සීතාවක රාජධානියේ අද්භූත උමං

පුවත්පත් පසුගිය දා වාර්තා කළේ දෙණියාය, විහාරහේන, අඩාරදෙණිය හන්දිය ආසන්නයේ උමං මාර්ග දෙකක් මතු වී ඇති බවයි. මාර්ග සංවර්ධනය සඳහා ඉවුරු කපන අවස්ථාවේ මෙම උමං මතුවී තිබෙනවා. මෙසේ රටේ තැනින් තැන උමං මතුවන අවස්ථා ගැන මෙන් ම තිබෙන උමං ගැනත් විවිධ සිද්ධි අපට අසන්නට ලැබෙනවා.

මේ බෙහෝ උමං වටා අද්භූත කතා ගෙතිලා. සීතාවක රාජධානියේ පළමුවැනි රාජසිංහරජු සම්බන්ධ උමං කිහිපයක් ගැන ම අපට අසන්නට ලැබෙනවා. කොළඹ කොටුව වැටලීමට දියඅගලට යටින් උමං කැපූ රාජසිංහ රජු, රාජධානියේ වෙනත් තැන්වල ද උමං ඉදි කළ බව පැවසෙනවා. මේ උමං මාර්ග කතාවල සැබෑ තත්ත්වය ගැන විධිමත් පර්යේෂණයක් මෙතෙක් සිදු ව නැතිවීම නම් අඩුවක් බව යි අපට පේන්නේ.

 රාජසිංහ රජු කොළඹ කොටුවට ප්‍රහාර එල්ල කරමින් –  Dailynews.lk -PrasannaWeerakkody

රාජසිංහ රජුගේ උමං

සීතාවක රාජසිංහ රජුගේ (1581-1593) ප්‍රධාන ඉලක්කය වුණේ ලංකාවට හිසරදයක් ව සිටි පෘතුගීසින් පන්නා දමා ඔවුන්ගේ හදවත වන් කොළඹ කොටුව අත්පත් කර ගැනීම යි. රජු වරින් වර කොටුවට ප්‍රහාර එල්ල කළත් එය යටත් කර ගැනීමට අවස්ථාව ලැබුණේ නැහැ. පෘතුගීසින්ගේ සියලු සැපයුම් මාර්ග වලක්වාලමින් බරපතළ ලෙස කොටුව වටලා පෘතුගීසින් අඩපණ කිරීමට රාජසිංහ රජුට හැකියාව ලැබුණා. කොළඹ කොටුවේ බළල් මසුත් ගිනි ගණං ගිය බවට කතාවක් හැදුණේ ඒ හින්දයි. 

කොළඹ කොටුව ඉදිකර තිබුණේ කබොක් ගලින් බැඳි  ප්‍රාකාරවලින්. මේ නිසා කොටුව සවිමත් වුණා. කොටුව වටා පිහිටි ඇළ මාර්ග මගින් ද බේරේවැව හා සම්බන්ධ ඇළ මාර්ගවලින් ද  අමතර ආරක්ෂාවක් ද සලසා ගෙන තිබුණා. බළකොටුව අසල පිහිටි දොන් ප්‍රැන්සිස්කු දූපත නමින් හඳුන්වා ඇති බිම් කොටස අල්ලා ගැනීමට ඔහු අපූරු යුද උපක්‍රම භාවිත කළ බව සඳහන්. 1580 මාර්තු 6 දා කොටුවේ බිත්තිවලට දරුණු ප්‍රහාරයක් එල්ල කළ රජු එයට ත්‍රිවිධ හමුදාවක සහාය ලබාගෙන තිබෙනවා. එම හමුදා නම් සිංහල රජුගේ හමුදාව, දිසාපතිවරුන්ගේ හමුදාව හා වාසල රැක බලාගත් හේවා පිරිස යි.

පෘතුගීසින් සවිමත් ව ඉදිකරගෙන තිබෙන බළකොටුවට පිටත සිට පහර දීම වෙනුවට උමං මාර්ග හාරා රහසිගත ව ඇතුළු වී පෘතුගීසින්ට පහරදීමට රාජසිංහ තීරණය කළා. ඒ කාලයේ උමං කැණීමට ප්‍රසිද්ධව සිටි පල්ලරු කුලයේ මිනිසුන්ගේ උදව්ව එයට ලබා ගත් බව පැවසෙනවා. එම මිනිසුන් උඩරටින් ගෙන්වා ගත් බව ද පැවසෙනවා.

