Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කේවල ඡන්ද ක්‍රමය යටතේ ලංකාවේ පැවති බහු මන්ත්‍රී ආසන

1947-1977 කාල සීමාව තුළ ලංකාවේ පැවැත්වුණු මහ මැතිවරණවල දී භාවිතයට ගැනුණේ කේවල ඡන්ද ක්‍රමය යි. එම ඡන්ද ක්‍රමය මඟින් එක් ඡන්ද කොට්ඨාසයකට එක මන්ත්‍රීවරයෙකු තේරී පත් වුණත්, ජනගහනය වැඩි ඇතැම් ඡන්ද කොට්ඨාස සඳහා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු තේරී පත් වුණා. එලෙස මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු තේරී පත් වුණු මැතිවරණ කොට්ඨාස බහුමන්ත්‍රී ආසන ලෙසින් හැඳින්වුණා. 

1946 වසරේ දී නිර්මාණය වුණු බහු මන්ත්‍රී ආසන 

1947 වසරේ පැවැත්වුණු පළමු මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකාව ඡන්ද කොට්ඨාස 89කට බෙදා තිබුණු අතර, ඊට බහු මන්ත්‍රී ආසන 5ක් ඇතුළත් වුණා. එම බහු ආසන පහ, 1959 වසරේ වෝල්ටර් තල්ගොඩපිටිය සීමා නිර්ණ කොමිසම පැමිණෙන තුරුම පැවතුණා. නමුත්, 1959 වසරේ දී සිදුකළ සීමා නිර්ණය අවසන් වීමෙන් පසුව 1946-1959 කාලය තුළ පැවති බහු මන්ත්‍රී ආසන 4ක් ම අහෝසි වී නව බහු මන්ත්‍රී ආසන 4ක් නිර්මාණය වුණා.

මැද කොළඹ බහු මන්ත්‍රී ආසනය 

1946 වසරේ දී සෝල්බරි කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයේ දී දකුණු කොළඹ සහ උතුරු කොළඹ ආසනවලින් යම් ප්‍රදේශ මැද කොළඹ ආසනයට සම්බන්ධ කළා. එම නිසාම 1947 මහා මැතිවරණයේ දී  මැද කොළඹ ආසනය මන්ත්‍රීවරුන් තිදෙනෙකු තෝරන බහු ආසනයක් බවට පත් වුණා. එලෙස ගොඩනැගුණු මැද කොළඹ බහු මන්ත්‍රී ආසනය 1977 වසර දක්වාම පැවතීම සුවිශේෂී සිදුවීමක් වුණා. එම කාල සමය තුළ මැද කොළඹ පළමු මන්ත්‍රීවරයා ලෙස පීටර් කේනමන් සහ රණසිංහ ප්‍රේමදාස වැඩි වාර ගණනක් තේරී පත් වුණා. එහි දී මැද කොළඹ ආසනය දිගුම කලක් නියෝජනය කළ කොමියුනිස්ට් පක්ෂයේ පීටර් කේනමන් 1947-1970 කාල සීමාව තුළ අඛණ්ඩව පාර්ලිමේන්තුවට පිවිසුණා. නමුත්, 1977 මහා මැතිවරණයේ දී කේනමන් අන්ත පරාජයක් ලැබුවේ ඔහු මහ මැතිවරණයක දී ලද පළමු පරාජය වාර්තා කරමින්.

පීටර් කේනමන් (pinterest)

