මක්සිම් ගෝර්කිව ඝාතනය කරනු ලැබුණි ද​​?

අලෙක්සේයි මක්සිමෝවිච් පෙෂ්කොෆ් හෙවත් මක්සිම් ගෝර්කි රුසියාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ ලේඛකයකු බව අප දන්නවා. ඔහු වාමාංශික දේශපාලන කටයුතුවලට ද සම්බන්ධව සිටියා. කලක් ඉතාලියේ ජීවත් වූ ඔහු 1931 දී සෝවියට් දේශයට යළි පැමිණියා. ඔහු 1936 ජූනි 18 වන දා මියගියේ නිව්මෝනියා රෝගී තත්ත්වය හේතුවෙන්.

ගෝර්කි ස්වාභාවික හේතු මත මියගියේ නැති බවටත්, ඔහුට වස දුන් බවටත් සෝවියට් අඥාදායක ජෝසප් ස්ටාලින් දෙසට ඇඟිල්ල දිගු වනවා. එකල පැවති තත්ත්වය යටතේ ඔහු මරණයට පත් වීම ස්ටාලින්ට අත්‍යවශ්‍ය වූ බවට නම් සැකයක් නැහැ.

ස්ටාලින් ඒ වනවිට සිටියේ තම සත්‍ය මෙන්ම මවාගත් ප්‍රතිවාදීන් විනාශ​ කිරීමේ වැඩපිළිවෙල සකසමින්. ඔහුගේ පළමු ඉලක්කය වූයේ සිනොවියෙෆ් සහ කමනෙෆ් ඇතුළු පිරිස යි. ඔවුනට එරෙහිව ව්‍යාජ නඩු විභාගයක් පැවැත්වීමට කටයුතු කෙරෙමින් පැවතුණා. ඊට බාධාවක් විය හැකි වූ තැනැත්තා වූයේ ගෝර්කි යි.

ස්ටාලින් – ගෝර්කි විරසකය​

ස්ටාලින් සහ ගෝර්කි අතර විරසකය රුසියානු බෝල්ශවික් විප්ලවයේ මුල් සමය කරා දිව් යනවා. ගෝර්කි බෝල්ශවික් විප්ලවය විවේචනය කළා වගේම සෝවියට් පාලනය ගමන් ගත් මාර්ගය ද විවේචනය කළා. තොල්ස්තෝයිගේ ලිපියක නම ආශ්‍රයෙන් “මට නිහඬව සිටිය නොහැක​” යනුවෙන් නම් කළ ලිපියක් මඟින් ඔහු සෝවියට් රජය විවේචනය කළා.

ඔහුට පිළිතුරු දුන්නේ ස්ටාලින් විසින්. ඉඩම් හිමියන් සහ ධනපතීන් විසින් ගොවීන් සහ නිර්ධනයින් පෙළද්දී ගෝර්කිලා නිහඬව සිටි බවත් ඔවුන් විප්ලවය මිස ප්‍රතිවිප්ලවය විවේචනය නොකරන බවත් ස්ටලින් පවසා සිටියා. ඔහු තවදුරටත් සඳහන් කළේ විප්ලවය ඉදිරිය බලා යන ගමනේ දී ගෝර්කි වැනි දැවැන්තයින් වුව ද පෙරළාගෙන යනු ඇති බව යි.

1900 දී යස්නයා පොල්යානා හිදී ගෝර්කි සහ තොල්ස්තෝයි (Public Domain)

අන් ලේඛකයකුට කෙසේ වෙතත් ගෝර්කි වැන්නකුට මෙවන් චෝදනා කිරීම නිවැරදි වූයේ නැහැ. ගෝර්කි සිය ලේඛන කලාව කැප කර තිබුණේ පැරණි පාලක පන්තිය විවේචනය කිරීමට බව කවුරුත් දැන සිටියා. නමුත් ස්ටාලින්ට එය අදාල වූයේ නැහැ.