 කොළඹ කොටුව වටා පිහිටි දියඅගල – colombofort.com

 

මුල්වරට කොටුව වැටලූ අවස්ථාවේ (1578-1581) රාජසිංහ රජු සාන්ත සෙබස්තියන් දිය අගල යටින් උමඟක් හාරා ඇති අතර කැණීමේ දී අතුරු උමං දෙකක් මතු ව තිබෙනවා. ඉන් එකක් වීදියබණ්ඩාර නිදහස් කර ගැනීම සඳහා කණින ලද උමඟ විය හැකි බව බොහෝ විට පැවසෙනවා. නමුත් රජුට උමං හරහා පහරදීමට අවස්ථාව ලැබුණේ නැහැ.

වර්ෂ 1587 සිට සිදු වූ කොටුව දෙවන වර වැටලීමේ දී යළිත් වරක් උමඟක් හරහා කොටුවට හේවායන් යැවීමට රාජසිංහ රජු උත්සාහ කර තිබෙනවා. මෙම උමඟ මිනිසකුගේ උසින් යුක්ත වූ අතර පළලින් අඩි 9ක් පමණ වූ බවයි පැවසෙන්නේ. උමඟෙන් හාරා ගන්නා මැටි එහිදී ම අනා උමඟේ බිත්තිවලට ගසමින් ඉදිරියට යන අතර ලෑලි මුක්කු මඟින් ද එය සවිමත්කොට තිබුණා.

සිංහල සේනාව කණින ලබන උමං පිළිබඳ ව පෘතුගීසින්ට ඔත්තුවක් ලැබීම නිසා ඒ කාර්යය අසාර්ථක වී තිබෙනවා. මේ නිසා බියට පත් පෘතුගීසින් කොටු පවුර වටා වූ දියඅගල් තවත් ගැඹුරු කරවූ බව පැවසෙනවා. පරාජයට පත්වීමට ඉතා ආසන්නව සිටි පෘතුගීසින්ට පරාජයෙන් බේරීමට හැකි වුණේ ගෝවෙන් යුද ආධාර නැව් පැමිණීම නිස යි.

 රත්නපුර පොත්ගුල් ලෙන –  mahaviharaya.lk

රත්නපුර පොත්ගුල් විහාරය

සීතාවක රාජධානියට අයත් පොත්ගුල් රාජමහා විහාරය පිහිටා ඇත්තේ රත්නපුර කුරුවිට කෝරළයට අයත් කරන්ගොඩ ගමෙ යි. මේ විහාරය ද වළගම්බා රජු හා සම්බන්ධ බව පැවසෙන උමගක් තිබෙන ස්ථානයක්. රත්නපුර නගරයේ සිට කිලෝ මීටර් 3.7ක් පමණ ඇලපාත මාර්ගයේ පැමිණ කොටාමුල්ල මංසන්ධියෙන් දකුණට හැරී මඳ දුරක් ගමන් කර පොත්ගුල් විහාරයට ළගාවීමට පුළුවන්.

කටාරම් කෙටූ විශාල ගල් ලෙනක් පාදක කර ගනිමින් මෙහි විහාරය තනා තිබෙනවා. පිළිම ගෙය තුළ රියන් 27ක් දිගැති සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් ද, සිතුවම් රාශියක් ද දැක ගැනීමට ලැබෙනවා. මෙම බිතු සිතුවම් නම් මෑත අතීතයේ දී ප්‍රතිසංස්කරයට ලක්වෙලා. දාගැබ සහ බෝධි වෘක්ෂය යන අංග ද විහාර බිමේ තිබෙනවා. මෙය ඉතා සුන්දර වටපිටාවක පිහිටි පූජනීය ස්ථානයක්.

මාතලේ අළු විහාරයේ දී ග්‍රන්ථාරූඪ කළ ත්‍රිපිටකය මෙම විහාරයේ දී නැවත වරක් පිටපත් කළ බවට ජනප්‍රවාදයක් පවතිනවා. විහාරයේ නාමය පොත්ගුල් විහාරය වීමට ඒ විශ්වාසයත් බලපාන්නට ඇති. පෘතුගීසින් මේ විහාරයත් විනාශ කර තිබෙනවා. පසුව මහනුවර  කීර්ති ශ්‍රී රාජසිංහ රජු එය ප්‍රතිසංස්කරණය කළ බව සඳහන්.