කඩුගන්නාව බහු මන්ත්‍රී ආසනය 

1946 වසරේ දී සෝල්බරි කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයේ දී ගලගෙදර ආසනයට මහනුවර ආසනයේ යටිනුවර ප්‍රදේශය එක්කර, කඩුගන්නාව නමින් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පත්කරන බහු මන්ත්‍රී ආසනයක් නිර්මාණය කරනු ලැබුවා. මෙම ආසනය 1947 සහ 1952 මහ මැතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ඇලෙක්සැන්ඩර් නුගවෙල ජයග්‍රහණය කළා. ඔහු, 1947-1954 කාල සමය තුළ අධ්‍යාපන ඇමතිවරයා ලෙසින් කටයුතු කළා. නමුත්, 1956 මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ලද දැවැන්ත පරාජයත් සමගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අබ්දුල් මරික්කාර් මෙම අසුන ජයගත්තා. එහි දී නුගවෙලට දෙවන මන්ත්‍රීවරයා ලෙසින් හෝ පාර්ලිමේන්තුවට ඇතුල්වීමට නොහැකි වීම සුවිශේෂී සිදුවීමක් වුණා. ඉන් අනතුරුව 1959 වසරේ ඇති කළ වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම මඟින් කඩුගන්නාව ආසනය නැවතත් ගලගෙදර සහ යටිනුවර ලෙස ආසන 2කට වෙන් කළා. එසේම පැරණි ගලගෙදර ආසනයේ හාරිස්පත්තුව කොටස අකුරණ නමින් බහු ආසනයක් බවට පත් කළා.

අම්බලන්ගොඩ-බලපිටිය බහු මන්ත්‍රී ආසනය 

1946 වසරේ සෝල්බරි කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයෙන් පසුව මන්ත්‍රීවරුන් දෙදෙනෙකු තේරී පත් වන අම්බලන්ගොඩ-බලපිටිය බහු මන්ත්‍රී ආසනය නිර්මාණය වුණා. එලෙස සෑදුණු මෙම ආසනය නියෝජනය කරමින් 1947-1959 කාල සමය තුළ අඛණ්ඩව පාර්ලිමේන්තුවට පිවිසීමේ ගෞරවය හිමි වන්නේ ලංකා සමසමාජ පක්ෂයේ විලියම් ද සිල්වාට යි. ඉන්පසුව, 1959 වසරේ දී සිදුවුණු සීමා නිර්ණයෙන් පසුව මෙම ආසනය අම්බලන්ගොඩ, බලපිටිය, සහ රත්ගම ලෙසින් ආසන 3කට වෙන් වුණා. එසේම මෙම ආසනයේ කොටසකට බද්දේගම ආසනයෙන් කොටසක් ඈඳා බෙන්තර-ඇල්පිටිය නමින් වෙනත් ආසනයක් නිර්මාණය කිරීම ද විශේෂයෙන්ම සිහිපත් කළ යුතු යි.

බදුල්ල බහු මන්ත්‍රී ආසනය 

1946 වසරේ සෝල්බරි කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයෙන් පසුව මන්ත්‍රීවරුන් දෙදෙනෙකු තේරී පත් වන බදුල්ල බහු මන්ත්‍රී ආසනය නිර්මාණය වුණා. බදුල්ල බහු මන්ත්‍රී ආසනය 1947-1959 අතර කාලය තුළ අඛණ්ඩව නියෝජනය කළ එකම මහජන නියෝජිතයා වුණේ, ලංකා සමසමාජ පක්ෂයේ ජේම්ස් කොතලාවල යි. ඉන්පසුව, 1959 වසරේ වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයේ දී බදුල්ල බහු මන්ත්‍රී ආසනය සහ බුත්තල ආසනය බදුල්ල, සොරණාතොට, පස්සර සහ මොණරාගල නමින් ආසන 4කට වෙන් කළා. 

බලන්ගොඩ බහු මන්ත්‍රී ආසනය 

1946 වසරේ සෝල්බරි කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයෙන් පසුව පැරණි බලංගොඩ ආසනයෙන් කොටසක් කැඩී නිවිතිගල නමින් නව ආසනයක් සෑදෙන විට, බලංගොඩ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පත් කරන බහු මන්ත්‍රී ආසනයක් බවට පත් වුණා. මෙම ආසනය ගැන සිහිපත් කරන විට අමතකම නොවන පුද්ගලයා වන්නේ 1947 මහා මැතිවරණය ජයග්‍රහණය කරමින් ලංකා පාර්ලිමේන්තුවේ මුල්ම කතානායකවරයා බවට පත් වුණු එක්සත් ජාතික පක්ෂයේ ෆ්රැන්සිස් මොලමුරේ යි.1959 වසර දක්වා පැවති බලංගොඩ බහු මන්ත්‍රී ආසනය ඉන් අනතුරුව බලංගොඩ, රක්වාන සහ කොලොන්න ලෙස ආසන 3කට බෙදී ගියා.

වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම නිසා ඇති වුණු බහු මන්ත්‍රී ආසන 

1959 වසරේ දී වෝල්ටර් තල්ගොඩපිටියගේ මූලිකත්වයෙන් පත් කළ මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් වුණේ ජී. සී. තම්බයියා සහ එම්.ඒ.සී. මරික්කාර් යන පුද්ගලයන් දෙදෙනා යි. මෙම කොමිසමේ නිර්දේශවලට  අනුව එම අවදියේ පැවති ඡන්ද කොට්ඨාස 89ට තවත් 56ක් එකතු වී මුළු ඡන්ද කොට්ඨාස ප්‍රමාණය 145ක් බවට පත් වුණා. එසේම කඩුගන්නාව, අම්බලන්ගොඩ-බලපිටිය, බදුල්ල සහ බලංගොඩ යන බහු මන්ත්‍රී ආසන අහෝසි වී දකුණු කොළඹ, අකුරණ, මුතූර් සහ මඩකලපුව යන නව බහු මන්ත්‍රී ආසන ඇති වුණා. නමුත්, මැද කොළඹ බහු මන්ත්‍රී ආසනය එලෙසම නොවෙනස්ව පැවතුණා.

දකුණු කොළඹ බහු මන්ත්‍රී ආසනය 

1960-1970 අතර කාලය තුළ පැවති මැතිවරණවල දී මෙම ආසනයට තරග කළ  ප්‍රබලම ප්‍රතිවාදීන් දෙදෙනා වුණේ එක්සත් ජාතික පක්ෂයේ ජේ. ආර්. ජයවර්ධන සහ ලංකා සමසමාජ පක්ෂයේ බර්නාඩ් සොයිසා යි. නමුත්, කිසිදු මැතිවරණයක දී සොයිසාට ප්‍රතිවාදී අපේක්ෂක ජේ. ආර්. ජයවර්ධනව අබිබවා යාමට හැකි වුණේ නැහැ. පසු කලෙක නොයෙල් තිත්තවැල්ල කොමිසම මඟින් මෙම ආසනය නැගෙනහිර කොළඹ සහ බටහිර කොළඹ ලෙසින් ආසන 2කට වෙන් කළ පසුව ජේ. ආර්. ජයවර්ධන බටහිර කොළඹටත්, බර්නාඩ් සොයිසා නැගෙනහිර කොළඹටත් තරග කළා.

ජේ. ආර්. ජයවර්ධන (Daily News)

අකුරණ බහු මන්ත්‍රී ආසනය 

පෙර පැවති කඩුගන්නාව බහු මන්ත්‍රී ආසනයෙන් කොටසක් කැඩී මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පත් ව, අකුරණ බහු මන්ත්‍රී ආසනය නිර්මාණය වුණා. එලෙස සෑදුණු අකුරණ බහු මන්ත්‍රී ආසනයේ නම 1976 වසරෙන් පසුව හාරිස්පත්තුව නමින් වෙනස් කරනු ලැබුවා. අකුරණ ආසනය නියෝජනය කළ මන්ත්‍රීවරුන් ගැන සිහිපත් කරන විට එක්සත් ජාතික පක්ෂයේ අබ්දුල් හමීඩ්ව අමතක කරන්නට බැහැ. ඔහු, 1960-1977 කාල සමය තුළ  පැවති සියලුම මහ මැතිවරණවල දී මෙම අසුන නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසීම සුවිශේෂී සිදුවීමක් වුණා.