ගෝර්කි රුසියාවෙන් පිටව ඉතාලියට ගියා. බෙනීටෝ මුසෝලිනීගේ ෆැසිස්ට් පාලන සමයේ ආරම්භක වසරවලත් ඔහු ජීවත් වූයේ එහියි. මෙම කාරණය සෝවියට් රජය ලජ්ජාවට පත් කරන්නක් වුණා. මේ අතරවාරයේ ස්ටාලින් සෝවියට් දේශයේ කොමියුනිස්ට් පක්ෂය තුළ තම බලය තහවුරු කරගත්තා.

සෝවියට් රජයට ගෝර්කි ආපසු ගෙන්වා ගැනීමට අවශ්‍ය වුණා. මේ අතර තම වියදම් පියවාගැනීම අපහසු වූයෙන් ගෝර්කිට ද ආපසු සෝවියට් දේශයට පැමිණීමේ අවශ්‍යතාවක් තිබුණා. 1928 මැයි මාසයේදී ඔහු සංචාරයක් සඳහා සෝවියට් දේශයට පැමිණියා. එකල OGPU නමින් හැඳින්වූ සෝවියට් රහස් පොලිසියේ දෙවැන්නා වූ ගෙන්රික් යගෝදා හා ගෝර්කි අතර හොඳ මිත්‍රත්වයක් ද ගොඩ නැගුණා. වසර කිහිපයකට පසු ගෝර්කි ස්ථිරවම සෝවියට් දේශයට පැමිණීමට තීරණය කළේ යගෝදාගේ ඥාති සොයුරුගේ පෙළඹවීම ද හේතුවෙන්.

ප්‍රබල විවේචකයා

ගෝර්කි තවත් සාහිත්‍යකරුවන් මර්ධනය කිරීමට සූදානම් වන අවස්ථාවන් හි ඉතා බරපතල ලෙස ඊට මැදිහත් වුණා. 1930 දී බොරිස් පිල්න්යාක් සහ යෙව්ගිනි සම්යාතින් ආදීන් වාරණයට ලක් කරද්දී ගෝර්කි ඊට ප්‍රබල ලෙස විරෝධය දැක්වූවා. සිනොවියෙෆ් සහ කමනෙෆ්ට එරෙහිව කටයුතු කිරීමට සූදානම් වනවිට ද ගෝර්කි ඊට එරෙහි වන බව පැහැදිලිව පෙනෙන්නට තිබුණා.

ගෝර්කි අදට ද ජනප්‍රිය ලේඛකයෙක් (priv-lib.ru)

එක් අතකින් ගෝර්කි විවේචනයට බිය වූයේ නැහැ. අනෙක් අතින් ගෝර්කිගේ විවේචනයන්ට ලොකු බරක් තිබුණා. එමෙන්ම ගෝර්කිට එරෙහිව ප්‍රසිද්ධියේ කිසිවක් කිරීමට ස්ටාලින් බිය වුණා.

මේ අතර​, 1936 මැයි 31 වනදා ගෝර්කි අසනීප වුණා. ඔහු දින ගණනක් රෝගීව සිට ජූනි 18 වන දා මියගියා.

යගෝදාට චෝදනා

1938 මාර්තු මාසයේ දී ස්ටාලින්ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ තුන්වන ප්‍රසිද්ධ ව්‍යාජ නඩු විභාගය පවත්වනු ලැබුණා. මෙය “දක්ෂිනාංශික සහ ට්‍රොට්ස්කිවාදී නඩයට එරෙහි නඩු විභාගය​” ලෙස හඳුන්වන ලද අතර 21 දෙනාගේ නඩුව ලෙස ද හඳුන්වනු ලැබුවා. මෙහි ප්‍රධානම චූදිතයා වූයේ මාක්ස්වාදී න්‍යායාචාර්යවරයකු ලෙස ලෝ පතළ වූ නිකොලායි බුහාරින්. යගෝදා මෙන්ම ක්‍රෙම්ලීනයේ වෛද්‍යවරයකු ලෙස 1920 සිට කටයුතු කළ ලෙව් ලෙවින් ද ගෝර්කිගේ පුද්ගලික ලේකම් වූ පියතෝර් කෘච්කොෆ් ද මෙහි චූදිතයන් වුණා. මීට අමතරව NKVD නිලධාරියකු මෙන්ම යගෝදාගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ පාවෙල් බුලානොෆ් ද​, දොස්තර දිමිත්‍රි ප්ලෙට්න්‍යෝෆ් ද නඩුවෙහි චූදිතයන් වුණා.