පොත්ගුල් විහාර උමඟ – mahaviharaya.lk

 

විහාර මන්දිරය තුළ පිහිටි සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේට ඉදිරියෙන් ශෛලමය පුවරුවලින් විවරය සකස් කළ ළිඳක් දක්නට ලැබෙනවා. අඩි එකහමාරක පමණ දිගින් හා පළලින් යුතු විවරයකින් සමන්විත එම ළිඳට මලක් දැමූ විට  විහාරයේ සිට කිලෝ මීටර් 2ක් පමණ (සෘජු දුර) උතුරින් පිහිටා ඇති රත්නපුර මහ සමන් දේවාලයේ ඉපැරැණි ශෛලමය ළිඳෙන් මතුවන බව පැවසෙනවා.

ජනප්‍රවාදවල දැක්වෙන්නේ මෙම ශෛලමය ළිං දෙක භූගත ව එකිනෙක සම්බන්ධ ව පවතින බව යි. එම අද්භූත විශ්වාසය ගැන නිශ්චිත සාධක නම් දැක ගත නොහැකි යි. විහාර මන්දිරයේ සැතපෙන පිළිමයේ පිටුපසට ගමන් කරන විට දැක ගත හැකි වන්නේ අඩි 3ක පමණ උස විවරයක් සහිත ඈතට විහීදී යන උමඟක්. ජනප්‍රවාදයේ පැවසෙන්නේ මෙම උමඟ වළගම්බා රජු සැඟවී සිටි කාලයේ ආරක්ෂාව සඳහා භාවිත කළ බව යි.

පොත්ගුල් විහාරයට කිලෝ මීටර් 10ක් පමණ සෘජු දුරකින් කන්දක පිහිටි කුකුළුවා විහාරයේ දේවාලයේ යට සිට පොත්ගුල් විහාරයට උමඟක් තිබූ බව කුකුළුවා විහාරය ආශ්‍රිත ජනප්‍රවාදවලත් පැවසෙනවා. කුකුළුවා විහාරය ද වළගම්බා රජු සැඟ ව සිටි ස්ථානයක් ලෙසට සැලකෙනවා.

 මාලිගා වක්කලම අසල කැලණී නදිය – Lankadeepa.lk

මාලිගාවක්කලම

මායාදුන්නේ රජුගෙන් පසුව සීතාවක රජ බවට පත් රාජසිංහ රජු පෘතුගීසින්ගේ තර්ජන හා ආක්‍රමණ නිසා වඩාත් ආරක්ෂාකාරී ජීවිතයක් තමයි ගෙන ගියේ. පළමුවැනි රාජසිංහ රජු ඉදිකරවන්නට ඇති බව සැලකෙන ගමන් මාලිගාවක් හංවැල්ල ප්‍රදේශයේ පිහිටි බව ජනප්‍රවාදයේ එනවා. කොළඹට ආසන්න පෙදෙස්වල සටන්වලට රජු පැමිණි විට නවාතැන් ගෙන ඇත්තේ ඒ මාලිගයේ විය හැකි යි.  එම ප‍්‍රදේශය අදත් හඳුන්වන්නේ මාලිගාවත්ත කියලයි. කැලණි ගඟේ සිට එම මාලිගාව දක්වා කිලෝමීටරයක් පමණ දිගින් යුක්තඋමඟක්  හංවැල්ල ප්‍රදේශයේ තිබෙන බව පැරැන්නන් පවසනවා.  

උමඟ ආරම්භ වන්නේ  ගංගාවේ  විශාල වක්කලමකින්. එම වක්කලම හැඳින්වෙන්නේ ද ‘‘මාලිගාව වක්කලම’’ කියල යි. කැලණී නදිය හංවැල්ල පාලම යටින් යාමට ආසන්නව  ගංගාව විශාල නැම්මකට  හැරෙනවා. එතැන අක්වැල්ල ලෙසත් හඳුන්වනවා. උමගේ කට මෙහි පැවති බව දුටු පුද්ගලයන් තවමත් හංවැල්ලේ ජීවත් වෙනවා.