හමීඩ් විදේශ ඇමතිවරයාව සිටි සමයේ (Men and matters)

මුතූර් බහු මන්ත්‍රී ආසනය 

1960-1970 කාලය තුළ පැවති මහා මැතිවරණවල දී බහු මන්ත්‍රී ආසනයක් බවට පත් වුණු මුතූර් ආසනය ගැන කතා කරන විට අමතකම නොවන පුද්ගලයා වන්නේ ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ ටී අහම්බාරම් මන්ත්‍රීවරයා යි. එලෙස ඔහු සුවිශේෂී පුද්ගලයකු වීමට හේතු වුණේ 1960 මාර්තු මහා මැතිවරණයේ දී වැඩි ඡන්ද 5කින් මුතූර් ආසනයේ පළමු මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වීම යි.

මඩකලපුව බහු මන්ත්‍රී ආසනය 

1959 වසරේ දී බහු මන්ත්‍රී ආසනයක් වුණු මඩකලපුව ආසනය 1977 වසර දක්වා එලෙසම පැවතුණා. එම කාල සමය තුළ පැවති සියලුම මැතිවරණවල දී මෙම ආසනයේ පළමු මන්ත්‍රීවරයා බවට පත් වුණේ චෙල්ලයියා රාජදුරෙයි නම් අපේක්ෂකයා යි.

නොයෙල් තිත්තවැල්ල කොමිසම නිසා ඇති වුණු බහු මන්ත්‍රී ආසන 

1974 වසරේ දී පත් කළ මෙම කොමිසම 1976 වසර වන විට සීමා නිර්ණය කරනු ලැබුවා. එහි දී 145ක් ලෙසින් පැවති මැතිවරණ කොට්ඨාස ප්‍රමාණය 160ක් බවට පත් වුණා. මෙම සීමා නිර්ණයෙන් පසුව පැරණි බහු ආසන ලෙසින් පැවති දකුණු කොළඹ සහ මුතූර් ආසන වෙනුවට, පොතුවිල් සහ බේරුවල නමින් මන්ත්‍රීවරු දෙදෙනෙකු පත් කරන බහු ආසන බිහි වුණා. එසේම, අකුරණ ආසනයේ නම හාරිස්පත්තුව ලෙසින්  වෙනස් කරනු ලැබුවා. ඊට අමතරව නුවරඑළිය-මස්කෙලිය නමින් මන්ත්‍රීවරුන් තිදෙනෙකු පත් කරන බහු ආසනයක් ද මෙම සීමා නිර්ණයෙන් පසුව නිර්මාණය වුණා. 

බේරුවල බහු මන්ත්‍රී ආසනය 

1959 සීමා නිර්ණයේ දී කළුතර ආසනයෙන් කොටසක් කැඩී සෑදුණු බේරුවල ආසනය 1976 වසරේ දී මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පත් කරන බහු මන්ත්‍රී ආසනයක් බවට පත් වුණා. එලෙස බහු ආසනයක් බවට පත් වුණු බේරුවල අසුන, 1977 මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ අබ්දුල් බාකීර් මාකර් ජයගනු ලැබුවා.

අබ්දුල් බාකීර් මාකර් (Daily FT)

නුවරඑළිය-මස්කෙලිය බහු මන්ත්‍රී ආසනය 

1976 වසරේ දී සිදුවුණු සීමා නිර්ණයට අනුව නුවරඑළිය සහ මස්කෙලිය ආසන සම්බන්ධ කර මෙම බහු ආසනය නිර්මාණය කළා. එලෙස නිර්මාණය වුණු මෙම ආසනය 1977 මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ගාමිණී දිසානායක ජයග්‍රහණය කළේ සැලකිය යුතු වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින්.. 

ගාමිණී දිසානායක (Daily News)

පොතුවිල් බහු මන්ත්‍රී ආසනය 

1976 වසරේ දී බහු මන්ත්‍රී ආසනයක් වුණු පොතුවිල් ආසනය 1977 මහ මැතිවරණයේ ජයග්‍රහණය කළේ  එක්සත් ජාතික පක්ෂයේ එම්. ජලාල්ඩීන් නම් අපේක්ෂකයා යි. 

කවරයේ ඡායාරූපය- දකුණු කොළඹ ආසනය අවස්ථා කිහිපයක දී ජයගත් ජේ. ආර්. ජයවර්ධන (gettyimages)

Related Articles