යගෝදාව තනතුරින් ඉවත් කරනු ලැබ තිබුණේ 1936 නොවැම්බරයේ දී යි. ඔහුව 1937 මාර්තුවේ දී අත්අඩංගුවට ගනු ලැබුණා. යගෝදාගේ කටයුතු පිළිබඳ ස්ටාලින් සැක කිරීමට පටන් ගෙන තිබුණේ ගෝර්කි මියගිය සමයේ දීම යි. නමුත් ගෝර්කිගේ මරණය සම්බන්ධව නොවේ.

(වමේ සිට) කෘච්කොෆ්, ගෝර්කි සහ යගෝදා 1933 දී (Public Domain)

මෙම නඩුවෙහි චූදිතයන්ට එරෙහිව විවිධ අභූත චෝදනා ඉදිරිපත් වුණා. ලෙනින්ග්‍රාදයේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධානී සර්ගෙයි කිරොෆ්, ප්‍රකට සෝවියට් බෝල්ශවික්වාදියකු වූ වැලේරියන් කුයිබිශෙෆ්, හිටපු OGPU ප්‍රධානී ව්‍යචෙස්ලාව් මෙසින්ස්කි, ගෝර්කිගේ පුත්‍රයා වූ මක්සිම් පෙෂ්කොෆ් සහ මක්සිම් ගෝර්කි ඝාතනය පිළිබඳ චෝදනා ඔවුනට එල්ල වුණා. විශේෂයෙන්ම ගෝර්කි පිළිබඳ සිද්ධිය විකාර සහගත සාක්කි මත පදනම් වූ චෝදනාවක් වුණා.

ගෝර්කිගේ වයෝවෘධභාවය නොතකා ඔහුව බීමත් කර​, එළිමහනේ බංකුවක සිටින්නට සැලැස්වීමෙන් ඔහුට නිව්මෝනියාව වැළඳීමට සලස්වා තිබුණා (මෙය සිදු වූයේ මැයි මස අන්තිම බවත්, එකළ රුසියාවේ ශීත කාලය අහලකවත් නොවන බවත් චෝදනා ඉදිරිපත් කළ අය විසින් නොසලකා හැර තිබුණා). මේ අතර ගිනිමැල ගසා දුම වැදීමට සැලැස්වීමෙන් රෝගී තත්ත්වය උත්සන්න කර තිබුණ අතර වැරදි ඖෂධ ද නියම කර තිබුණා.

බුලානොෆ් සහ ලෙවින් මෙම කටයුතු පිළිබඳ යගෝදා ඇතුළු අනෙක් අයට එරෙහිව සාක්කි දුන්නා. විශේෂයෙන්ම බුලානොෆ් මෙසේ සාක්ෂි ලබා දුන්නේ දැඩි ලෙස වධ දීම හේතුවෙන් බව නඩු විභාගය නරඹන්නන් දැන සිටියේ නැහැ.

නඩු විභාගය අවසානයේ දී යගෝදා, බුලානොෆ්, ලෙවින්, කෘච්කොෆ් යන අය ඇතුළු දහ අටදෙනෙකුට මරණ දඬුවම නියම කෙරුණා. ප්ලෙට්න්‍යෝෆ් වාසර් 25 කට සිරගත කරන ලදුව 1941 දී ඝාතනය කරනු ලැබුණා.

ගෝර්කිගේ මරණය පිළිබඳ මෙහිදී සඳහන් වූ විකාර සහගත කතා හේතුවෙන් යගෝදා හෝ අන් චූදිතයකු හෝ ඊට සම්බන්ධ වී යයි සිතීම පහසු නැහැ. නමුත් මෙම නඩුව විසින් ස්ටාලින්ව ගෝර්කි ඝාතනය පිළිබඳ සැකයෙන් නිදහස් කෙරෙන්නේ ද නැහැ.

Related Articles