 සීතාවක රාජසිංහ මාලිගයේ නටබුන්- amazinglanka.com

 

වක්කලම යටින් මෙම දීර්ඝ උමඟ පිහිටා ඇති අතර, එය සාමාන්‍ය මට්ටමේ සිට සෑහෙන  ගැඹුරින් පිහිටා ඇති බව දුටු පුද්ගලයක් පවසනවා.  මාලිගාව වක්කලමේ සිට දකුණු ඉවුර අසලින් (ගම්පහ දිස්ත්‍රික්කය මායිම් වී ඇති ඉවුර) හංවැල්ල සමනබැද්ද ප්‍රදේශයට මෙම උමඟ ගමන් කර මාලිගාවත්ත ප්‍රදේශයෙන් අවසන් වන බව තමයි පැවසෙන්නේ.

 කොරතොට පිළිම ගෙය, උමඟ ඇත්තේ සැතපෙන පිළිමය පිටුපස යි- mihithuru.lk

කඩුවෙල කොරතොට උමඟ

කඩුවෙල සිට කි. මී තුනක් දුරින් පිහිටි කොරතොට ලෙන් විහාරය පුරාණ සෙල්ලිපි සහිත ස්ථානයක්. රාජසිංහ රජු මුල්ලේරියා වෙලේ කළ සටන්වලට පෙරමුණ ගෙන කටයුතු කර ඇත්තේ කොරකොට ආරච්චිවරුන් බව රාජාවලියේ දැක්වෙනවා. මෙම විහාරයේ ලෙන තුළ සැතපෙන පිළිමයට පිටුපස ඉඩකඩේ ගල් පර්වතය හරහා කැලණි ගඟ දක්වා දිවයන උමගක් පිහිටි බව පැවසෙනවා.

පසුකාලයක ඒ බිම්ගෙය එවකට විහාරාධිපති හාමුරුවන් බදාමවලින් වසා දමා තිබෙනවා. ඒ ආරක්ෂිත පියවරක් විදිහට යි. අදටත් බිංගෙය වැසූ ස්ථානය දැක ගත හැකි යි.  මේ උමඟට 1900 මුල් කාලයේ ගමන් කළ වී. ඩී. ද ලැනරෝල් තම අත්දැකීම් ලියා ඇත්තේ මේ විදිහටයි:

‘‘ කොරතොට විහාරයේ 18 රියන් බුදු සැතපෙන බුදු පිළිමය  පිහිටා ඇත්තේ 18 රියනකට මඳක් දික්වූ ලෙනක් තුළය. මා කුඩා කාලයේ මේ බුදු පිළිමය පාමුල කුඩා දොරටුවකින් ඇතුළු විය හැකි බිම්ගෙයක් තිබුණේය. අඳුරු වූ බිම්ගෙය තුළට වැදීමට බිය නොවූ කෙනකු සිටියේ ඉතාමත් කලාතුරකිනි. ඊට හේතුව එය තුළ කාපිරි යකෙකු වාසය කරන බවට පැවති කතාවයි. මා සහ තවත් බෝමිරියේ කිහිප දෙනකු 1911 දී එහි ඇතුළු වූ විට දක්නට ලැබුණේ කිරිවවුලන්රැසක් පමණකි. එහි වූ මේසයක් වැනි ගලක් මත වූ පරණ පිඟාන නිසා එහි එක් කාලයකදී කිසිවකු වාසය කර ඇති බවඅපට වැටහුණේය. (වී. ඩී. ද ලැනරෝල්, ලංකා පුරාවෘත්ත, 34  පිට).

පසුකාලයක ඒ බිම්ගෙය එවකට විහාරාධිපති හාමුරුවන් බදාමවලින් වසා දමා තිබෙනවා. ඒ ආරක්ෂිත පියවරක් විදිහටයි. අදටත් බිංගෙය වැසූ ස්ථානය දැකගත හැකියි.

කවරයේ ඡායාරූපය- උමංවලට සම්බන්ධ කැලණි ගඟ සහ මෑතක දී මතුවූ අඩාරදෙනිය උමඟ - kasukusu.lk-sathmina.com

මූලාශ්‍ර:

Budusarana.lk

Lankadeepa.lk

ලංකා පුරාවෘත්ත- වී. ඩී. ද ලැනරෝල්

සීතාවක උරුමය- සංස්. ප්‍රශාන්ත ගුණවර්ධන, ගාමිණි අදිකාරි

Related Articles