඩ - Guide to Bundaberg

මූලාශ්‍ර:

www.antiqueprices.com

YouTube/ allTop Ten

www.thesprucecrafts.com

www.sammydvintage.com 

Related Articles